විස්සයි 20 ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්නේ | සිළුමිණ

විස්සයි 20 ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්නේ

ලාංකේය ක්‍රීඩා ජීවිතවල යටගියාව හාරා ඇවිස්සීමේදී නිබඳවම අසන්නට ලැබෙන්නේ හද පත්ලෙන්ම නැගෙන ‘මෙකී ගමනේ ජය කණුව කරා පියමනින්නට කළ දුෂ්කර ක්‍රියාවේ දෝංකාරයන්ය.


එසේ වැර වීරියෙන් ගොඩනගාගත් ලාංකේය ක්‍රීඩා ජීවිත පිළිබඳ කතාබහ කරන්න සදාදරණීය අම්මා තරම් වෙන කවුරුද? ලාංකේය ක්‍රීඩා ජීවිත තුළ ජවය - ශක්තිය මෙන්ම ආශිර්වාදයේ ප්‍රතිමුර්තිය බවට පත්ව සිටින්නේ ද අම්මායි. තම දූ පුතුන් වෙනුවෙන් දහස්වර අනෙකවිද කැප කිරීම් කළ අම්මා අද එකී අතිතයේ දුක් කඳුළු ගැන මෙනෙහි කරමින් තුටු කඳුළු සලන්නීය.

සතුට දෝර ගලනා මෙවන් හැඟුම්බර මොහොතක ක්‍රීඩා සෙවණැල්ල අම්මා කෙනෙකුගේ සෙනෙහේබර සාඩම්බරය ළැබැදියාවෙන් අකුරු කරන්නට ගන්නා උත්සාහයයි මේ. එන්න අපි ඒ සෙවණැල්ල සොයා ගෙන යමු.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති පළමු විස්සයි 20 ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත්විය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ලෝක කිරුළක් දිනා ගත් තෙවැනි වතාව මෙය වන අතර මීට පෙර අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් සීමිත පන්දුවාර 50 ක්‍රිකට් කිරුළ දිනා ගත් අතර, 2014 දී ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ විස්සයි 20 ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත් විය. පළමු ශ්‍රවණාබාධිත විස්සයි 20 ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ ගිමදු ලක්රු මැල්කම්ගේ නායකත්වය යටතේය. මේ ගිමදු පිළිබඳ කතාබහකට ගිමදුගේ මව ප්‍රියානි හේමලතාට අප වෙන් කළ ඉඩකඩයි.


පළමු වන ශ්‍රවණාබාධිත විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයට යන්න කලින් ගිමදු කියලා ගියාද විශේෂ යමක් කරනවා කියලා?

මේ ලෝක කුසලානය දිනනවා කියලා තමයි කිව්වේ. ඒ වගේ ම ලොකු අධිෂ්ඨානයක් තියෙනවා කියලත් කිව්වා.

අම්මා මොනවාද කිව්වේ?

ඔයා තමයි නායකයා. ඔයාට තමයි මේ තරගාවලියේ ශ්‍රී ලංකා ටීම් එක උපරිමය දුර ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඔයා මූලිකත්වය අරගෙන තරග කළොත් ඔයාට ලෝක කුසලානය දිනා ගන්න එක අමාරු නෑ කියලා කිව්වා. හොඳට ටීම් එකත් එක්ක වැඩ කරලා ලෝක කුසලාන තරගාවලියේ හැම තරගයකටම මුහුණ දෙන්න කියලා තමයි කිව්වේ.

ගිමදු ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කණ්ඩායමේ නායකයා කියලා දැනගත්තේ කොහොමද?

මෙයාගේ යහළුවෝ තමයි ෆෝන් එකකට පණිවිඩ එවලා තිබ්බේ ගිමදු නායකයා කියලා.

ඒ කොයි කාලයේදී ද?

මේ තරගාවලියට යන්න මාස තුනකට විතර කලින් තමයි ඔය පණිවිඩය ලැබුණේ. අගෝස්තු මාසයේ විතර තමයි නම් කරලා තියෙන්නේ. ටීම් එකක් විදියට පුහුණුවීම් කරලා තියෙනවා.

ඒ වෙන‍කොට නායකයෙක් ඉඳලත් නෑ. ඊට පස්සේ තමයි මෙයාව නායකත්වයට පත් කරලා තියෙන්නේ.

ඒ පණිවිඩය අම්මට ලැබෙන විට මොනවද හිතුණේ?

