අර්බුද නිර්මාණය නොකර බහුතරයට ආණ්ඩුව දිය යුතුයි | සිළුමිණ

අර්බුද නිර්මාණය නොකර බහුතරයට ආණ්ඩුව දිය යුතුයි

මාසයකට වැඩි කාලයක් ඇදී යන මේ දේශපාලන අර්බුදයේ ව්‍යවස්ථා අර්බුදයක් නැති බවට ජනතා විමුක්ති පවසා තිබුණා. ඒ ගැන පැහැදිලි කළොත්...

පැහැදිලිවම මේ ඇතිවෙලා තියෙන්නේ ව්‍යවස්ථාවෙ ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යවස්ථාවට පිටින් ගිහින් ආණ්ඩුවක් හදන්න ගියා. ඒක වැරැදුණා. වැරැදුණු නිසා ඒ කුමන්ත්‍රණකරුවන් ව්‍යවස්ථාව පෙන්වමින් දැන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඊට එරෙහි අය එය පරාද කරන්නත්, කුමන්ත්‍රණයට සම්බන්ධ අයට දඬුවම් දෙන්නත් ඉන් අනතුරුව මැතිවරණයකට යන්නත් උත්සාහ කරනවා. මේක අපට නෙමෙයි රටටම පෙනෙන පැහැදිලි කරුණක්.

ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවේදී කිසිවකුගේ පැත්තක් ගන්නෙ නැහැයි කිව්වත් එක්සත් ජාතික පක්ෂය මුල් වී ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ අස්සන් ලේඛනයේ ජනතා විමුක්ති පෙරමුණත් අස්සන් කර තිබුණා.

අපට පැත්තක් තියෙනවා.

2015 අවුරුද්දෙ ජනවාරි 8 පක්ෂයක් විසින් සූත්‍රගත කරපු ඉල්ලීම් නෙමෙයි සමාජයට ආවේ. සමාජය විසින් ගොඩ නංවා ගනු ලැබූ ඉල්ලීම් තමයි බලයට ආවේ. පක්ෂ සහ බලධාරීන් තමන්ගේ අතට ගත්තේ ඒ ඉල්ලීම්. ඒ අනුව බලයට ආ දෙන්නෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හඳුන්වා දෙන්න පුළුවන්.

බලයට ආ පසුව ඒ දෙන්න ඒ සමාජයෙන් ගොඩනැගුණු ජනතා අභිලාෂයන් සියල්ල පැත්තකට දාල තමයි තමන්ගේ පාලනය අරගෙන ආවේ.

අපි ඒ අභිලාෂයන් වෙනුවෙන් පෙනී ඉන්න පැත්තෙ. ඒ පාර්ශ්වය මත හිටගෙන තමයි දේශපාලනයේ මේ මොහොතේත් ක්‍රියා මාර්ග තෝරන්නෙ. අපි පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනාවෙත් ඒ අරුමුණින්. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙමෙයි ඒකාධිපතියෙක් කියල අපි නම් කළෙත් ඒ අනුවයි.

අපේ ක්‍රියා මාර්ග දිහා බලන්න එතකොටයි අපේ ගමන් මාර්ගය පේන්නෙ.

නමුත් ජනාධිපතිතුමා පැහැදිලිවම කියනවා. එතුමාට ඕන විදිහට නෙමෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිට ඕන විදිහටයි යහපාලනය ගෙනිච්චෙ කියලා.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපෙක්ෂකයෙක් විදිහට ආවෙ. ජනාධිපති ධුරයට පත්වෙච්ච් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගත්ත. එතැන් සිට එයාට සිදු වුණා ඒ පක්ෂය ගොඩ නඟන්න. පක්ෂය ගොඩනඟන්න නම් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට සහ ආණ්ඩුවට විවේචනයක් එල්ල කරන්න වෙනවා. ඒ නිසා විවේචන ගොඩනඟනවා. එමෙන්ම ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගොඩනගන්න බැහැ මහින්ද නැතිව. ඒකටත් උත්සාහ කළා. ඒකත් සාර්ථක වුණේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කර තිබෙනවා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් රජයේ ව්‍යාපාර කටයුත්තක් කළ බවට. මේ තත්ත්වය අනුව එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් ගොඩ නැඟීමට ඉඩ ඇති බවක් පේන්නේ නැතිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යම් කිසි ආකාරයක නීති විරෝධී ක්‍රියාවක් සිදු කර ඇත්නම් පවතින නීති රීති අනුව කටයුතු කිරීමයි කළ යුත්තේ. ඔහු කවුද කියන එක අදාළ වන්නේ නැහැ.

