රාජ්‍ය නායකත්වය හා බුදුදහම අතර පවතින අවියෝජනීය සබඳතාව | සිළුමිණ

රාජ්‍ය නායකත්වය හා බුදුදහම අතර පවතින අවියෝජනීය සබඳතාව

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්මල බුදු දහම අඩංගු ත්‍රිපිටකය පවත්නා ප්‍රධානතම ථෙරවාදී බෞද්ධ රට ලෙස පිළිගනු ලබන්නේ ශ්‍රී ලංකාවය. තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය ඇතුළු ථෙරවාදි බෞද්ධ ලෝකය ම ශ්‍රී ලංකාවට ඒ ගෞරවය ලබා දීමට හේතු කීපයක්ම ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු පාඨලි පුත්‍ර නගරයේදී තුන්වන ධර්ම සංගායනාම පැවැත්වීමට මුල්වන ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් ආරම්භ කරන ලද ධර්ම ප්‍රචාරක ක්‍රියාවලියේ ප්‍රමුඛ අවධානය හිමි රට වූයේ ලංකාවය. මිහිඳු මා හිමියන් විසින් එදා මෙරටට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ කාලය නෙක් මහා සංඝයා වහන්සේලා විසින් පරපුරෙන් පරපුරට ස්මෘතියෙන් හෙවත් මතක ශක්තියෙන් පවත්වා ගෙන එන ලද බුද්ධ වචනයයි. නැතහොත් බුද්ධ භාෂිතයයි.

සියවස් ගණනකට පෙර මෙරටේ පමණක් නොව අන්තර්ජාතික තලයේ ද ශාස්ත්‍රීය හා වෙනත් ශිල්ප ඥාන පවත්වා ගෙන එන ලද්දේ ගුරුවරයා විසින් තම ශිෂ්‍යයන්ට ප්‍රදානය කරනු ලබන එ් ක්‍රමවේදයට අනුවය. බුදුන් වහ්න්සේගේ පරිනිර්වාණයත් සමඟ ශාසනයේ ඇතැම් භික්ෂුන් වහන්සේලාට විනය සම්බන්යෙන් යම් වෙනස්කම් සිදු කිරීමේ අවශ්‍යතාවක් වූ බවද සඳහන් වේ. එහෙත් එකල වැඩ විසූ මහ කාශ්‍යප මහතෙරුන් වැනි ජ්‍යෙෂ්ඨ තෙරහු ඒ සඳහා අනුබල නොදුන්හ. සුභද්‍රා නම් මහලු පැවිද්දෙක් බුදුන් පිරිනිවන් පෑ අවස්ථාවේදිම "දැන් ඉතින් අපි නිදහස් වෙමු” යි ප්‍රකාශ කරමින් හැසිරුණු බවක්ද ශාසන ඉතිහාසයේ දැක්වේ.

බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසූ කාලයේදීත් භික්ෂු ශාසනයෙහි යම් යම් අර්බුද මතු වූ බව රහසක් නොවේ. දේවදත්ත වැනි භික්ෂුන්ගේ ප්‍රතිචාර එයට ඉවහල් විය. බුදුන් උපත ලද්දේ බ්‍රාහ්මණික හා පූජකමය අධිපතිවාදය විසින් වාද විවාද තිබුණු සමාජ පසුබිමකය. එකල සිටි ආචාර්යවරුන් අතර තිබුණු ව්‍යාජ හා අවිද්‍යාත්මක දර්ශනවලට එකඟ නොවී යථාර්ථය හා සත්‍ය්‍ය පිරිසිඳ දැන ගැනීමට බුදුන් වහන්සේට හැකි විය. බුදුහු ලෝකෝත්තර සත්‍යයක් සොයා ගත්හ. විමුක්තිය හා මානසික සුවය පිළිබඳ යථාර්ථවාදීව විශ්ලේෂණය කළහ. යාග හෝම බිලි පූජා වැනි නිසරු පිළිවෙත් විද්‍යාත්මකව ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේට සියලු ආගමික කර්තෘවරුන් අබිබවා ශ්‍රේෂ්ඨ මුනිවරයා ලෙස බුහුමනට පාත්‍ර වීමට හැකි විය. සමාජය තුළ වූ ජාති, කුල, ධන, උත්තම, අධම යනාදි සියලු හේදයන්ට හා මානව යහපතට පටහැනි වූ සම්මත නීති රීති පවා බුදුන්ගේ ධර්මයෙහි බල මහිමය නිසා ඛණ්ඩනය විය. බුදු සසුනට එක් වූ පිරිස් අතර විවිධ අදහස් වූ බව රහසක් නොවේ.

