ත්‍රිපිට­කය හා අට්ඨ­කථා | සිළුමිණ

ත්‍රිපිට­කය හා අට්ඨ­කථා

මීට වසර කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය මඟින් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයක දී ජපන් රටේ පාළි හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පඬිවරයකු වන මහාචාර්ය මසහිරෝ කිත්සුදෝ මහතාට සාහිත්‍යසූරී සම්මාන උපාධිය පිරිනමන ලදී. එම අවස්ථාවේ එතුමා පැවැත්වූ දේශනයේදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව බෞද්ධ ලෝකයේ ඉතා වැදගත් කොට සලකනු ලබන බවත් ඊට හේතුව අප ත්‍රිපිටකයට උරුමකම් කියන්නන් වීම බවත් ය. තවද ත්‍රිපිටකය රචනා වී ඇත්තේ පාලි භාෂාවෙන් වීම නිසා ත්‍රිපිටකය නිවැරදිව අධ්‍යයනය කිරීම හා අවබෝධ කර ගැනීම සඳහා පාලි භාෂාව ඉතා ගැඹුරට උගෙනීමේ අවශ්‍යතාවත් ය.

මෙම ප්‍රකාශයේ වැදගත්කම පෙනී යන්නේ මෑත කාලයේ ගිහි පැවිදි සමහරුන් විසින් ත්‍රිපිටකයේත් අටුවා ටීකාවලත් ඇති යම් යම් පාඨ සඳහා මතභේදාත්මක අර්ථ දෙමින් තිබෙන නිසා ය. බුද්ධ ධර්මය නිවැරදිව රචනා වී ඇත්තේ ත්‍රිපිටකයේ බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

ක්‍රි. පූ. 486 දී සිදු වූ බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ දේශනාවලට සාවද්‍ය අර්ථ නිරූපණ දීමට සමහර භික්ෂූන් ඉදිරිපත් වීමෙන් පසු නිවැරදි බුද්ධ දේශනාව තීරණය කර ගැනීම සඳහා සංගායනා සිදු විය. ක්‍රිි පූ 268 රාජ්‍යයට පත් අධිරජ ධර්මාශෝක සමයේ පාඨලීපුත්‍රයේදී මෙසේ තෙවැනි ධර්ම සංගායනාව සිදුවූයේ මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. එහිදී සංග්‍රහ කළ නිවැරදි ත්‍රිපිටකය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ක්‍රි.පූ. 250දී ලංකාවට ගෙන එන ලදී.

එ් ත්‍රිපිටක දේශනාව ශ්‍රී ලාංකේය මහ තෙරුන් වන මහා අරිට්ඨ තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂූන් විසින් වාචනා මාර්ගයෙන් රැකගෙන ආ අතර විදේශීය ආක්‍රමණ ආදී හේතූන් නිසා ත්‍රිපිටකය රැකගැනීම සඳහා ග්‍රන්ථාරුඪ කිරීම ක්‍රි. පූ පළමු සියවසේ මාතුල දනව්වේ ආලෝක ලෙනේදී සිදු කළ ආකාරය මෙරට වංශකථාවල වාර්තා කර ඇත. ඒ දක්වා ත්‍රිපිටකය වාචනා මාර්ගයෙන් රැකගෙන ආ තෙරුන් වහන්සේලා 32 නමකගේ නම් නිකාය සංග්‍රහයේ සටහන් කර ඇත.

