හුදෙකලා සිද්ධියක් අරගෙන ජාතික ආරක්ෂාව ගැන බිල්ලන් මවන්න එපා | සිළුමිණ

හුදෙකලා සිද්ධියක් අරගෙන ජාතික ආරක්ෂාව ගැන බිල්ලන් මවන්න එපා

සේයාරූ - විමල් කරුණාතිලක

"තිස් වසරක යුද්ධය නිමා කර රටේ සාමය උදා කිරීමට අපේ හමුදාවෝ සමත් වූහ. එසේ වුවත් මීට ටික කලකට පෙර යාපනයේදී මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා ඝාතනය කරන ලද්දේ හිටපු එල්ටීටීඊ ක්‍රියාකාරිකයකු බව පසුව දැන ගන්නට ලැබිණි. එය කලකට යටපත් වුවද පසුගිය සතියේ මඩකලපුව වව්නතිව් පොලිස් මුරපොළක සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ඔවුන්ගේ ගිනි අවිද පැහැර ගෙන ගොස් තිබිණි. මේ ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට යම් තර්ජනයක් එල්ල කරනු ඇතැයි ඇතැමුන්ගේ මතය වී ඇත. මේ සිදුවීම් හා උතුරේ වත්මන් ක්‍රියාකාරකම් සම්බන්ධව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ"

ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගෙන ජනතාවට සාමය උදා කළත් උතුරේ ඇතැම් පිරිස් හමුදාව සම්බන්ධව පැහැදීමක් නැති බව පේනවා. තවත් පිරිසක් වැඩියෙන් හමුදාවේ උදවු පතනවා. මේ වෙනසට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක් ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ලංකාවේ යුද වාතාවරණය පැවැති ප්‍රදේශ වෙන් වශයෙන් සලකා බැලිය යුතු වනවා. එයින් ප්‍රධානම කොටස් දෙක වන්නේ උතුරු හා නැඟෙනහිරයි. නැඟෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් පිරිස සම ලෙසින්, ඒ කියන්නේ එක් ජන වර්ගයක් 33%ක් පමණ ඉන්නවා.

උතුරේ එහෙම නෙමෙයි එයත් ප්‍රධාන ලෙස ප්‍රදේශ වශයෙන් 4ක් ලෙසින් හඳුන්වා දිය යුතු වනවා. එයින් පළමුවැන්න යාපනය අර්ධද්වීපය. දෙවැන්න මුලතිව්, තුන්වැන්න කිලිනොච්චි, සිවුවැන්න වන්නි ප්‍රදේශය.

වන්නි අයත් වවුනියාව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම ජීවත් වන රජරටට ආසන්නම ප්‍රදේශයක්. නමුත් කිලිනොච්චි හා මුලතිව් බහුතරයක්ම දෙමළ ජනතාව. යාපනයත් බහුතරය දෙමළ. එසේ වුණත් යාපනය හා මුලතිව් - කිලිනොච්චි හා සසඳන විට එකම තලයේ තබා සලකන්න බැහැ.

යාපනය ත්‍රස්තවාදීන්ගෙන් අපි මුදා ගත්තෙ 1996 අවුරුද්දෙ රිවිරැස මෙහෙයුමෙන්. එදා සිට අද දක්වා අවුරුදු 22ක් ඒ අය යුද, නාවික, ගුවන් හමුදා සමඟ ඉන්නවා. ඒ ජනතාවගේ සිතට කාවද්දල තිබුණු සිංහල ජනතාව සම්බන්ධ වැරැදි චිත්‍රය ඉවත් වෙලා තියෙන්නෙ.

එහෙත් අපි මුලතිව් - කිලිනොච්චි මුදා ගත්තෙ 2008 -2009 අවුරුද්දෙ ඒ ජනතාව හමුදාව සමඟ සබඳතාවට තාම අවුරුදු 10ක්වත් ගත වී නැහැ. එම නිසා යාපනයේ හා මුලතිව් - කිලිනොච්චි ප්‍රදේශවල ජනතාව සම්බන්ධව දෙවිදිහකටයි අප කටයුතු කළ යුත්තේ. මුලතිව් - කිලිනොච්චි ජනතාවත් තවත් අවුරුදු 10ක් පමණ ගත වන විට යාපනයේ ජනතාවගේ අවබෝධයට පැමිණේවි.

ඒ ජනතාවගේ අදහස් දැන ගන්නේ කුමනාකාරයෙන්ද?