ධර්මාවබෝධය අත්කරගත නොහැකි ස්වල්ප දෙනෙක් ද සසුනෙහි වූහ. බොහෝ විට අලස සුවයෙන් තම ජීවිත ගෙවීම ඔවුන්ගේ අරමුණ වූ බව නිසැකය. විශේෂයෙන් මහලු පැවිද්දන් ලෙස සිටි බොහෝ දෙනෙකු බුදුන්ට ලැබුණු සිව්පසය වළඳමින් ජීවත් වූවෝය. එහෙත් බුද්ධ වචනය ගෞරවයෙන් සැලකූ යතිවරු ද සංඝ පරම්පරාවක්ද වූහ. මේ සියලු කොටස් වල අභිලාෂය වූයේ නිර්මල බුද්ධ ධර්මය හෙවත් ත්‍රිපිටකය ආරක්ෂා කිරීමය. ධර්මය පිළිබඳ වෙනස් මතවාද මෙන්ම නිකාය භේද තිබුණත් සංඝායනා මාර්ගයෙන් බුදුදහම විකෘති නොකර රැක ගැනීම සඳහා කැප වූ පිරිසක් වූහ.

මහායාන - හීනයාන ලෙස අද තිබෙන ප්‍රධාන භේදය තුළ වුවද ඇතැම් පොදු ලක්ෂණ දැකගත හැකිවේ. ක්‍රි.ව. පළමුවන සියවසේ පමණ විසූ අශ්වඝෝෂ නම් ආචාර්යවරයකු මහායානය ගැන ග්‍රන්ථයක් ලියූ බව සඳහන් වේ. ඉන්දීය සමාජය තුළ තිබුණු විවිධ ආගමික මතවාද සමඟ බුදුදහම මිශ්‍ර වූ ආකාරයද අපට දැක ගත හැකිය. දේවවාදය බුදු සමයට ඇතුළු වීම ක්‍රමයෙන් සිදු වූවකි. මහායානයට අමතරව, වජ්‍රයානය, සෙන් බුදු සමය ඇතුළු විවිධ ගුඪවාද පවා බුදු දහම සමග මුසු වී තිබෙන බව පෙනේ. බාහිරව කෙරෙන පූජා, යාච්ඤා වැනි දේවලින් බුදු දහම විකෘති වී ඇතැයි විවෘත චෝදනාවක් ද පවතී.

ඉහත දැක්වූ පරිදිම ශ්‍රී ලංකාව වසර දෙදහස් තුන් සියයක් පුරා එ් බෞද්ධ උරුමය වන ථෙරවාදි සම්ප්‍රදාය මත පදනම් වූ රටකි. මෙම ථෙරවාදී ත්‍රිපිටකයට අදාළ නොවන පූජා, ඇදහිලි අද ලංකාවේද තිබෙන බව අපි දනිමු. එහෙත් බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු සාරධර්ම පද්ධතියත් පිරිසිදු ත්‍රිපිටකයත් අප සතුව තිබෙන අමිල ධන නිධානයකි. ථෙරවාදී සම්ප්‍රදාය ගරු කළ පාලි අට්ඨකථා, දීපවංශය, මහා වංශය මෙන්ම සාහිත්‍ය වංශයක් ද අපට තිබේ. මහා කාශ්‍යප තෙරුන් ප්‍රමුඛ පන්සියයක් දෙටු රහතන් වහන්සේලා විසින් මනාව සම්මත කරන ලද ගැටලු, සැක සංකා සියල්ල දුරු කරන ලද සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකය ලංකාවේ සුරක්ෂිතව පවත්නා බව නිසැකය. ප්‍රථම සංගායනාවෙන් වසර සියයකට හා තුන් සියයකට පසුව සංගායනා දෙකක් සිදු වූ බව ‍‍ඵෙතිහාසික ලේඛන වල සටහන්ව තිබේ. ඒ කාලය ඇතුළත ථෙරවාදයෙන් බෙදි වෙන්වූ නිකාය එකොළහක් පමණ වූ බවද ඇතැම් විද්වත්හු තහවුරු කරති.

ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් හා මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද තෙවන සංගායනාවෙන් පසු ථෙරවාද සම්ප්‍රදාය ප්‍රචලිත කරවීම ආරම්භ වු බවද සමහර විද්වතුන් ගේ අදහසකි. ධර්මාශෝක හෙවත් අශෝක අදිරාජයාගේ රණකාමී ජීවිතය ධර්මකාමී මාවතකට යොමු වීමත් සමඟ ඇති වු ජීවන චර්යාවේ සාධනීය ලක්ෂණ බුදුදහමින් ලද සුපෝෂණයෙහි ඵලයක් ලෙස පිළිගනු ලැබේ. පන්සිල් මත පදනම් වූ සාරධර්ම පිළිගත් අශෝක එදා ඉන්දිය සමාජය පිළිගත් බිලිපූජා අනුමත නොකිරීම විශේෂ සිද්ධියකි. කෘෂි කාර්මික විප්ලවයේදී නගුල හා ගවයා ආරක්ෂා කිරීමට එදා පැවති ගවයන් බිලිදීම විශාල බාධාවක් විය.

සත්ව හිංසාව පිටු දකිමින් අවිහිංසා ධර්මය අවධාරණය කළ බුදුන් වහන්සේ මෙන්ම ජෛන මහාවීර ද අශෝකගේ ගෞරවයට පාත්‍ර වීම පුදුමයක් නොවේ. අශෝක තම පුත් මහින්ද ප්‍රමුඛ දූත පිරිසක් ලංකාවට එවීම මෙරටේ සභ්‍යත්වයෙහි මෙන්ම ශිෂ්ටාචාරයේද නව පරිච්ඡේදයක සමාරම්භයක් බව නිසැකය. බෞද්ධ ධර්මය සදාචාර සම්පන්න වටිනාකම් පද්ධතියක් මත පදනම් වීම නිසා එදා එයට ඉමහත් ජනප්‍රියත්වයක් හිමි වී ඇත. රාජ්‍ය සංවිධානයක් ගොඩ නැංවීම ධර්මය මත පදනම්ව කළ යුත්තක් බවට අශෝක රජුන් තුළ වූ විශ්වාසය, ඒ අයුරින්ම ලංකාවේ එවක සිටි දේවානම්පිය තිස්ස රජු තුළ ද මුල් බැස ගෙන තිබුණු ආකල්පයකි.

ජාති, කුල හෝ ලිංගික ආදී කිසිදු භේදයකින් තොරව මහජනයා එක් කළ හැකි ධර්මය බුද්ධ ධර්මය බව මෙරටේ රජවරු මනාව වටහා ගෙන සිටියහ. ඇතැම් විද්වතුන් පවසන ආකාරයට ලංකාවේ පවත්වන ලද ප්‍රථම මහජන හමුව එදා මිහිඳු හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවය. එයට සවන් දීමට ජනයාට කිසිදු බාධාවක් නොවූ අතර, ඒවා පිළිගන්නා ලෙස කිසිදු බලපෑමක් සිදු නොවු බවද කියති. මානව උදාරත්වය පිළිබඳ සංකල්පය බුදු දහම තුළ ගැබ් වීමත් පුද්ගල චර්යාව අනුව උසස් පහත් බව නිශ්චය වන බවත් එම ධර්මයේ පැහැදිලිව අඩංගු වීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු වූ බවද නිසැකය.

කෙසේ හෝ මෙරටේ බුදුදහම ප්‍රචලිත වීම හා භික්ෂු ශාසනය ව්‍යාප්ත වීමේ ක්‍රියාදාමය පසු පස රජවරුන් දෙදෙනෙකු සිටීම ද සුවිශේෂ කරුණකි. ඒ ඉන්දියාවේ අශෝක හා ලංකාවේ දේවානම්පිය තිස්සය. අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ ජාතික සංස්කෘතික ප්‍රබෝධය හා සාහිත්‍ය කලා වර්ධනයද බුදු දහමින් ලද විශිෂ්ට ඵල ලෙස හැඳින්වීම නිවැරදිය. අනුරාධපුර යුගයෙන් අනතුරුව මෙරටේ සමාජ, දේශපාලන ඉතිහාසය තුළ වැඩි වශයෙන්ම ගැබ් වන්නේ බුදු දහම හා ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරුය.

