ථෙර­වාද ත්‍රිපි­ට­කයෙහි අන්ත­ර්ග­තය හා එහි වටි­නා­කම | සිළුමිණ

ථෙර­වාද ත්‍රිපි­ට­කයෙහි අන්ත­ර්ග­තය හා එහි වටි­නා­කම

ලෝක සාහිත්‍ය තුළ ආගමික සාහිත්‍යයට හිමිවන්නේ අතිශය වැදගත්, සම්භාවනීය එමෙන් ම ගෞරවනීය තැනකි. ඒ අනුව ලෝකයේ ප්‍රධාන ආගමක් ලෙස සැලකෙන බුදුදහම අන්තර්ගත ත්‍රිපිටකය අතිශය පෘථුල බෞද්ධ සාහිත්‍යය තුළ අතිශය වැදගත් මූලාශ්‍රය යි.

මේ අදහස තවත් ආකාරයකින් දක්වන්නේ නම්, පන්සාළිස් වසරක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය බුද්ධ ධර්මය හෙවත් බුද්ධ භාෂිතය ලෙස හඳුන්වන අතර එය අන්තර්ගත කොට සකසන ලද සාහිත්‍යය ත්‍රිපිටකය ලෙස හඳුන්වයි. බුදුරදුන්ගේ දේශනා මුල දී ධම්ම, ධම්ම-විනය, නවාංගසත්ථුසාසන යනාදි ලෙස ද හඳුන්වා ඇත. බුද්ධ වචනය රස වශයෙන් එක ම ආකාරයකි. ධර්මය-විනය වශයෙන් ආකාර දෙකකි. ප්‍රථම, මධ්‍යම හා පශ්චිම වශයෙන් ද පිටක වශයෙන් ද ආකාර තුනකි. නිකාය වශයෙන් ආකාර පහකි. අංග වශයෙන් ආකාර නවයකි. ධර්ම ස්කන්ධ වශයෙන් අසූහතර දහසකි.

“තදේතං බුද්ධ වචනං රස වසෙන එක විධං, ධම්ම වසෙන දුවිධං, පඨම, මජ්ඣිම, පච්ඡිම වසෙන තිවිධං, තථා පිටක වසෙන, නිකාය වසෙන පංච විධං, අංග වසෙන නව විධං, ධම්මක්ඛන්ධ වසෙන චතුරාසීති සහස්සවිධන්ති වේදිතබ්බං.”

සමන්තපාසාදිකා විනය අටුවාව

මහා සමුදාය එක ම ලවණ රසයෙන් යුතු වේ. එමෙන් ම බුදුන් වහන්සේගේ ධර්මය ද එක ම විමුක්ති රසයෙන් යුක්ත වේ. (සෙය්‍යථාපි භික්ඛවෙ මහාසමුද්දො එක රසො ලොණ රසො, එව මෙව ඛො භික්ඛවෙ අයං ධම්මො එක රසො විමුත්ති රසො -සමන්තපාසාදිකා විනය අටුවාව-) බුදුන් වහන්සේ දේශනා කර ඇති ධර්මයෙහි අන්තර්ගත වන්නේ දුකත් එහි නිරෝධයත් ය. (පුබ්බේචාහං ඒතරහි ච දුක්ඛං ඒව පඤ්ඤාමි. දුක්ඛස්ස ච නිරෝධං) එබැවින් සියලු දුක් නැති කොට නිවන සාක්ෂාත් කරගැනීම එහි මූඛ්‍ය පර්මාර්ථය වේ. (සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය) බුදුරදුන් දේශනා කළ ධර්මය ශ්‍රවණය හෙවත් හැදෑරීමත් (සුණාථ) අසන ලද ධර්මය දැරීමත් (ධාරෙථ) දරන ලද ධර්මය අනුව චර්යාව සකස් කර ගැනීමත් (චරාථ) අත්‍යාවශ්‍ය වේ. බුදුරදුන් උපදෙස් දෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය (ධම්මවිනය) විවෘත වූ විට බබළන බවත් වැසුණු විට නො බබළන බවත් ය. (තථාගතප්පවෙදිතො භික්ඛවෙ ධම්මවිනයො විවටො වරොවති නො පටිච්ඡන්නො - අංගුත්තරනිකාය, තික නිපාතය, භරහණ්ඩුවග්ග සූත්‍රය -)

