ත්‍රිපි­ට­කය ජාතික උරු­ම­යක් බවට පත් කිරීම එදා මෙදා තුර සිදු වූ වැද­ගත් ම ක්‍රියා­වයි | සිළුමිණ

ත්‍රිපි­ට­කය ජාතික උරු­ම­යක් බවට පත් කිරීම එදා මෙදා තුර සිදු වූ වැද­ගත් ම ක්‍රියා­වයි

පන්සාළිස් වසරක් මුළුල්ලේ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය බුද්ධ ධර්මය හෙවත් බුද්ධ භාෂිතය ලෙස හඳුන්වන අතර, එය අන්තර්ගත කොට සකසන ලද සාහිත්‍යය ත්‍රිපිටකය ලෙස හඳුන්වයි. ඒ අනුව බුදු දහමේ හරය මතු නොව සාහිත්‍යය ද අන්තර්ගතවන්නේ‍ ත්‍රිපිටකයේ ය. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ වැදගත්කම ගොඩනැඟෙන්නේ මේ සියලු කාරණා උපස්තම්භක කර ගනිමිනි. මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් මේ සංලාපය ඔස්සේ අවධාරණය කරන්නේ, එදා ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉතිහාසයේ කළ වැදගත්ම ක්‍රියාව ලෙස සටහන් වීම නොවැළැක්විය හැකි බවයි.

ත්‍රිපිටකය යනු මෙලොව උපන් මනුෂ්‍යයකු ලෝකයට දායාද කළ වටිනාම උරුමයකි. එකී ත්‍රිපිටකයට ඉහළින් ඔසවා තැබිය හැකි කිසිදු විද්‍යාවක් මේ වනතුරුත් බිහි වී නො තිබීම විශේෂත්වයකි. ලෝකයේ අනෙකුත් විද්‍යා, දර්ශන, පරික්ෂණාගාර තුළ මතු කරගත් දෑ බව සත්‍යකි. ත්‍රිපිටක දර්ශනය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හැම තැනකම, සැම ජීවිතයක ම ජීවි අජීවි සැම වස්තුවක ම ක්‍රියාකාරීත්වය ගැන සිදු කළ මහා පර්යේෂණයක ප්‍රතිඵලයකි.

කල්ප අසූහාර දහසක් වෙහෙසී බෝධි සත්ත්වයන් වහන්සේ නමක් ත්‍රිපිටක ධර්මය සොයන්නට වෙහෙසී ඇත. ඒ නිසාම මෙය හා සම කරන්නට වෙනත් දර්ශනයක් හෝ විද්‍යාවක් නොමැත යන්න පිළිගත හැකි කරුණකි. අනෙකුත් සියලු ම ආගම් දර්ශන දෙස බැලීමේ දී ඒවා දේව සංකල්ප මත පදනම් වූ දෑ බව පැහැදිලි ය. දෙවියන්ගේ ඉගැන්වීම් හා පණිවිඩ ඊට අයත් වුවත් බුදුන් වහන්සේගේ දර්ශනයට ඒ කිසිවක් අයත් නොවේ. ලොව හමුවේ ඇති අනෙකුත් දර්ශනයන්හි විමුක්තිය දෙවියකුගේ සම්බන්ධතාවක් මත ගොඩනැඟෙන බව ඉගැන්වෙන්නක් වුව, ත්‍රිපිටක දර්ශනයේ ඉගැන්වෙන්නේ, මනුෂ්‍යයකුගේ ඉරණම මනුෂ්‍යයා විසින් සිදුකරන ක්‍රියා හෙවත් කර්මය මත තීරණය වන බවයි.

ආතර් සී ක්ලාක් නැමැති විද්‍යාඥයා 'ගැඹුරු මුහුද‘ නමැති ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ තවත් අවුරුදු පනහකින් බුද්ධිමතුන්ගේ ලෝකයේ ඉතුරුවන එක ම දහම ත්‍රිපිටක දහම ය, ඊට හේතුව ත්‍රිපිටක දර්ශනය තුළ කිසිම තැනක දෙවියකුගේ ඇදහීමක් නොමැති වීම ය කියා ය. මනුෂ්‍ය දර්ශනයක් ලෙස සැලකෙන ත්‍රිපිටක දර්ශනය, මනුෂ්‍යයකුට මෙලොව ජීවිතයෙන් එ‍ෙතර වන්නටත්, පරලොව ජීවිතයෙන් එ‍ෙතරවීම උදෙසාත් ඇති දර්ශනයකි. අනුරුද්ධ සූත්‍රයේ ත්‍රිපිටක දර්ශනය කවුරුන් උදෙසා ද යන්න පැහැදිලිව පෙන්වා දී ඇත.

