මේ අර්බුදය වෙස්වළාගෙන පැමිණි ආශීර්වාදයක් | සිළුමිණ

මේ අර්බුදය වෙස්වළාගෙන පැමිණි ආශීර්වාදයක්

ඡායාරූප - විපුල අමරසිංහ
  • ක්ෂණික ව බිඳ වැටෙන ආණ්ඩුවක් වෙනුවට ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාවක්
  • තම දෛනික ජීවිතය තුළ දේශපාලන පක්ෂ සමඟ පැවති බැඳියාව අඩු වෙයි
  • අද බලවත් වී ඇත්තේ දේශපාලන පක්ෂ නොවන දේශපාලන භූමිකා රඟ දක්වන්නන් ය

 

"කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙරට සමාජ දේශපාලන භූමිකාව තුළ නිමග්න වී සිටින සුවිශේෂ චරිතයකි. ඔහු වාමවාදී දේශපාලනයට වඩාත් ඇලුම් කරන ඒ වෙනුවෙන් පෙනී සිටින අයෙකි. 90 දශකයේ මෙරට දේශපාලන, සමාජ හා කලා සංස්කෘතික මතවාදයට විශාල බලපෑමක් කළ X කණ්ඩායමේ සාමාජිකයකු ව ද සිටියේය."

දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝදෙනා ‘වමා’ යන අනුවර්ත නාමයෙන් හඳුන්වන හෙතෙම වත්මන් දේශපාලනය පිළිබඳව සිය අදහස අප සමඟ මෙසේ පළ කර සිටියේ ය.

මේ වන විට රට තුළ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය හුදු අහම්බයක් හෝ ව්‍යවස්ථා අර්බුදයක් හෝ නොවේ. මෙය ඉතාම තියුණු දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයකි. පසුගියදා ජනාධිපතිවරයා විසින් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ද ජනාධිපතිවරයා වශයෙන් සිටියදී සඳහන් කර සිටි ආකාරයට මෙය දේශහිතෛෂීන් හා දේශද්‍රොහීන් අතර ඇති වූ අර්බුදයකි. වෙනත් විදියකින් කියන්නේ නම් දේශප්‍රේමීන් හා දේශද්‍රොහීන් අතර ගැටුමකි. මේ අර්ථ දැක්වීම ඉතා නිවැරදි ය. නමුත් මෙහිදී එක් ගැටලුවක් මතු වේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙනැවිත් ඇත්තේ මේ දේශද්‍රෝහීන් විසින් වීම ය. මමත් ඇතුළත් ව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගැනීමට ක්‍රියා කළේ අද ඔහු විසින් හඳුන්වනු ලබන මේ දේශද්‍රෝහීන් විසින් ය. ඒ බව ජනාධිපතිවරයාද කල්තියා දැන සිටියේය. ඒ කෙසේද යත් 2015 මැතිවරණ සටනේදී මහින්ද රාජපක්ෂ පැහැදිලිව කියා සිටියේ මෙය රටට ආදරය කරන හා රටට ආදරය නොකරන පිරිස අතර සටනක් කියා ය. එදා බොහෝදෙනා සිතා සිටියේ එතුමා දේශද්‍රෝහියකු කියා ය. එනිසා දේශප්‍රේමී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර එතුමා ජයග්‍රහණය කරවීමට ක්‍රියා කළේ ය. තමන් එදා දේශද්‍රෝහීන්ට රැවටුණු බව මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිතන්නේ නම් වහා කළ යුත්තේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් කැඳවීමය. එවිට එතුමාට දේශප්‍රේමී කඳවුරෙන් තරඟ කිරීමට හැකිය.

