උරුමය නීත්‍යනුකූල කර මතු පරපුරට දායාද කෙරෙන ත්‍රිපිටකය | සිළුමිණ

උරුමය නීත්‍යනුකූල කර මතු පරපුරට දායාද කෙරෙන ත්‍රිපිටකය

ලාංකේය සමාජයට හා චින්තනයට ගැළැපෙන පරිදි බුදු දහම ලොව පුරා ව්‍යාප්ත වීමට කරුණු සැලැසුණේ මෙහි සිදු වූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪකරණයෙන් අනතුරු ව ය. මෙකී මහා ශාසනික කාර්යය හේතු කොටගෙන උදා වූ ශාසනික ප්‍රබෝධය ඉමහත් ය. තව ද එමඟින් මෙරටට මෙන් ම ලොවට ද උරුම වූයේ පරිපූර්ණ ත්‍රිපිටකයකි. මේ අයුරින් මාතලේ ආලෝක විහාරයෙහි දී ක්‍රි.ව. පළමු සියවසේ දී සිදු වූයේ ධර්මය ක්‍රමවත් ව ග්‍රන්ථාරූඪ කිරීමේ විශිෂ්ට කාර්ය භාරය ය. ලොව උත්තරීතර ශාස්තෘවරයකු ගේ ධර්මය ක්‍රිස්තු වර්ෂය ආරම්භයෙහි දී ම ග්‍රන්ථාරූඪ කිරීමට සිරිලක මහා සංඝරත්නයට හැකි වීම යනු, භාෂා හා අක්‍ෂරකරණය අතින් එසමයෙහි අප ලබා සිටි ප්‍රවීණත්වය මතු කාලය පුරාත් ලොව හමුවේ ප්‍රකාශ වීමකි.

ශ්‍රී ලාංකේය බෞද්ධ සම්ප්‍රදායයේ මූලාශ්‍රය ග්‍රන්ථ වශයෙන් සැලකෙනුයේ පාලි ත්‍රිපිටක ග්‍රන්ථ යි. සූත්‍ර, විනය හා අභිධර්ම යන පිටක තුනට අයත් පාලි ග්‍රන්ථ මෙන් ම ඒවායේ පරිවාර ග්‍රන්ථ වන අට්ඨකතා හා ටීකා ද ත්‍රිපිටක ධර්මයට ඇතුළත් වේ. මේ වූ කලි ඇසීමෙන් මතකයෙහි රඳවා ගැනීම පිළිබඳ ව ලෝක ඉතිහාසයේ හමු වන පූජනීය උරුමයන් අතුරෙන් ප්‍රමුඛස්ථානයේ ලා සැලැකෙන්නකි. ප්‍රථම ධර්ම සංගායනාවේ සිට ක්‍රි.ව. පළමුවැනි සියවසේ මාතලේ අලු ලෙනෙහි දී සිදු වූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪකරණය දක්වා මහ තෙරුන් වහන්සේලා ද, උන්වහන්සේලා ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන් ද එකී ධර්මස්කන්ධය පවත්වා ගන්නා ලද්දේ මුඛපරම්පරාගත ව ය.

බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි, නවංගසත්ථුසාසන, යනුවෙන් කොටස් නවයකට බෙදා තිබුණු බුද්ධ වචනය ප්‍රථම ධර්ම සංගායනාවේ දී විනය, සුත්ත, අභිධර්ම යනුවෙන් පිටක තුනකට වෙන් කර ගැනිණි. පුරා හතළිස් පස් වසක් ධර්ම චාරිකාවෙහි යෙදෙමින් විවිධ ස්ථානයන්හි දී නොඑක් අවස්ථා පාදක කොට උන්වහන්සේ දෙසූ ධර්මය, පන්සියයක් භික්‍ෂූන් වහන්සේ එක් ව කටපාඩමින් කීම මෙකී ප්‍රථම ධර්ම සංගායනාවේ දී සිදු විය. එතැන් සිට විනය පිටකය මතු ශාසනාරක්‍ෂාව සඳහා දිවි හිමියෙන් සුරකිමින් පවත්වා ගැනීමේ භාරධූර වගකීම පැවරුණේ උපාලි මහ තෙරුන් වහන්සේට හා උන්වහන්සේ ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.