ලොකු සතුටක් ඇති වුණා. මේ තරගාවලියට කලින් පාකිස්තාන් ටීම් එකත් එක්ක ලංකාවේ තිබුණු තරගාවලිය මම බලන්න ගියා. තරගාවලිය තිබ්බේ මොරට‍ුවේ. ඒ තරගාවලියේ මෙයා පන්දු යවපු විදිය, පන්දුවට පහර දීපු විදිය බලාගෙන ඉන්න කොට මට හිතුණා මෙයාට කවදා හරි නායකත්වය ලැබෙයි කියලා.

ගිමදු ක්‍රිකට් පටන් ගන්නේ කොහොමද?

පුංචි කාලයේ ඉඳලාම ක්‍රිකට්වලට හරිම දක්ෂයි. මෙයාට හොඳ ඉලක්කයක් තියෙනවා. පන්දු යවන‍‍ෙකාට වුණත් හරි ඉලක්කයට පන්දුව යැවීමේ හැකියාව තිබුණා. පන්දුවට පහර දෙන කොට වුණත් ‍ෙහාඳ කල්පනාවෙන් පන්දුවට පහර දෙනවා.

මෙයා ගලක් ගැහැව්වත් හරියට ඉලක්කයට ඒක ගහනවා.

මේ කොයි කාලයේදී ද?

අවුරුදු තුන හතරේදි වගේ කාලයේදී තමයි මේ හැම දෙයක් ම කළේ.

ගිමදුගේ පවුලේ?

අක්කයි - අයියයි. දුව මලල ක්‍රීඩා කළා. චමෝදි කෞශල්‍යා, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අයියාත් ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගත්තේ. එයා කැඩෙටින් කළා.

අක්කා මලල ක්‍රීඩා සහ බාස්කට් බෝල් ටීම්වල නායකත්වය දැරුවා. බාස්කට්බෝල්වලින් අක්කා ජාතික පාසල් දක්වා ගිහින් තියෙනවා.

ගිමදු මලල ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා හිටියා. මැරතන් තරගවලට ගිහින් ජය අ‍රගෙන තියෙනවා. ඒ වගේම කෙටි දුර තරගවලටත් ගිමදු හරි දක්ෂයි. දුර පැනීම, උස පැනීම වගේ ඉසව්වලට ඉදිරිපත් වෙලා ජය අරගෙන තියෙනවා.

ගිමදු ඉස්කෝලේ ගියේ කොහේද?

වතුගෙදර සිරි අබේතිස්ස විද්‍යාලයට.

අක්කයි - අයියයි ධර්මශෝක විද්‍යාලයට යනකොට ගිමදුට එය මඟ හැරුණේ ඇයි?

ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඇත්තටම මේ කතාව කියනකොට ලොකු දුකක් ඇති වෙනවා. අපේ පවුල්වල කාටවත් කිසිම ආබාධයක් නෑ. ඒ හින්දා ගිමදුට ආබාධයක් තියෙයි කියලා හිතන්නේ නෑ. ගිමදුට ආබාධයක් තියෙනවා කියලා මුලින්ම දැනගෙන තියෙන්නේ අපේ අම්මා. පුතා ඉපදෙන්න ඉන්නකොට මට පැපොල හැදුණා. මේකෙන් ගිමදු ආබාධිත වුණා කියලා තමයි හැමෝම කියන්න ගත්තේ. ඒකයි කන ඇහෙන්න නැතුව ගිහින් තියෙන්නේ.

මොන්ටිසෝරි එහෙම ගියාද?

ඔව්. සාමාන්‍යයෙන් ළමයි එක්ක එකතු වෙලා සෙල්ලම් කළා. ඔහොම සාමාන්‍ය විදියට වැඩ කරගෙන හිටියා.

ගිමදුව ඒ වෙනකොට වෛද්‍යවරුන්ට පෙන්නුවාද?

ඔව්. අපි ඒ වෙනකොට රාජගිරිය බිහිරි සේවා මධ්‍යස්ථානයෙන් තමයි ප්‍රතිකාර ගත්තේ. එතැනින් ප්‍රතිකාර ගන්න කලින් රත්මලා‍න ආබාධිත නිවාසයෙන් ඉල්ලුම් පත්‍රයක් පුරවන්න ඕනෑ. ඒක පුරවන්න යන‍කොට ඔවුන් මෙයාව සාමාන්‍ය පාසලකට ඇතුළු කරන්න කිව්වා.

ඊට පස්සේ?