දේශපාලන අර්බුදයේ ආරම්භය

මේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදයේ ආරම්භය වසර 40කට එහා දිව යන්නකි. 1947 පැවති මැතිවරණයෙන් පසුව දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක පෙරනිමිති මතුවී තිබුණි. ඒවන විටත් වාමාශික පක්ෂ බිහි වී තිබුණු අතර ධනවත් ව්‍යාපාරිකයන් සහ වතු හිමියන් එක් වී එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වී තිබුණි. මීට අමතරව ස්වාධීන අපේක්ෂකයන් විශාල පිරිසක් සිටි අතර 1947 මැතිවරණයේදී ඉන් 20ක් ජයග්‍රහණය කළේය. එසේම උතුරේ වෙනම දේශපාලන ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තිබුණු අතර උතුර දකුණ ලෙස දේශපාලනික ව වෙන්වීම ආරම්භ විය. එසේම වම දකුණ ලෙස විභේදනයක් ද ඇති වී තිබුණි. මේ තත්ත්වය දීර්ඝකාලීනව පැවතියේ නම් කිසියම් තියුණු දේශපාලන අර්බුදයක් ඇති වීමට ඉඩ තිබුණි.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමත් සමඟ මේ අර්බුදය කිසියම් ආකාරයකට සමනය වී ගියේය. ඊට හේතුව වූයේ බටහිර රටවල මෙන් ද්වී පක්ෂ ක්‍රමයක් නිර්මාණය වූ නිසා ය. නිදහසින් පසු මෙරට ඇති වූ දේශපාලන ක්‍රමය රඳා පැවතියේ මෙකි ද්වී පක්ෂ ක්‍රමය මත ය. මෙතෙක් කලක් වාමාංශික පක්ෂවලට ඡන්දය දුන් ජනයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ගොනු විය. එසේම එක්සත් ජාතික පක්ෂය ද 1956න් පසුව ජේ.ආර් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්කරණය විය. මේ ප්‍රතිසංස්කරණ හරහා වාමාංශික පක්ෂ විසින් ආමන්ත්‍රණය කළ පහළ කුලවල ජනයා වෙත සමීප වීමට කටයුතු කළේය. ඒ අනුව නූතන අර්ථයෙන් මේ පක්ෂ දෙක බහුජන පක්ෂ බවට පරිවර්තනය විය. මේ හේතුවෙන් වාමාංශික පක්ෂ ක්‍රමයෙන් දිය වී ගියේය. එය වාමාංශික පක්ෂවල දුර්වල කමක් නොව එය ඓතිහාසික දේශපාලන ගතිකයකි. මෙය මා පෞද්ගලික ව සතුටු නොවන කාරණයක් වුව ද සිදු වූයේ එයයි. මෙනිසා දේශපාලනය තුළ කිසියම් බල තුලනයක් ඇති විය.

එසේ වුව මේ නව දේශපාලන ක්‍රමය තුළ අභ්‍යන්තර පැලුම් රේඛා දක්නට ලැබුණි. ඉන් එකක් නම් උතුරේ පැවති දේශපාලනික ගැටලුවයි. මේ පක්ෂ දෙකම උතුරේ ජනතාව ආමන්ත්‍රණය කිරීමට අසමත් විය. ඒ වෙනුවට ඔවුන් කළේ තාවකාලිකව උතුරේ පක්ෂ තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට උත්සාහ ගැනීම ය. අනෙක් කාරණය වන්නේ දකුණේ ග්‍රාමීය ආර්ථිකය පරිවර්තනය නොවීම හේතුවෙන් ග්‍රාමීය දිළිඳු භාවය සහ තරුණ ප්‍රජාව තුළ වර්ධනය වෙමින් පැවති අසහනකාරී තත්ත්වයයි. 1971 සහ 88-89 දී කැරලිකාරී පසුබිමක් ඇත්වන්නේ මේ හේතුවෙනි. මෙවැනි වාතාවරණයක් මධ්‍යයේ වුව කිසියම් දේශපාලන ස්ථාවර භාවයක් පවත්වා ගැනීමට මේ ද්වී පක්ෂ ක්‍රමය තුළ පැවති බල තුලනය නිසා හැකි විය. මේ බල තුලනයේ පැවති ස්වභාවය අනුව ඉක්මණින් ආණ්ඩු ඇති වනවා සේම පෙරළී ගියේය.

