කවුරු එකතු වුණත් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා එජාප පාක්ෂිකයෙක් | සිළුමිණ

කවුරු එකතු වුණත් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා එජාප පාක්ෂිකයෙක්

පසුගියදා ලබාදීපු නඩු තීන්දු ඔබ දකින්නේ කොහොමද?

ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ ලබා දෙනු ලැබූ තීන්දු සාධාරණ තීන්දු බව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරව කරමින් අපි හැමෝම පිළිගන්න ඕන. විනිසුරුවරුන් හත්දෙනකුගෙන් සමන්විත විශේෂ බෙන්ච් එකකින් තමයි මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ. ඔවුන් හත්දෙනාම ඒකමතිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව වැරදි බව තීරණය කළා. එනිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා ගත් තීන්දුව වැරදි බව තේරුම් ගෙන එය නිවැරදි කිරීමට එතුමා කටයුතු කළ යුතුයි. ඒ කටයුත්ත එතුමා නිවැරදි කළ පසුව පාර්ලිමේන්තුව විසිරවීම අහෝසි වෙනවා. ඒ අනුව ඉදිරියට වසර හතරහමාරක් යනකම් අපේ ආණ්ඩුව නැවත කටයුතු කළ හැකියි.

නමුත් මීට ප්‍රථම ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මොනම හේතුවක් නිසාවත් හිටපු අගමැතිවරයාට එම තනතුර ලබානොදෙන බව.

අපි එක්සත් ජාතික පෙරමුණ විදියට තරග කරලා මේ රටේ ආණ්ඩු බලය ලබාගත්තේ. එහිදී අප සමඟ පක්ෂ ගණනාවක් කිසියම් එකඟතාවක් මතයි කටයුතු කළේ. ඔවුන් ඒකමතිකව එදා තීරණය කළා, මේ පෙරමුණේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්න. ඒ අනුව තමයි අපේ පක්ෂයේ නායකයා ලෙස එතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස බලයට පත්වුණේ. ඒ තත්ත්වය අදත් එහෙමමයි. එතුමා වසර ගණනාවක සිට අපේ පක්ෂයේ නායකයා. මේ රටේ පිළිගත්ත දේශපාලන බුද්ධිමතෙක්. තමන්ගෙ කැමැත්ත අනුව මූණ කැතැයි කියල කාටවත් කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න බැහැනේ; ඒකට හේතුවක් තියෙන්න ඕන. එතුමට විරුද්ධ ව මොනව හරි චෝදනාවක් තිබුණ නම් ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ අනුව කටයුතු කරන්න තිබුණා. එහෙම වැරදි කරල තියෙනව නම් නීතිය මඟින් කටයුතු කරන්නත් තිබුණා. එනිසා මේ රටේ උසාවියක් ඉදිරියේ වැරදිකරුවෙකු වී නැති රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිවරයාට බැහැ. එනිසා අපේ නායකතුමා ලෙස එතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම තමයි ජනාධිපතිතුමා කළ යුතු වන්නේ.

මේ ජනාධිපතිවරයා බලයට ගෙනාවේ ඔබලා. පාර්ලිමේන්තුවේ නායකයා එතුමා. එතුමාගේ නියෝගය පිළිගන්න බැරි ඇයි?

ඇත්තම කාරණාව වෙන්නේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ව රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරද්දි පක්ෂයේ මතය වී තිබුණේ පක්ෂයේ නායකයකුම ඒ සඳහා ඉදිරිපත් කළ යුතුයි කියලා. නමුත් අපේ නායකතුමාගේ අවංකත්වය නිසා එතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදි කිව්වා මම වචනයක් දීලා තියෙනවා. ඒනිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ අවස්ථාව ලබාදිය යුතුයි කියලා. එදා එතුමාට නායකතුමා සැලකුවේ ඒ විදියටයි. එනිසා මේ තත්ත්වය නිවැරදි කරගෙන මේ ගමන යන්න ජනාධිපතිතුමා ක්‍රියා කළ යුතුයි. නැත්නම් මේ අර්බුදය උග්‍රවෙලා රට තවතවත් ප්‍රපාතයට යනවා.