ධමම්විනය යන වචනය තනි වචනයක් ලෙසින් බුද්ධ දේශනාවෙහි යෙදී ඇත්තේ බුදුරදුන්ගේ සමස්ත ආගමික ප්‍රතිපදාව හැඳින්වීමට ය. එහි ධම්ම යන්නෙන් ධර්මය හෙවත් බුදුන් වදාළ ධර්මය ද, විනය යන්නෙන් එම ධර්මය පිළිපැදීම ද අදහස් කළා විය හැකි ය. මේ වචන දෙක වර්තමාන භාෂාවෙහි න්‍යායය සහ භාවිතය (එයැදරහ ්බා චර්ජඑසජැ) යන ද්වි-භේදනය හැඳින්වීමට යොදා ඇති බව කිව හැකි ය.

තවත් ආකාරයකින් දක්වන්නේ නම්, බුදුරදුන් දේශනා කළ සමස්ත ධර්මයෙහි අරමුණ වන්නේ පුද්ගලයා අනුපූර්ව ශික්ෂාව තුළට කේන්ද්‍ර කර ගැනීම යි. ඒ අනුව සීලයෙන් සමාධියටත් එමඟින් ප්‍රඥාවටත් ගමන් කිරීම අපේක්ෂා කෙරේ.

බුද්ධ වචනය පිටක වශයෙන් ත්‍රිවිධ ය. එනම්,

සූත්‍ර පිටකය

විනය පිටකය

අභිධර්ම පිටකය

පිටක යන වචනයෙහි මූලික අර්ථය පැස, පසුම්බිය, භාජනය යන්න යි. මෙම මූලික අර්ථයෙන්, සූත්‍ර එක් රැස් කරන ලද කොටස සූත්‍ර පිටක ලෙස ද, විනය නීති එක් රැස් කරන ලද කොටස විනය පිටක යනුවෙන් ද භාවිත වේ. එමෙන් ම පිටක යන්නෙහි ඊට වඩා පුළුල් අර්ථයක් වේ. එනම්, ආගමික සම්ප්‍රදායකට අයත් සාහිත්‍යය, ආගමික ග්‍රන්ථ සම්ප්‍රදාය යන්න යි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය පදනම් කරගෙන පසුකාලීන ව බෞද්ධ නිකාය රාශියක් බිහි වූ ආකාරය ශාසන ඉතිහාසය පිරික්සීමෙන් ප්‍රකට වන අතර එලෙස බිහි වූ බොහෝ නිකායවලට සාම්ප්‍රදායික ථෙරවාද සම්ප්‍රදායට මෙන් බුද්ධ වචනය අන්තර්ගත කළ විවිධාකාර පිටක සාහිත්‍යය බිහි ව ඇත. කෙසේ නමුත් නිර්මල බුද්ධ වචනය හෝ බුද්ධ වචනයට සමීප ධර්මය අන්තර්ගත වෙතැයි විශ්වාස කරන ථෙරවාද ත්‍රිපිටකයක් ශ්‍රී ලංකාව, මියන්මාරය හා තායිලන්තය වැනි රටවලට උරුම වී ඇති අතර එය එංගලන්තයේ පාලි සාහිත්‍ය සංගමය මඟින් ඉංග්‍රීසි අකුරෙන් මුද්‍රණය කර ඇත.

ථෙරවාද ශාසන ඉතිහාසගත තොරතුරුවලට අනුව මහාතෙරවරුන් විසින් බුද්ධ පරිණිර්වානයෙන් තෙමසක් අවෑමෙන් පවත්වන ලද ප්‍රථම ධර්ම සංගායනාවේ දී බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්ම කරුණු සූත්‍ර පිටකය ලෙසත් විනය කරුණු විනය පිටකය ලෙසත් සංග්‍රහ කර ඇත. එම සංගායනාවේ දී මුලින් ම විනය ද, ඉන් අනතුරු ව ධර්මය ද සංගායනා කරන ලද බව සඳහන් ය. විනය යනුවෙන් විනය නීති පද්ධතිය අදහස් කරන ලද අතර, එයට විනය යන නම භාවිත කරන ලද්දේ වි නිපාත පූර්ව නය (වි+නය) යන සංකල්පයෙහි ඇති මෙහෙයවීම, යම් තැනකට පැමිණවීම, නිවැරදි ක්‍රමය වැනි අර්ථ සළකාගෙන විය හැකි ය. නය යන වචනය නීතිය, නිවැරදි ක්‍රමය වැනි අර්ථ දීම සඳහා බුද්ධ වචනයෙහි යෙදී ඇත.