උපාලි මහා ස්ථවිරයන් විනය පිටකය ධාරණය කොට ගත්තේ බුදුන් වහන්සේ වෙතිනි. භාණක තෙරවරු සූත්‍ර හා අභිධර්ම පිටක ද ප්‍රථම ධර්ම සංගීතිය අවස්ථාවේ සිට ම ඒ ඒ ආචාර්ය පරම්පරාවන්ට භාර විය. ත්‍රිපිටකයේ එක් එක් කොටස් ආරක්‍ෂා කිරීමේත් පවත්වාගෙන යෑමේත් වගකීම පැවරුණ භික්‍ෂුන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාවේ දී භාණක නාමයෙන් හැඳින්විණි. මේ අනුව භාණක තෙරවරුන් දීඝ, මජ්ඣිම, සංයුක්ත, අංගුත්තර, ධම්මපද, මහා ආරියවංශ භාණකයන් ලෙස හැඳින්වුණු අතර පැරැණි සිංහල ශිලාලිපිවල මජිමබණක, සයුනබණක, උතරබණක, සුතන, පෙළබණක ආදි වශයෙන් භාණකවරුන් නම් කොට තිබේ. භාණකවරයකු ගේ කාර්යය වූයේ තමා සිත්හි දරාගන්නා ධර්මය පරපුරින් පරපුරට පවත්වාගෙන යෑම ය. ඇසීමෙන් මතකයෙහි රඳවාගැනීම මඟින් බොහෝ ඇසූපිරූ තැන් ඇති භික්‍ෂුව ත්‍රිපිටකයෙහි තම ස්මෘතියෙහි වඩාත් තිරසර ව පිහිටි අංශයෙහි භාණක තත්ත්වයට පත් විය. මේ අනුව මජ්ඣිම නිකායේ පළමු සූත්‍ර පනහ ධාරණය කොටගත් භික්‍ෂුව මජ්ඣිම භාණක නම් විය.

ජාතක පොතත්, එහි අටුවාවත්, ධම්මපදයත් කටපාඩමින් දත් භික්‍ෂූන් වහන්සේ ජාතක භාණක නම් වූහ. අනුරාධපුර මහා විහාරික භික්‍ෂූන් වහන්සේ ගේ අධ්‍යාපන ක්‍රමය වූයේ ද ආචාර්යවරයා විසින් පහදා දෙනු ලබන ධර්මය ශ්‍රැතියෙන් හෙවත් ඇසීමෙන් ධාරණය කොට වනපොත් කරමින් පාරම්පරික ව ආරක්‍ෂා කිරීම ය. මහා විහාරික භික්‍ෂූන් වහන්සේ ත්‍රිපිටක ධර්මය රැකගත් අයුරු විමසන කල අද ජාතිය සතු ව ඇති මේ මහා උරුමය පිළිබඳ ව ඇතිවන්නේ පෙර නො වූ විරූ ගෞරවාදරයකි.

බුද්ධ භාෂිතයේ ආරක්‍ෂාව මතු මතුත් පවත්වා ගැනීම සඳහා මහා විහාරික භික්‍ෂූන් බැමිණිතියාසාය පැවැති දොළොස් වස් කාලපරිච්ඡේදයේ දැරූ අති මහත් දුෂ්කර ව්‍යායාමය මනෝරථපූරණී හෙවත් අංගුත්තරට්ඨකතාවෙහි සඳහන් වෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු ව මෙහි වැඩම කළ අනුබුදු මිහිඳු හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ විසින් ශ්‍රී ලාංකේය ජනතාව වෙත දායාද කරන ලද්දේ මුල් සංගායනා දෙකෙහි දී සම්මත වී, තෙවැනි සංගායනාවේ දී ද අනුමත වූ අටුවා සහිත ත්‍රිපිටක ධර්ම යි.

