ත්‍රිපි­ටකය ග්‍රන්ථා­රූඪ කිරීම ගැන විද්වත් මත | සිළුමිණ

ත්‍රිපි­ටකය ග්‍රන්ථා­රූඪ කිරීම ගැන විද්වත් මත

ලෝකයට අභිමානයෙන් යුතුව ඉදිරිපත් කළ හැකි අතිශය විශ්වාසදායක ත්‍රිපිටක බුද්ධ භාෂිතය හා දීපවංශ මහාවංශ ආදියෙන් පැවත එන අඛණ්ඩ පුරාවෘත්ත සම්ප්‍රදාය පැවත එන්නේ බුද්ධකාලයේ සිටයයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. බුදුන් පිරිනිවී සතියක් ගිය තැන සිට යැයි කිවහොත් එය වඩාත් නිවැරදිය.

බුදුන් පිරිනිවි තුන්මසක් ඉකුත් වූ කල මහතෙරවරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූහ. ඒ වන විටද බුදුන් වහන්සේ විශේෂයෙන් භික්ෂු සංඝයා සඳහා පනවා තිබූ විනය නීති රීති ලිහිල් කර ගැනීම හෝ ඒවාට විපරිත අර්ථ කථන ඉදිරිපත් කිරීම පිළිබදව අභියෝග එලල් වී තිබුණි. එහෙයින් බුද්ධභාෂිතය අනාගතයේදී අවිපරීතව පවත්වා ගැනීමට ක්‍රියා මාර්ගයක් ගැනීම මේ සංගායනාවේ අරමුණ විය.

මෙහිදී බුදුන් වහන්සේ විවිධ අවස්ථාවන්හි විවිධ පුද්ගලයන් හා මාතෘකා අරමුණු කරගෙන දේශනා කරන ලද ධර්ම විනය ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් සිය මතකයෙන් රැස්ව සිටි මහතෙරවරුනට සජ්ඣායනා කරන ලදී.

මේ සදහා අන් කිසිදු බුද්ධ ශ්‍රාවකයකුට නොතිබු සුදුසුකම් ආනන්ද ස්ථවිරයනට තිබිණි. බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූද, ධර්ම භාණ්ඩාගාරිකවූද උන්වහන්සේ මුල සිටම පිරිනිවන් පානා මොහොත වන තෙක් බුදුන් වහන්සේ ළගින් ඇසුරු කළහ. ඒ නිසා බුදුරදුන් විවිධ අවස්ථාවන්හි විවිධ මාතෘකා අරමුණු කොට දෙසන ලද ධර්මයට ආනන්ද ස්ථවිරයෝ සාක්‍ෂ්‍ය දැරූහ. තවද ආනන්ද ස්ථවිරයන් වහන්සේ නොමැති අවස්ථාවක යම් ධර්මයක් හෝ විනයක් දේශනා කරන ලද නම් එය ද උන්වහන්සේට කියා දීමේ සිරිතක් බුදුරදුන් වෙත පැවතිණ. එහෙයින් බුදුන් වහන්සේ දේශනා කළ සකල ධර්මස්කන්ධයම නො අඩුව සජ්ඣායනා කළ හැකිව සිටි එකම ශ්‍රාවකයන් වහන්සේ ආනන්ද ස්ථවිරයෝ වූහ. පළමුවැනි ධර්ම සංගායනාවේදී ධර්ම විනය සජ්ඣායනා කිරිමේ වගකීම ආනන්ද ස්ථවිරයනට පැවරුණේ මේ සුදුසුකම නිසාය.

“ඇවැත්නි, බුදුන් වහන්සේ අසවල් කාලයේ අසවල් ස්ථානයේ අසවල් පුද්ගලයා හෝ අසවල් මාතෘකාව අරභයා මෙසේ දේශනා කළ බව ම විසින් අසා ඇත.” යනාදී වශයෙන් ආනන්ද ස්ථවිරයෝ සංගීති සභාවේ සිට මහ තෙරවරුනට සජ්ඣායනා කළහ. ආනන්ද ස්ථවිරයන් විසින් මෙසේ සජ්ඣායනා කරන ලද ධර්ම විනය රැස්ව සිටි මහ තෙරවරු ධාරණය කර ගත්හ. උන්වහන්සේලා ධර්ම විනයේ ඒ ඒ අංශ වෙන් වෙන් ව කට පාඩමින් ගෙන ඒමට මේ රැස්වීමේදී කතිකා කර ගත්හ.