දැන් පවතින්නේ අස්ථාවර රටක් අරාජික බවක් යනුවෙන් සමාජයේ මත ගොඩ නැ‍‍‍ඟෙනවා. මේ තත්ත්වය හමුවේ රටේ ඉදිරි ගමන ඉතා දුෂ්කර බවත් කියැවෙනවා. ජවිපෙ මේ තත්ත්වය දකින්නේ කෙසේද?

ආණ්ඩුවක් නැතිව රට යන්න බැහැ. තව මාස දෙකකින් රජයේ සේවකයින්ට පඩි ගෙවන්න බැහැ. ජනාධිපති කැමැති වුණත් නැතත් ආණ්ඩුවක් පිහිටුවන්න වෙනවා. එහෙම නොවුණොත් රජයේ සේවකයන් සියල්ල පාරට බහියි. බරපතළ අර්බුදයක් ඇති වෙනවා. ආණ්ඩුවක් පත් කරලා අතුරු සම්මතයකින් හරි මුදල් ප්‍රතිපාදන සකස් කරගෙන ඉදිරි ගමනක් යා යුතුයි. කැමැති වුණත් අකමැති වුණත් ජනාධිපතිවරයා මේ ක්‍රියාදාමය කළ යුතුයි. ඒ පත් වන අයට පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කර ගැනීමේ හැකියාව තිබිය යුතුයි.

සමහරු කියනවා ආණ්ඩුවට බහුතරයක් අවශ්‍ය නොවන බවට. බහුතරයක් නොමැති ආණ්ඩුවක් කොහොමද පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කර ගන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවාට විරුද්ධව නඩුමඟට යෑම ඔබ අනුමත කරනවාද?

පාර්ලිමේන්තු මැතිවරණයක් කඩිමුඩියේ පවත්වන්න බැහැ. අපි කඩිමුඩියේ මැතිවරණයක් ඉල්ලන්නෙත් නැහැ. අපි කියන්නේ ජනාධිපතිවරයා දැන් ආණ්ඩුක් පත් කළ යුතුයි. ඒ ආණ්ඩුව විසින් මේ සිදුවුණු කුමන්ත්‍රණය ගැන සොයන්න පාර්ලිමේන්තුවේ කොමිසමක් පත් කළ යුතුයි. කුමන්ත්‍රණකරුවන් ගෙන්වලා ඒ අයට රටේ පවතින නීතිය හා කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කළ යුතුයි. මේක සෙල්ලම් බත් උයන වැඩක් නෙමෙයි.

20 වන සංශෝධනය සම්මත කර බලාත්මක කරලා විධායක ජනාධිපති ක්‍රමය අතු ගා දමන්න ඕන. පසුව පාර්ලිමේන්තුවේ 3න් 2 බලයෙන් ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතුයි. ව්‍යවස්ථාවකට අනුව තමයි සියල්ල කළ යුත්තේ.

විපක්ෂ නායක ධුරය දැරූ දෙමළ ජාතික සන්ධානය දැන් එජාපයත් සමඟ එකතු වෙලා ගිවිසුම් ගසා ති‍බෙන බවට ඇතැම් අය කියනවා.

