නෙට්බෝල් ක්‍රීඩාවට අදටත් තියෙන්නේ කුඩම්මාගේ සැලකිලි | සිළුමිණ

නෙට්බෝල් ක්‍රීඩාවට අදටත් තියෙන්නේ කුඩම්මාගේ සැලකිලි

මෙවර ජාතික ශූරතා නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ හැටන් නැෂනල් බැංකුවයි. අවසන් තරගයේ දී ඔවුන් අතින් පරාජයට පත් වූයේ ගුවන් හමුදා කණ්ඩායමයි.

ගයංජලි අමරවංශ සහ ගයනි දිසානායක හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට එකට ක්‍රීඩා කළ පළමුවතාව ද මෙය වීම විශේෂත්වයකි. මේ ගයංජලි සහ ගයනි සමඟ කතාබහකට ක්‍රීඩා වෙන් කළ ඉඩකඩයි.

 

නෙට්බෝල් ක්‍රීඩාව තෝර ගන්න විශේෂ හේතුවක් තිබුණද?

ගයංජලි

මගේ අක්කා තමයි ඉස්සෙල්ලා ම නෙට්බෝල් ක්‍රීඩා කළේ. අක්කා ක්‍රීඩා කරනවා දැකලා තමයි මටත් නෙට්බෝල් ක්‍රීඩාවට හිත ගියේ. පළමු වසරේ ඉඳලා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ග‍ියේ. තුන වසරේ තමයි නෙට්බෝල් ක්‍රීඩාවට යොමු වුණේ. එදා ඉඳලා ක්‍රීඩා කරනවා.

ගයනි

ඉස්සෙල්ලා ම කළේ මලල ක්‍රීඩා. අපේ ඉස්කෝලේ මිස් තමයි මගේ උස දැකලා නෙට්බෝල් ක්‍රීඩා කරන්න කතා කළේ. කාලයක් නෙට්බෝල් ක්‍රීඩාව කරගෙන යන කොට මට තේරුණා මෙයින් ලොකු තැනකට යන්න පුළුවන් කියලා.

මම ඉස්කෝල තුනකට ගියා. ඉස්සෙල්ලා ම මහනුවර ස්වර්ණමාලි. ඊට පස්සේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට සහ කොළඹ විශාඛා විද්‍යාලයට ගියා.

නෙට්බෝල් ක්‍රීඩාව සීරියස් කියලා දැනුණේ කොයි කාලයේ දී?

ගයංජලි

තුන වසරේ පටන් ගත්ත වෙලාවේදි ඉඳලා හැමදාම හොඳට පුහුණුවීම් කරගෙන ගියා. කවදාවත් හොරට කිසිම දෙයක් කළේ නෑ.

ඒ වගේම මම ක්‍රීඩා කරන විදිය දැකලා හැමෝම කියන්න ගත්තා මම හොඳට කරනවා කියලා. ඊට පස්සේ අපි පළාත් තරග ඉස්සෙල්ලා දිනුවේ 2006 පළමු වැනි වතාවට. ඒ ජයග්‍රහණයත් එක්ක ක්‍රීඩාවට ලොකු ආසාවක් ඇති වුණා. ඒ වගේම දිගට ම කරගෙන යන්නත් හිතුණේ.

ගයනි

මම කොහොමත් කැමැත්තෙන් තමයි ක්‍රීඩාව කරගෙන ගියේ. හැබැයි මම මහා ලොකුවට මේ ගැන හිතුවේ නෑ. ඒ මොනවා වුණත් 2009 ජාතික කණ්ඩායමට යාමට තේරුණා. එතකොට තමයි ජාතික කණ්ඩායම දකින්නෙත්. ජාතික සංචිතයට තේරුණාට පස්සේ තමයි මට ලොකු ආසාවක් ඇති වුණේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියලා.

 

මේ හැම දෙයක් එක්කම ගෙදරින් මොනවගේ තල්ලුවක් ද ලැබුණේ?

ගයංජලි

ගෙදරින් හොඳ සහයෝගයක් ලැබුණා. විභාගයට ලකුණු කීයක් හරි මදි වුණොත් මොකුත් කිව්වේ නෑ. ඒ විදියට ක්‍රීඩාවට පුදුම විදියට සහයෝගය දුන්නා. අපේ අම්මා හැම තරගයක් ම වගේ බලන්න ආවා. ඉස්කෝලේ කාලයේ පිට පළාත් තරග පවා බලන්න ආවා. ගාල්ල ද මාතර ද, අනුරාධපුරය ද කියලා බැලුවේ නෑ. පිටිපස්සෙන් ම ඉඳගෙන හොඳ සහයෝගයක් අම්මයි තාත්තයි දුන්නා. අපේ අම්මලා තමයි හොඳම සහයෝගය දුන්නේ.