විනය කොටස් කටපාඩමින් ගෙන ඒමේ කාර්යය බුදුන් වහන්සේගෙන් විනය පිළිබද අග්‍ර ඨානාන්තරය ලැබ සිටි උපාලි මහා ස්ථවිරයනට පැවරුණි. ධර්ම විනය වාචනා මාර්ගයෙන් ගෙන ආ ස්ථවිර පරම්පරාව කියැවෙන තන්හි මුලින් ම සඳහන් වන්නේ උපාලි ස්ථවිරයන් හෙයිනි.

මෙසේ ආනන්ද උපාලි දෙනමගේ සිට පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ ධර්ම විනය බුදුරදුන් පිරිනිවි සියක් වසක් ගිය තැනේ දී යළි සංගායනා කොට තහවුරු කර තිබේ. ඉක්බිති ධර්මාශෝක සමයේ තුන්වන වරටත් සංගායනා කොට ප්‍රකෘතිමත් කර තිබේ.

මේ තුන්වැනි සංගායනාවේදී විශේෂයෙන් පිරිසුදු කොට සම්මත කරගත් විනය පිටකය සමග බුද්ධ පරිනිර්වාණයේ සිට ඒ වනතෙක් ශාසනය පැවත ආ ආකාරය පිළිබඳ ශාසන වංශයද අවශිෂ්ටයක් සේ සම්මත කර ගන්නා ලදැයි සිතන්නට කරුණු තිබේ. එහෙයින් මහින්ද ස්ථවිරයන් ලංකාවට හඳුන්වා දුන්නේ බුදුන් පිරිනිවි තෙමසක් පසු සම්මත කරගත් උපාලි ස්ථවිර ප්‍රමුඛ මහරහතන් පරම්පරාව වාචනා මාර්ගයෙන් ගෙන එන ලදුව දෙවැනි සංගීතියේ දී ද තුන්වැනි සංගීතියේදී ද ප්‍රකෘතිමත් කරන ලද ත්‍රිපිටක බුද්ධ වචනය හා ශාසන වංශ කතාවයි.

මිහිඳු මා හිමියන් විසින් තුන්වැනි සංගීතියේදී සම්මත කරගත් මේ ත්‍රිපිටක බුද්ධ වචනය හා බුදුන් පිරිනිවි තැන් සිට අශෝක යුගය තෙක් ශාසන වංශ කථාවද, ලක්වැසියාට කියා දෙන ලදී.

ප්‍රථම ලාංකික මහතෙරුන් සේ සැලකිය හැකි අරිට්ඨ මහා ස්ථවිරයන් තමා මිහිඳු මාහිමියන්ගේ අසා දැනගත් විනය පිටකය ථූපාරාමයේදී මිහිඳු හිමියන් හා සම අසුන්හි ඉඳගෙන කටපාඩමින් දෙසන ලද බව කියැවේ. අනතුරුව භාරත දේශයේ සිදුවු අයුරින්ම අරිට්ඨ මහතෙරුන් ප්‍රධාන සිංහල මහ තෙරවරුන් විසින් පරම්පරාවේන් පරම්පරාවට ත්‍රිපිටක බුද්ධ භාෂිතය කඩපාඩමින් ගෙන එන ලදී. ඒ සමගම මහින්ද ස්ථවිරයන් විසින් කියාදෙන ලද තුන්වැනි සංගායනා කාලය තෙක් ශාසන ඉතිහායසද විනය පිටකයේ උප ග්‍රන්ථයක් සේ කටපාඩමින් ගෙන ආහයි සිතිය හැකිය.

මෙසේ බුදුන් පිරිනිවි තුන්මසක් පසු ආනන්ද ස්ථවිරයන් විසින් සජ්ඣායනා කරන ලදුව ස්ථවිර පරම්පරා අනු පිළිවෙළින් අඛණ්ඩ ව රැක වරින් වර ප්‍රකෘතිමත් කරමින් වාචනා මාර්ගයෙන් ගෙන එන ලද ත්‍රිපිටක බුද්ධ භාෂිතය හා ශාසන වංශ කථාව පළමුවරට ලේඛන ගත කෙරුණේ බුදුන් පිරිනිවි සාරසිය සූ පණස් වසක් ගිය තැනය. සමසත මානව ඉතිහාසයේ අතිශය වැදගත්කමකින් යුතු මේ සිද්ධිය වූයේ ශ්‍රී ලංකාවේ මාතලේ අලු ලෙනේ දීය.