ත්‍රිපිටක දර්ශනය මහා අපේක්ෂා ඇති මිනිසුන්ට නොව අල්පේච්චයන්ට ය; මෙය අසන්තෝෂයෙන් ජීවත්වන්නන්ට නොව සතුටින් ජීවත්වන්නන්ට ය; කණ්ඩායම් වශයෙන් ජීවත්වන්නන්ට නොව තනි තනියෙන් හැසිරී භාවිතයට ගන්නන්ට ය; මෙය කම්මැළියාට නොව වීර්යවන්තයාට ය; සිහිමුළාවූවන්ට නොව එළැඹ සිහිය ඇත්තන්ට ය; අවුල් වූ සිත් ඇත්තාට නොව සමාධිගත සිත් ඇත්තාට ය; මෙය ප්‍රඥාවන්තයාට මිස මෝඩයාට නොවෙයි; ඒ නිසා ථේරවාදී ත්‍රිපිටකය යනු ලෝකයේ බුද්ධිමතුන්ගේ හා ප්‍රඥාවන්තයන්ගේ දර්ශනය යි.

‘සන්ධිට්ඨිකෝ අකාලිකෝ‘ ත්‍රිපිටක දර්ශනය සාන්දෘෂ්ටිකයි අකාලිකයි. එනම් භාවිතයට ගන්නා අයට ඇස් පනාපිට ප්‍රතිඵල ගෙන දෙන, කල් නොයවා ප්‍රතිඵල ගෙනදෙන දර්ශනයකි. බුදුන් වහන්සේ වසර හතළිස් පහක් පුරා දඹදිව, ලක්දිව බොහෝ ප්‍රදේශවල වැඩම කරමින් දේශනා කරන ලද සියලු ම ධර්ම කොටස් කට පාඩමින් පවත්වාගෙන එන ලද්දේ ආනන්ද මහ රහතන් වහන්සේ විසිනි.

ආනන්ද තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික තනතුරේ වැඩහිඳිමින්, හැම දේශනාවක් ම, දේශනා කළ අරමුණ, දේශනා කළ තැන, දේශනා කළ සූත්‍රයේ කාර්යයන් සියල්ල කට පාඩමින් පවත්වාගෙන එන්නට ද විය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආනන්ද රහතන් වහන්සේ කට පාඩමින් පවත්වා ගෙන ආ ධර්මය වැනසී යා හැකි නිසා අජාසත් රජතුමාගේ මූලිකත්වයෙන් රහතන් වහන්සේලා රජගහ නුවරදී ධර්මය සංගායනා කොට, ගොනු කොට පිටක වලට බෙදා කට පාඩමින් පවත්වාගෙන යෑම උදෙසා භාණක පරම්පරාවලට පැවරා තිබේ.

වත්මන් ලක්වැසියන්ට උරුම වී ඇති ත්‍රිපිටකය ආනන්ද මහ රහතන් වහන්සේ පමණක් කට පාඩමින් රැගෙන ආ ධර්මය පන්සියක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කර උරුමකර දුන් එකකි.

එලෙස ගොඩනැඟුණ ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය ලෙස ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන්කර ඇත. සූත්‍ර පිටකයට කොටස් පහකි. මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය, දීඝ නිකාය ඒවා ය.

මජ්ඣිම නිකායට බුදුන් වහන්සේගේ දිගම නොවූ, කෙටිම නොවූ සූත්‍ර අයත් ය. සංයුක්ත නිකායට අයත් වන්නේ කෙටි කළ සූත්‍ර ය. අංගුත්තර නිකාය තුළ කරුණු ලෙස ඇතුළත් සූත්‍ර ඇත. ඛුද්දක නිකායට ගොනු කරගත් ග්‍රන්ථ පහළොවක් අයත් වන අතර දීඝ නිකායට බුදුන් වහන්සේගේ දීර්ඝ දේශනා තිස් හතරක් ඇතුළත් වේ.

