එස්තර් මෝගන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් වේ | සිළුමිණ

එස්තර් මෝගන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් වේ

 

එස්තර් මෝර්ගන් විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය ‘ද වුන්ඩ් රෙජිස්ටර්’(The Wound Register) නමින් පසුගියදා පළ විය. එය ඇගේ සිව්වැනි කාව්‍ය සංග්‍රහය වේ. වර්ෂ 1970 දී එංගලන්තයේ වොර්චෙස්ටර්ෂයර් පළාතේ කිඩර්මින්ස්ටර් නමැති ප්‍රදේශයේ උපත ලද ඇය, එහිම හැදී වැඩී ප්‍රාථමික සහ ද්වීතියික ලැබීය.

වර්ෂ 1998දි නැගෙනහිර ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයෙන් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගත්තා ය. ඇය මේ වන විට කාව්‍ය සංග්‍රහ හතරක් ලියා පළ කර, සම්මාන ගණනාවකින් ද පිදුම් ලබා ඇත.

ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘බියෝන්ඩ් කෝලින් ඩිස්ටන්ස්’(Beyond Calling Distance) නමින් 2001 වසරේදි පළ වූ පසුව එය මුල් ම කාව්‍ය සංග්‍රහ සඳහා පිරිනැමෙන ජර්වුඩ් ඇල්ඩෙබර්ග් නමැති විශේෂ සම්මානයට පාත්‍ර වූ අතර, ජෝන්ලෙවෙලින්රයිස් ත්‍යාගය සඳහා ද එය නිර්දේශ විය.

එයින් පසුව ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය ‘ද සයිලන්ස් ලිවින් ඉන් හවුස්’(The Silence Living in Houses ) නමින් 2005 වසරේදි ප්‍රකාශයට පත් විය. ඇගේ තෙවන කාව්‍ය සංග්‍රහය ‘ග්‍රේස්’() නමින් 2011 වසරෙදී පළ වූ අතර, එය 2012 වසරේ ටී. එස්. එලියට් ත්‍යාගය සඳහා ද නිර්දේශ විය.


චාල්ස් ඩිකන්ස්ගේ අස්ථානගත ආලේඛ්‍ය චිත්‍රයක් හමු වේ

 

විශිෂ්ට ඉංග්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස්ගේ තරුණ කාලය නිරූපණය කෙරෙන අතිශය දුර්ලභ ආලේඛ්‍ය චිත්‍රයක් පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවති වෙන්දේසියකට ඉදිරිපත් කරනු ලැබූ අබලි ද්‍රව්‍ය අතර තිබී හමු වී තිබේ.

වසර 174ක කාලයක් තිස්සේ අස්ථානගතව පැවති මෙය මෑත කාලයේදී සොයාගන්නා ලද වටිනාකමින් ඉතා ඉහළ කෞතුක භාණ්ඩයක් ලෙස සැලකේ.

මාගරට් ගිලීස් නමැති චිත්‍ර ශිල්පිනියක විසින් 1843 වසරේ අග භාගයේදී පමණ මේ ආලේඛ්‍ය චිත්‍රය නිර්මාණය කර ඇත්තේ ඩිකන්ස් වයස අවුරුදු 31ක තරුණයකු ලෙස සිටියදී බව වාර්තා වේ.

ඒවනවිට නැගී එන සාහිත්‍ය තාරකාවක් ලෙස කැපී පෙනුණ ඔහු‘අ ක්‍රිස්මස් කැරොල්’(A Christmas Carol) කෘතිය රචනා කරමින් සිට ඇත.

මේ ආලේඛ්‍ය චිත්‍රය දකුණු අප්‍රිකාවට පැමිණියේ කෙසේදැයි නිශ්චිත නැතත්, දැනට කර ඇති පර්යේෂණ අනුව පෙනී යන පරිදි, චිත්‍ර ශිල්පිනිය විසින් ඇයට කිසියම් ඥාති සම්බන්ධයක් පැවති පුද්ගලයකුට එය ලබා දී ඇත. ඔහු එය1860 ගණන්වලදී දකුණු අප්‍රිකාවට රැගෙන ගොස් ඇතැයි විශ්වාස කෙරේ.