ථෙරවාදී විනය පිටකය අද දක්නට ඇති පරිදි සම්පූර්ණ වන්නට කාලයක් ගතවන්නට ඇතත්, එහි මූලික ව්‍යූහය මේ අවස්ථාවේ දී සකස් වන්නට ඇත. විනය පිටකය පාරාජිකපාළි, පාචිත්තියපාළි, චුල්ලවග්ගපාළි, මහාවග්ගපාළි හා පරිවාරපාළි යන කොටස් හෙවත් කෘති පහකින් හා සියලු ශික්‍ෂා පද සංග්‍රහ කොටැති පාතිමොක්ඛයෙන්/ප්‍රාතිමෝක්‍ෂයෙන් ද යුක්ත වේ.

මෙහි පාරාජිකපාළි හා පාචිත්තියපාළි යන (විභංග යන නාමයෙන් හඳුන්වන) කෘති දෙකෙන් භික්ෂු හා භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයට අයත් ශික්ෂා පද පිළිබඳ විවරණය වන අතර චුල්ලවග්ගපාළි හා මහාවග්ගපාළි යන (ඛන්ධක විනය යන නාමයෙන් හඳුන්වන) කෘති දෙකෙහි භික්ෂූන්ගේ එදිනෙදා ජීවිතය හා බැඳුණූ විනය කර්ම හා සෙනසුන්, සිවුරු, බෙහෙත් ද වැනි කරුණු පිළිබඳව විවරණය කෙරේ.

මෙයින් මුල් කෘති දෙක මගින් විස්තර කෙරෙන ශික්ෂා පද හෙවත් විනය නීති ආදී බ්‍රහ්මචරීයක සීලයට (හෙවත් බ්‍රහ්මචර්යාවෙහි හෙවත් පැවිද්දෙහි පදනම වන, නැතහොත් ආරම්භය වන ශික්ෂා පද පිළිබඳ සීලයට) ද ඊළගට කෘති දෙකෙන් ආභිසමාචාරික සීලයට (හෙවත් උසස් හැසීරීමට) අදාළ සීලයට ද අයත් වේ. විනය පිටකයෙහි අවසන් (පස් වන) කෘතිය වන පරිවාරපාළිය අනිකුත් කෘති සතරෙහි සඳහන් සියලු විනය කරුණුවලට අදාළ වර්ගීකරණ, විවරණ හා විග්‍රහ ඇතුළත් කෘතියකි. විනය පිටකයට අයත් පාතිමොක්ඛය (සංස්කෘත: ප්‍රාතිමෝක්ෂය) වූ කලී භික්ෂු හා භික්ෂූණී ශික්ෂා පද එකතුව යි. එය වෙන ම කෘතියක් ලෙස ථෙරවාද සම්ප්‍රදායෙහි පවතිනුයේ උපසම්පදාව ලද භික්ෂූන් විසින් සෑම දෙසතියකට වරක් ම මෙම ශික්ෂා පද සංග්‍රහය සාමූහිකව කියවා එය කෙරෙහි තමාගේ ඇති එකඟතාව හා කැපවීම තහවුරු කළ යුතුව ඇති බැවිනි.

ථෙරවාද සම්ප්‍රදායෙහි පමණක් නොව අනෙකුත් බෞද්ධ සම්ප්‍රදා ද බොහෝ දුරට බුදුරදුන් දේශනා කර තිබෙන මෙම විනය අන්තර්ගතයන්ට එකඟ වේ. ප්‍රථම සංගායානාවේ පටන් ථෙරවාද සම්ප්‍රදාය ශාසනයෙහි විනය මූලික කොට සැලකීම විශේෂත්වයකි. (විනයො නාම සාසනස්ස ආයු)

සූත්‍ර පිටකය කොටස් පහකින් යුතු වේ. එනම්,

දීඝ නිකාය

මජ්ඣිම නිකාය

සංයුත්ත නිකාය

අංගුත්තර නිකාය

ඛුද්දක නිකාය ආදිය යි.

