මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගෙන් රට බේරාගන්න දිවා-රෑ නැතිව දියත් වී ඇති ජාතික මෙහෙයුම | සිළුමිණ

මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගෙන් රට බේරාගන්න දිවා-රෑ නැතිව දියත් වී ඇති ජාතික මෙහෙයුම

  • ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධානම මාර්ගයේ
  • ඇෆ්ගනිස්තානයේ කන්නයකට නිපදවනහෙරොයින් ටොන් හත්දාහෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ මේ මාර්ගයෙන්
  • අපේ රට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක්
  • අන්තර්ජාතික මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සමඟ මුහුද මැද ගනුදෙනුව නිමවන තෙක් ලංකාවේ ජාවාරම්කරුවකු ඇපයට ගනී

පසුගිය පස් වැනිදා රාත්‍රියේදී හෙරොයින් කිලෝ 231කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනිණි. ඒ මෙරටදී නීතියේ රැහැනට කොටුවූ දෙවැනි විශාලතම හෙරොයින් තොගය ලෙසිනි.

රට තුළ මත්ද්‍රව්‍ය පාලනය සඳහා ප්‍රධාන ලෙසම වගකීම පවතින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටත්, පොලිස් විශේෂ කාර්ය බළකායටත් පොලිස් ස්ථානවල ස්ථාපිත විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයන් වෙතටත්ය. එමෙන්ම රට තුළට මත්ද්‍රව්‍ය ගලා ඒමට එරෙහිව ශ්‍රී ලංකා රේගුව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවද සුවිශේෂ කාර්යභාරයක් කරයි.

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැය විසිහතර පුරාම මත්ද්‍රව්‍ය වැටලීම්වලට කැපව සිටී. මත්ද්‍රව්‍ය පාලනය වෙනුවෙන් වැටලීම්වලට පමණක් සීමා නොවී මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩපණ කිරීම වෙනුවෙන්ද තම කාර්යාංශය ඉමහත් කාර්යභාරයක් ඉටු කරන බව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. සී. ඒ. ධනපාල මහතා පැවැසීය.

“මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සියලුම දේවල් කරන්නෙ විද්‍යාත්මක සංකල්පයක් වන ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරන පීඩීපීආර් සංකල්පය අනුවයි. ඉන් සිදු වන්නේ, ඉල්ලුම අඩු කිරීම, සැපයුම අඩු කිරීම, එම දෙඅංශයම අඩපණ කිරීම වෙනුවෙන් නඩු මෙහෙයවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම යන අංශ හතර කෙරෙහි අවධානය යොමු කිරීමයි.

මත්ද්‍රව්‍යවලට තිබෙන ඉල්ලුම අඩු කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බොහෝ වැඩ කොටසක් කරනවා. විශේෂයෙන්ම ප්‍රචාරණය. වෙළෙඳ දැන්වීම් නිර්මාණය කොට මත්ද්‍රව්‍යවල ආදීනව පහදා දීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන්. පසුගිය සමයේ එවැනි වැඩසටහන් 175ක් කරමින් පාසල් දරුවන් 121000ක් දැනුවත් කළා. මත්ද්‍රව්‍යවලට වැඩිපුරම දරුවන් ඇබ්බැහි වන බවට හඳුනාගෙන තිබෙන්නෙ සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීමත් සමඟයි. සාමාන්‍ය පෙළ විභාගය අසමත් දරුවන්ට වයස අවුරුදු 18ක් වන තුරු ස්ථිර රස්සාවක් කළ නොහැකියි. ඔවුන් නිවෙස්වලට වී සිටින විට සමාජ ඇසුර මඟින් මත්ද්‍රව්‍යවලට පෙලඹෙන ආකාරයක් අපගේ සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා.