ගයනි

මටත් ගෙදරින් තමයි උපරිම සහයෝගය දුන්නේ. අම්මයි - අප්පච්චියි පුළුවන් විදියට උපරිමයෙන් ම සහයෝගය දුන්නා. අධ්‍යාපන කටයුතු පාඩුවෙයි කියලා හිතුවේ නෑ.

මම කැමැති දේට යන්න අවස්ථාව දුන්නා. ගයාංජලිගේ අම්මයි - අ‍ෙප් අම්මයි නුවර නිසා අපේ හැම තරගයක් ම වගේ බලන්න ආවා. ගෙදරින් ලැබුණු සහ‍යෝගය නිසා තමයි අපි මේ තරම් දුර ඇවිත් ඉන්නේ. අපිටත් නෙට්බෝල් කියලා දෙන තරමට අම්මලා අපේ තරග බලලා තියෙනවා. දැනුමක් තියෙනවා.

 

දෙන්නම මහනුරින් කොළඹ එන්නේ නෙට්බෝල් ක්‍රීඩාව නිසාද?

ගයංජලි

කෙටියෙන් ම කියනවා නම් ඔව්.

ගයනි

මටත් ඒ කතාවම තමයි කියන්න තියෙන්නේ. 2009 - 10 දි තමයි කනිෂ්ඨ ජාතික කණ්ඩායමට තේරුණේ. ඒ එක්කම වගේ පාසලත් මාරු කරගෙන කොළඹට එනවා. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න තියෙන ආසාව නිසා තමයි හැම දෙයක් දාලා කොළඹ ආවේ.

 

2015 අවුරුද්ද ගයංජලිට සහ ගයනිට විශේෂ අවුරුද්දක් වෙනවා. මේක දැනුණේ කොහොමද?

ගයංජලි

අපි පොඩි කාලේ ගත්තොත් එක එක ඉස්කෝලවලට ක්‍රීඩා කළේ. අපි එකම වයසේ අය. ගයනි විශාඛා, මම උසස් බාලිකා. අපේ වයසේ හිටිය දුලංගී, තිසාලා වගේ අය විසිරිලා ක්‍රීඩා කළේ. 2015 දි තමයි අපි එකම සංචිතයකට කණ්ඩායමකට එකතු වුණේ.

අපිට ලොකු වුවමනාවක් තිබ්බා කනිෂ්ඨ ආසියානු තරගාවලිය දිනා ගන්න එක. අපි හැමෝම පළමු වතාවට තමයි එක තැනකට එකතු වුණේ. ඒ එකතුව නිසාම අපි හොඳට ක්‍රීඩා කරලා 2015 කනිෂ්ඨ ශූරතාව දිනා ගත්තා.

ගයනි

මම තමයි ඒ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වුණේ. ඇත්තට ම ගොඩක් විශේෂ දෙයක් වුණා මගේ නායකත්වය ය‍ටතේ මේ තරගාවලිය දිනා ගන්න පුළුවන් වුණා. ඒ අවුරුදු 13 කට පස්සේ.

මගේ නායකත්වයට කණ්ඩායමේ ඉතිරි 11 දෙනාම දුන්න සහයෝගය නිසා තමයි ඒ ශූරතාව දිනා ගත්තේ. ඒ කණ්ඩායමේ හැමෝගේ ම මහන්සිය, කැපවීම නිසා තමයි දිනුවේ. එදා ගයංජලිගේ උපන් දිනය. ඒකත් ගොඩක් විශේෂ දෙයක් වුණා. මගේ ජීවිතයෙත් වාසනාවන්ත ම දවසක් වුණා එදා.

විසිරිලා හිටපු අපි කාලයක් තිස්සේ හොඳට පුහුණුවීම් කරලා, එකම කණ්ඩායමකට ක්‍රීඩා කරලා ඒ අභියෝගය අපි සාර්ථක කර ගත්තා. කණ්ඩායම් හැඟීම හැම වෙලාවේ ම අපි ළඟ තිබ්බා. පුහුණුකාරිණිය තමරා මිස්, වෛද්‍ය දමින්ද, ඒ අයගේත් උත්සාහය සහ කැපවීම තමයි ‍ෙම් ජයග්‍රහණයේ රහස වුණේ.

