මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශුභාශිංසන පණිවිඩය | සිළුමිණ

මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශුභාශිංසන පණිවිඩය

 “තථාගතප්පවෙදිතො භික්ඛවේ ධම්මවිනයො විවටො විරොචති නො පටිච්ඡන්තො”

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබළයි; වැසුණේ නො බබළයි. ”

වළගම්බා මහරජු සමයෙහි ලක්දිව පැවති බැමිණිටියා මහා සාගතය වැනි දුර්භාග්‍ය සම්පන්න බිහිසුණු ව්‍යසනයකට මුහුණ දී වුව ද සිරිලක වැඩ සිටි ධර්ම ශාස්ත්‍රයෙහි නිපුණ වූ මහා ප්‍රාඥ වූ මහතෙරුන් වහන්සේලා විසින් කට පාඩමින් පවත්වාගෙන ආ නිවැරදි පාරිශුද්ධ බුද්ධ භාෂිතය ඇතුළත් ත්‍රිපිටක පාලිය හා අට්ටකතා සංගායනා කොට ප්‍රථම වරට මාතලේ අලු ලෙන දී ලේඛනගත කරන ලදී. එමඟින් පිරිසුදු ථෙරවාදී ත්‍රිපිටක බුද්ධ භාෂිතය සුරක්ෂිත වී ආරක්ෂා විය.

ශ්‍රී බුද්ධ වර්ෂ 2500 වැන්නේ එළඹි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල් කොට ත්‍රිපිටක පාලිය පරිවර්තනයක් වශයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් ප්‍රකාශයට පත් කරන ලදී. එසේ තිබිය දී මෑත භාගයේ සිට අර්ථ විකෘති කරන ලද ත්‍රිපිටක පරිවර්තන රැසක් සමාජගත වෙමින් පවතී.

එ් පරිවර්තන මඟින් විකෘති කරන ලද අර්ථ විරහිත ස්වමතයන් ද ප්‍රකාශයට පමුණුවන බව දක්නට ලැබේ. ධර්ම ශාස්ත්‍ර විරෝධී එම ක්‍රියාමාර්ගය පිරිසුදු ථෙරවාදී සසුනේ චිරපැවැත්ම හා සුරක්ෂිත භාවයට බලවත් හානියකි.

එමඟින් අනාගතයෙහි ඇති විය හැකි ශාසනික පරිහානිය මඟහරවා ලීම සඳහා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට ප්‍රතිඥා දී ඇති රජයකට ඇත්තේ බලවත් යුතුකමකි.

ඒ සඳහා අර්ථදායී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු වස් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍යෝත්සවයක් මාතලේ අලු විහාරයේ දී පැවැත්වීමට සංවිධානය කිරීම අගය කොට සලකන අතර, එහි සියලු කටයුතු ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි ශාසනාලයෙන් ආශිංසනය කරම්හ.

 

මහනුවර උපෝෂිත, පුෂ්පාරාම විහාරද්වයාධිපති

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර

මල්වතු මහා විහාරය, මහනුවර


මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශූභාශිර්වාද පණිවිඩය

 “යො ඛො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා” (දීඝනිකාය, මහාපරිනිබ්බාණ සූත්‍රය)

පුරා පන්සාළිස් වසක් ලෝක සත්ත්වයා වෙත පතළ මහාකරුණාවෙන් දේශිත උතුම් වූ ශ්‍රී සද්ධර්මය තමන් වහන්සේගේ ඇවෑමෙන් ශාස්තෘෘන් වහන්සේ වන බව තථාගතයන් වහන්සේම පෙන්වා දී වදාළහ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය වසර දෙදහස් හයසීයක් පුරා පාරිශූද්ධ ලෙසින් පවතිනුයේ බුදු රජාණන් වහන්සේ ධරමාන අවධියේ දී ම ධර්මයේ සුරක්ෂිතභාවය විෂයෙහි යොදන ලද විධිමත් ක්‍රියාමාර්ග නිසාත්, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රාවකයන් වහන්සේලා විසින් තම දිවි නොතකා ධර්ම සංරක්ෂණය විෂයයෙහි යොදන ලද විධිමත් ක්‍රියාමාර්ග නිසාත් බව ශාසනික ඉතිහාසයෙන් පසක් කොට ගත හැකිය. කලින් කලට ශාසනයටත් ධර්මයටත් අත්වූ දුර්දසාපන්න අවස්ථාවන්හි දී ධර්මයේ අත්‍යන්ත පාරිශූද්ධය සුරක්ෂා කිරීමෙහි ලා ලාංකේය භික්ෂුවට හිමිවනුයේ ප්‍රමුඛ ස්ථානයකි.