අරිට්ඨ තෙරුන් වහන්සේගෙන් ආරම්භ වූ සිංහල සංඝ පරම්පරාව අනුරාධපුර මහා විහාරය මුල් කරගෙන ස්ථාපිත වූ අතර, ඉන්පසු තවත් වසර 218ක් පුරා, අරිට්ඨ තෙරුන් ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෝ ථෙරවාද ත්‍රිපිටක ධර්මයත්, අටුවාත්, සම්බුදු සසුනත් ආරක්‍ෂා කරගත්හ. ත්‍රිපිටකය රැකගැනීමේ දුෂ්කර ව්‍යායාමය මේ දරුණු නියං හා දුර්භික්‍ෂ සමයෙහි සාගින්න හා වෙනත් රෝග පීඩාදීන් හේතුවෙන් ත්‍රිපිටකය කටපාඩමින් දත් ස්වාමීන් වහන්සේලා මිය යනු ඇතැ යි යන භීතිය පැතිරිණි.

මෙහි දී ත්‍රිපිටකය ආරක්‍ෂා කරන්නේ කෙසේ ද යන්න උන්වහන්සේලා මුහුණ දුන් මූලික ගැටලුවක් විය. මේ බිහිසුණු වකවානුවෙහි සිය දිවි රැකගැනීමට සිතා ඇතැම් භික්‍ෂුහු ලංකාව අත්හැර මුහුදින් එතෙර වීමට සිතා මුහුදු තෙරට ගියහ.

මෙහි දී දිවි රැකගැනීම පමණක් නො ව ත්‍රිපිටක ධර්මය රැකගැනීමේ අවශ්‍යතාව ද මතු වූයෙන් උන්වහන්සේලා අතරින් සැට නමක් ආපසු මලය රටට විත් ගස්වල මුල්, කොළ පමණක් ආහාර වශයෙන් ගනිමින් කටපාඩමින් දත් ත්‍රිපිටක ධර්මය සජ්ඣායනා කරන්නට වූ බවත් ඇතැම් භික්‍ෂුහු දකුණු ඉන්දියාව බලා ගිය බවත් මනෝරථපූරණියට අනුව හෙළි වෙයි.

මහා සාගතයට මුහුණපාමින් වුව ද අසුන් ගැනීමට හැකි තරම් ශරීර ශක්තිය ඇති විට හිඳගෙන සජ්ඣායනා කළ අතර, නොහැකි කල්හි වැලිගොඩවල හිස තබාගෙන සජ්ඣායනා කළ බව පැවැසෙයි. මේ අනුව දොළොස් වසක් අටුවා කතා සහිත ත්‍රිපිටකය ආරක්‍ෂා කළෝ භික්‍ෂූන් වහන්සේලා ය. දොළොස් වර්ෂ සාගත කාලයෙහි දඹදිවට වැඩ සිටි භික්‍ෂූන් යළි මෙරටට වැඩමවා, මෙහි දුෂ්කර සමය ගෙවූ භික්‍ෂූන් සමඟ 'කල්ලගාම' නම් ජනපදයේ මණ්ඩලාරාමයෙහි රැස් වූ බව මනෝරථපූරණියේ ප්‍රථම භාගයෙන් හෙළි වේ.

තවමත් කොහි තිබිණි දැ යි හෙළි නො වී පවත්නා මණ්ඩලාරාම විහාරයෙහි මේ භික්‍ෂූන් වහන්සේලා රැස් වූයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට නො ව ධර්ම විනය සසඳා බැලීමේ අවස්ථාවට යැයි මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ සිය, ලක්දිව බුදු සසුන හා සිංහල සංස්කෘතිය, නම් කෘතියෙහි සඳහන් කරයි. ශාසනය නිරුපද්‍රැත ව ඉදිරියට පවත්වාගෙන යෑමට ද, ව්‍යවහාරයේ පවත්නා ධර්ම විනය දෙක බුද්ධ භාෂිතයට එකඟ දැ යි පරීක්‍ෂා කිරීමට ද බුද්ධ වචනය ධාරණයෙන් පවත්වාගෙන යෑමට ද බුද්ධ කාලයේ සිට ක්‍රි.ව. පළමු වැනි සියවස දක්වා සියවස් හතරකට වැඩි කාලයක් කැපවූවෝ අපේ මහා සංඝරත්නය ය.