 

එතැන ඉඳලා අපේ නෙට්බෝල් ක්‍රීඩාව වෙනස් වුණේ කොහොමද?

ගයංජලි

අපි ආසියානු තරගාවලියකට ගිහින් දිනනවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. පුදුම විදියට කැපවීමක් සහ එකමුතුවක් තියෙන්න ඕනෑ. ඒ ජයග්‍රහණයත් එක්ක ම අපිට හැමදාම දිනීමේ ආසාව ඇති වෙනවා. දිනපු කෙනෙකුට තමයි ඒ හැඟීම තියෙන්නේ.

ඒ වගේම හැමදාම දිනන්න ඕනෑ කියන හැඟීම අපේ හිත්වලට එනවා. තවතවත් පුහුණුවීම් බොරුවක් කරන්නේ නෑ. කැපවීමෙන් පුහුණුවීම් කරලා තමයි මේ අවුරුද්දේ ආසියානු ශූරතාවලියත් දිනුවේ. තිලකා මිස් තමයි ආසියානු තරගාවලියට යනකොට අපේ පුහුණුකාරිය වුණේ. දිනපු එක ඔළුවේ තියාගෙන වැඩ කරනකොට අපිට කවදාවත් අතහරින්න හිතෙන්නේ නෑ. ඊට පස්සේ ඒ සතුට තමයි අපි හැම වෙලාවෙ ම හොයන්නේ.

ගයනි

‍ෙම් ජයග්‍රහණයන් එක්ක ම අපිට ජයග්‍රහණය කියන දෙයට ආසාව ඇති වෙනවා. කාලයක් තිස්සේ ම අනුශූරියෝ. අවසන් තරගයට එනවා, හැබැයි ඒ තරගය පරදිනවා. කාලයක් තිස්සේ මේ අත්දැකීම ලබලා ජය ගත්තට පස්සේ ඉදිරියට තියෙන හැම තරගයක් ම ජය ගැනීමට තමයි බලන්නේ.

2015 කනිෂ්ඨ තරගාවලියේ අපි කලින් කතා වෙලා තිබුණා තරගයෙන් තරගය ඉදිරියට යන‍කොට කරන්න ඕන දේවල් මොනවාද කියලා. ඒ වගේම අපිට ලොකු විශ්වාසයක් තිබුණා ජය ගන්නවා කියලා. ඒ වගේම තමයි 2018 දී ආසියානු තරගාවලියේදීත් තිලකා මිස් අපට මුල ඉඳලම කිව්වේ ටීම් එකක් විදියට එකට ඉන්න එතකොට තමයි දිනන්න පුළුවන් කියලා. මේ හැම ජයග්‍රහණයකට ම අපිට ආසාව ඇති වුණේ 2015 ජයග්‍රහණය තමයි. ඊට පස්සේ ආපු කනිෂ්ඨ කණ්ඩායමට අපිට වඩා ගොඩක් පහසුකම් පවා ලබා දුන්නා. ජයග්‍රහණවලට යන කොට තමයි ඒ ගැන වුණත් කතාබහ වෙන්නේ.

 

බොරුවට පුහුණුවීම් කරන්නේ නැහැ කියලා කිව්වේ?

ගයංජලි

ඇත්තට ම එහෙම වෙන්නේ නෑ. සමහර වෙලාවට හුඟක් මහන්සි වෙලා ඉන්න කොට හිත එක තැනකදි කියනවා, දැන් ඇති බෑ කියලා. එතකොට ආයෙමත් මතක් වෙන්නේ මේ හැම දෙයක් ම කරන්නේ දිනන්න නේද කියලා හිතෙන කොට නම්, ඒ ගැම්මත් එක්ක කොහොම හරි මහන්සි වෙලා ඉතුරු ටිකත් කරනවා කියන තැන තමයි ඉන්නේ.

අපේ පුහුණුකාරියන් පවා හැම වෙලාවෙ ම කියන්නේ මහන්සිය දැනෙන වෙලාවල් වලදිත් ක්‍රීඩා කර ගෙන යන්න කියලා තමයි කියන්නේ. පුහුණුවීම්වල බොරු කළොත් තරගවලත් බොරු කරන්නේ කියන දේ හැමවෙලාවෙ ම අපේ හිත්වලට දැම්මා.