මමත් ගියේ ඒ පාසලට. අක්කයි - අයියයි යන්නෙත් ඒ පාසලට නිසා. මට බයක් තිබුණෙත් නෑ. අනික මෙයා ඉගෙන ගන්නත් දක්ෂයිනෙ.

කන් ඇසීමේ ආබාධයක් තිබුණාට ඉගෙන ගන්න දක්ෂයි. වෙන කිසිම ආබාධයක් තිබුණෙත් නෑ. ඒ හින්ද එම විද්‍යාලයට ඉල්ලුම් පත්‍රයක් දැම්මා.

කොහොම හරි ගිමදුට මෙහෙම ආබාධයක් තියෙනවා කියලා දැනගෙන විදුහල්පතිතුමායි - ආදි ශිෂ්‍ය සංගමයේ අයයි වෛද්‍ය වාර්තාවක් බලන්නේ නැතුවම තීරණය කළා ගිමදුව පාසලට ගන්න බෑ කියලා. විදුහල්පතිතුමා වුණත් බොහොම වගකීම් විරහිත විදියට වැඩ කළා කියලා හිතෙනවා.

මේ තත්ත්වය විදුහල්පතිතුමාට පැහැදිලි කළේ නැද්ද?

අපි පැහැදිලිවම කිව්වේ මෙහෙම ළමයෙක්ව අක්කයි - අයියයි ඉන්න පාසලට තමයි යවන්න ඕනෑ. ඒ වගේම මෙයාව බලපු හැම තැනකින්ම වගේ කිව්වේ ලියුම් පවා දුන්නේ සාමාන්‍ය පාසලකට යවන්න කියලා. මේ හැම දෙයක්ම පැහැදිලිවම කිව්වා. මට ඇඬුණා. මම හරිම ආසාවෙන් හිටියේ ගිමදුව මමත් ගිය පාසලටම යවන්න. අක්කයි අයියයි යන පාසල. ළඟම ඉස්කෝලයත් ඒක. කොහොම හරි ළමයාව පාසලට ගත්තේ නෑ.

මේ සිද්ධියට ‍එරෙහිව නැගී සිටියේ නැද්ද?

නැගී සිටියා. අපි නඩු කියන්න විතරක් නොවෙයි මානව හිමිකම් කොමිසමට පවා ගියා. මේ හැම තැනකින් ම කිව්වේ ළමයාව පාසලට ගන්න කියලයි. පස්සේ මට කල්පනා වුණේ, ළමයාව ඒ පාසලට දාලා පස්සේ තව වද විඳින්න වෙයිද කියලා මම ගොඩක් හිතුවා. ළමයාව පාසලට අරගෙන වද දෙන්න ගත්තොත් ඒක ළමයාට දරා ගන්න පුළුවන් වෙයිද? බැරිවෙයිද වගේ ප්‍රශ්න වැලක මම අන්තිමේට හිර වුණා.

ගිමදු ඒ පාසලෙන් ඔහොම එළියට විසිවෙන කොට සිරි අබේතිස්ස පාසල ලැබුණේ කොහොමද?

මට හිතවත් ගුරුවරියක් හිටියා ඔය ඉස්කෝලේ. එයා තමයි කිව්වේ පුතාව අපේ පාසලට එවන්න, මමත් ඉන්නවානේ කියලා. මටත් මුලදි ටිකක් බය හිතුණා. අක්කයි - අයියයි හිටියා නම් මල්ලිව කොහොමත් බලා ගන්නවානේ කියලා.

ගිමදුට පළමු වසරේ ඉගැන්නුවේ දක්ෂිණි කියලා මිස් කෙනෙක්. ඒ මිස් හරිම ආදරෙන් ගිමදුට ඉගැන්නුවා. හය වසරේ ඉගෙන ගන්න කොට අම්බලන්ගොඩ සිංහ සමාජයේ ක්‍රිකට් පුහුණුවීම්වලට යැව්වා. සෂිල සර් තමයි ක්‍රිකට් පුහුණු කළේ. සර් එතකොට සිද්ධාර්ථ ඉස්කෝලේ පුහුණුකරු විදියට වැඩ කළේ.

සිරි අබේතිස්ස ඉස්කෝලේ ක්‍රිකට් නැති නිසා සිද්ධාර්ථ ඉස්කෝලේට ගිමදුව දාලා දෙන්න කිව්වා.

පාසල මාරු කළාද?

