කොළඹ අහසේ කළු වලාව කියන හුස්ම හිරවෙන කතාව | සිළුමිණ

කොළඹ අහසේ කළු වලාව කියන හුස්ම හිරවෙන කතාව

  • පසුගිය වසර 8 ඇතුළත මෝටර් සයිකල් තෙගුණ වෙලා; ත්‍රි‍රෝද රථ දෙගුණ වෙලා
  • මහනුවර - කොළඹ - කෑගල්ල - කුරුණෑගල හොරණ - ගම්පහ නගරවල වායු දූෂණය ඉහළයි
  • විස වායු වැඩි නිසා අපට ලෙඩ ගොඩක් හැදෙනවා
  • ඊසාන දිග මෝසම් කාලයේ කොළඹ - ගම්පහ වායු දූෂණය අධිකයි

වායු දූෂණය අවම කිරීමට රජය පියවර රැසක් ගත්තා ඉදිරියටත් තව පියවර ගන්නවා වායු සම්පත් කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුගත් ධර්මකීර්ති

අපට ජීවත්වීමට පිරිසුදු වාතය ජලය හා ආහාර අත්‍යවශ්‍ය වේ‍. මෙයින් ජලය හා ආහාර තරමක් ප්‍රමාද වී ලබා ගැනීමට හැකි වුවත් වාතය නැත්නම් අපට විනාඩි 5ක් වත් ජීවත්වීමට අපහසු ය‍.

අද අපේ රටේ සිදුවන දරුණු වායු දූෂණය හමුවේ ඉදිරියේදී අපටත් පිරිසුදු වාතය ලබාගැනීම විශාල ගැටලුවක් බවට පත්වනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු හඟවති. අප එක් අයකුට සාමාන්‍යයෙන් දිනකට හුස්ම ගැනීමට ඔක්සිජන් ලීටර් 500ක් අවශ්‍ය වේ. ඒ ලීටර් 500ට වැයවන මුදල රුපියල් 40000ක් වේ. ඒ අනුව අපට පිරිසුදු වාතය නැතිවූ දාට අපට දිනක් ජීවත්වීමට හුස්ම ගැනීමට පමණක් රුපියල් 40000ක් අවශ්‍ය වේ. නමුත් දැන් මේ වාතය අපට නිකම් ලැබෙන නිසා අපේ පිරිසුදු වාතය ගැන අපි කිසිම ඇගැයීමක් නොකරමු.

කාර්මික තාක්ෂණ ආයතනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි අපේ රටේ පවතින වායු දූෂණය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාතයේ තිබිය යුතු උපරිම වායු දූෂණ ප්‍රමිති මට්ටමට වඩා ඉහළ අගයක් ගනී. ඒ අනුව නිසි ක්‍රියාමාර්ග නොගතහොත් අපේ ර‍ටටත් ඔක්සිජන් වායු බෝතල් රටින් ගේන්න තත්ත්වයකට පත්වීමට ඉඩ ඇතැයි මෙරට ඉහත විද්‍යාත්මක පර්යේෂණ ආයතනවල ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෝ අනතුරු අගවති.

මේ ගැන අපට කරුණු දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ එච්.ඩී‍.එස්. ප්‍රේමසිරි මහතා පැවසුවේ කොළඹ නගරයේ කොළඹ කොටුව දුම්රිය පළ අසල බොරැල්ලේ හන්දියේ, මරදාන හා පෑලි‍යගොඩ ප්‍රදේශවල සතියේ දිනවල වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු දූෂණය පිළිබඳ ප්‍රමිතියේ උපරිම මට්ටම් ඉක්මවා යන බවයි. ඊට අමතරව මහනුවර නගරයේ ප්‍රධාන බස් නැවතුම් පළ දෙක අසල හා ගැටඹේ පන්සල අසල මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලය අසල ද ක්ෂුද්‍ර අංශු නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රමිතියට ඉහළ මට්ටමක පවතින බවත් ඒ මහතා පෙන්වා දී ඇත. මීට අමතරව හොරණ නගරයේ ක්ෂුද්‍ර අංශු මට්ටම ඉහළ ‍ගොස් ඇති අතර දෙහිවල නගරයේ ද වායු දූෂණය ඉහළ මට්ටමක ඇත.