 

ගයනි

ඒ කතාවට සම්පූර්ණයෙන් ම එකඟයි. මේ පාර ආසියානු තරගාවලියේ තමයි ඒ දේ හොඳටෝම තේරුණේ. සමහර ව්‍යායාම මෙතැනින් එහාට නම් කරන්න බෑ කියන තැනට ම වැටුණු අවස්ථා තිබුණා. අපි හැම වෙලාවෙ ම උත්සහ කළේ මේ අසීරු කඩඉම පැනගෙන ඉදිරියට යන්න තමයි හැම වෙලාවේ ම බැලුවේ. ආසියානු තරගාවලියේ අවසන් තරගය ඉවර වුණාට පස්සේත් මහන්සි ගතියක් දැනුණේ නෑ. මහන්සියෙන් පස්සේ කොහෙටද අපි අල්ලගෙන ඉන්නේ කියන දේ ගැන තමයි වැඩි අවධානය යොමු කළේ. අවසන් තරගය ඉවර වුණාට පස්සේත් තව තරගයක් ක්‍රීඩා කරන්න පුළුවන් මට්ටමක හිටියා. අපි මහන්සියෙන් යමක් කරනවා නම් ඕනෑම දෙයක් හඹා යන්න පුළුවන් කියලා හි‍තෙනවා. ඒවගේම අපි මේ පාර ලෝක කුසලාන තරගාවලියෙත් ඒ දේ ඔප්පු කරලා පෙන්වන්න තමයි යන්නේ. ලෝකයේ පළමු 10 දෙනා අතරට එන්න තමයි අපි උත්සාහ කරන්නේ.

 

2019 ලෝක කුසලාන තරඟාවලිය ගැන මොන වගේ ටාගට් එකක් ද තියෙන්නේ?

ගයංජලි

අපි ඒ සඳහා පුහුණුවීම් පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේ ම විශේෂයෙන් හැටන් නැෂනල් බැංකුවත් මතක් කරන්න ඕනැ. අපට හැම පහසුකමක් ම ඔවුන් සලසලා තියෙනවා. ජාතික ශූරතාවලිය නිසා පසුගිය දවස්වල අපිට හරියට පුහුණුවීම්වලට යන්න ලැබුණේ නෑ. ජනවාරි ඉඳලා සංචිතගත කරලා, පුහුණුවීම් කරනවා. අපිට ඒ අතර වෙනත් තරගාවලි නෑ.

ගයනි

මට කියන්න තියෙන්නෙත් ඒ කතාව ම තමයි. ලබන ජූලි මාසයේ ලෝක කුසලාන තරගාවලිය තියෙන්නේ. අපි ක්‍රමානුකූල පුහුණුවාර යටතේ ඒ තරගාවලියට යන්න බලනවා.

 

තිලකා ජිනදාස පුහුණුකාරිය විදියට කණ්ඩායමට ආවට පස්සේ සිදුවෙච්ච වෙනස්කම් මොනවාද?

ගයංජලි

අපේ ව්‍යායාම පැත්ත ගැන තමයි වැඩි අවධානය යොමු කළේ. සමහර වෙලාවට කරන්න බෑ. ඒත් අපි කරනවා. අපේ ශාරීරික යෝග්‍යතාව ගැන තමයි වැඩි අවධානයක් යොමු කළේ. මට නම් ලොකු ම වෙනස දැනුණේ ශාරීරික යෝග්‍යතාව පැත්තෙන් තමයි. ඒ වගේ අපිව උසස් මානසිකත්වයකට ගේන්න උපරිම වෙහෙසක් ගත්තා. ඒ වගේ ම අපේ හිතට හැම වෙලාවේ ම ධනාත්මක දේවල් විතරයි දෙන්නේ. ඒ දේවල්වලින් තමයි ලොකු ම වෙනස අපට දැනුණේ.