උන්වහන්සේලා ධර්මය මෙසේ පරම්පරාගත ව පවත්වාගෙන ඒම නිසා මේ පාලි පිටක ග්‍රන්ථයන්හි ඇතුළත් සුවිශාල බෞද්ධ සාහිත්‍යයේ විශ්වසනීයත්වයට හානියක් සිදු නො වූ බව මහාචාර්ය එම්. එම්. ජේ. මාරසිංහයන් ගේ ලිපි ලේඛනයන් ගෙන් හෙළි වේ. මුල් බුද්ධ වචනයට වඩාත් සමීප වනුයේ මේ පාලි ත්‍රිපිටක ග්‍රන්ථ සම්ප්‍රදාය බව එතුමා පවසයි. සියවස් පහකට සමීප කාලයක් මුළුල්ලේ ඉමහත් වැර වෑයමින් ධාරණයෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක ධර්මය යනු ඒ සා දීර්ඝ කාලයක දුෂ්කර ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵල වශයෙන් ජාතිය සතු වූ මහාර්ඝ දායාදයකි.

සද්ධර්මාලෝකය පැතිරවූ ආලෝක ලෙන මාතලේ පුරවරයට නුදුරින් එහි උතුරු දෙසින් පිහිටි, ඓතිහාසික අලුවිහාරය මෙරට ශාසනික ඉතිහාසයේ සදානුස්මරණීය වූත් පරම පූජනීය වූත් සිද්ධස්ථානයකි. සියවස් පහකට ආසන්න කාලයක් කටපාඩමින් ආරක්‍ෂා කළා වූ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමේ ඓතිහාසික හා අසමසම සිද්ධියට පාදක වූ ප්‍රධාන භූමිය මේ යැ යි සැලැකේ. සද්ධර්මයේ ආලෝකය යම් තැනකින් ලොව පුරා පැතිර ගියේ ද, ඒ ස්ථානය ආලෝක ලෙන, යැ යි 13 වැනි සියවසේ දී පමණ ව්‍යවහාරයට පත් වූයේ ය.

වට්ටගාමිණී අභය හෙවත් වලගම්බා නිරිඳුන් ගේ දෙවැනි රාජ්‍යප්‍රාප්තියට ආසන්න කාලයක එනම් ක්‍රි.ව. පළමු වැනි සියවසේ දී ත්‍රිපිටකය ග්‍රන්ථගත කිරීමේ මෙකී මහා ශාසනික කාර්යාවලිය සිදු වී ඇතැ යි බොහෝ විද්වත්හු නිගමනය කරති. ත්‍රිපිටකය පළමු වැනි සියවසෙහි ග්‍රන්ථාරූඪ වූ බව දීපවංශය හා මහාවංශය ස්ථිර ව පවසන බව සඳහන් කරන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, මාතලේ අලුවිහාරයේ ම එය සිදු වූ බව හෙළි වන්නේ 13, 14 සියවස්වල දී යැ යි තවදුරටත් දක්වයි. දහතුන් වැනි සියවසේ ලියැවුණු පූජාවලිය හෙළි කරන්නේ, මොවුන් (වලගම්බා) දවස පන්සියයක් රහතන් වහන්සේ අලු ලෙන වැඩ හිඳ පොත් සංගායනා කළ සේක, යනුවෙනි.

දහ හතර වැනි සියවසේ ලියැවුණු නිකාය සංග්‍රහය මේ පවත හෙළි කරන්නේ, මුඛපාලි වශයෙන් ගෙන ආ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපදාධිපතියක්හු ගේ ආරක්‍ෂාවෙන් පන්සියයක් මහ රහතුන් වහන්සේ මාතුල නම් දනවුවෙහි අලු ලෙන වැඩ හිඳ පොත් සංගායනා කොට ලියවූ සේක, යන ආදි ලෙසිනි. පූජනීය අලුවිහාර භූමිය යනු ත්‍රිපිටකය පළමු වරට ලියැවුණු ඓතිහාසික ජයභූමිය බවට කිසිදු සැකයක් නැත. එහි දක්නට ලැබෙන ක්‍රි.පූ යුගයට අයත් බ්‍රාහ්මී ලෙන් ලිපිවලින් මේ විහාරස්ථානයෙහි ඇති පෞරාණිකත්වය වටහාගත හැකි වේ. මෙහි දී ත්‍රිපිටකය ලියා තැබීමෙන් සිදු වූයේ ස්වදේශීය බුදු දහමට පදනම සකස් වීම යි.