මෙහි නිකාය යන්නෙන් අදහස්වන්නේ සමූහය, කොට්ඨාශය හෝ එකතුව වැනි අර්ථ යි. ඒ අනූව දීර්ඝ සූත්‍රවල එකතුව දීඝනිකාය ලෙස ද, මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රවල එකතුව මජ්ඣිම නිකාය ලෙස ද, එක් එක් මාතෘකා හා සම්බන්ධ සූත්‍රවල එකතුව සංයුත්ත නිකාය ලෙස ද, අංක එකේ සිට එකොළහ තෙක් සංඛ්‍යාවලින් යුතු ධර්ම සංග්‍රහ කොට ඇති එකතුව අංගුත්තර නිකාය ලෙස ද, කුඩා ග්‍රන්ථ සමූහයක එකතුව ඛුද්දක නිකාය ලෙස ද දැක්විය හැකි ය. දීඝ නිකායෙහි සූත්‍ර තිස් හතරක් (34) ඇත. මජ්ඣිම නිකායෙහි සූත්‍ර එකසිය පනස් දෙකක් (152) ඇත. සංයුත්ත නිකායෙහි සූත්‍ර හත් දහස් හත්සීය හැට දෙකක් (7762) ඇති අතර අංගුත්තර නිකායෙහි සූත්‍ර නව දහස් පන්සීය පනස් හතක් (9557) ද, ඇත. ඛුද්දක නිකායට ග්‍රන්ථ පහළොවක් (15) ඇතුළත් ය. ඒවා නම්, ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමාන වත්ථු, පේත වත්ථූ, ථෙර ගාථා, ථෙරි ගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස හා චරියාපිටක ආදිය යි.

ප්‍රථම සංගායනාව පිළිබඳ තොරතුරු සඳහන් වන මූලාශ්‍රය පෙන්වා දෙන්නේ දීඝනිකාය ආනන්ද තෙරණුවන් හා උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් මජ්ඣිම නිකාය සැරයුත් මහ තෙරුන්ගේ සිසු පිරිසත් සංයුත්ත නිකාය මහා කාශ්‍යප තෙරණුවන් හා උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරණුවන් හා උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් මතකයෙන් පවත්වා ගෙන යෑම සඳහා බාරගත් බව යි.

එහෙත් එහි දී ඛුද්දක නිකාය යනුවෙන් සංග්‍රහයක් සකස් වූ බවට සාධක නැත. එසේ ම අනිකුත් නිකාය මෙන් එය පවත්වා ගැනීම සඳහා කිසියම් රහතන් වහන්සේ නමක් ප්‍රධාන ගුරු පරපුරකට බාර දී ද නැත. මේ අනූව ඛුද්දක නිකාය ක්‍රමානුකූල ව සකස් වූවක් බව පෙනේ. ථෙරවාද සම්ප්‍රදාය තුළ පවා ඛුද්දක නිකායෙහි ඇතුළත් විය යුතු ග්‍රන්ථ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඒකමතික බවක් නැත. බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවාවලින් පැහැදිලි වන පරිදි දීඝ භාණකයන් චරියාපිටක, අපදාන හා බුද්ධවංස යන කෘති ඛුද්දක නිකායට අයත් සේ පිළිගෙන නැත. එහෙත් මජ්ඣිම භාණකයන් එම පොත් පිළිගෙන ඇත. කෙසේවෙනත් බෞද්ධ නිකායිකයන් අතර ද ඛුද්දක නිකාය සම්බන්ධව එකඟතාවක් නැති බව පෙනේ.

මෙහි අන්තර්ගත ග්‍රන්ථ අතර සුත්තනිපාත, ථෙරගාථා, ථෙරීගාථා වැනි පැරණි අවධියකට අයත් වන අතර අපදාන, චරියාපිටක, බුද්ධවංස වැනි මෑත කාලයකට අයත් සේ පෙනෙන ග්‍රන්ථ ද ඇත. ඒ අනුව මූලික නිකාය හතරට අන්තර්ගත කිරීමට නො හැකි වූ ග්‍රන්ථ කලින් කලට මෙම එකතුවට එක් කරන ලද බව පෙනේ. ඛුද්දක නිකායේ ආරම්භක ග්‍රන්ථය වන ඛුද්දකපාඨ ග්‍රන්ථය ලංකාවේ දී සම්පූර්ණ වූවකි. භාරතයේ පවත්වන ලද ථෙරවාද ප්‍රථම ධර්ම සංගායනාවේ පටන් ලංකාවේ වලගම්බා රජ සමයේ දී පවත්වන ලද මාථුල දනව්වේ අලු විහාර පුස්තකාරූඪ සංගායනාව දක්වා (සියවස් හයක් පමණ) ධර්මයෙහි ඇතැම් කොටස් සංවර්ධනය වී ඇති බව බොහෝ උගතුන්ගේ අදහස යි.