දෙමළ ජාතින සන්ධානයට කැමැති තීරණයක් ගන්න අයිතිය තියෙවා. ඒක එයාලයි, එයාල බලයට පත් කරපු ජනතාවයි බේර ගනියි. මේ පාර්ලිමේන්තුව් කිසිම කෙනෙක් ගැන අපේ විශ්වාසයක් නැහැ. විශ්වාසභංගයක් ගෙනාවොත් අපි සහාය දෙන්නම්. ඔය කියන ගිවිසුම් තියෙනවද නැත්ද අපි දන්නේ නැහැ. හැම දේකටම ගිවිසුම් - ගිවිසුම් කතා කියල තමන්ගේ දේශපාලනය ගෙනියන අය නිසා දැන් ගිවිසුම් කතාවත් බාල්දුවට පත් වෙලා තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ මේ අවස්ථාවේ භූමිකාව කුමක් විය යුතුද?

මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් රටට නායකත්වයක් දීල තියෙනවා. එහෙම කෙනෙක් විදිහට මේ අවස්ථාවේදී එතුමා බුද්ධිමත්ව කටයුතු කරන එක වැදගත්. මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය නැති වුණත්, මහින්ද රාජපක්ෂ මහතා සැලකිය යුතු ජනතාවකගේ හදවතේ ඉන්න දේශපාලකයකු හැටිය‍ට මම ඔහුට යෝජනා කරනවා මේ අවස්ථාවේ බහුතරය තියෙන පක්ෂයකට ආණ්ඩුව බාර දෙන්න ජනාධිපතිවරයාට බල කරන්න කියලා.

පසුව මැතිවරණයෙන් බලයට ආවොත් අපි කැමැති වුණත් අකමැති වුණත් එයාට අගමැතිකම කරගන යන්න පුළුවන්.

ඒ කියන්නෙ මේ අවස්ථාවේ එජාපයට බලයට දෙන්න කියලද?

බහුතරයටයි බලය දෙන්න ඕන. ඒක ප්‍රායෝගික යථාර්ථයක්නෙ. මහින්ද මහතාට බහුතරය පෙන්වන්න බැරි වුණානෙ. කැමැති වුණත් අකමැති වුණත් දැන් බහුතරය පෙන්වන අයට ආණ්ඩුව බාර දෙන්න වෙනවා.

වගකීමක් නැතිව වැඩ කළොත් ඇති වන විපාක භයානක වන්න පුළුවන්නෙ. මේ රටේ ජනතාව ඇති වෙනකම් බැට කෑවා. 1818 ඉඳලා වරින් වර රටේ ලේ හැලුණා. තිස් අවුරුදු යුද්ධයක් තිබුණා.

පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධව නඩුවක් තියෙද්දි පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධියි කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පැවසුවා.

නීති විරෝධී නම්, ඒක වැරැදිනම් කරන්න තියෙන්න නඩු මඟට යන එකනෙ.

දේශපාලනයේ ‘අ’ යන්න දන්න ඕනෑම අයකුට පැහැදිලියි. කතානායකවරයාගේ ප්‍රශ්නයක් මෙතන නැහැ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර පාර්ලිමේන්තුව කැඳවන දිනය පැහැදිලිව දන්වා තිබුණා. අධිකරණයෙන් පාර්ලිමේන්තුව විසුරවීම අත්හිටවූ විට ඒ කැඳවීම යළිත් බලාත්මක වුණා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුව කැඳවූයේ . කතානායකවරයාගේ වගකීම තමයි පාර්ලිමේන්තුව අරින - වහන එක. ඒකෙන් පහර වැදුණු අය ඒකට අධිකරණ පටලවගෙන දඟලනවා. කතානායකවරයා හරියට තමන්ගේ කාර්යය කරලා තියෙනවා.

ඔබ ජනතා විමුක්ති පෙරමුණ සමඟ මතභේද නිසා ඈත් වූ බවක් එහෙන් මෙහෙන් ඇහෙනවා.

ඕක අලුත් කතාවක් නෙමෙයි. අවුරුදු 15ක් පමණ තිස්සේ කියන දෙයක් ඒ. සත්‍යයේ මිනුම් දණ්ඩ භාවිතාවයි. ඒක මමත් පක්ෂයත් පෙන්වලා තියෙනවා.

 

Comments