දැන් නැවත ආණ්ඩුව පිහිටුවද්දි හවුල්කාර පාර්ශ්ව විදියට එක්කර ගන්නේ කාවද? ටී.එන්.ඒ එකද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද?

මේ මොහොතේ අපි තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය විදියට තනියම ආණ්ඩුවක් පිහිටුවන්න. අපිට උදව්කරන පාර්ශ්ව විදියට අනෙකුත් පක්ෂ පාර්ලිමේන්තුවේදී කිසිදු කොන්දේසියකින් තොරව සහය දෙන්න එකඟ වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවගේම දෙමළ සංධානය ස්වාධීන ව කටයුතු කරන ගමන් කිසිදු තනතුරක් අපේක්ෂා නොකර කොන්දේසි විරහිතව අපට සහය දෙන්න කැමැත්ත පළ කර තිබෙනවා. අපි පැහැදිලිව කියන්න ඕන මේ කිසිවකට එක්සත් ජාතික පක්ෂය කිසිම කොන්දේසියකට එකඟවෙලා නැහැ. මේ හැමදෙනාගේම සහය ඇතිව අපි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවල ඉදිරි වසර එකහමාර රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

නමුත් ටී.එන්.ඒ එකත් එක්ක කිසියම් එකඟතාවයකට පැමිණ තිබෙනවා නේද?

ඔය කියන්නේ උතුර නැගෙනහිර සංවර්ධනය කරන කොට ඔවුන්ටත් ඒ කටයුතු සොයා බලමින් දායක වෙන්න ඉඩ ප්‍රස්තාව ලබාදීමට අපෙන් කළ ඉල්ලීම වෙන්න ඕන.ඉතින් ඒකේ මොකක් හරි වැරැද්දක් තියෙනවාද? ඔබේ ප්‍රදේශයේ තියෙන ගැටලු දන්නේ ඔබ; මම නෙමෙයි. ඉතින් ඒ ගැටලුවලට විසඳුම් හොයන්න ඔවුන් දායක කර ගැනීමේ වැරැද්දක් නැහැ නේද? ඒ විතරක් නෙමෙයි ඔවුන් අ‍පෙන් ඉල්ලුවා දේශපාලන සිරකරුවන් පිළිබඳ ව තිබෙන නඩු අහලා, දඬුවම් කරන අයට දඬුවම් දීලා, අනෙක් අය වැරදි නැත්තම් නිදහස් කරන්න කියලා. ඒකෙත් වැරැද්දක් නැහැ නේද? මේවා දඩමීමා කරගෙන දේශපාලන වාසි හොයන්නේ ළාමක දේශපාලනඥයෝ.

නව පාර්ලිමේන්තු සංයුතිය කවරාකාරයෙන් සකස් වේවි කියල ඔබ තුමා හිතනවද? ටී.එන්.ඒ එක දිගටම විරුද්ධ පක්ෂය විදියට කටයුතු කරයිද? නැත්තම් බහුතර විපක්ෂයට විපක්ෂ නායක කම හිමි වේවිද?

ඇත්තටම දෙමළ සන්ධානය කටයුතු කරන්නේ ස්වාධීනව මිසක් අපේ පක්ෂයේ සන්ධානගත පිරිසක් විදියට නෙමෙයි. එනිසා එතුමා විපක්ෂ නායකවරයා විදියට සුපුරුදු පරිදි කටයුතු කරාවි. නමුත් කාටහරි ඒ පිළිබඳ ව ගැටලුවක් තියෙනවා නම් කතානායකවරයාට ඒ බව දැනුම් දී නව විපක්ෂ නායකවරයෙක් පත් කරන්න යෝජනාවක් කරන්න පුළුවන්. ඒ අනුව කතානායකවරයා තීරණය කරාවි කවුද විපක්ෂ නායකවරයා කියලා.

නමුත් අපි දන්නවා පැවති අස්ථාවරත්වය මත ආර්ථික තත්ත්වය කඩා වැටිලා. ලබන වර්ෂයේ විශාල ණය මුදලක් ගෙවන්න තිබෙනවා. මේ තත්ත්වය අභියෝගයක් නෙමෙයිද? ඊට මුහුණ දෙන්නේ කොහාමද?