අභිධර්ම පිටකයට ග්‍රන්ථ සතක් (07) ඇතුළත් වේ. එනම්,

ධම්මසංගණිප්පකරණය

විභංගප්පකරණය

කථාවත්ථුප්පකරණය

පුග්ගලපඤ්ඤත්තිප්පකරණය

ධාතුකථාප්පකරණය

යමකප්පකරණය

පට්ඨානප්පකරණය

අභිධර්මයේ ඇත්තේ බුදුරදුන් විසින් දේශනා කරන ලද මූලික ධර්ම කරුණු පිළිබඳ විවිධාකාර විග්‍රහ හා වර්ගීකරණ බැවින් පුළුල් වශයෙන් ගත් කල අභිධර්ම පිටකයෙහි අන්තර්ගත වන්නේ ධර්මය ම පිළිබඳ වැඩිදුර විග්‍රහ සේ සඳහන් කිරීම නිවැරදි ය. අභිධර්මය පිළිබඳ සාම්ප්‍රදායිකව දෙන අර්ථය වන ‘ශ්‍රේෂ්ඨ වූ ධර්මය අභිධර්මය වේ’ යන්නට වඩා අභිධර්මය යනු ධර්මය පිළිබඳ ධර්මය හෙවත් විග්‍රහ හා විවරණය යන්න වඩත් අර්ථවත් වන බව කිව හැකි ය. කථාවත්ථුප්පකරණය හා පුග්ගලපඤ්ඤත්තිකරණය හැර අනිත් අභිධර්ම ග්‍රන්ථ පහ පරීක්‍ෂා කිරීමේ දී මේ කරුණ වඩාත් පැහැදිලි වේ.

අභිධර්මය නැමැති ධර්ම කොට්ඨාසය බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳව විද්වතුන්ගේ විවිධ මත පවතී. ඛුද්දක නිකාය මෙන් ම අභිධර්ම පිටකය ද පළමුවැනි සංගායනාවේ දී සංගායනා කරන ලද බවට සාධක නැත. එබන්ඳක් කිසියම් ආචාර්ය පරම්පරාවකට ආරක්‍ෂා කිරීම සඳහා පවරා ද නැත. එහෙත් සාම්ප්‍රදායික ථෙරවාද විශ්වාසය වනුයේ අභිධර්මය බුදුරදුන් විසින් ම දේශනා කරන ලද බවත් බුදුරදුන් එය තුන් මසක් දිව්‍ය ලෝකයෙහි වෙසෙමින් මාතෘ දිව්‍යරාජයා (දෙවියෙකුව ඉපිද සිටි තම මව) ඇතුළු දෙවියන්ට දේශනා කරන ලද බවත් ය. බුද්ධඝෝෂ හිමියන් විසින් අභිධර්ම පිටකයෙහි මූලික ග්‍රන්ථය වන ධම්මසංගණී ප්‍රකරණයට ලියන ලද අත්‍ථසාලිණී අටුවාවෙහි ආරම්භක කොටසේ දී මෙම සාම්ප්‍රදායික ථෙරවාද මතය තහවුරු කිරීමට යත්න දරනු ලැබේ.

තෙවන සංගායනාවෙන් ද පසු ව එක් වූ බව ඉතා පැහැදිලි කථාවත්ථුප්පකරණය සම්බන්ධයෙන් අටුවාව කියනුයේ අනාගතයේ ඇති විය හැකි දුර්මත බුදුරදුන් විසින් කලින් ම දකින ලද බවත්, එසේ දැක ඒවා මූලික මාතෘකා වශයෙන් සඳහන් කරන ලද බවත්, මොග්ගලීපුත්තතිස්ස හිමියන් විසින් කරන ලද්දේ එම මාතෘකා විස්ථාරණය කරමින් වාදවිධි මඟින් ථෙරවාද මතය තහවුරු කිරීම පමණක් බවත් ය. ඒ අනුව කථාවත්ථුප්පකරණයෙහි ද මූලික කර්‍තෘත්වය බුදුරදුන්ට හිමි කොට ඇත.