අද උතුරේ හමුදා හැරුණු කොට විනෝද චාරිකා පිණිස සහ වන්දනා පිණිස යන සිංහල පිරිස් පමණයි දැක ගත හැක්කේ. හමුදා නිලධාරීන් වරින් වර එම කඳවුරුවලින් ඉවත් වීම් සිදු වන නමුත් බොහෝ විට සොල්දාදුවන් වසර 22ක්ම උතුරු ප්‍රදේශයේම සේවය කරනවා. එම නිසා මම සොල්දාදුවන්ට ‘දකුණ සහ සිංහල ජනතාව නියෝජනය කරන්නේ ඔබ’ යන්න පහදා දී තිබෙනවා. ඔවුන් මඟින් තමයි හමුදාවේ විනය හමුදාවේ කැපවීම හමුදා සේවය යන මේ කරුණු ජනතාවට යන්නේ.

යුද මානසිකත්වය නැති කර, ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විස්තර කළොත්....

ජාතිය ගොඩ නැගීම තමයි එයට කළ යුතු එකම පිළියම. ඒ සඳහා හමුදාව ඇප කැප වී කටයුතු කරනවා.

උතුරේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් අවශ්‍යයි. යුද්ධය අවසන් වුවත් මේ ප්‍රශ්නය විසඳී නැති බව මා කිව්වොත්....

මේ රටේ පැවැති යුද්ධය දේශපාලන ප්‍රශ්නයක් මිස යුදමය ප්‍රශ්නයක් නෙමෙයිනෙ. ඉඩමක් බේරගන්න තිබුණු ප්‍රශ්නයක් නෙමෙයිනෙ. මේ ගැටුමට මුල්වෙච්ච හේතුවක් තියෙනවා. ඒකට දේශපාලනික වශයෙන් උත්තරයක් දෙන්න ඕන.

ඒක නොලැබීමයි මේ දක්වා තියෙන ගැටලුව. යුද හමුදාවට බැහැ එයට පිළිතුරු දෙන්න. උදාහරණයක් වශයෙන් එය ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් වන්නට පුළුවන්. නැත්නම් වෙනත් ගිවිසුම් වන්නට පුළුවන්.

යුද හමුදාවට මේ ජනතාවට නිවාස, ජලය ලබා දෙන්න හැකියාවක් නැහැ. නමුත් අපි සතු සම්පත් භාවිතා කරලා පුළුවන් උපරිම විදිහට ඒ අයට අවශ්‍ය කටයුතු කරලා දෙනවා. උතුරේ ජනතාව දන්නවා ඕනෑම කාර්යයක් සඳහා වැඩිම හැකියාවක් ඇත්තේ යුද හමුදාවට බව.

එහෙත් සංග්‍රාමික වශයෙන් ලබාගත් සිවිල් ජනතාවට අයත් ඉඩම් තවමත් හමුදාව සතුව තිබෙනවා. මේ ඉඩම් දෙසැම්බර් මස නිම වෙන්නට පෙර ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

මේ වන විට උතුරේ හමුදා පරිහරණයට ලබාගෙන තිබූ, සිවිල් ජනතාවට අයත් ඉඩම්වලින් සියයට 90කටත් අධික ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. තවත් අක්කර 269ක් පමණ අපි දෙසැම්බර් 25 වැනිදා බාර දෙනවා.

එසේ වුවත් ඇතැම් භූමිවලින් හමුදාවට ඉවත් වන්න බැරි තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම පලාලි ගුවන්තොටුපොළ හා කන්කසන්තුරේ වරාය පරිශ්‍රයන්ට අයත් භූමි නිදහස් කිරීම කරන්න බැහැ.

ඒ සඳහා එම ජනතාවට විකල්ප භූමි ලබා දීමට කටයුතු කරනවා. කොහොම වුණත් යුද හමුදාව සතුව තිබෙන්නේ අක්කර 2000ක පමණ වූ භූමි ප්‍රදේශයක් පමණයි. විශේෂයෙන්ම පලාලි ගුවන්තොටුපොළ ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසින් දියුණු කිරීමට කටයුතු යොදා තිබෙන්නේ.

උතුරේ ජනතාවට යුද හමුදාවේ සේවා සැපයීමට ඇතැම් දේශපාලනඥයන් බාධා කරනවා නේද?