මෙලෙස ඉක්මනින් ආණ්ඩු පෙරළුණු විට එම පක්ෂයේ බලය පිරිහුණි. එනිසා ඒ වටා රොක් වී සිටින ජනයාට ද එහි ප්‍රතිවිපාක විඳීමට සිදු විය. උදාහරණ ලෙස පාරක් හදාගන්න, රැකියාවක් ලබාගන්න, දරුවකු හොඳ පාසලකට දාගන්න... ආදී වශයෙනි. නමුත් ඊළඟ වතාවේ තමන්ට බලය ලබාගත හැකි බව ඔවුන් දැන සිටියේය. එය නිසා ඔවුන් තුළ අසාහනය අඩු විය. එනම් කිසියම් තෘප්තිමත් භාවයක් පැවතිණි. (කමක් නෑ මේ පාර උඹල කාපන්. ඊළඟ සැරේ අපි කන්නම්) ජනප්‍රිය වචනයෙන් කියන්නේ නම් තට්ටුමාරු ක්‍රමය ලෙස හැඳින්වූයේ මෙයයි. නමුත් 1977දී ජේ. ආර් ජයවර්ධන විසින් ආණ්ඩු බලය ලබා ගැනීමත් සමඟ මේ තත්ත්වය වෙනස් විය. ඔහු කියා සිටියේ මේ ක්‍රමය දිගට ම පැවතියහොත් රටට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කරගත නොහැකි බව ය. ඒ සඳහා ක්ෂණික ව බිඳ වැටෙන ආණ්ඩුවක් වෙනුවට ස්ථාවර ආණ්ඩුව අවශ්‍යතාව මතු කෙරිණි. ඒ අනුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර විධායකය ශක්තිමත් කිරීමට පියවර ගත්තේ ය.

පක්ෂ නොවන දේශපාලන භූමිකා රංගනය

මෙමඟින් විපක්ෂය දුර්වල වූ අතර, අණ්ඩු විරෝධි මත දරණ පිරිස් මර්දනය කිරීමට පෙලඹිණි. එනමුත් මෙරට දේශපාලන බල තුලනයට විශාල හානියක් සිදුවන බව ඔහු ඒ මොහොතේ දැන නොසිටියේ ය. ඔහු මේ ක්‍රමය හඳුන්වා දුන්නේ ආර්ථිකය වර්ධය කිරීමට වුවත් එවැන්නක් සිදු වූයේ ද නැත. සිදු වූ එක ම දෙය වූයේ දේශපාලන බල තුලනය කඩා වැටීමය. මේ අතර තුර කලින් සඳහන් කළ ආකාරයේ කැරලි ඇති වූ අතර, උතුරේ යුද්ධය ඇති විය. අනතුරුව වසර 17කට පසුව වෙනත් ආණ්ඩුවක් බලයට පත් විය.

ඒ අනුව 1977 දී ජේ.ආර් ජයවර්ධන විසින් දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට ගනු ලැබූ මේ ක්‍රියාමාර්ගය මේ ක්‍රමය විශාල අර්බුදකාරී වාතාවරණයකට ඇද දැමීය. (එසේ වුවද මේ සියලු දේ ජේ.ආර් මත පැටවීමට මම එකඟ නැත.) එසේම මීට අමතරව ජන සැකැස්මේ ද වෙනසක් සිදු වී තිබුණි. පසුගිය වසර 30-40 ක කාලය තුළ ගම්වලින් පැමිණ කොළඹ අවට පදිංචි වුණ ජනතාව නිසා විශාල නාගරික මධ්‍යම පන්තියක් බිහි විය. 77ට පසුව පෞද්ගලික ව්‍යවසායකයන් වර්ධනය වීමත් සමඟ විශාල ලෙස පෞද්ගලික අංශය වර්ධනය විය.

මේ නව තත්ත්වය නිසා ජනයා තම දෛනික ජීවිතය තුළ දේශපාලන පක්ෂ සමඟ පැවති බැඳියාව අඩු විය. පෞද්ගලික අංශය වර්ධනය වීමට ප්‍රථම ජනයාට දේශපාලනය මත රඳා පැවතියේ රාජ්‍ය බලය හිමිකරගත් පක්ෂ හරහා ය. ඒ අනුව රාජ්‍ය සමඟ ඔවුන් සම්බන්ධ වූයේ පක්ෂයක සාමාජිකයකු වී නායකයන් සමඟ කටයුතු කිරීම මඟිනි. නමුත් මේ පෞද්ගලික අංශයේ වර්ධනයත් සමඟ ජනයාට පක්ෂ ක්‍රමය සමඟ තිබුණු ඓන්ද්‍රීය සම්බන්ධය අවම විය. මේ අනුව විශාල පක්ෂපාතීත්වයක් නැති ජනකොටසක් ලෙස ඔවුන් වර්ධනය විය. මේ හේතුව නිසා 77න් පසුව වර්ධනය වූ දේශපාලන අසමතුලිතභාවය තවත් තිව්‍ර විය. අද වන විට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට එතරම් බලයක් නැත.