ලාංකේය සමාජයට හා චින්තනයට ගැළැපෙන පරිදි බුදු දහම ලොව පුරා ව්‍යාප්ත වීමට කරුණු සැලැසුණේ මෙහි සිදු වූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪකරණයෙන් අනතුරු ව ය. මෙකී මහා ශාසනික කාර්යය හේතු කොටගෙන උදා වූ ශාසනික ප්‍රබෝධය ඉමහත් ය. තව ද එමඟින් මෙරටට මෙන් ම ලොවට ද උරුම වූයේ පරිපූර්ණ ත්‍රිපිටකයකි. මේ අයුරින් මාතලේ ආලෝක විහාරයෙහි දී ක්‍රි.ව. පළමු සියවසේ දී සිදු වූයේ ධර්මය ක්‍රමවත් ව ග්‍රන්ථාරූඪ කිරීමේ විශිෂ්ට කාර්ය භාරය ය.

ලොව උත්තරීතර ශාස්තෘවරයකු ගේ ධර්මය ක්‍රිස්තු වර්ෂය ආරම්භයෙහි දී ම ග්‍රන්ථාරූඪ කිරීමට සිරිලක මහා සංඝරත්නයට හැකි වීම යනු, භාෂා හා අක්‍ෂරකරණය අතින් එසමයෙහි අප ලබා සිටි ප්‍රවීණත්වය මතු කාලය පුරාත් ලොව හමුවේ ප්‍රකාශ වීමකි. බුද්ධ ශාසනය ලක්දිව මැනැවින් පිහිටියේ දැ යි දෙවනපෑතිස් රජු මිහිඳු මාහිමියන් ගෙන් විමසූ කල උන්වහන්සේ පවසා ඇත්තේ, බුදු සසුන පිහිටි නමුත් මුල් බැසගෙන නැතැ යි, යනුවෙනි.

බුදුසසුන එ සේ මේ භූමියෙහි මුල් බැසගනුයේ මේ දිවයිනෙහි ම මාපිය දෙදෙනකු ගේ පුතකු මෙහි දී ම විනය උගෙන, මෙරටෙහි දී ම එය විස්තර කොට දේශනා කළ කල්හි යැ යි උන්වහන්සේ මෙහි දී අවධාරණය කළහ. මෙයින් හෙළිදරවු වනුයේ බුදුදහම විදේශික ආචාර්යවරුන් විසින් ආරක්‍ෂා කරනු ලැබිය යුතු විදේශික වස්තුවක් සේ තබාගැනීමට ඒ උදාර ධර්මදූතයාණන් අපේක්‍ෂා නොකළ බව යැ යි මහාචාර්ය පරණවිතානයෝ පවසති. මිහිඳු මාහිමියන් කටයුතු කළේ බුදුදහම ජාතික සංස්ථාවක් බවට පත් කිරීමේ උත්තුංග අරමුණ පෙරදැරි කොටගෙන ය.

විශිෂ්ට කාලෝචිත තීරණයක් එ සේ ම බුදුදහම මෙහි පිහිටුවීමෙන් අනතුරු ව බෞද්ධ විහාරරාම ගොඩනැඟීම, ඒවා දියුණු පවුණු කිරීම, භික්‍ෂූන් විෂයයෙහි සිවුපසයෙන් උපස්ථාන කිරීම හා සසුනේ ආරක්‍ෂකයකු ලෙස ක්‍රියා කිරීම සියලු රජ දරුවන් විසින් අනුදක්නා ලදි.

එහෙත් වසර 2300 ක් මුළුල්ලේ භික්‍ෂූන්වහන්සේලා ද, බෞද්ධ ජනතාව ද රජදරුවන් ද දිවි හිමියෙන් සුරැකගත් ථෙරවාද ත්‍රිපිටකය ශ්‍රී ලාංකේය ජාතියේ පරිශුද්ධ උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් ඉතිහාසයේ කිසිවිට සිදු විණැ යි සිතිය නොහැකි ය. මේ වනාහි මිහිඳු මාහිමියන් අපේක්‍ෂා කළ බුදුදහම දේශයේ උරුමයක් ජාතික සංස්ථාවක් බවට පත් කිරීමේ චින්තනය වර්තමානය හමුවේ යළිදු යථාර්ථයක් බවට පත් කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් විසින් ගනු ලැබූ විශිෂ්ට කාලෝචිත තීරණයකි. එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව ථෙරවාද බෞද්ධ ධර්මයේ මූලස්ථානය හැටියට පිළිගනු ලැබ ඇති අතර, ඒ සමඟ ම ගරු ජනාධිපතිතුමා, ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ඒ උදාර උරුමයට මෙතෙක් නො වූ විරූ නීත්‍යනුකූල භාවයක් හිමි කොට දී ඇත්තේ ය.

