භාරතීය ජනතා පක්ෂයේබල කඳවුරුමෝදිගෙන් ගිලිහෙයි | සිළුමිණ

භාරතීය ජනතා පක්ෂයේබල කඳවුරුමෝදිගෙන් ගිලිහෙයි

මීළඟ මහා මැතිවරණය අත ළඟටම පැමිණ තිබෙන අවස්ථාවක ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ බලය හීන වී යයි. ඒ බව සනාත වූයේ චත්තිස්ගාර්, රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්තවල ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟයි.

ප්‍රාන්ත කිහිපයකට අවශ්‍ය ජනතා නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා පසුගිය දා එරට ප්‍රාන්ත කිහිපයක මැතිවරණ පැවැත්විණි. එම මැතිවරණවලින් චත්තිස්ගාර්, රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්ත තුනේ බලය ඉන්දීය කොංග්‍රස් පක්ෂයට හිමිව තිබේ. එය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා 2014 වසරේ දී බලයට පත්වීමෙන් පසු ලත් බරපතළ පරාජයක් හැටියට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්දීය මහා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇත.

චත්තිස්ගාර් සහ රාජස්ථාන් ප්‍රාන්ත දෙක භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල බල කඳවුරු ලෙස සැලකේ. මධ්‍ය ප්‍රදේශ්හි බලය, ප්‍රධාන පක්ෂ දෙක අතර විටින් විට මාරු විණි. මේ ප්‍රාන්ත තුනේ බලය කොංග්‍රස් පක්ෂයට හිමිවීමෙන් සනාත වන්නේ, ඒ පක්ෂය රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් ශක්තිමත් වීමක් යැයි විචාරකයෝ පෙන්වා දෙති. ඇතැම් මාධ්‍ය ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරමින් කියා සිටින්නේ එය, ඉදිරි මහා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට අවාසි සහගත තත්ත්වයක් අත් වන බවට පූර්ව සංඥාවක් බවයි.

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ සෑම විටම මහමැතිවරණයකට පෙර ජයග්‍රාහී පක්ෂය සම්බන්ධයෙන් පෙර මග ළකුණු පෙන්වා දෙන මැතිවරණ ලෙස සැලකේ. ඒ අනුව මේ මැතිවරණ ප්‍රතිඵල ළඟ එන කොංග්‍රස් ආණ්ඩුවක් ගැන අනාගත වාක්‍ය පවසන මැතිවරණ ප්‍රතිඵලයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.

ආසන 90ක් සඳහා ලෝක් සභාවට සාමජිකයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති මේ ප්‍රාන්ත මැතිවරණයේදී ආසන 68ක් දිනා ගැනීමට කොංග්‍රසය සමත් වූ අතර අගමැති නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකියාව ලැබුණේ ආසන 15ක් පමණි.

Comments