එදා සිට විවිධ අටුවා ටීකා හා පරිවාර සාහිත්‍යයක් බිහිකරමින් වර්තමාන පරම්පරාව අතට පත්ව ඇත්තේ මාතලේ අලු ලෙනේදී පුස්කොළ පොත්වල ලියන ලද ත්‍රිපිටක බුද්ධ භාෂිතය හා ශාසන වංශයයි. එහෙයින් වර්තමාන සමස්ත ධර්ම ශාස්ත්‍ර සාහිත්‍යයේ නිජබිම මාතලේ අලු විහාරය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

මාතලේ අලු ලෙනේදී සිදුවු මේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික සිද්ධිය පිළිබදව අපේ ප්‍රධාන වංශ කථාවන්හි ඇත්තේ ඡායා මාත්‍ර තොරතුරක් පමණ ය. මේ ඡායා මාත්‍ර තොරතුරුත් මෑතකදී සොයා පළ කොට ඇති දහඅට වැනි සියවස අගභාගයට අයත් පුරාවෘත්ත ලේඛනයක් වූ අස්ගිරියේ තල්පතේ මේ සිද්ධිය පිළිබදව එන තොරතුරුත් සසඳා බලමින් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය පිළිබඳ සමාලෝචනයකට මේ ලිපියෙන් ප්‍රයත්න දැරේ.

ත්‍රිපිටකය ද එහි අට්ඨ කථාද අතීත භික්ෂූහු මුඛ පාඨයෙන් ගෙන ආහ. එ සමයෙහි සත්ත්වයන්ගේ හානිය දැක රැස්වූ භික්ෂූහූ ධර්මයෙහි චිරස්ථිතිය සදහා එය පොත්වල ලියවූහ. මහාවංශය මේ අතිශය වැදගත් සිද්ධිය ගැන සඳහන් කරන්නේ එපමණයි. මහා වංශ ටීකාව මේ සිද්ධිය ගැන එතරම්වත් සැලකිල්ලක් දක්වා නැත. එය මහා වංශයේ ගාථා දෙකින් එකක ඇති “හානිං දිස්වාන සත්තානං”පාඨය පමණක් ටීකා කර තිබේ. එහිදී අමතර තොරතුරුත් නැත. මොවුන් (වලගම්බා) දවස පන්සියයක් රහතන් වහන්සේ අලු ලෙන වැඩ හිඳ පොත් සංගායනා කළ සේක. යන්න පමණක් සඳහන් කොට පූජාවලිය ද නිහඬ වෙයි. රැස්වූ ගණනත් ස්ථානයත් මහා වංශයේ නොදුන් අලුත් තොරතුරුය.

නිකාය සංග්‍රහය මීට වැඩි තොරතුරු දෙයි. එය උපාලි මහා ස්ථවිරයන්ගේ සිට සිව ස්ථවිරයන් තෙක් 38 දෙනෙකුගෙන් යුත් මහා ස්ථවිර පරම්පරාව නම්කොට ඒ මහා ස්ථවිර පරම්පරාව නම්කොට ඒ මහා ස්ථවිර පරම්පරාවෙන් මුඛපාලි වශයෙන් පැවත ආවා වූ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනාධිපතියක්හුගේ ආරක්ෂාවෙන් පන්සියයක් මහ රහතන් වහන්සේ මාතුල නම් දනවුයෙහි අලුලෙනැ වැඩ හිඳ පොත් සංගායනා කොට ලියවූ සේක. යනුවෙන් මේ සිද්ධිය වාර්තා කරයි.

මුඛ පාලියෙන් රැකගෙන ආ මහා ස්ථවිර පරම්පරාව ගණනත්, මේ කාර්යයෙහිදී එක්තරා ජනාධිපතියකු ආරක්ෂාව සැලසූ බවත්, අලුලෙන මාතුල දනව්වෙහි වූවක් බවත් මේ මුලාශ්‍රය අලුතින් ඉදිරිපත් කරන තොරතුරුය. සද්ධර්මරත්නාකරය, රාජරත්නාකරය යන මේවා නිකාය සංග්‍රහයේ දුන් තොරතුරු එසේම වාර්තා කොට ඇත.

