සිනා කතා | සිළුමිණ

සිනා කතා

වැඩේට හොඳ ම තැන

“මේ පොලීසියේ අලුත් ඕඅයිසීකාරයාගෙ ඇහැ වහලා යමක් කරන්ඩ ලේසි නෑ. පුතෝ, අපි බූරුවා ගහලා එහෙම අහුවුණොත් ඉන්තේරුවෙන් ම අපිට හිරේ ලගින්ඩ වෙනවා. මං මේ කල්පනා කළේ ඔය වසවර්තියාගෙන් බේරිලා බූරුවා ගහන්නෙ කොහෙද කියලයි.” බූරුවා කු‍ට්ටමත් අතැතිව කළු අයියා කීවේ ආමිපාල දෙස බලා නිකට කසමිනි.

“ඕකට ඔය හැටි කල්පනා කරන්ඩ ඕනයැ බං. බූරුව ගහන්ඩ අපිට ඕනෑ වෙන්නෙ හොඳ සුරක්ෂිත තැනක් නෙ. ඉතින් අපි කට්ටිය එක්කම යං අරලිය ගහ මන්දිරේට. ඉවරයිනෙ.” ආමිපාල කීවේ සිනාසෙමිනි.

 

එහෙම නරකද?

“දැන් බලනවා පාර්ලිමේන්තුවේ අගමැතිලා දෙන්නයි. සභානායකලා දෙන්නයි. මේක මහ පුදුම සම්ප්‍රදායක් නෙ.” සභා ග‍ැබේ සිට එළියට එමින් සිටි ඇමතිවරයා තරුණ මන්ත්‍රීවරයා දෙස බලා කීවේ තරමක කලකිරීමකිනි.

“ඉතින් හොඳයි නෙ සර්. ඔය සම්ප්‍රදාය අපේ පවුල් සංස්ථාවටත් ඇප්ලයි කරලා ගෙදරටත් වයිෆ්ලා දෙන්නෙක් දා ගත්තාම නරක ද?” මන්ත්‍රීවරයා කීවේ ඉඟි මරමිනි.

 

මිරිස් කුඩු තහනම්

“දයාතිලක මේ මාළු හොද්ද පොඩ්ඩක් දිව ගාලා බලනවා. අයිසෙ මේකෙ මිරිස් රහක් ඇත්තෙ ම නැහැනෙ.” පාර්ලිමේන්තු ආසන ශාලාවේදී දිවා භෝජනය වළඳමින් සිටි මන්ත්‍රීවරයා වේටර්වරයකු කැඳවා කීවේ තරමක කෝපයකිනි.

“ඒකට නං කරන්ඩ දෙයක් නැහැ සර්. අපේ කැන්ටිමේ ලොක්කා ඊයේ ඕඩර් එකක් දුන්නා කැන්ටිම පැත්ත පළාතටවත් මිරිස් කුඩු ගේන්ඩ එපා කියලා.” දයාතිලක බයාදු හිනාවක් නඟමින් කීවේ ය.

 

 

ඒක පිහියක් නෙමෙයි

“තවමත් පාසල් සිසුවකු වන තමා මිනීමැරීමේ චේතනාවෙන් පිහියක් රැගෙන පැමිණ තවත් පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන මරීමේ චෝදනාවට වැරැදිකරුද, නිවැරැදිකරු ද?” විනිශ්චයකාරවරයා විත්තිකූඩුවේ සිටි තරුණයා දෙස තියුණු බැල්මක් හෙළමින් විමසී ය.

“නිවැරදිකාරයා ස්වාමිනි. ඒක පිහියක් නෙමෙයි, ලියුම් කඩන පෑනක්.” විත්තිකරු වහා පැවසුවේ සැහැල්ලු ලීලාවකිනි.

 

බදාගත්තෙ ඒකයි

“සඳුනි, මොකක්ද අනේ ඔයා සභාව ඇතුළේ මිනි මරා ගනිද්දි අර දේවින්ද මන්ත්‍රීතුමාව බදාගෙන නටපු නාඩගම? අන්න ආණ්ඩු පක්ෂෙ මන්ත්‍රීවරයෙක් ඒක මාධ්‍ය සාකච්ඡාවකදි රසකරලා කියලා ඔයාගෙ සායම අරිනවා මං දැක්කා.” පාර්ලිමේන්තුව සභාවාරය පසු දිනට කල් තැබීමෙන් අනතුරුව, ඉවතට යමින් සිටියදී වැඩිහිටි මන්ත්‍රීවරියක තරුණ මන්ත්‍රීවරියක හමුවේ කීවේ අවලාදයක ස්වරයෙනි.

“මම නැටුව නාඩගමක් නැහැ. වැරදි ඇහෙන් බැලුවාම තමයි ඕවා වැරදියට පේන්නෙ. ඒ වෙලාවේ දේවින්ද මන්ත්‍රීතුමා ආණ්ඩුවට පනින්ඩයි හැදුවේ. මම තමයි පැනලා එයාව බදාගෙන එහෙම යන එක නවත්තා ගත්තෙ.” සඳුනි කටේ තොලේ නොගෑවී කීවා ය. 

 

 

Comments