පසුගිය මාස එකහාමාරක දෙකකට ආසන්න කාලය තුළ විශාල ආර්ථික විනාශයක් සිදු වී තිබෙනවා. ගම්පෙරළිය මඟින් ග්‍රාමසංවර්ධනයට ලබාදීපු මුදල් කපා හැර තිබෙනවා. ඒ නිසා අපි මුලින් ම කල්පනා කරනවා, අමාත්‍යංශ මට්ටමින් කොයිතරම් ආර්ථික අලාභයක් මේ සුළු කාලය තුළ සිදු වී තිබෙනවාද කියා ගණනය කර බලන්න. ඇත්තෙන්ම මෙය විශාල අභියෝගයක්. එක පැත්තකින් මේ සීසන් එකේ විශාල විදේශ විනිමයක් ලබාදෙන සංචාරක කර්මන්තය විශාල ලෙස කඩා වැටිලා. දවසකට ලක්ෂ සීය එකසියපනහ උපයපු සීගිරිය, දඹුල්ල වගේ ස්ථානවල ආදායම ලක්ෂ විසිපහ දක්වා පහත වැටිලා. මේ තත්ත්වය බලපාන්නේ අද හෙට නෙවෙයි. තව මාස හයක් හතක් යනකොටයි, මේ විනාශයේ ප්‍රතිඵල ලැබෙන්නේ. සංචාරක කර්මාන්තය මඟින් එදා වේල සරිකරගන්න මිනිස්සුන්ගේ ආදායම පවා අද පහත වැටිලා. ඉදිරියේදී ඉන්ස්ටොල්මන්ට් එක ගෙවාගන්න බැරුව හෝටල් හිමියන් විශාල අර්බුදයකට යෑමට නියමිතයි. මේ ආකාරයෙන් බැලුවම විශාල ආර්ථික අර්බුදයක් අප හමුවේ තිබෙනවා. නමුත් අපේ නායකතුමා සහ මුදල් අමාත්‍යවරයා මේ අර්බුදයෙන් ගොඩ එන්න අපට හිතවත් රටවල් සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා.

ආණ්ඩුව වසර හතරහමාර නිමා කරලා ඡන්දයකට යනවද?

ඔව්, දෙදාහස් විස්සේදී මුලින්ම එන්නේ ජනාධිපතිවරණය. ඒ සඳහා දැනටමත් අපි සැලසුම් සකස් කර අවසන්. අපි ඊළඟට මහා මැතිවරණයට යනවා. මහා මැතිවරණය අවසන් කරලා, පළාත් සභා මැතිවරණයට යනවා. 2020 අවුරුද්ද ඇතුළත සියලු මැතිවරණ අපි පවත්වනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී කවරාකාරයේ ප්‍රතිසංස්කරණ පක්ෂය තුළ සිදු කරන්න බලාපොරොත්තු වෙනවද?

පක්ෂයේ බහුතර කැමැත්ත හිමි එක්සත් ජාතික පාක්ෂිකයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අපි ගම්මට්ටමින් ප්‍රාදේශිය මට්ටමින්,පළාත් සභා මට්ටමින් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් දියත් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා දේශපාලන මණ්ඩලයක් විදියට වෙනම කමිටුවක් පත් කරනවා. ඉදිරියේදී තීරණ ගන්නේ ඒ කමිටුව හරහායි. ඉදිරියේදී අපේ අපේක්ෂකයන් තීරණය කරන්නේත් ඒ කමිටුව විසින්මයි. එහිදී රටට ජනතාවට වැඩදායි යහපත් පුරවැසියන් ජනතා නියෝජිතයන් ලෙස තෝරාපත් කර ගන්න ජනතාවට අවස්ථාව ලැබේවි.

ඔබේ පක්ෂය වෙනත් පක්ෂ සමඟ එක්වී නෙමෙයිද ඉදිරියේදී තරග කරන්නේ?

බොහෝ විට පුළුල් පෙරමුණක් විදියට වෙනත් ලකුණකින් අපි තරග කරාවි. මොන පක්ෂයක් අපිට එකතු වුණත් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්.

 

Comments