අස්ගිරියේ තල්පත මේ හැම මූලාශ්‍රයකට ම වඩා පරිපූර්ණ ලෙස අමුතු තොරතුරුද සහිතව මේ සිද්ධිය වාර්තා කරයි. අදාළ කොටස මෙසේය. එම තිස්ස තෙර මහා විහාරයට විපක්ෂව අභයගිරි නිකාය ඇති කරගත් තැනේදී මතු ශාසනාරක්ෂාව නොපවත්වා කාරණාව දැක, මහත් ධර්ම සංවේගයට පැමිණ පඤච මහාවාස නිවාසි මහා රහතන් වහන්සේලා ලෝවාමහාපායට රැස්ව මහා සංඝ සම්මුතිය සෑදී පිටකත්‍රය ග්‍රන්ථාරූඪ කොට ශාසනාරක්ෂාව කර තබන්ට ඇතිකරගත් කතිකාව ලෙස මහා විහාර බද ථූපාරාම නිවාසි කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් රහතන් වහන්සේලා මාතුල දනව්වවේ අලු ලෙනට රැස්ව, එම ජනපදාදීශ්වර මන්ත්‍රීවරයන්ගේ මහත් උපකාර මූලිකව උපාලි මහ රහතන් වහන්සේගේ පටන් සතිස් මහා ස්ථවිර පරම්පරාවෙන් සිත්හි ලා ධරා පවත්වාගෙන ආවා වූ පිටකත්‍ර පාලි ධර්මය අප බුදුන් පිරිනිවි සාරසිය සූ පනස් වසක් ඉක්ම ගිය තැනේ දී සංගායනා කොට ග්‍රන්ථාරූඪ කළ සේක.

අස්ගිරියේ තල්පතේ එන මේ අලුත් විස්තරයේ අලුත් තොරතුරු කීපයක් ඇත. සංගායනාවේ මුලසුන් ගත් ථූපාරාම නිවාසි කුන්තගත්ත තිස්ස මහා රහතන් වහන්සේ කෙනෙකු ගැන එන තොරතුරු ඉන් පළමුවැන්නයි. අප දන්නා තරමින් මේ සිද්ධිය ගැන සඳහන් කිසිදු මූලාශ්‍රයක හෝ ද්විතියාශ්‍රයක මුන් වහන්සේ ගැන හෝ වෙනත් මහා ස්ථවිර කෙනෙකු ගැන හෝ කිසිදු නිශ්චිත තොරතුරක් නැත.

මේ සංගායනා සභාවේ මුලසුන ගන්නට ඇත්තේ උපාලි මහා ස්ථවිරයන්ගේ සිට වලගම්බා සමය තෙක් ත්‍රිපිටකය මුඛ පාලියෙන් රැකගෙන ආ ස්ථවිර පරම්පරාවේ කෙනෙකු ලෙස නිකාය සංග්‍රහය ඉදිරිපත් කරන ස්ථවිර නාමාවලියේ අග පෙනෙන සිව ස්ථවිර විය හැකි යැයි ජී. පි. මලලසේකර අනුමාන කරයි.

නිකාය සංග්‍රහය මේ නාමාවලිය දී ඇත්තේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය පිළිබඳ වාර්තා කරන්නට සුදානම් වන තැනය. එහෙයින් නාමාවලියේ අග දැක්වෙන සිව ස්ථවිරයන් වලගම්බා සමයේ සිටි ස්ථවිරයන් යයි සලකා ග්‍රන්ථාරූඪ රැස්වීමේ මුලසුන ඉසුලුයේ එතුමා යැයි සාධාරණව අනුමාන කළ හැකිය.

අනිත් අතින් නිකාය සංග්‍රහය දෙන නාමාවලියේ 19,33,36 යන තන්හි තිස්ස නමින් හැඳින්වෙන මහා ස්ථවිරවරු තිදෙනෙක් වෙති. අස්ගිරියේ තල්පත, සදහන් කරන මුලසුන ගත් කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේ මේ තිදෙනාගෙන් කෙනකු විය යුතුය. ඉනුත් 36 වැන්නා සේ ගත හැකිය. මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණ නම් නිකාය සංග්‍රහය 38 දෙනෙකුගෙන් සමන්විත සේ සලකා ඇති මේ ස්ථවිර පරම්පරාව අස්ගිරියේ තල්පත 36 දෙනෙකු සේ සලකා තිබීමයි.