තුන් පිටකය යනු විනය පිටකය අභිධර්ම පිටකය හා සූත්‍ර පිටකයයි. මෙයින් විනය පිටකයට උභය විභංගය වන පාරාජිකා පාළි හා පාචිත්ත පාළිය ද ඛන්ධක කොටසට චුල්ලවග්ගපාළිය හා මහාවග්ගපාලිය ද පරිවාර කොටසට පරිවාර පාළිය ද ඇතුළත් ය. අභිධර්ම පිටකයට ධම්ම සංගණිප්පකරණ විභංගප්පකරණ කතාවත්ථුප්පකරණ පුද්ගල පඤ්ඤප්තිප්පකරණ ධාතු කථාප්පකරණ හා පට්ඨානප්පකරණ ඇතුළත් ය. සූත්‍ර පිටකය, දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය, ඛුද්දක පාඨ, ධම්මපද උදාන, ඉතිවුත්තක සුත්තනිපාත විමානවත්ථු පේතවත්ථු ථෙර හා ථෙරිගාථා ජාතක නිද්දේස අපදාර පටිසම්හිදා බුද්ධවංස හා චරියා පිටක ඇතුළත් ය.

මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත පිරිස විසින් මහා විහාරයේ සිට ශ්‍රී ලාංකේය භික්ෂූන්ට ත්‍රිපිටක ධර්මය විස්තර කර දීම දීප භාෂාවෙන් කළ බව දීපවංශයේ සඳහන් ය- එහි ප්‍රතිඵලයක් වූයේ හෙළටුවා ආරම්භ වීම ය- ඒ හැර භාරතයේ පැවැති අටුවා සාහිත්‍යයක් හෙළ බසට පෙරළීමක් ගැන කිසි තැනක සඳහන් නොවේ- බුදුන් වහන්සේ ජීවමාන ව සිටිය දී ත්‍රිපිටක ධර්මය පැහැදිලි කරදීම සඳහා අටුවා සැපයීම ඇරඹුණ බවට මහා නිද්දේශය, චුල්ලනිද්දේසය නම් කෘති ත්‍රිපිටකගත ව තිබීමෙන් ඔප්පු වුව ද ත්‍රිපිටකයේ සෑම කෘතියකට ම අටුවා සපයා තිබූ බවත් කිසි තැනක සඳහන් නොවේ- එවැනි සාහිත්‍යයක් භාරතයෙන් සොයාගෙන ද නැත- දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර භාෂාවෙන් ලියැවුණු අන්ධට්ඨකථා හෙළටුවා අනුව යමින් ක්‍රිස්තු වර්ෂ පළමු ශතකයට පසු කලෙක රචිත බවත් එහි සඳහන් අදහස් ප්‍රචලිත බෞද්ධ මතය හා නොගැළපෙන බව බුද්ධඝෝෂ හිමියන්ගේ ප්‍රකාශවලින් හෙළි වේ. මේ අනුව පසු ව පාලි බසට පරිවර්තනය වන හෙළටුවා බෞද්ධ ඉතිහාසයේත්, ධර්මයේත් සුවිශේෂ වැදගත්කමක් දරන අතර ඒවා මහා විහාරවාසීන්ගේ කෘති වශයෙන් දැක්විය හැකි ය.

අත්ථසාලිනී, පපඤ්චසුදනී සහ සාරත්ථප්පකාසිනී යන අටුවා ග්‍රන්ථවල බුද්ධඝෝෂ හිමියන් පවසා ඇත්තේ මිහිඳු හිමියන් දඹදිව සිට අටුවා ගෙනැවුත් මෙහි දී හෙළ බසින් සැකසූ බව දක්වන ආනන්ද ගුරුගේ එය මුඛපරම්පරාගත වූවක් මිස ලේඛන නොවූ බවත් ධර්මදූත පිරිසේ දේශනා හා අර්ථකථන විය යුතු බවත් ය.

පාලි භාෂාවෙන් (මගධ බසින්) තිබූ බුද්ධ කාලයේ සිට පැවත එන අටුවා මහා විහාරවාසීන් විසින් හෙළ බසට පෙරළු බව ධම්පියා අටුවා ගැටපදයේ සඳහන් වන්නේ “මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව ඇදුරො හෙළ බසින් තැබූහ” හෙළටුවා පොත් මේ අනුව යටත් පිරිසෙයින් ක්‍රි-ව- අටවන සියවස වන විටත් විනාශ නොවී පැවති ඇති බව එ් කෘතිවලින් උපුටාගත් පාඨ ධම්පියා අටුවා ගැටපදයේ ඇතුළත් කර තිබීමෙන් සනාථ වේ.