මෙමඟින් බුද්ධ වචනයේ හරයට බලපාන විකෘතිකරණ පිළිබඳ ව හා පිටක ග්‍රන්ථයන්හි දර්ශනයට වෙනස් දේ එක් වී තිබේ දැ යි විමසා බැලීමටත්, ශාසනයේ ආයුෂය ලෙස හැඳින්වෙන විනය පිළිබඳ ව සාවධාන වෙමින් ශාසනය ආරක්‍ෂා කිරීමටත් අවකාශ සැලැසේ. එක් එක් පෞද්ගලික ආයතන මඟින් ත්‍රිපිටකය මුද්‍රණය කිරීමේ දී විවිධ විකෘතීන්ට හා වෙනස්කම්වලට භාජනය වීම නොවැළැක්විය හැකි ය.

එහෙත් ත්‍රිපිටකය ජාතික උරුමයක් සේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව එහි සියලු ප්‍රකාශන හිමිකම් බුද්ධ ශාසන අමාත්‍යාංශය සතු වනු ඇත. ධර්මානුගත ජීවිතාදර්ශය ස්වකීය ආගමික ශාසනික හා සමාජීය මෙහෙවර ඉටු කරන සංඝ පිතෲන් වහන්සේලා ඇතුළු මහ සඟන ගේ විහරණයට සුව එළවන විහාරාංගයන් නිමවාලමින්, පිරිවෙන්

ගොඩනංවමින්, ඒවායේ දියුණුව සලසමින්, දහම් පාසල් ගොඩනැඟිලි, ධර්මශාලා, දානශාලා, සංඝාවාස සහිත තනිමහල්, දෙමහල් නව ගොඩනැඟිලි තනමින් මහා සංඝරත්නය මතු නො ව අන්‍ය ආගමික පූජකවරුනට ද හිතසුව සලසන ජීවන පරිසරයක් සාදාලීමට පසුගිය වසර තුනහමාරක කාලය තුළ ගරු ජනාධිපතිතුමා ගේ පුරෝගාමිත්වයෙන් සිදු වූ කාර්ය භාරය සුවිසල් ය.

දානය, ශීලය, පරිත්‍යාගය ස්වකීය චර්යාවෙන් ම ප්‍රකට කළ ගරු ජනාධිපතිතුමා අවෛරයෙන් ම වෛරය පිටුදැකීමේ ආදර්ශය, රාජ්‍ය නායකත්වයට පත්වීමට පෙරාතුවත්, ඉන් පසුවත් ශ්‍රී ලාංකේය සමාජය හමුවේ පළ කොට ඇත. එතුමා ,ධම්මො හවේ රක්ඛති ධම්මචාරී, යන ධර්මයෙහි තමා පිහිටා සිටින බවත්, එනිසා ම උවදුරු විරහිත ජීවිතයක් තමාට මේ තාක් උරුම වී ඇති බවත් සෘජු ව ප්‍රකාශ කළ නායකයෙකි. එබඳු ධර්මානුගත ප්‍රතිපත්තියක නොපිහිටියේ නම් එවැනි ප්‍රකාශයක් අතිශය හිස්, ව්‍යාජ ප්‍රකාශයක් වෙයි. එවන් ජනනායකයකු විසින් ම ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීම යනු එකී ත්‍රිපිටකාගත උරුමයට ද නිසි ගෞරවය ලබාදීමකි. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් සතු ගුණාංග පූර්ණ ජීවිතය වටහා ගැනීමට දේශපාලනික මතවාද සමඟින් බෙදී වියවුල් වූ සමාජයකට අපහසු වුව ද, ස්වාධීන ව නුවණින් විමසන්නකුට එතුමා සතු අචල අනුකම්පක ස්වභාවය වටහාගත හැකි වනු ඇත. තමා නසනු පිණිස එන කෙනකුන් කෙරේ වුව ද දයා පරවශ ලෙස කටයුතු කළ හැකි බව එතුමා ක්‍රියාවෙන් ම පළ කොට ඇත.