විනය පිටකය කොටස් පහකට බෙදා වෙන්කර තිබේ. පාරාජික පාළි, පාචිත්තිය පාළි, මහාවග්ග පාළිය, චූලවග්ග පාළිය, පරිවාර පාළිය ඒ අතර වේ. එහි භික්ෂු විනය, භික්ෂුණි විනය, ගිහි විනය විනය පිටකය පුරා සඳහන් වේ. පළමු සංගායනාවේ දී සූත්‍ර පිටකයත්, විනය පිටකයත් සැකසී තුන්වැනි ධර්ම සංගායනාවේ දී ධර්මාශෝක රජතුමාගේ මූලිකත්වයෙන් මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේ අභිධර්ම පිටකය සකස් කළහ. ඊට පිටක හතක් ඇතුළත් අතර එහි මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය තීන්දු කරන සූත්‍රවල ගැඹුරු දේශනා ඇතුළත් ය.

බුදුන් වහන්සේගේ දේශනා ඇතුළත් දර්ශනය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලක්දිවට රැගෙන ඒම සිදුව තිබේ. භාණකවරුන් කටපාඩමින් රැකගෙන ආ දර්ශනය ලක්වැසියන්ට උරුම වන්නේ එ‍ෙලසිනි. ලක්දිවට රැගෙන ආ පිරිසුදු ථේරවාදී ත්‍රිපිටකයට අටුවාවන් සැකසිණි. අටුවාවන් යනු ත්‍රිපිටකයට සිංහල තේරුම් එකතු කිරීම ය. එය හෙළටුවා නමින් ද හැඳින්වූ අතර මහා විහාරයේ හිමිවරුන් විසින් හෙළටුවා සම්පාදනය කෙරිණි.

ක්‍රි. පූ 80 වැනි වර්ෂයේ දී ඇති වූ බැමිණිතියාසාය සාගතයෙන් පීඩාවට පත් භාණකවරුන්ට තවදුරටත් කටපාඩමින් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන යෑමේ දුෂ්කරතා මතුවීම නිසා මාතලේ අලු විහාරයේ දී වළගම්බා රජතුමාගේ මැදිහත් වීමෙන් එවකට සිටි මහා තෙරුන් වහන්සේලා විසින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර තිබේ. එදා ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය වත්මන් රාජ්‍ය විසින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉතිහාසයේ කළ වැදගත් ම ක්‍රියාව ලෙස සටහන් වීම නොවැළැක්විය හැකි ය.

ත්‍රිපිටක ධර්මය ලෝකයේ අන්‍ය සියලු ආගම්වලින් වෙන් වූ සත්ත්ව උපගමනයක් යැයි සමාජ විද්‍යාඥයන් පෙන්නා දී ඇත. ඔවුන්ට අනුව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුභූති මූලිකවීම ලෙස හඳුන්වා ඇත්තේ මානවයාගේ ක්‍රියාකාරකම් හා අත්දැකීම් පදනම් කරගත් දර්ශනයක් වීම නිසා ය.

මෙකී දර්ශනය විද්‍යාත්මක දර්ශනයක් වන්නේ හේතුඵල සම්බන්ධතාවය මත ගොඩනැඟී තිබීම නිසාය. තව ද මෙය ප්‍රායෝගික දහමක් වන අතර රෝග සමනය උදෙසා උපයෝගි කරගත හැකි දහමක් ලෙස සැලකිය හැකි ය. මනෝ විද්‍යාත්මක ආගමික දර්ශනයක් වන මෙය කිසිදු බේදයකින් තොරව ඕනෑම අයකුට වටහා ගත හැකි, අනුගමනය කළ හැකි දහමක් බව ස්ම්ත් නැමැති සමාජ විද්‍යාඥයා විසින් තහවුරු කර තිබේ.