පොදු වශයෙන් ගත්තොත් දේශපාලන බාධා නැහැ. නමුත් ප්‍රාදේශීය දේශපාලකයන් යම් අකුල් හෙළීම් කරනවා. ඒ ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතා උදෙසා. නමුත් අප ඒ දිහා බලන්නේ නැහැ.

ජනතාවට සිදු කරනු ලබන 60%කටත් වැඩි බහුතර සේවා කරන්නේ දකුණේ විවිධ සිවිල් සංවිධාන බෞද්ධ භික්ෂූන් වහන්සේ අන්‍ය ආගමික නායකයන්ගේ මෙහෙයවීමෙන්. ඒ නිසා අපේ කාර්යයන් අප කරගෙන යනවා මිස කිසිවකුගේ පෞද්ගලික දේශපාලනය හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර අපට වැඩක් නැහැ.

රාජ්‍ය මට්ටමින් ලැබෙන සහාය කුමනාකාරයෙන්ද?

ජනාධිපතිවරයා විසින් මෑතකදී උතුරු හා නැඟෙනහිරට කාර්යසාධක බළකායක් පිහිටුවා තිබෙනවා. උතුරු හා නැඟෙනහිරට වෙන් වශයෙන් බළකා දෙකක් පත් කළා. ආණ්ඩුකාරයා එහි මුල්තැනට පත් කළා. දැන් ජනතා සේවාවට, කාර්යයන්ට පහසුයි. අවුරුදු 69ක් වන යුද හමුදාව දැන් තමයි සාමාන්‍ය ජනතාව සමඟ වැඩි වශයෙන් එකතු වන කාලය පැමිණ ඇත්තේ. විශ්වවිද්‍යාල මහාචාර්යවරයාගේ සිට යාචකයා දක්වා වන පිරිස් උදෙසා අප කටයුතු කරනවා.

ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න යම්කිසි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවද?

මේ ජනතාව එදා ගුවන් යානයක් දැක්කේ බෝම්බ දාන මිනීමරුවෙක් ලෙස. අද අපි පෙර පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා අවශ්‍ය අයට පලාලි ගුවන් තොටුපොළේ සංචාරයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම පාසලක කෝවිලක තියෙන ඕනම කටයුත්තකදී අපට දැනුම් දී අවශ්‍ය සහාය ලබා ගන්න ඒ අය පුරුදු වෙලා ඉන්නෙ. හමුදාව කියන්නේ සියලු ජාතීන්ට සමව සලකන පිරිසක් බව ඒ අයට පසක් කරලා තියෙන්නේ.

මේ ජනතාවට අවශ්‍ය කරන පොහොර ටික ලබා ගන්න, පාසල දරුවන්ට පාපැදි පොත් පත් ඇතුළු පාසල් උපකරණ මේ බොහෝ දේ ලබා දෙන්න අප කටයුතු කර තිබෙනවා. අපේ කඳවුරු ඒ ජනතාව වෙනුවෙන් විවෘත කරලා තියෙන්නේ. ලියුම් ලියලා මාස ගණන් බලාගෙන ඉන්න ඕන නැහැ. පාරේ යන සොල්දාදුවෙකුට අවශ්‍යතාව කිව්වත් ඒ ඇති.

පසුගියදා මඩකලපුවේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් දකුණේ ජනතාව අතර දැඩි භීතියක් ඇති වූ බවක් පෙනෙනවා?

පළමුව පැවසිය යුතුයි ඝාතනය වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු කල්මුණේ පදිංචි දෙමළ ජාතික පොලිස් නිලධාරියෙක් බව. ආරක්ෂාවට තර්ජනයක් කියන වචනය මෙතැනට කිසිසේත්ම සුදුසු නැහැ. එතැන තිබිය යුතුම දේ තමයි ‘අවධානය’ කියන ආකල්පය.

අවධානය නිසි පරිදි නොතිබුණොත් එය ඉදිරි කාලයේ යම් තර්ජනයක් දක්වා පවා වර්ධනය වන්නට පුළුවන්.

මේ ඝාතන සිදුවීම සම්බන්ධව හමුදා බුද්ධි අංශ හෝ වෙන තොරතුරු ඔස්සේ ඔබ දැනුවත් වී තිබෙනවාද?

ඒ සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් සිදු කෙරෙනවා. කොහොම වුණත් මා දන්නා පරිදි සිද්ධිය වී ඇත්තේ මහා විරු සැමරුම් කාල සීමාවේදීයි.