ඒ සමඟම කුරුණෑගල, කෑගල්ල වැනි නගරවල ද වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ සමීක්ෂණ අනුව හෙළි වී තිබේ. මීට අමතරව රත්නපුරය, ගාල්ල, මාතර, අනුරාධපුරය යන නගරවල වායු අංශ මට්ටම වැඩිවෙමින් පවතින බව ද පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. සල්ෆර් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායූන් ඉහත නගරවල 2012 සිට 2018 දක්වා කාලයේදී ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ප්‍රේමසිරි මහතා පෙන්වා දෙයි. පැට්‍රල්වල ඊයම් අඩු කිරීම හා ඩීසල්වල සල්ෆර් මට්ටම අඩු කළත් අපේ ප්‍රධාන නගරවල වායු දූෂණය 2015 සිට වැඩිවීම සිදුවෙමින් පවතී. මෙයට ප්‍රධාන හේතුව වැඩිවූ රථවාහන මගින් සිදුවන ඉන්ධන විමෝචනය නිසා වායු දූෂණය සිදුවීමයි.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදුකළ පර්යේෂණ අනුව අපේ රටේ ඉහත නගරවල ක්ෂුද්‍ර අංශු ප්‍රතිශතය 2014 සිට ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇත‍.

මීට අමතරව අපේ රටේ කොළඹ නගරයේ වායු දූෂණය ඊසාන දිග මෝසම් සමයේදී වැඩිවෙන අතර නිරිතදිග මෝසම් කාලයේදී අඩුවෙන බව ද පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

2018 දෙසැම්බර් 2 – 19 අතර කාලයේදී කොළඹ නගරයේ අඩි 50000 කට පහළ ප්‍රදේශයේ කළු දුම් වලා පටලයක් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයන්ට නිරීක්ෂණය මගින් හැකිවී තිබේ.

මේ අනුව ඉහත වකවානුවේදී පෙරවරුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ප්‍රේමසිරි මහතා කළ නිරීක්ෂණ අනුව ‍එම කළු දුම් වලාව දැකගත හැකිවී තිබේ‍. කොළඹ නගරයේ ඇති ක්ෂුද්‍ර වායු අංශු ප්‍රමාණය හා වායු දූෂක වායු ඉහළ මට්ටමට පත්වී ඇති නිසා මෙම දුම්වලාව ඇතිවී ඇතැයි‍ පැහැදිලි වී තිබේ.

මේ පිළිබඳව ගත් සියුම් ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙන්නේ අපේ කොළඹ වායු දූෂණය ඉහළට පවතින බවයි.

අප රටේ වායු දූෂණය පිළිබඳව තොරතුරු දැනගැනීමට ජංගම දුරකතන යෙදවුමක් (App එකක්) දැන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය මගින් හඳුන්වා දී ඇත.

මේ තත්ත්ව ය‍ටතේ අපි අපේ රටේ වායු දූෂණය අවම කිරීමට රාජ්‍ය මට්ටමින් හා පෞද්ගලික මට්ටමින් කටයුතු කළ යුතුව තිබේ.

එහෙත් මේ සඳහා රජය පැත්තෙන් ලැබී ඇති දායකත්වය මෙන්ම ජනතා සහයෝගය අවම බව ප්‍රවාහන ආර්ථික හා මූල්‍ය විශ්ලේෂක ආචාර්ය ඩී.එස්. ජයවීර මහතා පවසයි.

පසුගිය වසර 10ක සංඛ්‍යා ලේඛන බලන විට අපේ රටේ වාහන ප්‍රමාණය හා වාහන වලින් සිදුවන විෂ වායු පිටවීම එන්න එන්නම වැඩි වී ඇති බව ජයවීර මහතා සිය පර්යේෂණ අනුව අනාවරණය කරයි.

අලුත් ම සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය මාස දෙක ඇතුළත මෙරට ඉන්ධන මිල ලීටරයකට රුපියල් 20 – 25 අතර අඩුවීම නිසා වාහන පාවිච්චිය හා බාහිර පරිසරයට පිටවන විෂ වායු ප්‍රමාණයත් ඉන්ධන පාවිච්චියත් සියයට 30 ක් දක්වා වැඩි වී තිබේ.

අපේ ර‍ෙට් පොදු ප්‍රවාහන සේවාව ජනතාවට එපා වී තිබේ. ඒ අනුව දැන් පොදු ප්‍රවාහන සේවාවල ජනතාව යන්නේ සියයට 44ක් පමණ 2008 දී ජනතාව සියයට 68ක් පොදු ප්‍රවාහන සේවා ප්‍රයෝජනයට ගත්තේ ය. අද පෞද්ගලික වාහන (මෝටර් රථ - ත්‍රීවීල් - මෝටර් බයිසිකල් වෑන්) මගින් ජනතාව සියයට 56ක් රාජකාරිවලට යෑමට ඒමට ක්‍රියා කරති. 2008 දී පෞද්ගලික වාහන පාවිච්චි කළේ සියයට 32ක් පමණි.