වත්මන් සමාජ විද්‍යාඥයන් පවා පෙන්නා දී ඇති ආකාරයට ලෝකයේ සියලු ආගම් පිළිබඳ කරන පර්යේෂණවලට අනුව බුදු දහම අනෙකුත් ධර්මයන්ට වඩා වෙනස් මඟක් ගෙන තිබේ. එකී දහම ආරක්ෂා කරන එක ම රට ශ්‍රී ලංකාව වීම ද ශ්‍රී ලාංකිකයන් ලබන ගෞරවයකි. එසේම බුදු දහම රකින සංස්කෘතියක් සහ ජාතියක් සිටින එක ම රට ශ්‍රී ලංකාව ය.

මේ තත්ත්වය වෙනත් බෞද්ධ රටවල දක්නට නොලැබීම ද විශේෂ ය. බුදු දහම රැගෙන ලක්දිවට ගොඩබට මිහිඳු මහා රහතන් වහන්සේ එය බාර කරනුයේ එකල ලක්දිව රජ කළ දේවානම්පියතිස්ස රජතුමාට ය. එදා රජතුමා එය පිළිගැනීමෙන් සනාථ කරනු ලැබූවේ මෙකී දහම චිරාත් කාලයක් ලක්දිව රජ කරන තැනැත්තා විසින් ආරක්ෂා කරන බව ය.

මෙරට පවතින පාසල් බිහිවීමට පෙර පාසල් බවට පත් වූයේ පන්සල් සහ පිරිවෙන් ය. රටේ නායකයා කවරකු වුව ධර්මය ආරක්ෂා කිරීමෙන් රටවැසියන් ද ආරක්ෂා වන්නේ ය යන හැඟීම අතීත රටවැසියන්ට මෙන් ම වත්මන් රටවැසියන්ට ද ඇත.

පෙර රජ දවසේ සිට දහම මුල් කරගත් අධ්‍යාපන නැඹුරුවක් මෙරට පැවැතියේ ය. වසර දහස් ගණනක් පුරා මේ රටේ ජාතියත් සංස්කෘතියත් අතර වෙන් කළ නොහැකි බැඳීමක් ගොඩනැඟී තිබීම ඕනෑම රාජ්‍ය පාලනයක් වටහා ගත යුතුව ඇත. එකී දහම කිසිවකුට හෝ අවැසි අයුරින් විකෘති කිරීම් හෝ අර්ථගැන්වීම් නවතා දැමිය යුතු ය. එසේ වන්නට නම් එය ජාතික වස්තුවක්, උරුමයක් යැයි තහවුරු කළ යුතු වන අතර තවදුරටත් වසර දහස් ගණනක අනාගතයකට බුදු දහම රැක දීමට හැකි වනු ඇත. වත්මන් ජනපති මෑත ඉතිහාසයේ දේශපාලකයකු ගත් වැදගත් ම තීරණය ගෙන තිබේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ජාතික උරුමයක් බව සපථ කිරීම යුගයේ අවශ්‍යතාවක් බව තේරුම් ගැනීම ඉතා වැදගත් ය.

මෙරට විසූ ශ්‍රේෂ්ඨ යතිවරුන් කිසි කලෙක, කිසි විටෙක ධර්මය විකෘති කිරීමට උත්සාහ ගෙන නැත. නුවර යුගයේ වැලිවිට සරණංකර හිමි බිහි වෙනතුරු තිබූණේ අඳුරු යුගයකි.

එහෙත්, ඒ කාලයේ වුවද ගණින්නාන්සේලා පවා උතුම් දහම පොත්ගුලේ තබා ආරක්ෂා කොට තිබේ. ගණින්නාන්සේලා පුස්කොළ පොත්වල තිබූ එකදු කොළයක් හෝ වැනසෙන්නට ඉඩ නොදී අනාගත පරපුරට ආරක්ෂා කර දී තිබේ. ඒ තරම් කැපවීමෙන් උනන්දුවෙන් ආරක්ෂාකර වර්තමානයට පැමිණි උතුම් දහම අනාගත පරපුරට ආරක්ෂා කරන්නට වත්මන් ජනපතිවරයා ගත් තීරණය සිංහල බෞද්ධ වැසියන්ට මෙන්ම, ලක් ඉතිහාසයට එක් වූ ඓතිහාසික සන්ධිස්ථානයකි. වත්මන් නායකයා නූපන් පරපුර වෙනුවෙන් කළ එකී සද්ක්‍රියාව සියල්ලෝම ඉහළින් අගය කළ යුතුය. 

අදහස්