ඒ පොලිස් මාර්ග බාධකයට නුදුරින් ඇති සොහොනේ මියගිය ත්‍රස්තවාදීන් සැමරුමට සොහාන් කොත් සෑදීමට ගත් උත්සාහය පොලිසිය මැදිහත් වී අධිකරණය මඟින් නවත්වා තිබෙනවා. එසේම මේ මාර්ග බාධකය වැලි ජාවාරම්කරුවන්ට සහ හොර හරක් වෙළෙඳාමේ යෙදෙන්නන් විශාල බාධාවක්. එම නිසා අදාළ පිරිස්වලට තිබු මේ බාධාව ඉවත් කර ගැනීමට දැරූ උත්සාහයක් ලෙසයි පෙනී යන්නේ. කෙසේ වෙතත් මෙය මා මුලින් පැවසූ පරිදි අවධානයට ඉතාම හොඳ සාධකයක්.

විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේම බුද්ධි අංශ හා පොලිසියේ බුද්ධි අංශ එක්ව කටයුතු කළ යුතු බව මා අවධාරණය කරනවා. යුද හමුදාවේ සියලු බුද්ධි අංශ සීරුවෙන් සිටින බවත් මා මෙහිදී පැවසිය යුතුයි.

මේ ඝාතනයට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු කොටි සාමාජිකයන් දෙදෙනෙක්. මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට ඔබට සහතික විය හැකිද?

ජාතික ආරක්ෂාව කියන්නේ විශාල පරාසයක් පුරා විහිදී යන්නක්. අපි එතරම් දුර යා යුතු නැහැ. යුද්ධයෙන් පසුව කිසිදු ආකාරයක වෙඩිල්ලක් පත්තු නොවූ බවට එදා මා පැවසු සාධකයේ මා අදත් ඉන්නවා. අප යළිත් 83 වසරට හෝ 88-89 වසරවලට හෝ යා යුතු නැහැ.

අප අවධාරණය කරගත යුතුයි පුනරුත්ථාපනය නොවූ ත්‍රස්තවාදීන් රැසක් තවමත් සමාජයේ සිටිනා බවට. විවිධ මැර කණ්ඩායම් උතුරේ පමණක් නොව දකුණේත් විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටිනවා.

උතුරේ එවන් සිදුවීම් ඇති වීම සුළුවෙන් තැකීමට නොහැකියි නේද?

මා අවධාරණය කරනවා නැවත යුද්ධයකට යෑමට හමුදාව ඉඩ තබා නැහැ. ඕනෑම ක්‍රියාකාරකමකට මෘදු ක්‍රමය හා දැඩි ක්‍රමය යන ක්‍රම දෙකක් තිබෙනවා. අපි හැම විටම මෘදු ක්‍රමය භාවිත කරන්නේ. දැඩි ක්‍රමය භාවිත කළොත් ජනතාවටත් කරදර බාධක ඇති වනවා.

එල්ටීටීඊ කියන්නේ දරුණුම ගරිල්ලා සංවිධානයක්. ඒ සංවිධානය මර්දනය කළ යුද හමුදාවට මෙවැනි සිදුවීම් සම්බන්ධව අවධානයක් යොමු වී නැත්ද?

පසුගිය දිනක ඕස්ට්‍රේලියාවේදී මා ද සම්බන්ධ වූ සමුළුවකදී විදේශීය දේශකයෙක් පැවසුවා, රජයේ හමුදාවක් සමඟ සටන් කර තම අභිමථාර්ථයන් ඉටු කරගත නොහැකි බව සන්නන්දධ ත්‍රස්තවාදී කල්ලි තේරුම්ගත යුතුයි කියා. ඒ සඳහා ඔහු උදාහරණයක් ලෙස ලබා දුන්නේ දරුණුම ගරිල්ලා සංවිධානයක් වන එල්ටීටීඊය මර්දනය කරන්නට අපි සමත් වූ බව පෙන්වමින්. අපේ අවධානය තිබෙනවා. නමුත් මේ වන විට සිවිල් පරිපාලනය ස්ථාපිත වී තිබෙන හෙයින් පොලිසිය තමයි ජනතාව සමඟ කටයුතු කරන්නේ.

නන්දිකඩාල්හි 650ක් සිටි හමුදා කඳවුරක් ඉවත් කර එතැන 150කගෙන් පමණ සමන්විත කාන්තා බළකායක් යොදා තිබීමෙන් ආරක්ෂාවේ අඩු වීමක් තිබෙනවා නේද?