විනයධර ප්‍රවර උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරානුගත මහින්ද මහා රහතන් වහන්සේ විසින් අරිට්ඨ මහරහතන්වහන්සේ ප්‍රමුඛ ලාංකේය භික්ෂූන් වහන්සේලාට උරුම කොට දෙන ලද ශ්‍රී මුඛ භාෂිතය එවක් පටන් ප්‍රවේණිගත උරුමයක් සේ සලකා තම දිවි දෙවැනි කොට රක්ෂණය කිරීමට මහාවිහාරිය භික්ෂූන් වහන්සේලා අප්‍රමාණ වෙහෙසක් දැරූහ. රට තුළ ඇතිවූ ව්‍යසනකාරී අවස්ථාවන්වල දී මෙන්ම දුර්මතධාරීන්ගෙන් ධර්මයට ඇතිවන විපත්තිකර තත්ත්වයන්හි දී ද නිසි පිළියම් යොදා උන්වහන්සේලා විසින් ධර්මය ආරක්ෂා කරන්නට යෙදුණි. වළගම්බා රාජ්‍ය අවධියේ දොළොස් වසරක් පුරා පැවති “බැමිණිතියාසාය” නම් දුර්භික්ෂ අවස්ථාවේ එවක වැඩ සිටි මහා යතිවරයන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් හදාළ ධර්මය, කුසට නිසි අහරක් නොමැතිකමින් ධාරණය කර ගත නොහැකිව විදේශ රටවලට ගොස් එය ආරක්ෂා කරගැනීමටත් ඇතැම් භික්ෂූන් මෙහිම වෙසෙමින් වැල්ලේ ලියමින් එය දුක සේ වාචොද්ග්‍රහණය කරමින් සංරක්ෂණය කරගන්නට ප්‍රයත්න දරන ලදී.

එවන් දුර්දසාපන්නා අවස්ථාවක ධර්මයට සිදුවන හානිකර තත්ත්වයන් පසක් කර ගත් එදවස වැඩසිටි මහාවිහාරවාසී ධර්මවිනයධර මහායතිවරයන් වහන්සේලා පන්සිය නමක් දොළොස් වසරක් පුරා පැවති දුර්භික්ෂය කෙළවර ධර්මය, භාණක පරම්පරානුගතව පවත්වාගෙන යෑමේ දී ඇතිවන පුද්ගල අවිනිශ්චිතතාවන් අභයගිරි විහාරවාසීන් ප්‍රමුඛ වෙනත් සම්ප්‍රදායන්ගෙන් ථෙරවාදී ත්‍රිපිටකය විෂයෙහිලා උපදවන අභියෝගත් හඳුනා ගෙන එයට නිසි පිළියමක් ලෙස මාතලේ අලු විහාරයට රැස්ව ශ්‍රී මුඛ බුද්ධභාෂිතය ගැබ් කොටගත් උතුම් වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළහ. එකී උත්තුංග කාර්යය නිසා සිංහල ද්වීපය ථෙරවාදී බෞද්ධ ලෝකයේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ බව ද ප්‍රකට කරුණකි.