තෙවැනි සංගායනාවේ දී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය මිහිදු මහරහතන් වහන්සේ ත්‍රිපිටකය ලංකාවට ගෙන ආ බව ඉහත සඳහන් විය. උන්වහන්සේ ගෙනා පාලි ත්‍රිපිටකය මෙරට මහාවිහාර භික්ෂූන් වහන්සේලා උගත්හ.

ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.

ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.

බුද්ධඝෝෂ හිමි මෙරට තිබූ හෙළටුවා පාලි බසට පෙරළීමට හේතු වී ඇත්තේ බෞද්ධ ලෝකයට වැදගත් වූ මේ ග්‍රන්ථ විදේශිකයන්ටත් පරිශීලනය කළ හැකි පරිදි පාලි බසින් ලිවීම ය. බ්‍රාහ්මණ වංශික භික්ෂුවක වූ බුද්ධඝෝෂ හිමි උත්තර භාරතයේ මහා බෝධි මණ්ඩපයට දකුණු දිග ගමක උපන්නකු බව සද්ධම්ම සංගහ නම් ග්‍රන්ථයේ හා බුද්ධඝෝෂ උත්පත්ති කථාහි සඳහන් ය. ත්‍රිපිටකයට ලියැවී ඇති සීහළට්ඨ කථා වැනි අටුවාවක් බුදු දහම ආරම්භ වූ භාරතයේ පවා නොතිබීමත්, මේ ග්‍රන්ථ පිළිබඳ දැනගත් දඹදිව විසූ රේවත හිමියන් ග්‍රන්ථ පාලියට පෙරළීම සඳහා බුද්ධඝෝෂ හිමි යොමු කරවීමත් සිදු ව ඇත.

ත්‍රිපිටකයේ ඇතුළත් ගැඹුරු පදවලට දෙන අර්ථවිවරණ “අටුවා” “අට්ඨකථා” නමින් හැඳින්වේ. සාරත්ථදීපනිය සුමංගල විලාසිනී ඇතුළු අට්ඨකථාවල මේ අර්ථ විවරණ “පකිණ්ණක දේසනා” යනුවෙන් සඳහන් අතර ඒවා ඒ ඒ තැන්හි දී බුදුන් වහන්සේ විසින් ම දේශනා කළ බවත්, ත්‍රිපිටකයට ඇතුළත් නොවූවත් වාචනා මාර්ගයෙන් පවත්වාගෙන ආ බවත් දැක් වේ. ඒ බව සාරත්ථදීපනියේ “තත්ථ තත්ථ භගවතා පවත්තිතා පකිණ්ණක දේසනා අට්ඨකථා” යනුවෙන් ද සුමංගල විලාසිනියේ

“අත්ථප්පකාසනත්ථං - අට්ඨකථා ආදිතො වසිසතෙහි පඤ්චහි යා සංගීතා - අනුසංගීතාච පච්ජාපි” යනුවෙන් ද දක්වා තිබේ. එ් අටුවාවන් භාරතයේ පැවති ධර්ම සංගායනාවල දී සංගායනා කොට තෙවැනි සංගායනාවෙන් පසුව ඒ අටුවාව මිහිඳු තෙරුන් විසින් ලංකාවට ගෙන ආ බවත්, හෙළදිව ඇදුරන් එය දීප භාෂාවෙන් ලියා තැබූ බවත්, පසුව ඒ අටුවා භාෂාව පමණක් බැහැර කොට පාලි බසට පෙරළු බවත් “අභිධර්ම අටුවාවේ” සඳහන් ය.