ගයනි

තිලකා මිස් කියන්නේ වෙනස් ම පුහුණුකාරියක්. තිලකා මිස් බෲනායි ඉන්න කාලයේ අපේ තරග බලාගෙන ඉන්න කොට දැකලා තියෙන්නේ, අපේ දක්ෂතාවල අඩුවක් නොවෙයි, ශාරීරික යෝග්‍යතාව යේ ගැටලු තමයි දැකලා තියෙන්නේ. අපි තුන්වැනි, හතරවැනි වටවලට යනකොට තමයි තරගය අතහැරලා තියෙන්නේ. සිංගප්පූරු ක්‍රීඩිකාවන් ගත්ත ම හරිම වේගවත්. ශාරීරික යෝග්‍යතාව උපරිමයෙන් ම පවත්වාගෙන යනවා. තිලකා මිස් අපේ අඩුපාඩු විදියට දැකලා තියෙන්නේ ඒ වගේ දේවල් තමයි. අපේ දුර්වලතා තියෙන්නේත් ශාරීරික යෝග්‍යතාවල කියලා තමයි දැකලා තියෙන්නේ. තිලකා මිස් ලංකාවට ආපු වෙලාවේ ඉඳලා වැඩි අවධානයක් යොමු කළේ අපේ ශාරීරික යෝග්‍යතාව ගැනයි. අපේ ටීම් එකේ කිසිම කෙනෙක් ක්‍රීඩාව අතින් පසුබැහැලා හිටියේ නෑ. හැබැයි මහන්සිය දරා ගෙන තරගයක් ඉදිරියට ගෙනි යන එක ගැන තමයි වැඩි අවධානයක් යොමු කළේ. සැඟවිලා තියෙන දක්ෂතා එළියට ගන්න තිලකා මිස්ට හොඳ හැකියාවක් තියෙන්නේ. ටීම් එකතු කරලා කතා කරන එක පවා කාණ්ඩායම් හැඟීම ඉහළට ගන්න තමයි උත්සාහ කරන්නේ. මේක ලොකු වෙනසක්. මේ වෙනසට හුඟක් අය කැමතියි.

 

ආසියානු කලාපය ගත්තොත් සිංගප්පූරුව, මැලේසියාව සහ අපි අතර තමයි තරගය තියෙන්නේ?

ගයංජලි

මැලේසියාව හුඟක් දැඩි විදියට ක්‍රීඩා කරන හැබැයි වේගවත් නැති ක්‍රීඩා රටාවක් අනුගමනය කරන රටක්. සිංගප්පූරුව කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් රටක්. වේගවත් තරග රටාවක් හැම වෙලාවේ ම අනුගමනය කරන්නේ. ළඟ ළඟ ක්‍රීඩා කරන හරිම වේගවත්. මැලේසියාව සහ සිංගප්පූරුව ගත්ත ම අහසට පොළොව ව‍ගේ. අපි මේවා හරියට ම අධ්‍යයනය කළා.

ගයනි

මම ඒ කතාවට එකඟයි. මැලේසියාව හරිම දැඩි තරග රටාවක් අනුගමනය කරන්නේ. ලකුණු පරතරයක් යනවා වගේ තේරුණොත් අපේ ඇඟට පැනලා, ආබාධයක් කරලා හරි ක්‍රීඩා කරනවා. සිංගප්පූරුව අවසන් තරගයට ආපු එක ගැනත් අපි සතුටු වුණා. මැ‍ෙල්සියාව පරද්දන්න බැරි කමට නෙවෙයි, අපේ ආරක්ෂාව ගැන හිතෙන කොට සිංගප්පූරුව එක්ක ක්‍රීඩා කරන එක හොඳයි.

 

අපේ රටේ නෙට්බෝල් පැෂන් එකක් තියෙනවාද?

ගයංජලි

නෙට්බෝල් ක්‍රීඩාවට අපේ රටේ එතරම් ම උනන්දුවක් තියෙනවා කියලා නම් දකින්නේ නෑ. මොන පැත්තෙන් ගත්තත් මේ අඩුව කැපී පෙනෙනවා. ක්‍රීඩිකාවන්ගේ පැත්තෙන්, අනුග්‍රාහකයන්ගේ පැත්තෙන් ගත්තත් එහෙම තමයි. දැන් තමයි අනුග්‍රාහකයන් පවා අපට සහ‍යෝගය දක්වන්නේ.

අපි ආසියානු තරගාවලියට යන කොට පවා අනුග්‍රාහකයන් හොයා ගන්න මහන්සි වුණා. කෙටින් ම ක්‍රීඩිකාවන් පවා මහන්සි වුණා. ඇවිද්දා අනුග්‍රාහකයන් හොයා ගන්න. අපි දින්නට පස්සේ තමයි දැන් අනුග්‍රාහකයින් අප වටා එකතු වෙන්නේ.

දිනන තරග - තරගාවලි ප්‍රමාණය වැඩි වුණා නම්, ක්‍රීඩිකාවන්, අනුග්‍රාහකයන් වැඩි වැඩියෙන් අපට උදව් කරනවා, අප වටා එකතු වෙනවා. දැන් අපි දිනන නිසා හුඟක් අයට ආසයි. පාසල් ළමයින් තුළ පවා මේ ආසාව ඇති වෙන්න ඕනෑ. අපි පරාද වෙනවා නම් අප වටා එකතුවෙන පිරිස් අඩුයි. අපි දිනන කොට අප වටා එකතු වෙන පිරිස් එක්ක ඉදිරියට යන වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ.

