ගිමදු - ආර්චි හදවත් ඇත්තෝ සහ නැත්තෝ | සිළුමිණ

ගිමදු - ආර්චි හදවත් ඇත්තෝ සහ නැත්තෝ

ක්‍රිකට් යනු අපුර්ව නාට්‍යයක් බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. එය ටෙස්ට් - එක්දින සහ විස්සයි 20 වුවද වෙනසක් නැත. මේ දිනවල මෙරට ජනමාධ්‍යවල වීරයා ඕස්ට්‍රේලියාවේ සත් හැවිරිදි හදවත් රෝගි ආර්චි ස්කිලර් බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ආර්චි මෙතරම් ලෝක අවධානයට පාත්‍ර වුයේ බොක්සිං දින ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකයා වෙමින් ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් පිටියට පිවිසීමෙනි. ආර්චි තරම් ලෝකයේ කෙසේ වෙතත් ගිමදු ලක්රු මැල්කම් ගැන මෙරට ජනමාධ්‍ය හෝ ජනතා අවධානයට හෝ ලක්වුවාද යන්න වෙනම විමසා බැලිය යුතු සාධකයකි. ගිමදු ලක්රු ඉන්දියාවේ අවසන් වූ පළමු විස්සයි 20 ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයායි.

“මට කන් ඇහෙනවා අඩුයි”. මේ ගිමදුගේ හඬයි. කන් ඇසීම අඩු නිසාම ගිමදුට කතා කිරීමට ද අපහසුය. ආර්චිට හදවත් රෝගයක් ඇති බව හඳුනා ගෙන ඇත්තේ උපතේදීමය. හදවත් සැත්කමකට මුලින් ආර්චි මුහුණ දෙන විට මාස තුනකි. ගිමදුගේ ආබාධය හඳුනාගෙන ඇත්තේ අවුරුදු එක හමා‍රේදී පමණය. ආර්චිගේ මෙන්ම ගිමදුගේ දෙමවුපියන්ගේ හදවත් නතර වූව‍ාට සැක නැත. නමුත් ඔවුන් ඒ සියල්ල විඳ දරා ගනිමින් අදටත් ජීවිතයට මුහුණ දෙමින් ගමන් කරති. ආර්චිගේ දෙමවුපියන් මෙවර නත්තල මහත් සැනසිල්ලකින් ගෙවා දමන්නට ඇත. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. 2017 වසරේ නත්තල් සමය ආර්චි ගෙවා දමා තිබෙන්නේ හදවත් සැත්කමකට මුහුණ දීමෙන් අනතුරුව රෝහල් සයනයක් මතය. ආර්චි සිය නිවහන පිහිටි ඇඩිලේඩ් සිට මෙල්බර්න් දක්වා පසුගිය නත්තලට පෙර ගමන් කර තිබුණේ නම් ඒ සැත්කම සඳහා පමණි. එහෙත් පසුගිය වසරේ නත්තල ආර්චිට ගෙනාවේ නවමු අත්දැකිමකි. එකි අත්දැකීම වනාහි ඓතිහාසික ‍බොක්සිං දින ටෙස්ට් තරගයයි. “2017 නත්තලේදි ඉස්පිරිතාලේ ඉදලා ගෙදර එන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තිබුණේ නෑ. ඒත් ගිය පාර නත්තල ගොඩක් වෙනස් වුණා. ඒ වෙනස හොඳයි.”

එකී වෙනස වනාහි ආර්චි වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ගත් තවත් ඓතිහාසික තිරණයකි. එකි පියවර ලක්ෂ සංඛ්‍යාත ආර්චිලා වෙනුවෙන් ගත් යෝධ පියවරකි. ආර්චි සිය දෙමවුපියන්ට ගෙන දුන් ආකාරයේම සතුටක් සැනසීමක් ඊට මාසයකට පෙර ගිමදු ලාංකිකයන්ට මෙන්ම සිය පවුලේ උදවියට ද ගෙන දීමට සමත් වුයේ පළමු ශ්‍රවණාබාධිත විස්සයි 20 ක්‍රිකට් කිරුළ ලක්මාතාවට දිනා දීමට නායකත්වය දරමින්ය.