කලින් කලට ධර්මය විෂයයෙහි යම් යම් අභියෝග ජනිත වූ අවස්ථාවල තත්කාලීනව වැඩ සිටි යතිවරයන් වහන්සේලා සේම රාජ්‍ය පාලක පක්ෂයත් ධර්මය නිසි අයුරින් ආරක්ෂා කරන්නට වැර දැරූ බව පුර්වෝක්තය. අද්‍යතන යුගය වනවිටද විශ්චීය වශයෙන් තාක්ෂණික දියුණුවත් සමඟ ධර්මයේ පාරිශූද්ධභාවය සහ සංරක්ෂණය කෙරෙහි යම් යම් අභියෝග එල්ලවෙමින් පවතී. එවන් වකවානුවක අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේත් දැන උගත් ගිහි පැවිදි හැම දෙනාගෙත් ඉල්ලීම පරිදි වියත් මහතෙරුන් වහන්සේලාගෙන් සුසැදි සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සංස්කරණය කොට ශ්‍රී ලංකා ජනරජයේ පූර්ණ අනුග්‍රහයෙන් එළිදක්වා ඇති ත්‍රිපිටකය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන්ගේ බලතල ප්‍රකාරව සුවිශේෂි ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම, ධර්මය අනාගතටයත් සුවිශූද්ධව පවත්වා ගෙන යෑමට අතිශයින් ශ්‍රේෂ්ඨ සහ කාලෝචිත පියවරක් බව සංතුෂ්ටියෙන් සඳහන් කළ හැකිය.

මාතලේ ආලෝක රජමහා විහාරයේදීම එම මාහැඟි තර්තව්‍යය සිදුකිරීමද එදවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සේම ඓතිහාසික සංසිද්ධියක් සේද සැලකිය හැකි අතරම ලෝකවාසී ගිහිපැවිදි හැමදෙනාගේම ප්‍රශංසාව හිමි විය යුතු එම උතුම් සත්ක්‍රියාව සිදුකළ අතිගරු ජනාධිපතිතුමාටත් ගරු බුද්ධශාසන අමාත්‍යතුමන් ඇතුළු ගිහිපැවිදි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපගේ ශූභාශිර්වාද පළ කරනු කැමැත්තෙම්හ.

චිරං තිට්ඨතු ලෝකස්මිං

සම්මා සම්බුද්ධ සාසනං!

 

ශ්‍රී හයගිරි විජයසුන්දරාම

විහාරදේවයාධිපති, වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ

මහානායක ස්ථවිරයන් වහන්සේ වම්හ.


 ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශූභාශිංසනය

තථාගත බුදු රජාණන් වහන්සේ වදාළ අසූ සාරදහසක් ධර්මස්කන්ධය එක් කොට ත්‍රිපිටකය සකස් වී ඇත. එදා කටපාඩමෙන් ගෙන ආ මේ ධර්මය වළගම්බා රාජ සමයේ දී මාතලේ අලු විහාරයේ දී ග්‍රන්ථාරූඪ කරනු ලැබීය. ඒ උදාර සත්ක්‍රියාව නිසාම බෞද්ධ ලෝකයෙහි ශ්‍රී ලංකාවට ලැබුණේ උත්කෘෂ්ට ස්ථානයකි. අද දක්වාම ලෝකයෙහි බෞද්ධ කේන්ද්‍රස්ථානය වශයෙන් ලංකාවට තැනක් ලැබී ඇත්තේ මේ නිසාම බව සිහිපත් කළ යුතුය. එය වඩාත් සවිමත් කරවනු සඳහා මාතලේ අලුවිහාරයේ දී මෙම ජනවාරි පස් වැනි දින ශ්‍රීමත් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ මහෝත්සවය පැවැත්වීම බෙහෙවින්ම කාලෝචිතය. එය කියා නිම නොකළ හැකි තරම් අගනා - ඓතිහාසික උත්සවයක් බව නොවළහා කිය යුතුව තිබේ.