1988 පසුව ශ්‍රීලනීපය තනි පක්ෂයක් ලෙස මැතිවරණයකට තරඟ කර නැත. පහුගිය කාලේ අත ලකුණ යටතේ තරග වැදුණ ද එයට හිමි වූයේ සුළු ආසන සංඛ්‍යාවකි. ශ්‍රීලනිපයෙන් වෙන් වූ කොටස් විසින් පොහොට්ටුව බිහි කර ගැනීමත් එහි සාමාජිකයන් එයට ආසක්ත වීමත් මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. එක්සත් ජාතික පක්ෂය ද පසුගිය කාලය තුළ තනි පක්ෂයක් ලෙස නොව එක්සත් ජාතික පෙරමුණ ලෙස තරඟ කළේ ඉහත තතු යටතේ ය. මෙනිසා පක්ෂ නොවන දේශපාලන භූමිකා රඟ දක්වන්නන් වර්ධනය විය. මේ අනුව රාජපක්ෂවාදීන් පවා හැඳින්විය හැක්කේ පක්ෂ නොවන දේශපාලන භූමිකා රඟ දක්වන්නන් ලෙස ය.

බණ්ඩාරනායක මහතාගෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට බලය හිමි වුවද පසුව බලය අහිමි වූ විට ඇය දේශපාලනිකව දුර්වල විය. නමුත් රාජපක්ෂලාට එවැනි ඉරණමක් අත් නොවුණි. ඒ අනුව බලන කල බණ්ඩාරනායක යුගයේ පක්ෂය වඩා වැදගත් වුව ද අද එය වෙනත් මුහුණුවරක් ගෙන තිබේ. මෛත්‍රී මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුවද පාක්ෂිකයන් සිටින්නේ මහින්ද රාජපක්ෂ සමඟ ය. එනිසා එය වෙනම ම මනෝමූලික තත්ත්වයකි. එනිසා ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක ම මේවන විට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ පා සිටිති. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂ ලෙස ඓතිහාසික වශයෙන් අවලංගු වෙමින් තිබේ. මේ පක්ෂ දෙක විසින් පසුගිය 20 අවුරුද්ද මුළුල්ලේ ලංකාවේ දේශපාලන බල තුලනය පවත්වාගෙන ආව ද නව තත්ත්වය යටතේ මේ බල තුලනය ශීඝ්‍රයෙන් අහෝසි වෙමින් තිබේ.

මෙනිසා පක්ෂ නොවන විවිධ දේශපාලන භූමිකා රඟ දක්වන්නෝ දේශපාලන කරළියට පැමිණ සිටිති. රාජපක්ෂ කඳවුර හෙවත් රාජපක්ෂවාදය (මගේ අර්ථ දැක්වීම අනුව) ද පක්ෂ නොවන දේශපාලන භූමිකාවක් රගදක්වන්නකි. එසේම එක්සත් ජාතික පක්ෂය වටා සිටින සිවිල් සමාජය (මේ වචනයට මම එකඟ නැත) ද රාජපක්ෂවාදීන්ගේ දේශපාලන කඳවුර වැනි වෙනත් පෙනී ඉඳීමකි. එයද පක්ෂ නොවන දේශපාලන භූමිකා රඟ දක්වන්නන්ගෙන් සමන්විත වූවකි. අද බලවත් වී ඇත්තේ පක්ෂ නොව පක්ෂ නොවන දේශපාලන භූමිකා රඟ දක්වන්නන් ය.

මේ දේශපාලන නොවන සැකසුම් සමඟ ජනතාව පවත්වන සම්බන්ධතාව පක්ෂ සමඟ පැවති සම්බන්ධතාවෙන් බෙහෙවින් ම වෙනස් ය. පක්ෂ සමඟ ජනයා පැවතියේ කිසියම් ආකාරයක ඓන්ද්‍රීය සම්බන්ධතාවක් නම් මේ සම්බන්ධය ලිහිල් වූවකි. මේ නිසා පක්ෂ දේශපාලනයේ මෙතෙක් පැවති සමතුලිතතාව බිඳ වැටී තිබේ.