ඉල්ලුම සැපයුම අඩපණ කිරීම වෙනුවෙන් නඩු මෙහෙයවීමටයි වැටලීම් සිදුකරන්නෙ. වැටලීම්වලදී අපේ නිලධාරීන් රටපුරාම ගොස් ක්‍රියාත්මක වෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නීතියෙන් ඒ සඳහා ප්‍රතිපාදන තිබෙනවා. අපේ වැටලීම්වලට අදාළ පොලිසිය දැනුවත් කිරිමක් අවශ්‍ය නැහැ. නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරු සපයන්නන්ගෙන් මෙන්ම මහජනයාගෙන් ලැබෙන තොරතුරු ඔස්සේ වැටලීම් වෙනවා. ඇතැම් අවස්ථාවල දින, සති, මාස ගණන් තොරතුරු ඔස්සේ හඹායෑම් කරනවා.

මේ වර්ෂයේදී මෙතෙක් මහා පරිමාණ හෙරොයින් ජාවාරම් දෙකක් කොටු කරගැනීමට සමත් වුණා. එකක් පසුගිය පස් වැනිදා හෙරොයින් කිලෝ 231. අනෙක් ජූලි හත් වැනිදා කළුබෝවිලදී සහ බත්තරමුල්ලේදී කොටු කරගත් කිලෝ 103.

සියලු ආරක්ෂක අංශ එක්ව මේ වර්ෂයේ මෙතෙක් කළ වැටලීම්වලදී හෙරොයින් කිලෝ 430කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරුවන් 37304 දෙනෙක් සමඟිනි. එම හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන පන්දහස් එකසිය හැටහයකට අධිකය.

විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම නිසා 2008 සිට මහාධිකරණ විසින් 96 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ අතර කාන්තාවෝ අට දෙනෙක් වෙති. 275 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ.

බේරුවලදී මුහුදේදී අත්අඩංගුවට ගැනුණු දෙවැනි විශාලතම හෙරොයින් තොගයට පෙර 2013.08.30 දින හෙරොයින් කිලෝ 261ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගුව එක්ව ඔරුගොඩවත්ත කන්ටේනර් බහාලුම් අංගණයකදී සැකකරුවන් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත්තේය. ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය එයය. ඊට අමතරව 2017.05.11 දින පුත්තලම නියෝජ්‍ය පොලිස්පති යටතේ විශේෂ කණ්ඩායමක් විසින් පුත්තලමේදී හෙරොයින් කිලෝ 211ක්ද, 2016.04.11 මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කිලෝ 111ක් සහ පසුගිය ජූලි 07 වැනිදා කළුබෝවිල සහ බත්තරමුල්ලේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කිලෝ 103ක්ද අත්අඩංගුවට ගැනිණි. මෙරටදී විශාලතම හෙරොයින් තොග අත්අඩංගුවට ගැනුණේ එලෙසිනි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බළකාය ද මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමෙහිලා සුවිසල් කාර්යභාරයක් කරමින් සිටී. අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ විශ්ලේෂණය කරන එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ආයතනය වන යූඑන්ඕඩීසී ආයතනය සමඟද කටයුතු කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ මත්ද්‍රව්‍ය නිවාරණයේලා අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකු අපට කීවේ මෙවන් කතාවකි.

“අපේ රටට වැඩිපුරම බලපෑමක් වෙලා තියෙන්නෙ හෙරොයින්වලින්. වැඩිපුරම මත්ද්‍රව්‍ය භාවිතය ව්‍යාප්ත වෙලා තියෙන්නෙ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවයි. විශේෂයෙන්ම කොළඹ නගරය ගත්තොත් කොළොන්නාව, දෙමටගොඩ, මාලිගාවත්ත, මරදාන, ‍කොටහේන, කොම්පඤ්ඤ වීදිය, පෑලියගොඩ ආදි බොහෝ ප්‍රදේශවල වතු ආශ්‍රිතව ව්‍යාප්තිය වැඩියි. හෙරොයින් පාවිච්චිය අපහසු නිසා සල්ලි තියෙන මිනිස්සු භාවිත කරන්නෙ මිල අධික කොකේන් වැනි මත්ද්‍රව්‍ය. අද වන විට ළමා පරපුර ඉලක්ක කරගෙන මේ ජාවාරම්කරුවන් ව්‍යාප්ත කරන්නෙ ෆාමසිකල් ඩ්‍රග්ස්.