ඒවායේ ඇතැම් අලංකාර හා වර්ණනා ද භක්තිමත් ප්‍රශංසාවන් ද අතහැර සියුම් ව ඒ ඉතිහාසය විශ්ලේෂණය කිරීමේ දී තහවුරු වන්නේ බුද්ධාගම හා භික්ෂු ශාසනය සඳහා ලංකා රාජ්‍ය විසින් දක්වන ලද ප්‍රමුඛතාව මෙන්ම ලාංකික ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික පදනම බුදු දහම බවය. ඒ අනුව ලංකා ඉතිහාසයේ අතිවිශිෂ්ට සිදුවීමක් ලෙස ලංකාවට බුද්ධාගම හඳුන්වා දීම සැලකිය යුතුය. එමතු නොව එදා මිහිඳු හිමියන් විසින් මෙරටට රැගෙන එන ලද ධර්මය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගැනීමට මෙරටේ මහා සංඝරත්නය කැපවීම ද අගය කළ යුතු අනෙක් සිදුවීමය. පිරිසිදු නැතහොත් නිර්මල ත්‍රිපිටකය සුරකිමින් ථෙරවාදී සම්ප්‍රදාය පරම්පරා කීපයක් මුළුල්ලේ කට පාඩමින් රැක ගැනිමට තරම් ප්‍රබල භික්ෂූ පරපුරක්ද අපට වූහ.

ක්‍රි.පූ. පළමුවැනි සියවස තෙක් එලෙස කට පාඩමින් රැක ගෙන එන ලද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාව මතු වූයේ එකල පැවති අස්ථාවර දේශපාලන හා රාජ්‍ය පාලනය නිසා ය. එදා වලගම්බා රජුට අප්‍රකට ව ජීවත්වීමට පවා සිදු වූ වතාවරණයක් වූ බව සඳහන් සඳහන් වේ. එසේම ඒ වන විට අභයගිරි වාසී භික්ෂුන් වහන්සේලා බලවත්ව සිටි අතර ධර්ම ප්‍රතිසංස්කරණයක් කළ යුතු බවට උන්වහන්සේලා තුළ අදහසක් වූ බවද කියති. මේ සියල්ලට අමතරව දෙළොස් වසරක දුර්භික්ෂ සමයක්ද රටේ උද්ගතව තිබුණි. "බිමිණිටියා සාය” ලෙස ඉතිහාසයේ දැක්වෙන ඒ කාලය තුළ ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලාගේ පැවත්මද අභියෝගයට ලක් වී ඇත.

මේ අවදානමට මුහුණ දීම සඳහා කිසියම් ශාසනික පියවරක අවශ්‍යතාව ද මහා විහාරයේ වැඩ විසු භික්ෂුන් වහන්සේලා ඉතා නිවැරදිව වටහා ගෙන සිටියහ. එකල මහ විහාර අවාසවල වැඩ විසු මහ තෙරවරු ථුපාරාම වාසී කුන්තගත්ත තිස්ස නම් මහා තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් ලෝවාමහාපායට රැස්ව උද්ගතව තිබෙන විපත හා දුබික් සමය නිසා පීඩාවට පත්ව සිටින භික්ෂුන්ගේ ඉරණම ගැනද සාකච්ඡාවක් කළහ. එහිදී තීරණය වී ඇත්තේ මාතලේ අලු විහාරයට රැස්ව ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කළ යුතු බවය. මේ අවසථාව වන විට ත්‍රිපිටක භාණක භික්ෂුන් වහන්සේලා අතර සිටි කීප නමක්ද දුර්භික්ෂයට ගොදුරු වී අපවත්ව සිටියහ. එහෙත් ධර්මය නිවැරදිව ධාරණය කරගත් අවශ්‍ය ප්‍රමාණයක් සිටි බවද සඳහන් වේ.