ඔව්. විදුහල්පතිවරුන් දෙන්නා එක්ක කතාබහ කරලා ගිමදුව සිද්ධාර්ථ ඉස්කෝලයට ඇතුළු කළා. සිද්ධාර්ථ ඉස්කෝලේ ටීම් එකෙත් හොඳට ක්‍රීඩා කළා. ඊට පස්සේ නගර සභා ටීම් එකට තේරුණා. මේක ටීම් එකක් කිව්වට ඇකඩමියක් විදියට තමයි ක්‍රියාත්ම වුණේ. කපිල මහත්තයා මේ වැඩවලදි හුඟක් උදව් කළා. ඒ මහත්තයා හදිසියේ නැති වුණා.

පුතාට රට යන්න පවා ඒ මහත්තයා හුඟක් උදව් කරලා තියෙනවා. 2017 දී ඉන්දියාවේ සංචාරයකට ගියා. ඒ තරගාවලියේත් වීරයා වුණා. ඔය අතර ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල වුණා. ගිමදුට පුහුණුවීම්වලට මෙහේ ඉඳලා මොරටුවේ යන්න අමාරු නිසා යන්නේ නැතුව ඉන්න හිටියේ. පස්සේ ටීම් එකේ අය තමයි කිව්වේ මෙයාව එවන්නේ නැතුව ඉන්න එපා, කොහොම හරි එවන්න කියලා. ඒ අය කතා කරපු නිසා තමයි මොරටුවට යැව්වේ. නැත්නම් දුරත් එක්ක කීයටවත් මම ගිමදුව ඔච්චර දුර යවන්නේ නෑ.

ගිමදුගේ පුංචි කාලය කොහොමද?

පුංචි කාලයේ ඉඳලම ක්‍රිකට් ගහන්න තමයි වැඩියෙන් ම කැමැති. අවුරුදු තුනහමාර හතරේදී ත්‍රීවිල් එක පවා අරගෙන යනවා. ත්‍රිවිල් එකේ ඉඳගෙන ඉන්න කොට පේන්නෙත් නෑ. ඒ තරම්ම පොඩියි. ඔය වැඩ කරනකොට නම් කිසිම ආබාධයක් නම් පෙනෙන්නවත් තිබුණේ නෑ.

පාසලෙන් ප්‍රතික්ෂේප වෙලා, සිරි අබේතිස්ස සහ සිද්ධාර්ථ විද්‍යාල හරහා ඉදිරියට එනකොටවත් එම විද්‍යාලයේ කවුරුවත් කතා කළේ නැද්ද?

එහෙම නම් කිසිම කෙනෙක් කතා කළේ නෑ. දැන් නම් ඔවුන්ට තේරෙන්න ඇති එදා අ‍රන් තියෙන්නේ මෝඩ තීරණයක් කියලා.

ගිමදු පළමු ශ්‍රවණාබාධිත විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන එනවා. බොක්සිං දින ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියාවේ හදවත් රෝගි ආර්චි ස්කීලර් නම් සත් හැවිරිදි දරුවා ඉන්දියාව සමඟ මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ සම නායකයා වෙනවා. කෙනෙකුට මේවා බොරු වැඩ එහෙමනැත්නම් සෝබන දේවල් කියලත් කියන්න පුළුවන්. ගිමදුට වෙච්ච අසාධාරණය එක්ක බලනකොට ඔස්ට්‍රේලියාව කරන කැප කිරීම අම්මා දකින්නේ කොහොමද?
ඕස්ට්‍රේලියානුවන් මනුෂ්‍යයන් විදියට මොන තරම් උසකින් ඉන්න කොට අපි මනුෂ්‍යයන් විදියට මොන තරම් පහත් අඩියකද ඉන්නේ කියලා හිතෙනවා.

පුංචි කාලයේ අක්කයි - අයියයි එක්ක කොහොමද ගිමදු ගනුදෙනු කළේ?

අයියට වඩා අවුරුදු හයකට ගිමදු බාලයි. ඒ නිසා මෙයා වැඩිය අයියයි අක්කයි එක්ක සෙල්ලම් කරනවට වඩා අපේ මල්ලි‍ගේ දරුවෝ එක්ක තමයි වැඩිපුරම කාලය ගත කළේ. ඒ දවස්වලත් බෝලයයි - බැට්එකයි තමයි නිතරම අතේ තිබුණේ.

පුංචි දවස්වල ගිමදුගේ විශේෂ ලක්ෂණ මොනවාද?