(යා මහා කස්සපාදිනී වසීහට්ඨකථාපුරා - සංගීතා අනුසංගීතා

පච්ජාපිච ඉසීහි යා - ආහතා වින ථෙරෙන මහින්දෙන

තමුත්තමං - යා දීපං දීපවාසීනං භාසාය අභිසංඛතා)

මිහිඳු හිමියන් විසින් ගෙන ආ මෙම අටුවා හෙළ බසින් තබන්නට ඇත්තේ මහා විහාරවාසීන් බව නිසැක ය. පාලි බසට පෙරළීම සඳහා බුද්ධඝෝෂ හිමියන්ට මෙම ග්‍රන්ථ ලබාදුන්නේ ද මහා විහාරවාසීන් විසින් වීම ඊට සාක්ෂ්‍යයකි. මහා විහාරවාසීන් විසින් එම ග්‍රන්ථ රචනාකර නො තිබුණේ නම් අද බෞද්ධ ලෝකයේ අට්ඨකථා නමින් බෞද්ධ ග්‍රන්ථ සමූහයක් දක්නට නො ලැබෙන්නේ ය. එහෙයින් මහා විහාරයේ ශාස්ත්‍රීය ආගමික සේවය ඇගයීමේ දී මෙම කර්තව්‍යය මිල කළ නො හැකි ය.

ධම්පියා අටුවා ගැටපදයේ “මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව ඇදුරෝ දීප භාසාවෙන් තැබූහ” යනුවෙන් සඳහන් වන්නේ ද මෙයම ය.

එසේ හෙළදිව ඇදුරෝ අට්ඨකථා දීප භාෂාවෙන් තැබීමේ දී ඒ ඒ තැන්වල දී අර්ථය වඩාත් පැහැදිලි ව අවබෝධ කරවීම සඳහා තමන්ට ප්‍රත්‍යක්ෂ වූ සමකාලීන ප්‍රවෘත්ති, කථා වස්තු ඉදිරිපත් කළහ. මනෝරථපූරණියේ ඒ බව සඳහන් වන්නේ “සුත්තානං පන අත්ථා - න විනා වත්ථූහි යෙ පකාසන්ති - තෙසං පකාසනත්ථං වත්ථුනිපි දස්සයිස්සාමි” යනුවෙනි. (ඉහත සටහන) එසේ ඇතුළත් කළ ප්‍රවෘත්ති මෙරට සමාජයේ විවිධ අංශවල ඉතිහාසය අධ්‍යයනයේ දී වෙනත් කිසිම මූලාශ්‍රයකින් ලබාගත නොහැකි දුර්ලභ තොරතුරු වන්නේ ය. හෙළ බසින් ලියූ එම මුල් අටුවා අද දක්නට නැතත් පාලි බසට පෙරළන ලද අට්ඨකථා තුළ ඉන් බොහොමයක් අන්තර්ගත වන්නේ ය. එහෙත් අට්ඨකථා පාලි බසට පෙරළන අවස්ථාවේ දී එවැනි අදට අතිශයින් වටිනා ප්‍රවෘත්ති රැසක් අතහැර දමා ඇති බවට පැහැදිලි සාක්ෂ්‍ය හමු වේ. උදාහරණ වශයෙන් මහාවංස ටීකාව හෙවත් වංසත්ථප්පකාසිනියේ සඳහන් එක් ප්‍රවෘත්තියක් දැක්විය හැකි ය. සිංහල රජවරුන්ගේ අභිෂේක ක්‍රමය පිළිබඳ ව වංසත්ථප්පකාසිනියේ දීර්ඝ විස්තරයක් සඳහන් වන අතර එය මහ අටුවාවේ මහා සීහනාද සූත්‍රයෙන් ගන්නා ලදැයි එහි සඳහන් ය. එහෙත් බුද්ධඝෝෂ හිමියන්ගේ මහා සීහනාද අටුවාවේ එම විස්තරය නැත. අතහැර දමා ඇත. මේ අනුව හෙළටුවා අභාවයට නොගොස් තිබුණේ නම් මෙසේ පාලි අට්ඨකථාකරුවන් විසින් අතහැර දමන ලද අතිශයින් වැදගත් විය හැකි බොහෝ ප්‍රවෘත්ති ලබාගැනීමට හැකිවන්නට තිබුණි.