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම නමැති මේ නවමු සිතිවිල්ල ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි ගරු ජනාධිපතිතුමා ගේ ම අධ්‍යාත්මයෙන් පැන නැඟි ක්‍රියාත්මක වූවකි. නිවට ව නියාලු ව පරදේශීන් ගේ යටත් වැසියන් සේ හිඳිනු වෙනුවට ස්වකීය නිදහස වෙනුවෙන් නැඟී සිටි 1818 කැරැල්ලේ විරුවන් එවක අධිරාජ්‍යවාදී පාලකයන් විසින් රාජද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. එකී නාමකරණයෙන් හෙළ විරුවන් ගේ නාමයන් නිදහස් කොට, ඔවුන් අව්‍යාජ වීරවරයන් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ය යන්න නිදහසින් පසු පවා මෙරට සියලු පාලකයන් ගේ අවධානයට හසු නොවිණි.

1818 ඌව - වෙල්ලස්ස අරගලයට සහභාගි වූ රණශූර කැප්පෙටිපොළ නිලමෙතුමා ඇතුළු සියලු විරුවන් ශ්‍රේෂ්ඨ ජාතික වීරවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම කොට කටයුතු කරන ලද්දේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් බව අප මේ අවස්ථාවෙහි ද සිහිපත් කළ යුතු ය. ඒ 1818 කැරැල්ලට පුරා වසර 200ක් සපිරීම නිමිති කොට ගෙන ය.

සංඝරත්නයේ අප්‍රමාණ කැපවීම අද එක් මොහොතකින් පරිගණකයෙන් හෝ ජංගම දුරකථනයෙන් ත්‍රිපිටක ධර්මයේ තමාට ඇවැසි දහම් කොටසක් පරිශීලනය කිරීමට වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයට මෙන් ම ලෝකවාසීන්ට ද හැකි ව ඇත්තේ, බුදුන්වහන්සේ ජීවමාන කාලයෙහි සිට ක්‍රි.ව. 1 වැනි සියවස දක්වා වූ මහා සංඝරත්නය විසින් බුද්ධභාෂිතය ස්මෘතියෙන් හෙවත් මතකයෙන් දරා සිටිමින් කළ අප්‍රමාණ කැපකිරීම් හේතු කොටගෙන ය.

මේ පිළිබඳ අතිමහත් ගෞරව බහුමාන පූර්වක හැඟීමක් ඇති කරගත හැක්කේ සියවස් පහකට නොවැඩි කාලවකවානුවක් මනුෂ්‍ය සමාජය විසින් ම ත්‍රිපිටක ධර්මයේ පැවැත්ම පිණිස දරනු ලැබූ අප්‍රමාණ ප්‍රයත්නය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ පූර්ණ හැඟීමක් ඇත්තකුට පමණි.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ඒ පිළිබඳ ප්‍රශස්ත වැටැහීමකින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනුයේ බුද්ධභාෂිතය පිළිබඳ අප්‍රමාණ ගෞරවාදරයෙන් මෙන් ම ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත ද ත්‍රිපිටක ධර්මයේ ආලෝකයෙන් බැබැළේවා යි යන අපේක්‍ෂාව පෙරදැරි ව ය.

අද දින ජාතික උරුමයක් සේ නිල වශයෙන් ප්‍රකාශයට පත් වන ථෙරවාද ත්‍රිපිටක ධර්මයේ ආලෝකය ඔබේ දිවි මඟ ප්‍රභාවත් කිරීමට මතු මතුත් හේතු වාසනා වේවා යි ප්‍රාර්ථනය කරමු.

සුඛො බුද්ධානං උප්පාදොත

සුඛා සද්ධම්මදෙසනාත

සුඛා සංඝස්ස සාමග්ගිත

සමග්ගාහං තපෝ සුඛෝ !

අදහස්