නිකාය සංග්‍රහය තිස්හය වැනි තැන සඳහන් කරන තිස්ස තෙරුන් අස්ගිරියේ පල්පතේ කියැවෙන සතිස් මහා ස්ථවිර පරම්පරාවේ අවසන සිටින කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේ එක් අයෙකු විය හැකි බව මෙයින් ඔප්පු වෙයි. නිකාය සංග්‍රහයේ 37 වැනිව හා 38 වැනිව එන සිව හා චූලදේව යන මහ තෙරවරුන් දෙදෙනා අස්ගිරියේ තල්පතේ එන පුරාවෘත්ත සම්ප්‍රදාය විසින් ගණන් ගෙන නැති බව මින් පැහැදිලිවේ. ඒ වනාහි ඒ දෙදෙනා වහන්සේ සමහර විට කුන්තගත්ත තිස්ස මහතෙරුන්ට සමකාලීනව සිටි නිසා මුලසුන ගත් තෙරුන් පමණක් ගත්විට ප්‍රමාණවත් යයි අස්ගිරි තල්පත් සම්ප්‍රදාය පිළිගත් නිසා විය හැකිය. මේ නිසා මාතලේ අලුලෙන ත්‍රිපිටක ග්‍රන්ථාරූඪයේ දී මුලසුන ගත් ථූපාරාම නිවාසි කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේ පිළිබඳව අස්ගිරියේ තල්පතේ එන තොරතුරු පිළිගත හැකිය.

මේ සිද්ධිය සිදුවූ වකවානුව ගැන මූලාශ්‍රයවල පරස්පර විරෝධතා දක්නට ලැබේ. මහා වංශයත් ටිකාවත් කලි (විෂම) කාලයේ සත්ත්වයන්ගේ ආයූෂ පිරිහීම නිසා ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කළ බව පවසන සැටි ඉහත දුටුමු. මහාවංශය බ්‍රාහ්මණතිස්ස සාගතයක් ගැන සඳහන් නොකරන හෙයින් කලිකාලය යනුවෙන් අදහස් කරන ලද්දේ සාගත සමය යැයි ස්ථිරව කිව නොහැකිය. එහෙත් එය තීය බමුණාගේ කැරැල්ල ගැන සඳහන් කරන හෙයින් ටිකාව “කලීකාලය” යනුවෙන් හැඳින්වූයේ ඒ කැරැල්ල පැවති සමයයි අනුමාන කළ හැකිය. අටුවා කථාවන්හි “බ්‍රාහ්මණ තීය හය” යනුවෙන් ද අවිශේෂයෙන් සඳහන් කර ඇත. මේ නිසා බ්‍රාහ්මණ තීය කැරැල්ල පැවති කාලයත් බ්‍රාහ්මණ තීය සාගතය පැවති කාලයත් එකක්ම සේ සලකා ඇති බව පෙනේ.

බ්‍රාහ්මණ තීය කැරැල්ලත් ද්‍රවිඩ බලයත් නිසා වළගම්බා රජු වර්ෂ 14 කුත් සත් මසක් වල් වැදී සිටි බව කියවේ. මේ නිසා ක්‍රි. පූ. 104 වැන්නේ ඇරඹී 12 වසක් පැවති සාගතය අවසන් වූවාට පසුව ද තවත් වර්ෂ දෙකකුත් සත් මසක කාලයක් වලගම්බා වල් වැදී සිටි බව ඔප්පු වේ.

අංගුත්තර අටුවාවෙහි එන කතා පවතින් බැමිණිතියා සාය සමයේ දිවයිනෙන් බැහැර ගිය භික්ෂුන් සාය සංසිඳුණු පසු පෙරළා දිවයිනට පැමිණ බව කියවේ. එසේ පැමිණ භික්ෂූන්ද එතෙක් දිවයිනේ නතරව සිටි භික්ෂූන් ද කල්ලගාම නම් ජනපදයේ මණ්ඩලාරාමයට රැස්ව තම තමන් එතෙක් කල් කට පාඩමින් රැකගත් ධර්මය සසඳා බැලූ බව එහි වැඩිදුරටත් කියැවේ. මෙය සිදූවූයේ සාගතය සංසිඳීමෙන් පසුව නිසා වලගම්බා වල් වැදී සිටි මුල් 12 අවුරුද්දෙන් පසුව යයි නිසැක වශයෙන් සිතිය හැකිය.

ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය සිදු වූයේ මේ මණ්ඩලාරාම සම්මේලනයට ද පසුව යැයි සිතන්නට සිදුවේ. මන්ද යත් ඊට පළමු ග්‍රන්ථාරූඪ කිරීමක් සිදුව තිබිණි නම් යළි කට පාඩම් සැසඳීමක් අවශ්‍ය නොවන හෙයිනි. මේ අනුව මණ්ඩලාරාම සම්මේලනය යටත් පිරිසෙයින් වලගම්බා වල් වැදී සිටි මුල් දොළොස් අවුරුද්දෙන් පසුව සිදූවුවක් ලෙස ද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය ඊටත් පසුව සිදු වූවක් ලෙස ද සලකන්නට සිදු වේ.

නිකාය සංග්‍රහය මේ ග්‍රන්ථාරූඪය වලගම්බා තුදුස් වර්ෂ සත් සමකට පසු දෙවැනි වර රජවන්නට පළමු සිදූවුවක් සේ සලකා ඇත. මේ නිකාය සංග්‍රහ සඳහනද විශ්වාස කරතොත් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය සිදුව ඇත්තේ වලගම්බා වල් වැදී සිටි සාගතය පැවති, මුල් අවුරුදු 12 ත් දෙවැනි වර රජවීමත් අතර, පැවති දෙවර්ෂ සත්මසක කාලය තුළ යයි පිළිගන්නට සිදු වේ. එවිට ඒ කාලය තුළ පළමුව මණ්ඩලාරාම සම්මේලනය ද ඊට පසුව ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය ද සිදු වී ඇතැයි සිතිය හැකිය.

මණ්ඩලාරාම සම්මේලනයේ දී සිදු වු එක් වැදගත් විවාදයක් ගැන අංගුත්තර අටුවාව වාර්තා කරයි. “සසුනට මුල පර්යාප්තියද, නො එසේ නම් ප්‍රතිපත්තිය ද” යන්න මේ විවාදයේ මාතෘකාව වී තිබේ. රැස් වූ භික්ෂූන් දෙපක්ෂයට බෙදී වාද කොට ඇත. අවසානයේදී සසුනට මුල ප්‍රතිපත්තිය යැයි කියූ පක්ෂය නිහඬ කොට ඒ පර්යාප්තිය යැයි කියූ පක්ෂය ජයගෙන තිබේ.

ප්‍රතිපත්ති හෙවත් විදර්ශනා වැඩිම පර්යාප්තියට හෙවත් ත්‍රිපිටක ධර්මය හැදැරීමට වඩා උසස් සේ ආදී බුද්ධ භාෂිතයේ සලකා තිබේ. මහා විහාරිකයන් නිරතුරුවම විරාගත බුද්ධ භාෂිතය ඒ අයුරින්ම රැක ගැනීමට වෑයම් කළවුන් බව ප්‍රකට කරුණකි. මේ නිසා මණ්ඩලාරාම සම්මේලනයේ දී ප්‍රතිපත්ති පක්ෂය ගෙන වාද කළෝ මහා විහාර භික්ෂූහු යැයි අනුමාන කළ හැකිය.

මහා විහාරයට පටහැනි අභයගිරි නිකායක් බිහිවීමට තුඩු දුන් මූලික හේතු විමසන විට ඒවා ප්‍රධාන වශයෙන් බුද්ධ භාෂිතයේ ඇතැම් තැන් දේශානුරූප හා කාලානුරූප සේ වෙනස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ හේතු බව පැහැදිලි වේ.

ඒ නිසා ම මේ මණ්ඩලාරාම සම්මේලනයේ දී විරාගත බුද්ධ භාෂිතයේ අදහසක් වූ ප්‍රතිපත්තියේ වැදගත්කමට විපක්ෂව පර්යාප්ති පක්ෂය ගෙන වාද කළ වුන් අභයගිරිකයන් ලෙස අනුමාන කරන්නට ඉඩ තිබේ. අභහගිරිකයන් වැඩි වශයෙන් ම පර්යාප්ති ගරුකයන් වූ බව පෙනෙන හෙයිනි.