ගයනි

මහාලොකුවට අපේ රටේ ගේම් එකක් විදියට නෙට්බෝල් සලකන්නේ නෑ. මේ ක්‍රීඩාව හරියට අඳුර ගත්ත කෙනෙක් මේකට අකමැතිවෙයි කියලා හිතන්නේ නෑ.

ගැහුණු ළමයි ක්‍රීඩා කරන්නේ ලස්සන ගේම් එකක්. මේ ‍මොන දේ වුණත් අපේ ර‍ෙට් නෙට්බෝල් ක්‍රීඩාවට ලොකු තැනක් දීලා නෑ. මේ ආසියානු තරගාවලිය ජය ගත්තාට පස්සේ තමයි අනුග්‍රාහකයන් පවා එකතු වුණේ. අප ගැන කතා කරන්න පවා ගත්තේ. තිලකා මිස් පවා කිව්වේ මේක දිනුවොත් තමයි අපට අනාගතයක් තියෙන්නේ කියලා. නෙට්බෝල් ක්‍රීඩාවට අනාගතයක් තිබුණේ නෑ කියන්න බෑ. අපි වැඩි වාර ගණනකදි අනුශූරියෝ වෙන්න ගත්ත ම කවුරුවත් අප ගැන හා ලොකුවට හොයන්න බලන්න ආවේ නෑ. අපට නැතත් අනාගතයට නෙට්බෝල් ක්‍රීඩාව හොඳ ම විදියකට ‍ගෙන යන්න තමයි අපිත් උත්සාහ කරන්නේ.

 

ජාතික ශූරතාවලියට එනකොට මොන වගේ ටාගට් එකක් ද තිබුණේ?

ගයංජලි

මේ තරගාවලියට එනකොට අපේ ලොකු ම ටාගට් එක වුණ් දිනන එක තමයි. හැටන් නැෂනල් බැංකුවට හුඟ කාලයකින් ජාතික ශූරතාවක් දිනලා තිබුණේ නෑ. දැනටත් හැටන් නැෂනල් බැංකුවට තමයි 13 වතාවක් මේ ශූරතාව දිනාගෙන වාර්තාව තියෙන්නේ. මේ ජයග්‍රාහි මාවතට ආයෙත් යන්න තමයි අපට ඕනෑ වුණේ. අපි ඉදිරියට තිබ්බ පියවරේ පළමුවැනි අවුරුද්ද මේක කියලා හිතනවා. මගේ මුල් ම පුහුණුකාරිය වුණේ සුවිනි ද අල්විස්, HNB පුහුණුකාරි ශෂිකා සමරසිංහ වගේ තිලකා ජිනදාස මිස් මේ ගමන පිටිපස්සේ ඉඳලා හැමදෙයක් ගැන ම හොයා බැලුවා. බලනවා. මේ ගමනට විශාල පිරිසක් උදව් කරනවා.

ගයනි

මමයි - ගයංජලියි HNB ඇවිත් ක්‍රීඩා කරපු පළමු තරගාවලිය තමයි මේ. මම හිතුවා අපට කොහොම හරි මේ තරගාවලිය ජය ගන්න පුළුවන් වෙයි කියලා.

අපේ ටීම් එකේ තුන්දෙනෙක් පැසි පන්දු ක්‍රීඩා කරන අය. අපිට හරියට ම ඉන්නෙත් හත් දෙනයි. මොනවා වුණත් අපේ හත්දෙනාම ශක්තිමත් කියන එක අපි දැනගෙන හිටියා. අපිට මාරු කරන්න කෙනෙක් නෑ කියලා දන්නවා. තරගයක් අතරතුර ආබාධයක් වුණත් ගන්න කෙනෙක් නෑ. අපි දෙවැනි වටයේ ලකුණු 10 කට වඩා පරතරයක් තියාගෙන තමයි දිනුවේ. ඒ වගේ ම තෙවැනි වටයේ හැම තරගයක් ම දිනුවෙත් අපි, ඒ නිසාම අපට ලොකු විශ්වාසයක් තිබුණා අවසන් තරගයත් ජය ගන්න පුළුවන් වෙයි කියලා. මටත් විශාල පිරිසක් මේ ගමන පිටිපස්සේ ඉඳලා උදව් කළා. දැනටත් උදව් කරනවා.

 

ඡායාරූප - රංජිත් අසංක

 

Comments