ඇස් දෙකෙන් කතා කරනවා. ජිංකි කියලා තමයි ඒ දවස්වලත් ගමේ හැමෝම කතා කරන්නේ.

ගිමදු ලක්රූ කියලා නම තියන්න විශේෂ හේතුවක් තිබුණාද?

අයියගේ නම ජමිදු, අකුරුවලට තමයි ගිමදු කියලා නම තිබ්බේ. නම තිබ්බේ තාත්තා. පුතා ඉපදෙන කොට බර එහෙම හොඳට තිබ්බා. කිලෝ 3 1/2ක් වගේ. හොඳ නිරෝගි දරුවෙක්. මෙයාට අවුරුදු 1 1/2ක් විතර යන කොටනේ තේරුණේ ආබාධයක් තියෙනවා කියලා. ලක්රු කියලා දැම්මේ ලංකාවට ලස්සනක් ගෙන දෙයි කියලා හිතලයි.

මේ ආබාධ තත්ත්වය දැනුණේ කොහොමද?

පුතා නිතරම වගේ අපේ ගෙදර තිබුණ කැබිනට් එකේ වීදුරුවට ගහනවා. තාත්තා දවසක් පුතාව එතැනින් අයින් කරලා සද්ද බද්ද කළාට කිසි දෙයක් කරලා නෑ. කැබිනට් එක ළඟට ගිහින් වීදුරුවට කන තියාගෙන ගහනවා. අපේ අම්මත් ගෙදර ඉන්න කොට ගිමදුගේ තාත්තා කියලා තියෙනවා පුතාගේ කනේ දෝෂයක් ද දන්නේ නෑ. නිතර ම වගේ වීදුරුවට කන තියාගෙන ගහනවා කියලා. අම්මටත් සැක හිතිලා තමයි කියලා තියෙන්නේ අපි ඩොක්ටර් කෙනෙකුට පෙන්වමු කියලා. රුබේරු කියන ඩොක්ටර්ට පෙන්නුවාම තමයි කිව්වේ ආබාධයක් තියෙනවා.

කරාපිටියේ රෝහලෙන් කන ශුද්ධ කළා. ඒකත් හරි ගියේ නෑ. ඊට පස්සේ තමයි රාජගිරිය බිහිරි සේවා මධ්‍යස්ථානයට යන්න කියලා ලියුමක් දුන්නේ. රාජගිරියෙන් ඉයර්ෆෝන් එකක් දාන්න කිව්වා. රුබේරු මහත්තයා කිව්වේ ස්නායු ආබාධයක් තියෙන්නේ පුතා ලොකු වෙනකොට මඟ හැරිලා යන්න පුළුවන් කියලත් කිව්වා.

තරගවලට එහෙම යනකොට කියනවාද දිනලා එන්නේ කියලා?

එහෙම නම් නෑ. හැබැයි එයා දෙවැනියා වෙන්න නම් කැමැති නෑ. මොන තරගයකට ගියත් දිනන්න ඕනෑ. ඒ දේවල් හරියට ප්ලෑන් කර ගන්නවා. සාමාන්‍යයෙන් කියන දෙයක් ඇහෙනවත් අඩුයිනේ. කොහොම හරි හැබැයි මෙයා තරගයක ඉදිරියට එන්න ඕනෑ විදිය එහෙම හරියට ම ප්ලෑන් කර ගන්නවා. මේ දේවල් කවුරුවත් කියනවා අපිට ඇහිලත් නෑ. අපි කියන්න යන්නෙත් නෑ. හැම වෙලාවේම හොඳ අවධානයෙන් ඉන්නවා කියලා නම් අපිට තේරෙනවා.

ගිමදුගේ කැමැති අකමැති දේවල් එහෙම තියෙනවාද?

එහෙම විශේෂ දෙයක් නම් තේරුණේ නෑ. තරගවල නම් මැරතන්, දුර පැනීම වගේ උස පැනීම වගේ ඉසව්වලට බොහෝම කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා.

ක්‍රිකට්වලට යන්න ඕනෑ කියලා ගිමදු ඇවිත් කිව්වද? අම්මලා තීරණය කළාද?