කෙසේ හෝ වේවා එදා මාතලේ ආලෝක විහාරයේදි සිදුවූ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම මෙරටේ පමණක් නොව සමස්ත බෞද්ධ ප්‍රජාවගේම ගෞරවයට බුහුමනට පාත්‍ර විය යුතු ඵෙතිහාසික සිද්ධියකි. බාහිරව හා අභ්‍යන්තරව එල්ල වී තිබුණු බිහිසුණු වාතාවරණයක අභීතව, උට්ඨාන වීර්යෙන් නැඟී සිටිමින් ඒ භික්ෂුන් වහන්සේලා විසින් කරන ලද්දේ අප්‍රමාණ අසාමාන්‍ය ශාසනික මෙහෙවරකි. සූත්‍ර, විනය හා අභිධර්ම යන ත්‍රිපිටකය ඒ ආකාරයෙන්ම ලේඛනාරූඪ කිරීම හාස්කමක් වැන්න. මේ පිළිබඳව දැක්වෙන විස්තර වලින් සනාථ වන්නේ මෙරටේ භික්ෂු සංස්ථාව තුළ වූ තිරසර ගුණයයි. නිසි රිසි ආහාරයක් පවා නොමැතිව තමන්ගේ මතකයෙහි වූ ධර්මය විනාශ වී යනු ඇතැයි බියෙන් අපේ හාමුදුරුවරු වැලි කඳුවල හිස් ගසාගෙන ඒ ධර්මය ආවර්ජනය කළ බවද කියති. මහාවිහාරික භික්ෂුන්ගේ මෙම අධිෂ්ඨාන ශීලය හා සද්ව්‍යාපාරය නිසාම බුදුන් වදාළ පරිදිම ත්‍රිපිටකය ආරක්ෂා කර ගත හැකි විය.

මෙරට ශාසන ඉතිහාසයේ හැම ප්‍රධාන සිදුවීමක් සඳහාම රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබී ඇති බව අපි දනිමු. තම රාජ්‍යය පවා සසුනට පූජා කිරීමට තරම් භක්තිමත් රජවරුද වූහ. එහෙත් මේ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමේ කාර්ය සඳහා එබඳු කිසිදු අනුග්‍රහයක් රාජ්‍ය මට්ටමෙන් ලැබී නැත. එසේ වුවද ස්වකිය අධිෂ්ඨාන ශක්තියද ශාසනික ගෞරවය හා බැඳීම විසින්ද පිරිපුන් භික්ෂුන් වහන්සේලාට ඒ කාර්ය මානාව සපුරා ලිය හැකි විය. දුර්භික්ෂය නිසා රටින් පිටවී ගොස් ජීවිත ආරක්ෂා කරගත් භාණක භික්ෂූන් වහන්සේලා කීප නමක් පෙරළා මෙරටට වැඩම කර ඒ ග්‍රන්ථාරූඪ කාර්ය සාධනයට දායක වූහයිද කියති.

එදා එලෙස නිවැරදිව පිරිපුන්ව සංගායනා කරනු ලැබ ඉනික්බිති ග්‍රන්ථාරූඪ කළ අටුවා "හෙළඅටුවා” ලෙස හැඳින්වේ. මහ අටුවාව’ ඉන් ප්‍රධානය. එහි සමස්ත ත්‍රිපිටකය අඩංගුව ඇත. 'මහපසුරු අටුවාව’ නම් තවත් අටුවාවක්ද ඇත. ඒ හැර තවත් අටුවා කීපයක්ද වේ. එදා සිට මෙරටේ සාහිත්‍ය කෙරෙහිද මෙ අටුවාවල අඩංගු ධර්මය බලපෑ බව සඳහන් වේ. පසු කාලීනව මේ අටුවා පාලියට නඟන ලද අතර දීපවංශය’ එහිලා වැදගත්ම කෘතියකි. මහින්දාගමනය තෙක් ඉන්දීය ශාසන ඉතිහාසයද ඉන්පසු එම ඉතිහාසයේ විග්‍රහ විමර්ශනද දීපවංශය අපට පෙන්වා දෙයි.