නූතන සමයෙහි බුදු දහම විවිධාකාර අයුරින් විග්‍රහ කිරීමට ඇතැම් අය ඉදිරිපත් වී ඇත. එසේ වුවහොත් ඒ විකෘති අදහස් බුදු දහම වශයෙන් අනාගත පරම්පරාවන් පිළිගැනීමට ඉඩ තිබේ. අතිගරු ජනාධිපතිතුමන් විසින් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව දැන උගත් මහා සංඝයා වහන්සේලා සහ ගිහි බෞද්ධ උගතුන් විසින් රජයට දන්වා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ උදාර සත්කෘත්‍යය ඉටුකරනු දැක්ම බෞද්ධ ලෝකයාට සැනසීමට හේතුවක් වන්නේය. ඇතැම් අය අද තම තමන්ගේ අදහස් ද කවා - පොවා භාග්‍යවතුන් වහන්සේ, මහ බෝසතාණන් කෙනෙකුන් වශයෙන් අපරිමිත කාලාන්තරයක් පුරා පාරමී දම් නිමකොට ලෝකයාට දේශනා කරන ලද ධර්මය අපිරිසිදු කරමින් ලියන - කියන බවක් අසන්නටත් - දකින්නටත් - කියවීමටත් ජනසමාජයට ඉදිරිපත් කරමින් සිටිති. මේ මහා විනාශ නවතාලීමට ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් වශයෙන් රජය විසින් ස්ථාවර කිරීම කිය නොහැකි තරම් වාසනාවකි.

දෙදහස් පන්සිය වසරේ දී එදා රජය විසින් බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය සංඝ නේතෘන්වහන්සේගේ අනුශාසකත්වයෙන්, පණ්ඩිත ශිරෝමණි ලබුගම ශ්‍රී ලංකානන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා පඬිවරුන් වහන්සේලා යොමුකරවා, බුද්ධ ජයන්තියට නිකුත් කළ බුරුම ත්‍රිපිටකය ද ඇසුරු කරමින්, “ත්‍රිපිටක ග්‍රන්ථ මාලා” නමින් බුදු දහම මුද්‍රණය කොට තිබේ. එය, එයාකාරයෙන්ම ස්ථාවර කරමින්, ශ්‍රීමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන ලංකා රජය විසින් පිරිසුදු ත්‍රිපිටකය “ජාතික උරුමයක්” බවට පත්කිරිම ඓතිහාසික සිද්ධියක් වශයෙන් අපේ වංශකථාවල ලියැවෙනු නොඅනුමාන ය. මෙය සිදු නොවිණි නමි අධර්මය, ධර්මය වශයෙන් මේ යන අවිචාරවත් ක්‍රියාදාමයන් නවතාගත නොහැකි වනු ඇත.

චිරං තිට්ඨතු සද්ධම්මෝ

ලෝකොහෝතු සුඛී සදා!

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණෝ


 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ පණිවිඩය

සම්මා සම්බුද්ධ දේශිත ත්‍රිපිටක ධර්මය විකෘති කොට දේශනා කරමින් බෞද්ධ ජනතාව නොමඟ යවන අධර්මවාදීන්ගේ මතවාද මැඬලා අවු. 2500 ට ආසන්න කාලයක් ජිවිත පරිත්‍යාගයෙන් මෙරට භික්ෂූන්වහන්සේ ආරක්ෂා කරගත් නිර්මල ථෙරවාදී ධර්මය තවත් චිරාත් කාලයක් ආරක්ෂා කර ගැනීමට මහත් රුකුලක් ලෙස ශ්‍රිමත් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය 2500 සම්බුද්ධ ජයන්තිය නිමිතිකර සම්භාවනීය සංඝපීතෘන් වහන්සේලා විසින් පරිවර්තනය කොට සම්පාදිත සූත්‍ර, විනය, අභිධර්ම දේශනා අන්තර්ගත ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීම ගරුතර මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාව ගේ ම ප්‍රසාදයට ප්‍රීතියට හේතු වේ. ධර්මය විකෘති කරන මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් ධර්මය ආරක්ෂා කර ගැනීමට ජනාධිපතිතුමන් විසින් ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් ලෙස නම් කිරීම උපකාර වනු ඇත.

අධර්මවාදීහු ධර්මය කෙලෙසූවේ අද පමණක් නොවෙති. පෙර රජ දවස නීිලපට දර්ශනය වෛතුල්‍යවාදය, වාජිරියවාදය නමින් ඇති වූ ධර්ම විරෝධි විෂබීජයන් බැහැර කොට ථෙරවාදී ධර්මය ආරක්ෂා කර ගැනීමට භික්ෂූන් වහන්සේ ගත් උත්සාහයට සහය වෙමින් අපේ රජවරුන් මිථ්‍යා මත පැතිරවූවන් රටින් පිටමං කිරීම, පිට හණ තැබීම ආදී දඬුවම් ද පැමිණවූ බව මහාවංශය, නිකාය සංග්‍රහය ආදී ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. දුටුගැමුණු, ගෝඨාභය, බුද්ධදාස ආදී රජවරු බුද්ධ ධර්මය රැක ගැනීම තම පරම යුතුකමක් ලෙස සැලකූහ.