එවැනි අලාභයන් සිදුවුවත් ඒ වනවිට පැවති අටුවා බුද්ධඝෝෂ හිමි ඇතුළු ආචාර්යවරුන් විසින් පාලි බසට පෙරළීම ද ඒවා අද දක්වා ආරක්ෂා වීමට හේතුවක් විය. මෙම ග්‍රන්ථ පරිවර්තනයට බුද්ධඝෝෂ හිමි මූලික වුවද සමහර ග්‍රන්ථ පරිවර්තනය ධම්මපාල හිමි, බුද්ධදත්ත හිමි, මහානාම හිමි හා උපසේන හිමි යන මහ තෙරුන් විසින් සිදුකර ඇත. එවැනි ග්‍රන්ථ තිහක් අද දක්නට ලැබේ. බුද්ධඝෝෂ හිමිට සිය ආචාර්ය දඹදිව රේවත නම් තෙරුන් වහන්සේ අදහස් දක්වමින් බුද්ධ භාෂිතය ලංකාවේ හෙළ බසින් තිබෙන නිසා දේශාන්තර ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පාලි බසට පෙරළන ලෙස කරන ලද ඉල්ලීම පරිදි මහා විහාරයට පැමිණි උන්වහන්සේ ප්‍රථමයෙන් ම සංග්‍රහ කළ ග්‍රන්ථය වන්නේ විශුද්ධි මාර්ගයයි.

මහානාම රජුගේ සමයේ (ක්‍රි.ව.410-431) උන්වහන්සේ මහා විහාරයට වැඩම කර ඇත. එහි දී මහා විහාරාධිපති සංඝපාල තෙරුන් හමු වී සිය අරමුණ ප්‍රකාශ කළ බව මහාවංසයේ සඳහන් ය (ම.ව38-233 සිට.). ග්‍රන්ථකරණය සඳහා උන්වහන්සේ වැඩසිටි පිරිවෙන ග්‍රන්ථාකර පිරිවෙන ලෙස සඳහන් වුවත් (මව. 38. 244) සමන්තපාසාදිකාව රචනා කළේ මහා විහාරයේ දකුණු පස පිහිටි හා මහනිගමසාමී විසින් කරවූ මහ පධානඝරයේ සිට බව සමන්තපාසාදිකාවේ නිගමන ගාථාවේ සඳහන් ය.

උන්වහන්සේ විශුද්ධි මාර්ගය ලියන ලෙස ආරාධනා කළේ ඉහත කී සංඝපාල තෙරුන් යැයි විශුද්ධි මාර්ගයේ නිගමනයේ සඳහන් ය. විශුද්ධි මාර්ගය ත්‍රිපිටකයේ අන්තර්ගත නිකාය සතර ම අටුවාවක් වේ. එය ත්‍රිපිටකය ද අටුවාව ද අළලා මුළු බුදු සසුන ම විස්තර කරන ග්‍රන්ථයකි.

උන්වහන්සේ විසින් සංග්‍රහ කරන ලද තවත් සුවිශේෂ ග්‍රන්ථයක් වන්නේ ප්‍රථමයෙන් ම පරිවර්තනය කළේ යැයි සැලකෙන සුමංගල විලාසිනි නම් වූ දීඝනිකාය අට්ඨකථාවයි. එය මූලට්ඨ කථාවේ සාරය ගෙන කරන ලදැයි ද සුමංගල පිරිවෙනේ දාඨානාග තෙරුන්ගේ ආරාධනයෙන් කළ බව ද ග්‍රන්ථයේ සඳහන් ය. “පපඤ්චසූදනී” නම් වූ මජ්ඣිම නිකායට්ඨ කථාව ද උන්වහන්සේගේ කෘතියකි. එහි සඳහන් පරිදි ඒ සඳහා ආරාධනා කරන ලද්දේ මොණරපටුණේ තමා සමග එක් ව වැඩවිසූ භදන්ත බුද්ධචිත්ත තෙරණුවන් ය. ජෝතිපාල නම් තෙරුණු කෙනෙකුන්ගේ ආරාධනයෙන් බුද්ධඝෝෂ හිමි විසින් රචනා කළේ සංයුක්ත නිකාය සඳහා වූ අටුවාව වන සාරත්ථප්පකාසිනිය යි.