අභිධර්මය බෞද්ධ සම්ප්‍රදාය තුළ ක්‍රමිකව විකාශය වූ සම්ප්‍රදායක් ලෙස අභිධර්ම කෘතිවල අභ්‍යන්තර සාධක මඟින් තහවුරු කළ හැකි බැවින් එය සප්තප්‍රකරණයෙහි දක්නට ඇති අයුරින් බුදුරදුන් විසින් දේශනා නොකරන ලද බව තීරණය කළ හැකි ය. එහෙත් අනෙක් අතට අභිධර්මය යනු බුදුරදුන් දෙසූ පංච (05) ස්කන්ධ, ද්වාදස (12) ආයතන, අට්ඨාරස (18) ධාතු, සත්තිස් (37) බෝධිපාක්‍ෂික ධර්ම, දෙවිසි (22) ඉන්ද්‍රීය වැනි ධර්ම කරුණු පිළිබඳ විවිධ විග්‍රහ පමණක් ම වන බැවින් එය බුද්ධ දේශනාවෙන් පරිබාහිර වූවක් ලෙසට තීරණය කිරීම ද සාවද්‍ය ය. ඒ අනුව අභිධර්මය බුද්ධ දේශනාවක් වන්නේ ද වේ, නොවන්නේ ද වේ.

මෙම ත්‍රිපිටකය පදනම් කරගෙන අටුවා, ටීකා, ටිප්පණී, ගැටපද, සන්න ආදි ථෙරවාද බුදුසසුන තුළ පුළුල් සාහිත්‍යමය සංස්කෘතියක් බිහි ව ඇත. එදා මෙදා තුර ධර්මධර, විනයධර පණ්ඩිතයන් නිර්මාණය කළේ මේ පෘථූල සාහිත්‍ය යි. බොහෝවිට මිනිසුන් ආගමික ජීවිතයට යොමු වන්නේ ජීවිතයේ සැඳෑ සමය නොහොත් මරණයට ආසන්න වයස්ගත අවධිය වන විට ය. මෙම අවිඥානික ආකල්පය සමඟ මතු වන ප්‍රධාන කරුණක් නම්, ආගම යන්න මිනිසා බොහෝවිට හඳුනාගෙන ඇත්තේ එය වඩාත් අදාළ වන්නේ පරලොව සුගතිය උදෙසා බව යි.

ආගම යන්න නිර්වචනය කරන ඇතැම් උගතුන් පවා එහි ඇති පරලොව සුගතිය පිළිබඳ උපයෝගීතාව සැලකිල්ලට ගෙන ඇත්තේ එබැවිනි. අධිභෞතිකවාදී විශ්වාස හා ගුප්ත දෑ ආගම යන්නෙන් පිළිබිඹු වනු දැක සමස්තයක් ලෙස ආගම පරලොව සුගතිය පිණිස වෙන් වූ සංකල්පයක් ලෙස හුවා දක්වන සංකල්පයක් බුදුදහම තුළ දක්නට නොමැත.

මෙලොව, පරලොව යන දෙලොව ම අර්ථවත් කරගැනීම උදෙසා ක්‍රියාත්මක කළ යුතු ධර්ම පද්ධතියක් බුද්ධ වචනය ඇතුළත් ත්‍රිපිටකය හා තදනුබද්ධ සාහිත්‍යයෙන් පෙන්වාදෙන බුදුසමය විශ්වාස හෝ ඇදහිලි පද්ධතියක් නොව ක්‍රියාකාරකම් සමුදායක් බව පැහැදිලිව ම පෙනේ.

දුක නමැති මූලික ගැටලුව විසඳන අතරතුර බුදුසමය මනුෂ්‍යයාට එදිනෙදා ජීවිතයේ දී නොයෙක් අංශ සාර්ථක කර ගැනීමෙහිලා අවශ්‍ය පරිචය ලබා දෙන්නේ ඒ ඒ අංශවල පරිපූර්ණ අවබෝධයක් ලබාදෙමිනි. ත්‍රිපිටකයේ කවර කොටසකට වුව අවධානය යොමු කර බුදුදහමෙහි ප්‍රායෝගික අදාළත්වය ගවේෂණය කිරිමට අපහසු වන්නේ නැත.

අදහස්