පර්යාප්ති පක්ෂය ගත්තවුන් ධර්ම කථිකයන් බව අංගුත්තර අටුවාව කියයි. අභයගිරි පිහිටුවූ නොබෝ දිනකින් එහි භික්ෂුන් ධර්මරුචික නමින් හැඳින්වුණහයි නිකාය සංග්‍රහය කියයි. ධර්ම කථික හා ධර්ම රුචික යන නම් දෙක එකක් ම නොවන බව සැබෑ වුවද, ඒ වචන දෙකේ අර්ථ විසින් ද ස්වරූපය විසින් ද ඇත්තේ ඉතාම සුළු වෙනසක් බව ද සිහිපත් කළ යුතුය.

ඇත්ත වශයෙන් මුල් ධර්ම කථිකයන් ම පසු කලක ධර්ම රුචිකයන් සේ හැඳින්වුණා වන්නට ද බැරිකමක් නැත. මේ නිසා මණ්ඩලාරාම සම්මේලනයේ දී ප්‍රතිපත්ති පක්ෂය ගත්තවුන් මහා විහාරිකයන් ලෙසද, පර්යාප්ති පක්ෂය ගත්තවුත් අභයගිරිකයන් ලෙස ද කරන අනුමානය සාධාරණ බව පෙනේ. මේ අනුමානය නිවැරදි වුවහොත් මණ්ඩලාරාම සම්මේලනය පැවැත්වුණේ අභයගිරි බිහිවු පසුව බව පිළිගන්නට සිදු වේ. අභයගිරිය බිහිවූයේ වලගම්බා දෙවැනි වර රජවීමෙන් පසුව බව නිසා ය.

මේ අනුව මණ්ඩලාරාම සම්මේලන වකවානුව වලගම්බා වල් වැදී සිටි සමයේ අවසාන දෑවුරුදු සත්මසකින් මොබ්බට වැටෙන බව පෙනේ. මණ්ඩලාරාම සම්මේලනයට ද පසු සිදුවූවකැයි අනුමාන කළ හැකිය.

මේ සිද්ධිය පිළිබදව අස්ගිරි තල්පතේ ප්‍රවෘත්තියෙහි තවද සිත් බඳනා තැනක් තිබේ. මහා විහාර භික්ෂූන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිමේ පියවර ගත්තේ මහා විහාරයට විපක්ෂව අභයගිරි ඇති වූ තැනේ දී මතු ශාසනය නොපවත්නා කාරණය දැක ඇති වූ ධර්ම සංවේගය නිසා බව එහි එයි. මේ අනුව මේ සිද්ධිය සිදුවූයේ වලගම්බා දෙවන වරට රජව අභයගිරිය ගොඩනැඟීමෙන් පසුව බවත් සිද්ධියට හේතු භූත වූයේ මහා විහාරයට විපක්ෂව අභයගිරි නිකාය ඇතිවීමෙන් මතු ශාසනයේ පැවැත්මට වූ අභියෝගය බවත් පැහැදිලි වේ.

ඒ වනාහි මේ දක්වා පැවත එන ජනප්‍රිය පිළිගැනීමට පටහැනි වූවකි. ජනප්‍රිය පිළිගැනීම නම් ලේඛණගත කිරීම සිදුවූයේ වලගම්බා රාජ්‍යයෙන් පිරිහී වල් වැදී සිටි සමයේ බවත්, ඊට හේතු වූයේ එවක ඇතිවූ බැමිණිතියා සායෙන් උද්ගත වූ තත්ත්වය බවත් ය.

මේ පිළිගැනීමට මූලික වශයෙන් පදනම් වී ඇත්තේ නිකාය සංග්‍රහයේ එන ප්‍රවෘත්තිය යයි සිතේ. නිකාය සංග්‍රහය වලගම්බා සමය පිළිබඳ වාර්තා කරද්දී රජු සතුරු භයින් වල්වන් සැටි කියා අනතුරුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සිද්ධිය කියයි.

ඉක්බිති තුදුස් අවුරුදු සත් මසකට පසු යළි රාජ්‍ය ලැබ අභයගිරිය ගොඩනැඟීම හා ධර්ම රුචි නිකාය පහළ වීම ගැන කියයි.

මේ අනුව ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම සිදුවූයේ වලගම්බා රජයෙන් පිරිහී සිටි යුගයේ බවත්, අභයගිරි නිකාය ඇතිවූයේ ඒ ග්‍රන්ථාරූඪ සිද්ධියෙන් පසුව බවත් පැහැදිලි වේ. මෙයට අනුග්‍රාහකව සිටියේ වලගම්බා රජු නොව එක්තරා ජනපදාධිපතියකු බවට නිකාය සංග්‍රහය කරන සඳහන ද මේ අදහස තවත් තහවුරු කරයි.