මේ සියලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිව අපේ නිලධාරීන් දිවා රෑ නොබලා මෙහෙයුම් සිදු කරනවා. ලැබෙන විවිධාකාරයේ තොරතුරු ඔස්සේ ගොස් වැටලීම් කරනවා. ඒ සඳහා අපි නොයෙක් උපක්‍රම භාවිත කරනවා. වතුවලට ඇතුළු වෙලා කුඩු තිප්පොළවල් වටලන්න යනකොටම ඇතැම් අවස්ථාවල ජාවාරම්කරුවන්ට ඔත්තුව යනවා.

සමහර වතු තියෙනවා සියයට අනූනවයක්ම අම්මයි තාත්තයි දෙන්නම කුඩු බොනවා. ඒ පවුල්වල දරුවෝ ඉපදිච්ච දවසේ ඉඳන්ම දකින්නෙ කුඩුයි, නඩුයි. එලෙස කුඩු බොන අයව අපේ නිලධාරීන් නිල ඇඳුමෙන් ගොස් අල්ලාගෙන එනවාමයි. එතැනදී අපි අත්අඩංගුවට ගන්නා කුඩු ප්‍රමාණය ලොකුද පොඩිද කියා බලන්නෙ නෑ. මොකද එහෙම ‍නොවුණොත් අර දරුවෝ දන්නෙ නැහැ අම්මයි තාත්තයි කරන්නෙ වැරැද්දක් කියා. අඩුම තරමේ අනාගතයේ දරුවන් හෝ මත් රකුසාගෙන් ගලවා ගැනීමටයි අපේ නිලධාරීන් ඒ දේවල් කරන්නෙ.“

හෙරොයින් වැඩිම ප්‍රමාණයක් රට තුළට ගලා එන්නෙ මුහුදු මාර්ගයෙනි. එලෙස රට තුළට පැමිණෙන මත්ද්‍රව්‍යවලින් වැඩි කොටසක් නැවතත් රටින් බැහැර යන බවටද සැලවේ. වත්මනෙහි ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකටව තිබේ. බේරුවලදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයද ප්‍රතිඅපනයනයට ‍රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් ලෙසට පරීක්ෂණ කණ්ඩායම් සැක කරයි.

හෙරොයින් නිපදවන ප්‍රධානම රට ඇෆ්ගනිස්තානයයි. ඊට අමතරව බුරුමය, මියන්මාරය සහ ලාඕසය අතර පිහිටි ගෝල්ඩන් ට්රෑන්ගල් හෙවත් රන් ත්‍රිකෝණය නමින් හඳුන්වන කැලෑබද ප්‍රදේශයේද විශාල ලෙස හෙරොයින් නිපදවන බවට යූඑන්ඕඩීසිය හඳුනාගෙන තිබේ. ඇෆ්ගනිස්තානයේ පමණක් එක් කන්නයකට ටොන් හත්දහසක් පමණ හෙරොයින් නිපදවන බවත් එම ප්‍රමාණය ලොව පුරා මාර්ග තුනක් ඔස්සෙ බෙදා හරින බවද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිවරයා අපට හෙළි කළේය.

“නදන් රූට්, බෝල්කන් රූට් නමැති මාර්ග දෙකම ගොඩබිම් මාර්ග. සදර්න් රූට් කියන මුහුදු මාර්ගයෙ තමයි අපේ රටත් පිහිටා තිබෙන්නෙ. ජාවාරම්කරුවන්ගේ ප්‍රධානම මත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ගය මෙයයි. ඒ බව සනාථ කරන්නෙ යූඑන්ඕඩිසිය. ජාවාරම්කරුවන් කරන්නෙ පාකිස්තානයේ සිට ටෝලර්, බහුදින වැනි විශාල යාත්‍රාවලින් ගෙනැවිත් ජාත්‍යන්තර මුහුදේදී කුඩා ධීවර යාත්‍රාවලට පටවනවා. එම යාත්‍රාවලින් අපේ රටට ගෙනැවිත් නැවතත් මෙරට සිට කන්ටේනර්වලට පටවා පිටරටවලට යවනවා. ලංකාවට ගෙන ඒමෙන් ජාවාරම්කරුවන් වාසි කීපයක් ලබා ගන්නවා. එකක් මෙරට තුළ මත්ද්‍රව්‍ය නිපදවීමක් නැති නිසා අවධානය අඩුකම. අනෙක මෙරටින් යුරෝපය වැනි රටවලට යන රෙදිපිළි කන්ටේනර්වල බහා මත්කුඩු යැවීමට හැකි වීම.