ඔහු මෙතරම් සිනාසෙනවා තමා කිසි දිනෙක දැක නොතිබු බව ආර්චිගේ මව සාරා ප්‍රකාශ කර තිබුණි. ඒ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිය පුත්‍රයා වෙනුවෙන් තැබූ යෝධ පියවරේ දිග පළල සෙවීමට වෙහෙස මහන්සි වෙනවාට වඩා සාරාගේ හඬට කන්දීම ප්‍රමාණවත්ය.

එහෙත් ගිමදුට ඇත්තේ ඊට හාත් පසින්ම වෙනස් අත්දැකීමකි. අම්බලන්ගොඩ ප්‍රසිද්ධ විදුහලකට ඇතුළත් වීමට සිය පුත්‍රයා සියලු සුදුසුකම් සපුරා තිබියේදිත් ශ්‍රවණාබාධිත තත්ත්වය මත දරුවා විදුහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කළ බව ගිමදුගේ මව අදටත් සිහිපත් කරන්නේ දෙනෙත්වල කඳුළු පුරවාගෙනය. “ඕස්ට්‍රේලියානුවන් මනුෂ්‍යයන් විදියට මොන තරම් ඉහළ මට්ටමක ඉන්න කොට අපි මනුෂ්‍යයන් විදියට ඉන්නේ මොන තරම් පහත් මට්ටමකද කියලා හිතෙවයාත.“ ඒ ගිමදුගේ මව වන ප්‍රියානි හේමලතාගේ හඬයි. “කන් ඇහෙන්නෙ නැති ළමයා මුළු ලෝකයක් ජය ගත්තම අම්මා කෙනෙක් විදියට මට ගොඩක් සතුටුයි.” ගිමදුගේ මව තුටු කඳුළු පුරවා ගනිමින් එසේ පවසන්නීය. මෙකී ගෞරවයෙන් වැඩි කොටසක් අදාළ ප්‍රසිද්ධ විදු මෑණියන්ට ලැබිය යුතු අවස්ථාවට පයින් ගසා ඇත්තේ ළමා අයිතිවාසිකම් මොනවාද යන්නත් නොදන්නා හිතක් පපුවක් නැති විදුහල්පතිවරයකුගේ අඳ බාල තීරණයකි. එකී විදුහල්පතිවරයාගේ මේ අඳබාල තීරණයට දෙවරක් නොසිතා පයින් ගැසූ සිරි අබේතිස්ස විද්‍යාලයේ මෙන්ම සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරු මණ්ඩලයට ද ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය. ඒ වෙ‍ෙනකක් නිසා නොව, ඔවුන් ගිමදුගේ තත්වය තේරුම් ගෙන අද වන විට ලක්මවට කීර්තියක් ගෙන දීමට තරම් ගිමදු වෙනුවෙන් කළ මඟ පෙන්වීම, කැප කිරිම සහ පරිත්‍යාගයටය.

ආර්චි වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවන් කළ කැප කිරීම, පරිත්‍යාගය මේ අවසන් වූ බොක්සිං දින ටෙස්ට් තරගයෙන් නිමා නොවන අතර, එය ක්‍රිකට් ඉතිහාසයේම පුරාවෘත්තයක් බඳු මතක සටහනක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළින් ම සටහන් වනු ඇත. එහෙත් අවාසනාවකට අදාළ විද්‍යාලයේ එවකට විදුහල්පතිවරයාගේ එකී බාල වැඩෙන් විද්‍යාලයට සිදු වූ අපකීර්තිය මේ ඉතිහාසය පුරාම කළු පැල්ලමක් සේ සටහන් වනු ඇත.

 

අදහස්