2015 දේශපාලන ජයග්‍රහණය

අද දේශපාලන අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් ව ඇත්තේ මෙකී දේශපාලන තුලනය බිඳ වැටීම ය. මේ අසමතුලිත භාවය දේශපාලනිකව නිරාවරණය වූයේ 2015 ජනවාරි 08 වැනිදාය. මෙනිසා මෙම අර්බුදය විසින් ලංකාවේ මේතාක් පැවති දේශපාලනය තියුණු පරික්ෂාවකට ලක් කර ඇත.

2015 ජනවාරි 08 වැනිදා ජයග්‍රාහණය සමඟ සිදු වූ සාධනීය ම දේ වන්නේ දේශපාලනය නැවත විවෘත අවකාශයකට ප්‍රවිෂ්ට වීම ය. බොහෝ දෙනාට අද මෙය අමතකව ගොස් ය. නැති නම් එය අප සාමූහිකව අමතක කර දමා ඇත. 2015 ජනාධිපතිවරණයට ප්‍රථම රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් මෙරට දේශපාලන අවකාශය මුළුමණින් ම වසා දමා තිබුණි. බියවැද්දීම්, තර්ජන, අතුරුදහන් කිරීම්, මනුෂ්‍ය ඝාතන... ආදී නොයෙක් ආකාරය ප්‍රචණ්ඩ කාරී ස්වරූපයන්ගෙන් මේ අවකාශය වසාගෙන තිබිණ. යුද්ධයට මූලික වී ක්‍රියා කළ සරත් ෆොන්සේකා තම ප්‍රතිවාදියා වීම මත 2010 මැතිවරණයෙන් පසුව අත් අඩංගුවට ගෙන සිරගත කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය තමන්ට හිතවාදී තීන්දු තීරණ නොදුන් නිසා එම තනතුරෙන් ඉවත් කිරීමට ක්‍රියා කළේය.

මෙම බිය වැද්දීම හමුවේ බොහෝ දෙනා රාජපක්ෂවරුන් ගැන කතා කිරීමට පවා බිය විය. මෙලෙස වැසී තිබුණු දේශපාලන අවකාශය 2015 වේ ජනවාරි 08 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ නැවතත් විවෘත විය. එසේම අද මෙකි විවෘතභාවයෙන් වැඩි වාසි සලසා ගෙන ඇත්තේ රාජපක්ෂවාදීන් බව අප අමතක නොකළ යුතුය. ඔවුන් සිදු කළ ආකාරයට මේ අවකාශය වසා දැමුවේ නම් අද මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට බොහෝසෙයින් ඉඩ තිබුණි. අද ඔවුන් පැරණි සියල්ල අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදී සටන් මතින් ඉදිරියට පැමිණ සිටිති. මෙය මේ 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ වෙනස නිසා ජනිත වූ සාරවත්ම ඵලය ලෙස හඳුන්වා දිය හැකිය. එනිසා සිදු විය යුත්තේ මෙකී අවකාශය වසා දැමීමට කටයුතු කිරීම නොව තවතවත් එය පුළුල් කිරීමට පියවර ගැනීමය. දේශ පාලන සමතුලිතභාවය රැකෙන්නේ එවිට ය.

ජය ගත යුතු දේශපාලන අභිලාශයන්

නිව්ටන් ගුණසිංහ මහතා නිතර සඳහන් කළ අදහසක් මෙහිදී මට සිහිපත් වේ. "උකුණන් ලවා ගල් ඇද්දවිය නොහැකිය." එනිසා මෛත්‍රීපාල මහතා බලයට පත්ව විශාල දෙයක් කරාවි යැයි මම කිසිසේත් නොසිතුවෙමි. එසේම එලෙස බලා පොරොත්තු වීමද සාධාරණ නැත. ඔහු මේ අවස්ථාවට මුහුණ දීමට ඉදිරිපත් වීමම අගේ කළ යුතුය. නමුත් ඔහු පසුගිය දිනවල ගත් තීරණ සමඟ මම ආචාර ධාර්මිකව එකඟ නොවෙමි. නමුත් අපට එය තේරුම් ගත හැකිය. මනුෂ්‍ය ස්වභාවය යනු මෙය වේ. කෙනකු රනිල් වික්‍රමසිංහගේ හැසිරීම මීට හාත්පසින් ම වෙනස් යැයි කියන්නේ නම් එය සම්පුර්ණ අසත්‍යකි.