මහින්දාගමනයෙන් පසු මෙරටට පැමිණි බුද්ධඝෝෂාචාරීන් විසින් හෙළටුවා පාලියට නඟන ලද බවද ප්‍රකට කරුණකි. උන්වහන්සේට ඒ කාර්ය පැවරීමට එකල වැඩ විසූ වියත්, ධර්මධර භික්ෂුහු මැළි වූහ. එහිදී උන්වහන්සේගේ ශාස්ත්‍ර ඥානය විමර්ශනය සඳහා ගාථා දෙකකට විග්‍රහයක් ලියන ලෙස පවරා ඇත. 'විශුද්ධි මාර්ගය’ නමින් වූ අගනා කෘතිය බිහිවන්නේ ඒ අනුවය. බුද්ධ ඝෝෂ හිමියන්ගේ 'විශුද්ධී මාර්ගය’ බුද්ධ භාෂිතය අලළා ලියැවුණු විශිෂ්ට කෘතියක් ලෙස සම්භාවතාවට පාත්‍රවී තිබේ. තමන් වහන්සේ විසින් කරන ලද්දේ හෙළ අටුවා ඒ ආකාරයෙන්ම පාලියට නැඟීමක් බවත් එහිදී මහා විහාරය සම්ප්‍රදායට පටහැනි කිසිදු විග්‍රහයක් හෝ අදසක් ඇතුළත් නොකළ බවත් බුද්ධ ඝෝෂ හිමියෝ සඳහන් කරති. පාලි යනු ථෙරවාදි බෞද්ධ ලෝකය විසින්ම සම්මත කරන ලද ජාත්‍යන්තර භාෂාව ලෙස පිළිගනු ලැබේ.

අද නොයෙක් රටවල විද්වතුන් විසින් පරිශීලනය කරනු ලබන්නේද ඒ පාලි ත්‍රිපිටකයයි. ලංකාව ථෙරවාදයේ මධ්‍යස්ථානය ලෙසද ඒ ථෙරවාදී සම්ප්‍රදාය සුරක්ෂා කිරීම සඳහා අපේ සංඝ සංස්ථාව ඉමහත් කැප කිරිම් හා පරිත්‍යාග කරමින් ලොවට තම බුද්ධිමය ආශ්චර්ය පළ කර තිබෙන බවද නිසැකය. බුදු සමය පිළිබඳ විශිෂ්ට පර්යේෂකයකු ලෙස ජගත් කීර්තියට පත් වූ රීස් ඩේවිඩ්ස් පඬිවරයා සඳහන් කර ඇත්තේ එදා සාරනාත්හි මිගදායේ පස්වග තවුසන් අබියස සිදු කළ ධර්ම දේශනාවෙන් තහවුරු වූ බුද්ධ ධර්මය හා සංඝ සංවිධානය ලොව විශිෂ්ටතම ප්‍රාතිහාර්යක් බවය.

වසර ගණනාවක් ඒ ධර්මය කට පාඩමෙන් පරපුරෙන් පරපුරට රැගෙන ඒමට තම ඥාන විර්ය, බල සංඝ සමාජයක් ප්‍රතිෂ්ඨාපනය වී තිබීම වුවද කිසිදු මිනුම් දණ්ඩකින් මිනිය නොහැකි විස්මිත ප්‍රාතිහාරයක් බව රීස් ඩේවිඩ්ස් පඬිවරයාගේ අවධාරණයයි. අද ලෝකයා අබියස පවත්නා නිර්මල ත්‍රිපිටක ධර්මය ඒ බුද්ධ පුත්‍රයන්ගේ වික්‍රමාන්විත මෙහෙවරක් වැන්න. වසර දෙදහස් පන්සියයකට පෙර වූ බුද්ධ භාෂිතය එපරිද්දෙන්ම බෞද්ධ ලෝකයේ උරුමයක් බවට පත් කළ ඒ ක්‍රියාදාමයට දැක්විය හැකි විශිෂ්ට ප්‍රතිචාරය එය ජාතික උරුමයක් ලෙස අගය කිරීමය.