2015 වසරේ සිදුවුණු ඉන්ධන මිල අඩුවීම බදු අඩු කිරීම නිසා ඉන්ධන පරිභෝජනය සියයට 50කින් වැඩිවී ති‍ෙබ්. මෝටර් රථ ලක්ෂ 5ක් 2015 දී මාර්ගවලට පැමිණ ඇත.

දැනට මෝටර් සයිකල් අයිතිය අනුව අ‍ෙප් රටේ ඇති මෝටර් සයිකල් ගණන ලක්ෂ 33කි. 2010 දී තිබුණේ මෝටර් සයිකල් ලක්ෂ 13ක් පමණි. ඒ අනුව මේ වසර අට ඇතුළත මෝටර් සයිකල් ලක්ෂ 20 ක් වැඩි වී තිබේ. ත්‍රීවීල් ‍රථ 2010 දී අපේ රටේ තිබ‍ුණේ ලක්ෂ 4කි. නමුත් දැන් මේ වනවිට ත්‍රිකෝණ රථ ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ති‍ෙබ්.

මේ අනුව සෑම වසරකම අලුත් වාහන ලක්ෂ 2 ක් පමණ මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ ඇණිවලට අලුතින් එකතුවෙන බව ද ආචාර්ය ජයවීර මහතා පවසයි.

2011 දී පෞද්ගලික වාහන ගිය සම්පූර්ණ දුර කිලෝමීටර් බිලියන 18කි. එය 2018 වන විට දුර කිලෝමීටර් බිලියන 40ක් දක්වා වැඩි වී ඇත. මෝටර් රථ පමණක් 2011 දී කිලෝමීටර් බිලියන හතරක දුරක් ගමන් කර ඇති අතර 2018 වන විට මෝටර් රථ ගමන් කළ දුර ප්‍රමාණය කිලෝ මීටර් බිලියන 7 දක්වා වැඩි වී ඇත.

මීට අමතරව මෝටර් සයිකල් 2011 දී ගමන් කර ඇති දුර කිලෝමීටර් බිලියන හතරකි.

එය 2018 වසරේ කිලෝමීටර් බිලියන 10 දක්වා වැඩිවී ඇතැයි ද ජයවීර මහතා පෙන්වා දෙයි.

අපේ රටේ ජනතාවගේ ඒක පුද්ගල ආදායම 2015 සිට වැඩිවී ඇත. නමුත් ඊට සරිලන පොදු ප්‍රවාහන මාධ්‍යයක් ක්‍රියාත්මක නොවේ. ඒ අනුව ජනතාව පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය වෙත යොමුවීම නිරන්තරයෙන්ම සිදු වේ.

මෙයට යම් විසඳුමක් ලෙස බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසින් යම් යම් යෝජනා තිබුණත් ඒවා තවමත් ක්‍රියාත්මක වී නැත. ඒ සමඟම දුම්රිය විදුලිකරණය පානදුර සිට වේයන්ගොඩ දක්වා 2024 දී ක්‍රියාවට නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මාර්ග තදබදය හා වායු දූෂණය අවම කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා සඳහා නවතම බස් රථ ගෙන ඒම අවශ්‍යය. ඒ අනුව ඒ බස් රථවලට සහන ලබාදීමට හා සුවිශේෂී මං තීරු ලබාදීමට යෝජනා කර තිබේ. ‘සහ සර’ නම් නව ව්‍යාපෘතිය යටතේ එම අලුත් පරිසර හිතකාමී බස් රථ රටපුරා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. දැනටම ඒ සඳහා ලංගමය මගින් නවීන බස් රථ ඇණවුම් කර තිබේ. මේ අතර වාහන ආනයනයේදී ආර්ථික දේශපාලන ව්‍යාපාරික කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී ඉතා සැලකිලිමත් ලෙස කටයුතු කළ යුතු ය. මක් නිසාද යත් අඩු මිලට පරිසරයට අහිතකර වාහන මෙරටට ගෙනාවොත් වායු දූෂණය වැඩි වී වාහන තදබදය ද වැඩි විය හැකි නිසා ය.