අපි මේ අවස්ථාවේ කටයුතු කළ යුතු වන්නේ මූලස්ථාන ශක්තිමත් කිරීමටද? නැත්නම් ක්ෂේත්‍ර රාජකාරි වැඩියෙන් සිදු කිරීමටද යන්න ගැනයි මෙහිදී සිතිය යුත්තේ. ක්ෂේත්‍ර රාජකාරි වැඩියෙන් සිදු කිරීමට භට පිරිස් යොදවා තිබෙනවා. උදාහරණයක් හැටියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව වන සම්පත් සුරකින්න කාන්තා බළකා යවන්න බැහැ. නමුත් කඳවුරේ ඒ අය ස්ථාපිත කරන්න පුළුවන්. වෙනස් වීමට අකැමැති පිරිස් කොතැනත් සිටිනවා.

මෙතැනදී කඳවුරේ සිටි යුද හමුදා පිරිස අඩු වීමක් ගැන කතා කළත් අලුතින් ඉදි වූ පොලිස් ස්ථාන ගැන අවධානයක් යොමු වී නැහැ. එමෙන්ම අලුතින් ඉදි කළ නාවික හමුදා කඳවුරු ගණන කොපමණද?

ඉතිහාසයේ කිසිදු දිනක ඉරණමඩු ගුවන් පථයක් තිබුණාද? දැන් ගුවන් හමුදාව එහි ගුවන් ගමන් පථයක් ස්ථාපිත කර තිබෙනවා. මුලතිව් අලුතින් ගුවන් ධාවන පථයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ කියන්නේ අඩුම වශයෙන් ගුවන් හමුදාවේ 1000කගෙන් පමණ සමන්විත කඳවුරක් එහි අලුතින් ස්ථාපිත කර ඇත්තේ. ජනතාවගේ ඉඩම් ලබා දීමේදී අපේ කඳවුරු යම් කිසි ආකාරයකට භූමිය වශයෙක් සංකෝචනය වන්න පුළුවන්. සංග්‍රාමික අවශ්‍යතාව එකක්. වත්මන් අවශ්‍යතාව එකක්. අපියි දන්නෙ ආරක්ෂාව ස්ථාපිත කළ යුත්තේ කෙසේද යන්න ගැන.

යාපනයේදී මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු ඝාතනය වුණා. යාපනය සරසවියේ සිංහල සිසුන්ට පහර දුන්නා. මේ සිදුවීම් සුළුකොට තකන්න බැහැ නේද?

විශ්වවිද්‍යාල අරගල නම් නිරතුරුවම සිදුවනවා. ඒ අයට ලෝකයේ හොඳම ගොඩනැගිල්ල හදලා දුන්නත් පාරේනෙ ඉන්නේ. ලෝකයේ හොඳම විෂය නිර්දේශය හදලා දුන්නත් හරි යන්න නැහැ. මහපොළ දෙගුණ කළත් මදි. මවුපියන්ගේ භාරයේ ඉඳලා නිදහස අසීන්මාන්තිකව ලැබුණහාම ඒ අය විවිධාකාර ක්‍රියාවන්ට පෙලඹෙනවා. කොහොම වුණත් කලා අංශයේ උපාධිධාරීන්ට උපාධියට සරිලන රැකියා අවස්ථා ලබාදීමේ ක්‍රියාවලියක් නැහැ. ඒකට විසඳුමක් නැතිව මේ ගැන කතා කිරීමෙන් පලක් නැහැ. කෙසේ වෙතත් මා යළිත් අවධාරණය කරනවා උතුරේ ආරක්ෂාව දකුණට වඩා හොඳයි කියා. ලංකාවේ ජනගහනය මිලියන 22යි. පවුල් මිලියන 5යි. මේ පිරිසට ජීවත් වීමට සරිලන නිසි ක්‍රමවේදයක් තිබුණා නම් මේ ගැටලු බහුතරයක් නිමා වේවි.

එසේ වුණත් පසුගියදා මහනුවර අනුනාහිමි නමක් හමුවට ගිය දේශපාලනඥයකුට උන් වහන්සේ දැඩි ආවේගයකින් පැවසුවා දොරේ අප්පා ඝාතනයෙන් සුළුවෙන් ආරම්භ වූ සිදුවීම අවසානයේ මහා යුද්ධයක් ඇති කළ බවට. මේ එහි පෙර නිමිත්තක් ලෙස අප සැලකිය යුතු නැත්ද?