ස්පාඤ්ඤයේ ඉහළ ම සාහිත්‍ය සම්මානය 95 හැවිරිදි කිවිඳියකට

ස්පාඤ්ඤ භාෂාවෙන් සාහිත්‍ය නිර්මාණකරණයෙහි නියැළෙන ලේඛක ලේඛිකාවන් සඳහා පිරිනැමෙන මිගුවෙල් ඩී සර්වාන්ටේස් නමැති සුවිශේෂ සාහිත්‍ය සම්මානය ස්පාන්චයේ සංස්කෘතික අමාත්‍ය යොෂේ ගුයිරාවෝ විසින් පසුගියදා ඉඩා විටාලේ(Ida Vi tale) නමැති 95 හැවිරිදි කිවිඳියට පිරිනමනු ලැබීය. දැනට අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ඇය විසින් සිය කාව්‍ය නිර්මාණ, සාහිත්‍ය විචාර සහ පරිවර්තන ඔස්සේ ස්පාඤ්ඤ සාහිත්‍ය උදෙසා ලබාදෙන ලද සුවිසල් දායකත්වය අගයමින් 2018 වසර සඳහා වූ මේ ත්‍යාගය ඇයට පිරිනැමීමට තීරණය වී තිබෙනවා. ස්පාඤ්ඤ කවිය තුළ වඩාත්ම විශිෂ්ට ලෙස භාෂාව හසුරුවමින් නිර්මාණාත්මක භාව ප්‍රකාශනයේ නව ඉසව් සොයා යන අතරම, කවියේ සුක්ෂ්මතා මනාව ග්‍රහණය කරගනිමින් විශ්ව ව්‍යාප්ත වින්දන පරාසයන් ස්පර්ශ කිරීමට සමත් වූ කිවිඳියන් කිහිපදෙනාගෙන් අයකු ලෙස සැලකිය හැකි මේ සම්මානයට සෑම අතින් ම සුදුසුකම් ලබා සිටින්නියක බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මේ ත්‍යාගය හිමිකර ගත් පස්වැනි කාන්තාව ඇය, ’45 පරපුර’ නමැති කලා සංවිධානයකට අයත්ව සිටි සාමාජික සාමාජිකාවන් අතරින් දැනට ජීවත් ව සිටින එක ම තැනැත්තිය වීම ද විශේෂත්වයක්.


රෝල් ඩාල්ගේ අවසන් කෘතිය දශක දෙකකට පසු

ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛක රෝල් ඩාල් 1990 වසරේදී මිය යාමට ප්‍රථම රචනා කළ අවසන් කෘතිය වූ ‘මයි ඉයර්’(My Year) 1998 වසරේදී ප්‍රථම වරට පළ වීමෙන් වසර විස්සකට පසුව රෝල් ඩාල් කෞතුකාගාරය හා කතන්දර මධ්‍යස්ථානය සමඟ එක්ව එහි නවතම මුද්‍රණයක් නිකුත් කිරීමට සුප්‍රකට පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනය සහ රෝල් ඩාල් කතන්දර සමාගම කටයුතු කර තිබෙනවා. ක්වෙන්ටින් බ්ලේක් නමැති සුප්‍රකට චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මනරම් රුපසටහන් සහිතව ස්වභාව සෞන්දර්ය වර්ණනාවක් ලෙස ප්‍රථම වරට 1998 වසරේදී පළ විය.

එහි සියලු පිටපත් ඉතා කෙටි කාලයක් ඇතුළත අලෙවිවී අවසන් වූ නමුත් ගෙවී ගිය දශක දෙකක කාලය ඇතුළත එහි නැවත මුද්‍රණයක් කිසිදු අයුරකින් පළ වී නොමැත. කතුවරයාගේ ළමාවියේ අද්දැකීම් මුසු කරමින්, පරිසරයේ සුන්දරත්වය ද එක්කරමින් ලියැවී ඇති මේ කෘතිය තවත් පරපුරකට අත්වැලක් සපයන්නක් වේ.

Comments