මේ මුහුද මැද සිදු වන මත්ද්‍රව්‍ය ගනුදෙනුවේදී පාකිස්තාන ජාතිකයන් සූක්ෂම දෙයක් කරන බවට වාර්තා වෙනවා. ඒ ගැඹුරු මුහුදේ ගනුදෙනුව අවසන් වන තෙක් ඊට මෙරටින් සම්බන්ධ වන අයෙකුගේ ඥාතියෙක් හෝ ළඟම හිතවතෙක් පාකිස්ථානයට ගෙන්වා ගැනීම. ගනුදෙනුව නිසි පරිදි සිදුවී පාකිස්තාන ජාවාරම්කරුවන්ට මුදල් ලැබෙන තෙක්ම ඒ පුද්ගලයා ජාවාරම්කරුවන් භාරයේ පසුවෙනවා. අපි මේ සියලු දේවල් අනාවරණය කරගෙන තියෙන්නෙ.“

අප රට මත්ද්‍රව්‍ය භාවිතය අතින් දකුණු ආසියාවේ සෙසු රටවල් හා සසඳන කල හොඳ තත්ත්වයක පසුවේ. එහෙත් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට බලපා තිබෙන ප්‍රධානම අඩුවක් වී තිබෙන්නේ නීතිමය ප්‍රතිපාදනවල ලිහිල් බවයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැරැදිකරුවන්ට දඬුවම් දීමට සේම දූෂිත නිලධාරින්ට දඬුවම් පැමිණවීම වෙනුවෙන්ද නීතිරීති තර කළ යුතු බව මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට කැපව සිටින නිලධාරින්ගේ මතයයි.

රට වටා තිබෙන සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින නාවික හමුදාව සැම විටම රට තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීම වෙනුවෙන් කැපවී සිටී.

මෙරටට බොහෝ සේ මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධානම මාර්ගයක් ලෙස ජාවාරම්කරුවන් විසින් යොදා ගනු ලබන්නෙ මුහුදු මාර්ගයයි. එලෙස සාගරය තුළදී පසුගිය සමයේ අවස්ථා කීපයකදීම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිදු කළ වැටලීම් පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර අපට මෙසේ කීවේය.

“නාවික හමුදාව ලෙස අප විසිහතර පැයේම සාගරය ආශ්‍රිතව මුර සංචාර‍වල යෙදෙනවා. එහිදී අපි මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම වෙනුවෙන් සූක්ෂ්ම ආකාරයෙන් මෙහෙයුම් සිදු කරනවා. එහෙත් රට වටේම මුහුදේ තිබෙන දහස් ගණනක් වන සියලු යාත්‍රා පරීක්ෂා කිරීම ප්‍රායෝගික නැහැ. නමුත් සැකයක් සහ ඔත්තුවක් ලැබුණොත් නම් ක්ෂණිකවම ක්‍රියාත්මක වෙනවා. රටින් අනවශ්‍ය දේ පිටවීම වැළැක්වීමත්, රට තුළට අනවශ්‍ය දේ පැමිණීම වැළැක්වීමත් තමයි අපේ ප්‍රධානම වගකීම. එහිදී වෙරළ තීරයේදී වගේම සාගරයේදීත් අපේ වැටලීම් සිදු වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටු කරගැනීම ආදි ලෙස අප කරන මෙහෙයුම්වල සියලු තොරතුරු ප්‍රසිද්ධියේ කතා කරන්න බැහැ. ඒ වගේම මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවද කාර්යභාරයක් සිදුකරනවා“