පුතා තමයි ඇවිත් කිව්වේ සිංහ සමාජයට යන්න ඕනෑ කියලා. පස්සේ තාත්තා ගිහින් කතා කරලා තමයි ශෂිල සර්ට බාර දුන්නේ. එයා බාර අරගෙන කිව්වා මොන අංශයට ද හොඳ කියලා බලමු කියලා. සති 2 - 3 ක් පුහුණුවීම් ගියාට පස්සේ තාත්තා ගිහින් සර්ගෙන් අහනකොට කියලා තියෙන්නේ ගිමදු බුලට් එකක් වගේ, අපි තව ටිකක් ගිහින් බලමු කියලා තමයි තියෙන්නේ.

එතකොට සර් පුහුණුවීම් කරන්නේ සිද්ධාර්ථ ඉස්කෝලේ. එහාට එවන්න මම හොඳට හදලා ගන්නම් කියලා කිව්වේ. ඔය විදියට තමයි ගිමදුගේ ක්‍රිකට්වලට පදනම වැටුණේ.

සිද්ධාර්ථ විද්‍යාලයේ දිගට ම ක්‍රිකට් ගැහුවද?

ඔව්. 15, 17, 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ කණ්ඩායම්වල නම් නායකත්වය දරන්න ලැබුණේ නෑ. හැබැයි ඒ හැම තරගයකදීම එයා කණ්ඩායමට වැඩියමක් හැම වෙලාවේදි කරන්න බලනවා.

පවුලේ තුන් දෙනාම ක්‍රීඩාවට සම්බන්ධ වෙලා ඉන්න කොට මතු වෙච්ච ගැටලු විසඳ ගත්තේ කොහොමද?

ආර්ථික අපහසුතා ඕනෑ තරම් තිබුණා. අපි ඉතින් කොහොම හරි ඒ ගැටලු විසඳගෙන ඉදිරියට ආවා.

මානව හිමිකම් සහ අධිකරණ ක්‍රියා මාර්ගවලින් ප්‍රතිඵල මොනවාද?

විදුහල්පතිතුමා අධිකරණයට යන මාර්ගය වහන්න පුළුවන් තරම් උත්සාහ කළා. අන්තිමට ලියුම ආවේ නැති නිසා කලබල වෙන්න එපා තව ටිකක් බලමු වගේ දේවල් කිය කියා කල්මැරුවා. අන්තිමට ඔය කියපු ලියුම ආවා. හැම ගෙදරකට ම අංක අටකින් කරුණු දක්වලා තමයි ලියුම යවලා තිබුණේ. අපිට ආපු ලියුමේ අංක නවයකින් කරුණු දක්වලා තිබුණා. පෑනෙන් ලියලා අංක 9 යටතේ විශේෂ අධ්‍යාපනය සඳහා සුදුසුයි කියලා තමයි තිබුණේ.

චක්‍ර ලේඛනයට ම තිබිලා තියෙන්නේ කරුණු අටයි. චක්‍ර ලේඛනයේ එහෙම දෙයක් නැති නිසා තමයි විදුහල්පතිතුමා පෑනෙන් ලියලා තියෙන්නේ.

මේවා ගැන කතා කළාද?

ඔව්. විදුහල්පතිතුමා අපෙන් ඇහුවේ නඩු කියන්න සල්ලි තියෙනවාද කියලයි. අපි මානව හිමිකම් ගියාම ළමයව ගන්නම් කිව්වා. මානව හිමිකම් කාර්යාලයේ නිලධාරිනිය කිව්වේ මේකේ සම්පූර්ණ වරද විදුහල්පතිතුමා අතේ කියලයි. විදුහල්පතිතුමා එතෙනදි කිව්වේ මට වන්දි ගෙවන්න විදියක් නෑ. ළමයාව ඉස්කෝලේට ගන්නම් කියලයි. කොහොම හරි අන්තිමේට අපි තීරණය කළා මෙහෙම ප්‍රශ්න තියෙන කොට ළමයාව එම විද්‍යාලයට නොදා ඉන්න.

මේ හැම ගැටලුවක් ම විසඳා ගෙන කොහොමද ඉදිරියට ආවේ?

ළමයි තුන්දෙනාගෙම හැම දෙයක් ගැනම හොඳ කල්පනාවෙන් ඉඳලා තමයි වැඩ කළේ. ළමයින්ගේ කිසිම දෙයක් ම අතපසු කළේ නෑ. පුතාලා තාත්තත් එක්ක කතාබහ කරලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි කැප වුණේ. කණ්ඩායමේ අය පුතාට රජ්ජු‍රුවෝ කියලලු කතා කරන්නේ.

සේයාරූ- අම්බලන්ගොඩ සමූහ

අදහස්