මා යළිත් ‘අවධානය’ යන වචනය භාවිත කරනවා. අපේ බුද්ධි අංශ දුර්වල වී අකර්මණ්‍ය වී ඇත්නම් එවන් ක්‍රියාදාමයකට මං පෑදෙන්න පුළුවන්. නමුත් මේ සුළු සිදුවීමක් අරගෙන අප ජාතික ආරක්ෂාව කියන මහා වපසරිය ගැන බිල්ලන් මවා ගත යුතු නැහැ. යුදු හමුදාව ඉතාම ශක්තිමත්. පොලිසියට සිවිල් පරිපාලනයට ඉඩ ලබා දී කඳවුරුවලට වී සිටිනවා. නමුත් ඕනෑම අවශ්‍යතාවකට අපි සූදානම්.

උතුරේ දේශපාලකයන්ගේ ඉල්ලීම මත මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට කටයුතු කරන බව දැන ගන්නට තියෙනවා.

ආරක්ෂක සේනා මූලස්ථාන 7ක් දිවයින පුරා ස්ථාපිතයි. ඒවා එකක්වත් එම ස්ථානවලින් ඉවත් කිරීමේ තීරණයක් ගෙන නැහැ. නමුත් ජනතා ඉඩම් නිදහස් කිරීම ආරක්ෂාවට බාධා නොවන අයුරින් සිදු කරනවා.

ඩයස්පෝරාව මේ අවස්ථාවේදී ප්‍රයෝජන ගන්න මාන බලනවා. ඒ තත්ත්වය වළක්වාගත යුත්තේ කෙසේද?

උතුරේ ජනතාවගේ අවශ්‍යතා ගැන සොයා බලා කටයුතු කළ යුතුයි. ඒ ජනතාවට ව්‍යවස්ථා අර්බුද වැඩක් නැහැ. ඒ 9 පාර හැදිලා. ඒත් ගම්වලට ගියහාම නිවාස දියුණු වෙලාද? පොහොර ටික වේලාවට ලැබුණද? සිමෙන්ති කම්හල වැඩද? උතුරේ ඇඟලුම් කම්හල් ක්‍රියාත්මකද? රැකියා ප්‍රශ්නය විසඳිලාද? මේ වගේ කරුණු කාරණාවලට විසඳුම් තමයි ඒ අයට අවශ්‍ය වන්නේ. ඒ පිළිතුරු නොලැබුණොත් ඩයස්පෝරාව ඒ අයට මුදල් ලබා දී විවිධ ක්‍රියාකාරකම් සඳහා ඒ අය යොදා ගන්නවා.

රටේ මතුව ඇති වර්තමාන දේශපාලන අර්බුදය තේරුම්ගන්නේ කෙසේද?

යුද හමුදාව නිත්‍ය විනය ගරුක හමුදාවක්. අපි ක්‍රියා කරන්නේ සේනාධිනායකගේ, ආරක්ෂක ලේකම්වරයාගේ හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි‍යාගේ නියෝග පරිදි පමණයි. එම ක්‍රියාදාමයේ කිසිදු වෙනසක් නැහැ.

යුද හමුදා නිලධාරීන්ට හෝ සෙසු නිලයන්ට දේශපාලනයක් නැහැ. ඔවුන්ට ඇති එකම දේශපාලනය මැතිවරණයට තැපැල් ඡන්දයෙන් හෝ මධ්‍යස්ථාන වෙත ගොස් තම මනාපය පළ කර රාත්‍රියේ රූපවානිහියෙන් ප්‍රතිඵල නැරැඹීම පමණයි.

පුරවැසියෙකු ලෙස මා දකින්නේ මතුව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව නීත්‍යනුකූලව විසඳාගත යුතු ප්‍රශ්නයක් බවයි. එසේ නැතිව මෙය යුද හමුදාවට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. රටේ සිටින බහුතර පක්ෂ නායකයන් මෙන්ම නියෝජිතයන් පරිණත දේශපාලනඥයන්නේ? ඒක ඔවුන් ඔවුන් විසඳාගත යුතු ප්‍රශ්නයක් නමුත් යම් විනාශකාරී ක්‍රියාවක් වෙනවා නම් රටේ නායකත්වය හමුදාවට යම් අණදීමක් සිදු කළ හොත් අපි ඒ සඳහා සූදානමින් ඉන්නෙ.

 

Comments