විදේශවල නිෂ්පාදිත මත්ද්‍රව්‍ය ගුවන් මඟින් ද රට තුළට පැමිණේ. එම මාර්ගය අවහිර කිරීම වෙනුවෙන් කැපවී සිටින්නේ ශ්‍රී ලංකා රේගුවයි. 2013 වර්ෂයේදී මෙරට මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකුගේ සියලු තතු අනාවරණය වූයේ රේගු නිලධාරීන්ගේ දැඩි පරික්ෂාව නිසාය. මොරටුවේ වසන්ත නමැත්තෙකු ව්‍යාපාර මුවාවෙන් මහා පරිමාණයෙන් පාකිස්තනයේ සිට මත්ද්‍රව්‍ය ගෙනැවිත් ප්‍රතිඅපනයනය කළ බව හෙළි වන්නේ ලයිබිරියන් ජාතික හර්බට් කූපර් නමැත්තෙකු ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් මාර්ගයෙන් උගන්ඩාව බලා යෑමට තැත් කිරීමේදීය. එහිදී ඔහුගේ එක් ගමන් මල්ලක තිබී හෙරොයින් කිලෝ 30ක් හසුවිණි. එම හෙරොයින් වසන්තගේ බව ඔහු අනාවරණය කළේය.

එසේ මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම සේම මෙරටින් බැහැරට යෑම වැළැක්වීම වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ 24 පැයේම ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සේවයෙහි යෙදේ. රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. එච්. පී. කුමාරසිරි මහතා තම කාර්යභාරය ගැන මෙලෙස අදහස් දැක්වීය.

“මත්ද්‍රව්‍ය පාලනයේදී අපේ ප්‍රධානම අවධානය ‍ගුවන් ‍තොටුපළෙන් යන එන මඟින් කෙරෙහි යොමු වෙන්නෙ. ඊට අමතරව කුරියර් සර්විස්, මධ්‍යම තැපැල් හුවමාරුවෙන් එන පාර්සල් ගැන, ට්‍රයිකෝ සර්විස් සහ කන්ටේනර් ගැන අවධානයට ලක්වෙනවා. සියලුම මඟීන් පරීක්ෂා කිරීමට නොහැකි වුණත් ලැබෙන හෝඩුවාවන් සහ අපේ නිලධාරීන්ගේ පළපුරුද්ද මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදු වෙනවා. එහිදී අපේ දැඩි අවධානය යොමු වෙනවා රටකින් රටකට ගොස් එන මඟීන් ගැන. ඒ වගේම නාවික යාත්‍රාවලින් එන මඟින් ගැන වගේම කාර්ය මණ්ඩල ගැනත් අපි සෝදිසියෙන් සිටින්නෙ. මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීම වෙනුවෙන් ලෝක රේගු සංවිධානයේත් සහාය අප ලබාගන්නවා. තොරතුරු හුවමාරු කරගන්නවා. ඉදිරියේදී යූඑන්ඕඩීසී කාර්යාලයක් මෙරට පිහිටුවා සාක් කලාපයේ රටවල් අතර ක්ෂණික තොරතුරු හුවමාරු වැඩසටහනක්ද දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය වැටලීමට අපිට අත්‍යවශ්‍ය සුනඛ අංශයක් ස්ථාපිත කිරීමට නුදුරේදීම කටයුතු කරමින් සිටින්නේ. ඊට අවැසි සහාය ලබාදීමට රටවල් රැසක්ම මේ වන විටත් ඉදිරිපත් වී සිටිනවා.

සියලු අංශ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සෑම පැත්තකින්ම වැට කඩුලු තර කරද්දී හෙරොයින් ග්‍රරෑම් දෙකක් ළඟ තබාගෙන හසුවුවහොත් අධිකරණයෙන් හිමිවන දඬුවම එල්ලුම් ගසය. ඒත් ජාවාරම් කාරයෝ දිවි පරදුවට තබා මේ අශිෂ්ට ජාවාරමේ යෙදී සිටිති.

 

Comments