කොටින්ම ඔහුගේ හැසිරීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැසිරීමට වඩා ප්‍රශ්නකාරී ය. මේ බල අර්බුදයේදී විශේෂයෙන් ම භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේදී මා සිටියේ ද ඔහුගේ ස්ථාවරයේ ය. ජනාධිපතිවරයාට මානසික රෝගයක් ඇති බව පවසමින් උසාවියට යෑම පිළිබඳ ව මට නම් ඇත්තේ පිළිකුලකි. එය ප්‍රතිවාදියාගේ දේශපාලන බිඳ දැමීමට යොදාගන්නා බාල දේශපාලන උපක්‍රමයකි. ඇත්තෙන් ම ඒ කාර්යයට ඉදිරිපත් වූ අයගේ මානසික සෞඛ්‍යය සොයා බැලීම ඊට වඩා යහපත් ය. ඇත්තෙන් ම මේ මොහොතේ වැදගත් වන්නේ මේ දේශපාලන අර්බුදය තව තවත් දිග්ගැස්සී ඉදිරියට ගමන් කරවීමය. මන්දයත් අද අපට අවශ්‍ය කරන්නේ කවරාකාරයේ දේශපාලන මාවතක් ද යන්න තේරුම් ගැනීමට පහසු කරවන නිසා ය. එනම්, අපගේ ආර්ථික ගැටලුව කුමක්ද? ඊට පිළියම් ඇත්තේ කවුරුන් ළඟද? උතුරේ දේශපාලන ප්‍රශ්නය විසඳිය හැක්කේ කෙසේද? දේශප්‍රේමීන්ට මේ සඳහා දිය හැකි විසඳුම කුමක්ද? දේශද්‍රෝහීන්ට මේ සඳහා දිය හැකි විසඳුම කුමක්ද? ආර්ථික ප්‍රතිපත්තිමය ආකාරයෙන් මේ දෙගොල්ලන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත වෙනස් ද? ආදී වශයෙන් මූලික දේශපාලනික ප්‍රශ්න විමසමින් අපට අවශ්‍ය කවරාකාරයේ දේශපාලන මාවතක්ද යන්න නිශ්චය කළ හැකිය.

මේ මූලික ප්‍රශ්න අප විසින් දේශපාලන සාකච්ඡාවට ගෙන ආ යුතුය. මේ ප්‍රශ්න සාකච්ඡා නොකර රනිල්ට හෝ මහින්දට දේශපාලන බලය ලබාදුන් පමණින් මේ ගැටලුව විසදෙන්නේ නැත. නමුත් අවාසනාවකට අද අප ඉදිරියට ගෙනැවිත් ඇත්තේ මෙකී දේශපාලන අභිලාශයන් නොවේ. දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් වන්නේ කවුරුන්ද යන පටු තිරස්චීන ආකල්පය ය. ඇත්තෙන්ම මේවා දේශපාලන කාව්‍යෝක්ති පමණි. එනිසා මගේ අදහස වන්නේ මේ අර්බුදය තවතවත් ඉදිරියට ගමන් කිරීම යහපත් බව ය. අර්බුද යනු නරක දේ නොවේ. මන්දයත් මූලික දේශපාලන සාකච්ඡා මතුවන්නේ, විකල්ප අදහස් මතුවන්නේ මෙවැනි අර්බුද තුළිනි. ඒ අර්ථයෙන් ගත් කල මම මේ අර්බුදය හඳුනා ගන්නේ නොවැලැක්විය හැකි තත්ත්වයක් සේම වෙස්වළාගෙන පැමිණි ආශිර්වාදයක් ලෙස ය. එනිසා අප මෙය නිවැරදිව හඳුනාගෙන කටයුතු කළ යුතුය.

 

Comments