අද ත්‍රිපිටක බුද්ධ ධර්මය විකෘති කොට දේශනා පවත්වන, පොත පත ලියන අධර්මවාදීන්ට රජ දවස දඬුවම් දී හෝ ධර්මයට එල්ල වී ඇති මෙම ව්‍යසනය දුරලීමට ද පියවර ගන්නා ලෙස ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිමු.

 

මෙයට, ශාසනස්ථිකාමි,

 

අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි අභිධාන,

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මහා ස්ථවිර


ජනාධිපතිතුමාගේ පණිවිඩය

අනුබුදු මිහිඳු මාහිමියන් විසින් අප දේශයට දායාද කරන ලද්දේ මුල් සංගායනා දෙකෙහි දී සම්මත වී, තෙවැනි සංගීතියෙහි දී ද අනුමත වූ පාලි ත්‍රිපිටකය යි. ශ්‍රී ලාංකේය බෞද්ධ සම්ප්‍රදායේ මූලාශ්‍රයන් වනුයේ එකී පාලි ත්‍රිපිටක ග්‍රන්ථ හා ඒවායේ පරිවාර ග්‍රන්ථ වන අට්ඨකතා හා ටීකා යි.

පළමු ධර්ම සංගීතියේ සිට ක්‍රි. ව. පළමු වැනි සියවසේ මාතලේ අලු ලෙනෙහි දී සිදු වූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪකරණය දක්වා වූ සියවස් හතරකට වැඩි කාලයක් ත්‍රිපිටක ධර්මය මුඛ පරම්පරාගත ව පවත්වා ගැනුණේ මහ තෙරුන් වහන්සේලා ද උන්වහන්සේලා ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන් ද විසිනි.

වළගම්බා රජු ගේ දෙවැනි රාජ්‍යප්‍රාප්තියට ආසන්න කාලයක එනම් ක්‍රිස්තු වර්ෂය ආරම්භයේ දී ම ත්‍රිපිටකය ක්‍රමවත් ව ලේඛනගත කිරීමට මෙරට මහා සංඝයාවහන්සේ පළ කළ කෘතහස්ත භාවයත්, විචක්ෂණ භාවයත් විමති සහගත ය.

ධාරණයෙන් පවත්වාගෙන ආ ලොව උදාර ධර්ම සාහිත්‍යයික දායාදයක් ලේඛනගත වීමෙන් අනතුරු ව එය ලංකාද්වීපයේ පරිශූද්ධ උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් ඉතිහාසයේ කිසි කලෙක සිදු විණැ යි කිව නොහැකි ය.

ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා සහිත ව ඒ පූජනීය උරුමයට නීත්‍යනුකූල භාවයක් හිමි කර දීමට මා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන සමයෙහි ම ස්වාධින පියවරක් ගැනීමට හැකි වීම මහත් සොම්නසට කරුණකි. මින් පසු ත්‍රිපිටකයේ හරයට බලපාන විකෘති කරණයන්ට අවකාශ නොලැබෙන අතර, බුද්ධභාෂිතයේ වේශයෙන් එන ජනප්‍රිය අංග පිළිබඳ සාවධාන වීමට ද ඉඩ සැලසෙනු ඇත.

ශාසන චිරස්ථිතියට හේතු වන්නේ ප්‍රතිපත්තිය බව වටහා ගනිමින්, විනය පිළිබඳ වැඩි අවධානයක් සඳහා මෙමඟින් අනුබල ලැබේ. තව ද පෞද්ගලික ආයතන මඟින් ත්‍රිපිටකය මුද්‍රණය කිරීමේ දී විවිධ දෝෂ සහිත වීම නොවැළැක්විය හැකි හෙයින්, මේ ග්‍රන්ථාවලිය නැවත මුද්‍රණයේ හා ප්‍රකාශනයේ අයිතිය මින් පසු බුද්ධශාසන අමාත්‍යාංශය සතු වේ.