අශෝක අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ත්‍රිපිටක ධර්මයට ඉන්දියාව සුවිශේෂ අවධානයක් යොමු කර ඇතැයි කිව නොහැකිය. බුදුසමයට වඩා හින්දු සමය ව්‍යාප්ත වීම එයට හේතු වූවා විය හැකිය. එනිසා ඒ බුද්ධ භාෂිතය පැවති ප්‍රධාන රටක් ලෙස ලංකාවට වගකීමක්ද විය. දහසක් දුෂ්කරතා මැද අපේ හිමිවරු එය ඉටුකළහ. මාතලේ අලුවිහාරයේදී ඒ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම කෙබඳු විශිෂ්ට පියවරක්ද යන්න එයින් වුවද තහවුරු වේ. ලංකාවේ ලේඛන කටයුතු වල සමාරම්භය ලෙසද ඇතැම් විද්වත්හු මෙම ග්‍රන්ථාරූඪ කාර්ය හඳුන්වති. ඉහත දැක්වු පරිදිම භාෂා සාහිත්‍ය ප්‍රබෝධයට මෙයින් ප්‍රබල ආලෝකයක් ලැබුණි. එහෙත් මහාවංශ කතුවරයා නම් මේ පිළිබඳ කර ඇත්තේ සංක්ෂිප්ත හැඳින්වීමකි. නිකාය සංග්‍රහයේ එම ග්‍රන්ථාරූඪ කාර්ය සඳහා පන්සියයක් රහතන් වහන්සේලා මාතලේ අලු විහාරයේ වැඩ සිටි බව සඳහන් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාතලේ අලුවිහාරයේ එදා සිදු වූ එම සද් මෙහෙවර පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරන්නේ එයින් සමස්ත බෞද්ධ ලෝකයටම අත් වූ මහඟු ප්‍රතිඵල හා ප්‍රතිලාභවල අගය ඉඳුරා දුටු රාජ්‍ය නයකයකු ලෙසය. නූතන ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ කිසිවෙක් මේ සුවිශේෂ සිද්ධිය පිළිබඳව ගැඹුරු අවධානයක් යොමු කර නැත. මෛත්‍රී මෙරටේ රාජ්‍ය නායකයන් අතර සුවිශේෂි සමාජ දේශපාලන දැක්මක් සහිත නායකයකු බව මේ ක්‍රියාදාමය මඟින් අපට පැහැදිලි වන්නකි. රාජ්‍ය නායකත්වය හා බුදු දහම අතර පවත්නා අවියෝජනීය සබඳතාව වටහා ගත් සංවේදී හා සධාර්මික නායකයකුගේ විලාසයද මෙයින් තහවුරු වේ.

ලොව බිහි වු අග්‍රගණ්‍ය දාර්ශනිකයකු, අසාමාන්‍ය විමුක්තිදායකු වන බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය අඩංගු ත්‍රිපිටකය එලෙසින්ම ආරක්ෂා කරන ලද රට හා බුද්ධ ශ්‍රාවක සමූහය පිළිබඳ අනභිභවනීය වාර්තාව ලංකාවට හිමි ගෞරවයකි. අනුරාධපුරයෙන් ඇරඹුණු ශිෂ්ටාචාරයේ පදනම ලෙස නිර්භයව හැඳින්විය හැකි බුද්ධ වචනය බෞද්ධ ලෝක ප්‍රජාවගේම යහපත උදෙසා රැක දුන් පිවිතුරු භුමිය වන මාතලේ අලු විහාරයට ජගත් ප්‍රජාවගේම අවධානය යොමු කරවීමට මෛත්‍රී ජනාධිපතිවරයාගේ මෙම උත්තම පූජාව හේතු වනු ඇත.

ලංකාවේ පාලනය හා බුද්ධාගම අතර තිබෙන අවියෝජනීය සබඳතා අද අනෙක් ආගම් නායකයන් මෙන්ම ප්‍රධාන දේශපාලන නායකයන් විසින්ද පිළිගනු ලැබ තිබෙන්නකි. යටත් විජිත පන්නය හිසින් ගත් ඇතැම් පිරිස් බුද්ධාගමට හිමි වු ඒ ඵෙතිහාසික ගෞරවය නොතකන්නෝ වෙති. ඉන්දියාව අශෝකගේ ධම්ම’ සංකල්පය මුළුමනින්ම බැහැර නොකළත් එහි හින්දු සමය හාත්පස ව්‍යාප්ත වී තිබේ. එහෙත් ලංකාව ඒ ඵෙතිහාසික බැමි සිඳ දැමීමට සූදානම් නැති බව මෛත්‍රීගේ මෙබඳු ප්‍රතිචාර වලින් තහවුරු වේ.