සිද්ධියට හේතුව සාගතයෙන් උද්ගතවූ තත්ත්වය බවට නිකාය සංග්‍රහයෙන් කිසි රුකුලක් නො ලැබේ. එහෙත් බැමිණිතියා සාගතය පැවැත්තේ වලගම්බා වල්වැදී සිටි සමයේ බව වෙනත් මූලාශ්‍රය වලින් ඔප්පු වේ. පාලි අට්ඨකතාවන්හි මේ සාගත සමයේ භික්ෂූන්ට විඳින්නට සිදුවූ දුක් ගැහැටත් ඒවාට මුහුණ දෙමින් ත්‍රිපිටකය කට පාඩමින් රැකගෙන ඒමට දැරූ ආයාසයත් විස්තර වන කථාන්දර තිබේ. මහා වංශය සත්වයන්ගේ හානිය දැක ත්‍රිපිටකය පොත්වල කියවූ බව කියයි. වංසත්ථප්පකාසනීය “සත්වයන්ගේ හානිය” යන්න ඉක්බිති පහළ වූකලී (විෂම) කාලයෙහි ආයු පිරිහුණ සත්වයන්ගේ බුද්ධි පරිහීනත්වය යි ටීකා කරය. ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය සාගතයෙන් උද්ගතවූ තත්ත්වය නිසා සිදුවූවකැයි පිළිගැනීමට තුඩු දී ඇත්තේ මේ කරුණු යැයි සිතේ.

ත්‍රිපිටක ග්‍රන්ථාරූඪයට තුඩු දුන් හේතු ඉදිරිපත් කරන ඊ.ඩබ්. අදිකාරම් මහා විහාරයෙන් වෙන්වුණ පක්ෂයක් අභයගිරියෙහි ඇතිවීමට එක් හේතුවක් වශයෙන් දෙයි. ලංකාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවල බුදුසමය හා හින්දු සමය තුලනාත්මක විමර්ශනයට ලක් කළ සර් චාල්ස් එලියට් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය සිදුවූයේ මහා විහාරයට විපක්ෂව අභයගිරිය ඇතිවූ නිසා යැයි සිතයි. ලක්දිව බෞද්ධ සංස්කෘතියේ පැතිරීම පිළිබඳ සංක්ෂිප්ත ග්‍රන්ථයක් ලියූ හේන්පිටගෙදර පියනන්ද හිමි ද, මහා විහාර අභයගිරි බේද අලු විහාරයේ කළ ධර්ම සංගායනාවට හේතු වන්නට ඇතැයි අනුමාන කරයි.

මේ වියතුන් මෙසේ අනුමාන කොට ඇත්තේ කවර සාක්‍ෂ්‍ය මත පිහිටා දැයි පැහැදිලි නැත එහෙත් මෙබඳු අනුමානයකට ඉඩ ඇති බව ඉහත අප කළ විමසීමෙන් පැහැදිලි වෙයි. ඒ අනුමානය නිවැරදි බව අස්ගිරියේ තල්පතකින් ඔප්පු වේ.

එය නිශ්චය වශයෙන් ම මහා විහාරයට විපක්ෂව අභයගිරිය ඇතිකරගත් තැනේ දී මතු ශාසනාරක්ෂාව නොපවත්වා කාරණා දැන ධර්ම සංවේග උපදවා මහා විහාර භික්ෂූන් ත්‍රිපිටකය ලේඛනගත කිරීමට පියවර ගත් බව සඳහන් කරන හෙයිනි.

මෙසේ බලන විට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය පිළිබඳව අස්ගිරි තල්පතේ එන මුලසුන ගත් ථූපාරාම නිවාසි කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේ ගැනද අලු ලෙන රැස්වීමට පළමු පඤව මහාවාස නිවාසි භික්ෂූන් ලෝවා මහාපායට රැස්ව කළ පූර්ව කතිකාවත ගැනද මහා විහාරයට විපක්ෂව අභයගිරි ඇති කරගත් තැනේදී මතු ශාසනාරක්ෂාවට වන හානිය දැන ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳව දෙන අලුත් තොරතුරු විශ්වාස දායක යැයි පිළිගත හැකිව තිබේ.

අදහස්