බුද්ධභාෂිතය ස්මෘතියෙන් දරා සිටිමින් අනේක දුක්ඛ විඳි අතීත මහා සංඝරත්නයටත්, මේ කාර්යය සඳහා මා දිරිමත් කළ අපගේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාටත් මෙහි දී කෘතඥතා පූර්වක ව නමස්කාර කරමි.

බුද්ධ වචනය පිළිබඳ අප්‍රමාණ ගෞරවාදරයෙන් ගනු ලැබූ මේ පියවර හේතු කොටගෙන ධර්මානුකූල සමාජයක් බිහි වේවා යි ද ප්‍රාර්ථනය කරමි.

මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති


බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යතුමාගේ පණිවිඩය

වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු අසූ හාරදහසක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයේ චිර පැවැත්ම තීරණය වූයේ සුපේෂල ශික්‍ෂාකාමී භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා යන මේ සිව්වනක් පිරිසගේ දායකත්වයෙනි. එයිනුදු ධර්මධර, විනයධර භික්‍ෂු පරම්පරාවල කැපවීම, දායකත්වය අතිමහත් ය. අතීත, වර්තමාන, අනාගත ත්‍රෛකාලීන සම්බුදු සසුනේ ගලා යෑමත්, ථෙරවාද සම්ප්‍රදායේ පෝෂණයත්, සුරක්‍ෂිතතාවත් උන්වහන්සේලා ගේ පරම යුතුකම බවට පත් විය.

සම්මා සම්බුදු පරිනිර්වාණයෙන් පසුව ඉන්දියාවේ භාණක මුඛ පරම්පරාවෙන් පැවත ආ ශ්‍රී සද්ධර්මය මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාද්වීපයට උරුම විය.

ක්‍රි.පූ. 1 වන ශත වර්ෂයේ වළගම්බා රජ දවස භික්ෂූන් වහන්සේලා ඇතුළු රටවැසි සත්ත්වයාට වන හානිය නිසා එ් ධර්මයට විය හැකි අනාගත හානිය දුටු භික්ෂූන් වහන්සේලා සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා මාතලේ ඓතිහාසික අලු විහාරයේ දී ත්‍රිපිටක ධර්මයේ නිවැරදි බව සජ්ඣායනයෙන් අවබෝධ කොට අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා ග්‍රන්ථාරූඪ කළහ. දෙදහස් වසරක ශ්‍රී ලංකාවේ උරුමය තුළ සහජීවනය, සහනශීලිත්වය, සමානාත්මතාව, සංහිඳියාව, ථෙරවාදී බුදුදහමින් මූර්තිමත් විය. අධ්‍යාත්මික ගුණ වගාවෙන් ආඪ්‍ය තිරසර පුණ්‍යභූමියක් ලෙසත්, ථෙරවාදී බෞද්ධ දර්ශනයේ විශ්ව කේන්ද්‍රස්ථානය ලෙසත් ලෝවැසි බොදුනුවන් ගේ ගෞරවාදරයට ශ්‍රී ලංකාව පත්වීමට උතුම් ථෙරවාදී ත්‍රිපිටක ධර්මය ඉවහල් වූ බව මාගේ හැඟීමයි.

ශ්‍රී සම්බුද්ධ දේශනාව විකෘති කරමින් සැදැහැති බෞද්ධ ජනතාව අන්ධ විශ්වාස භක්තිකයන් බවට පත් කරන ශාසන විරෝධීන් බහුල මෙවන් යුගයක ශ්‍රී සද්ධර්මය අන්තර්ගත උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම ඉතා කාලෝචිත යැයි මා විශ්වාස කරමි. 2019 ජනවාරි මස 05 වන දින මාතලේ අලු විහාරයේ දී පැවැත්වුණු එ් ජාතික මහෝත්සවයට මාගේ හෘදයංගම සුභාශිංසන එක්කරමි.

ගාමිණී ජයවික්‍රම පෙරේරා

බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය

අදහස්