ලංකාවට නූතන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප බැහැර කළ නොහැකිය. එහෙත් ඒ නූතනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය සමාජ දේශපාලන මහා සංස්කෘතික බලවේග හඳුනා ගැනීමට මෙරටේ බොහෝ පාලකයන් දැක්වූ අසමර්ථ භාවය අපි දුටුවෙමු. මේ අර්බුදය පැණසර ලෙස වටහා ගැනීමේ සංස්කෘතික විඥානය මෛත්‍රී ජනාධිපතිවරයාට ලැබුණේ බෞද්ධ සාරධර්ම වලින් ලද සුපෝෂණය නිසාමය. ලෝකයේ ශ්‍රේෂ්ඨතම සම්ප්‍රදායන්ගෙන් හා අශෝක අධිරාජයා විසින් අපට පිරිනමන ලද සංස්කෘතික හර පද්ධතියෙන් ඈත් වූ අපට ලෝකය අබියස හිස කෙළින් තබා සිට ගත නොහැකි වීම පුදුමයක් නොවේ. මෛත්‍රී ජනාධිපතිවරයා ඒ ගිලිහී ගිය සංස්කෘතික උරුමය හා සාරධර්ම පද්ධතිය පිළිබඳ සහ සම්බන්ධව ඇති කිරීමට දරන අවංක උත්සාහය මේ හැම ක්‍රියාදාමයකින් ම තහවුරු වේ. මෛත්‍රී දැක්ම ඒ සංස්කෘතික පෝෂණයේ පිළිබිඹුවකි.

ඕනෑම ජන සංස්කෘතියක් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකය නැතහොත් පදනම වන්නේ ඒ ජනතාවගේ සංස්කෘතිය හා සම්ප්‍රදායයන් වලට ගරු කිරීමය. ඉතිහාසය අවශ්‍ය වන්නේ එයට ය. එය නිවැරදිව පසක් කර ගත් නායකයකු ලෙස මෛත්‍රී ජනාධිපතිවරයා ඉදිරියෙන්ම සිටියි. මාතලේ අලු විහාරයේදි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේද ඒ ජාතික සංස්කෘතික විඥානයේ ඵලයක් ලෙසය. ඒ සංස්කෘතික විඥානය නවීන තාක්ෂණයෙන්, විද්‍යාවෙන් හෝ සන්නිවේදනයෙන් වුවද මැඬලිය නොහැකි ආධ්‍යාත්මික බලයක් වැන්න.

සියවස් ගණනකට පෙර පැවති සමාජ දේශපාලන ආර්ථික ප්‍රපංචයන් අදට අදාළ විය නොහැකිය. එහෙත් ස්වීය ජාතික සංස්කෘතික වටිනාකම් නොතකන නුතන වාදය ජාතියක අභිවර්ධනය සඳහා ඉවහල් නොවේ. බුදුන් වහන්සේට පසුව භාරතීය ජනතා බුහුමනට පාත්‍ර වූ සුවිශිෂ්ට පරමාදර්ශී චරිතය මහත්මා ගාන්ධිතුමන් ය. ගාන්ධිගේ ජීවන චර්යාව මුළුමනින් ම ඉන්දියානු සංස්කෘතික වටිනාකම් හා මානව චර්යා ධර්ම මත පදනම් වූවකි. භගවත් ගීතාව මෙන්ම ත්‍රිපිටකයේ අඩංගු බුද්ධ භාෂිතයේ විශිෂ්ට ධර්මයටද ගාන්ධිතුමා ගරු කළේය. සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා’ යන්න ගාන්ධිතුමන්ගේ හෘදය සංවේදී ගෞරවයට හේතු වූවකි. ශ්‍රේෂ්ඨත්වය හා විශිෂ්ටත්වය යනු ධර්මයෙන් ලැබෙන නියත ඵලයක් බව ගාන්ධිතුමා ඉඳුරා දැන සිටියෙකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ සනාතන ධර්මයේ අනුප්‍රාප්තිකයකු වීමෙන් ගාන්ධිතුමන් විසින් දේශපාලනයට හා රාජ්‍ය පාලනයට අනුදත් සාධනීය චර්යා පද්ධතියට එකඟතාව ද පළ කරයි.

අදහස්