ජෝතිපාල තෙරණුවන් හා ජීවක නම් උපාසකවරයකුගේ ආරාධනයෙන් අංගුත්තර නිකායට්ඨකථාව වන මනෝරථපූරණිය ද ලියා ඇත්තේ බුද්ධඝෝෂ තෙරණුවන් විසිනි. උන්වහන්සේ විසින් රචිත තවත් සුවිශේෂ ග්‍රන්ථයක් වන්නේ සමන්තපාසාදිකාවයි. විනය අටුවාවයි. සිරිනිවාස සිරිපාල (මහානාම) රජුගේ විසිවන වර්ෂයේ දී ආරම්භ කොට 21 වන වර්ෂයේ දී ලියා අවසන් කළ බව එහි සඳහන් ය. ඒ සඳහා ආරාධනා කර ඇත්තේ බුද්ධසිරි තෙරණුවෝ ය.

මහා විහාරයේ දී බුද්ධඝෝෂ හිමියන් මහා අටුවාව, පච්චරී අටුවාව හා කුරුන්දි අටුවාව මහා විහාරවාසී බුද්ධත්ත හිමිගෙන් උගත් බව සඳහන් ය. කඩ්ඛාවිතාරණී යනු බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරනු ලැබූ ප්‍රාතිමෝක්ෂ අටුවාවයි. ඒ සඳහා ආරාධනය කර ඇත්තේ සෝණ නම් තෙරනමකි. මෙසේ ම ධම–මසංගණියට අටුවාවක් වශයෙන් අත්ථසාලනිය ද බුද්ධඝෝෂ වම් වෙනත් ථෙර නමකගේ ආරාධනයෙන් විභංගප්පකරණයට ලියූ සම්මෝහවිනෝදනිය ද පපඤ්චපකරණට්ඨකථාව වූ පරමත්ථදීපනිය ද පිරිත් අටුවාව වශයෙන් පරමත්ථජෝතිකා ද ධම්පියා අටුවාව වශයෙන් ධම්මපදට්ඨකථාව ද ලියන ලදී. එය ලියන ලද්දේ කුමාර කස්සප නම් ථෙර නමකගේ ආරාධනයෙනි. තව ද සූත්‍ර නිපාත අටුවාව ද ජාතක අටුවාව ද ලියන ලදී.

ථෙර-ථෙරීගාථා අටුවාව ලියන ලද්දේ මහා විහාරවාසී තෙරණුවන් ය. නිද්දේස අටුවාව වශයෙන් “සද්ධම්මපජ්ජෝතිකා” ලියන ලද්දේ කීර්තිසේන නම් ඇමතිවරයෙකු විසින් මහා විහාරයේ කරවන ලද පිරිවෙනක විසූ උපසේන නම් තෙරනමක් “දේව” නම් තෙරනමකගේ ආරාධනයෙන් බව සඳහන් ය. එය සිරිනිවාස සිරිසංඝබෝධි (1 වන අග්බෝ) සමයේ ලියන ලද බව සඳහන් ය. සද්ධම්මපකාසිනී නම් වූ පටිසම්භිදාමග්ග අටුවාව මහානාම නම් තෙරණුවන් විසින් ලියන ලද්දේ උත්තර නම් මන්ත්‍රීවරයකු විසින් මහා විහාරයෙහි කරවන ලද පිරිවෙනක සිටිමින් බව සඳහන් ය.

අදහස්