මීට අමතරව පසුගිය රජයත් අපේ රටේ වායු දූෂණය අඩු කිරීමට විවිධ පියවර ගෙන තිබේ. 2003 දී ඊයම් මිශ්‍ර පෙට්‍රල් අපේ රටට ගෙන්වීම තහනම් කර ඇත. ඊට පසුව ද්විත්ව පහර (2 stroke) ත්‍රීරෝද රථ මෙරටට ගෙන්වීම නවතා දැමූ අතර පසුව සල්ෆර් අඩු ඩීසල් ද අප රටට ගෙන්වීමට කටයුතු කර තිබේ.

ඊට අමතරව මෝටර් රථවලට ඉන්ධන වෙනුවට විදුලි බලය පාවිච්චියට උනන්දුව ඇති කරනු ලැබීය. පසුව දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන වල බදු අඩු කරනු ලැබූ අතර වාහනවල දුම් පරීක්ෂාව ද විධිමත් කරනු ලැබූ බව ආචාර්ය ජයවීර පෙන්වා දෙයි.

ලොව වායු දූෂණය පිළිබඳව අතීතයේ සිටම කතා බහ ඇති වී තිබේ‍. බ්‍රිතාන්‍යයේ ප්‍රථම එඩ්වඩ් රජු ලන්ඩන් නගරයේ නිවාසවල ගල් අඟුරු දහනය කිරීම හිස ගසා දැමිය හැකි වරදක් බව නීති මඟින් නියම කර තිබේ. ඉන් පසු 1861 මේ ලන්ඩන් නග‍රයේ තිබුණු කර්මාන්ත සියල්ල වායු දූෂණය අවම කිරීමට බාහිර ප්‍රදේශවලට යොමු කර ඇත. අපේ රටේ හදිසි අනතුරු නිසා වැඩියෙන් ම මරණ සිදුවූ අතර අපේ රටේ මාර්ගවලට ඊළඟ ප්‍රධානම හේතුව වී ඇත්තේ වායු දූෂණය හා සම්බන්ධ ශ්වසන රෝග බව කාර්මික තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ ආර්.එන්.ආර්. ජයරත්න මහතා පවසයි. වායු දූෂණය නිසා පිළිකා, මොළයේ ආබාධ, හෘදයාබාධ ඇතිවන බවත් මේ අනුව වායු දූෂණය අඩු කිරීමට කටයුතු කරන අයට දිරි ගැන්වීම් කළ යුතු බවත් ජයරත්න මහතා පවසයි. වායු දූෂණයට සම්බන්ධ සියලුම ආයතනවල නියෝජිතයන් ගෙන් සමන්විත වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රය යළි ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය බව ද ජයරත්න මහතා කියයි.

පැරිස් සම්මුතිය හා කියෝටෝ සම්මුතිය අනුව කටයුතු කරමින් රජය ද පරිසර අමාත්‍යාංශය ද මෙරට වායු දූෂණය අවම කිරීමට කටයුතු සිදු කරමින් සිටින බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ සුනිමල් ජයතුංග මහතා පවසයි.

ඒ අනුව 2018 දී මෙරට දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය මගින් ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර 14කින් සිදුවන පරිසර දූෂණ කටයුතු අවම කිරීමට සැලසුම් සකස් කර ඇත. රජයත් වාහන පාවිච්චි කරන සැම දෙනාද මේ මහා පාරිසරික ගැටලුව පිළිබඳව අවධානය යොමු කර අපට කෙසේ වෙතත් අපේ දරු පරපුරට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් ඉතිරි කිරීම කාලීන යුතුකමක් බව අපිත් අවධාරණය කරමු.

රටේ වායු දූෂණය ඉහළ යෑම පිළිබඳව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ ඒකකය දැඩි අවධානයෙන් කටයුතු කරයි‍. එහි අධ්‍යක්ෂ සුගත් ධර්මකිර්ති මහතා පවසන පරිදි වාහනවලින් වන වායු දූෂණය අඩු කිරීම පිණිස වාහන දුම් සහතිකය ලබාදීම දැඩි නීති රීති යටතේ සිදුකිරීමටත් මෙරටට ගෙන්වන සියලු වාහන දැන් යුරෝ ප්‍රමිතිය අනුව ගෙන්වීමටත් රජය තීරණය කර ඇත.‍ ඒ අනුව රටේ වායු දූෂණය අවම කිරීමට ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරියටත් වැඩ කටයුතු රැසක් ක්‍රියාවට නංවන බව ද සුගත් ධර්මකීර්ති මහතා පවසයි.

(වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවකදී කළ දේශන ඇසුරෙනි)

 

 

අදහස්