ජයග්‍රහණයේ වර්ණය මොන තරම් ලස්සනදැයි ලෝකයට කියා දුන් ආලෝකය නොදකින දරුවෝ | සිළුමිණ

ජයග්‍රහණයේ වර්ණය මොන තරම් ලස්සනදැයි ලෝකයට කියා දුන් ආලෝකය නොදකින දරුවෝ

  • කුඩා දවස්වල සිට රෝහල්වල ගත කළ අත්දැකීම නිසා ගුවනිට වෛද්‍යවරියක වීම එපා වෙලා
  • පූර්ණ අන්ධ වුණ දවසේ ඉඳන් තවරාජා හිටියෙ ළමා නිවාසෙක

බිඳ වැටුණු ජීවිත විභාගයෙන් සමත් කළ ආකාරය පිළිබඳ අපූරු කතා විභාග ප්‍රතිඵල නිකුත් වු වහාම අපි ලිව්වෙමු. විභාගයෙන් සමත්වුවන්ගේ අපූරු ජයග්‍රහණයන් වාර්තා කළෙමු. උසස් පෙළ ජයග්‍රහණයේ කතාව දැන් අමුතු ආශ්වාදයක් උපදවන්නේ නැත. එහෙත් ජයග්‍රහණයේ අපූරුව ඇත්තේ අප ස්පර්ශ කරන මට්ටමට එපිටින් බව අපට කියාදෙමින් සිටි පිරිසක් වූහ. ඔවුන්ගේ ජයග්‍රහණ අපව සංවේදී කළා පමණක් නොව, මතු වන ප්‍රශ්නවලදී අපේ ධෛර්ය හා අධිෂ්ඨානය මොන තරම් දුප්පත් දැයි ඔවුහු සිනා මුසු මුහුණින් යුතුව පෙන්වා දුන්හ. මේ දරුපැටවු එක මොහොතකදී තමන් බිඳ වැටුණු පිරිසක් නොවන බවත් තමන්ට අවශ්‍ය අනුකම්පා නොව විශ්වාසය‍, පිළිගැනීම හා ධෛර්යය බවත් කියමින් සිටියහ. අප ඔබට ලියන මේ මුල්ම කතාව මොහොතකට අපව කම්පනයට පත් කරවයි.

ඔහු පුතෙකි. මේ දිරිය දරුවා උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ යාපනයේ තෙලිප්පලෙයි යුනියන් විද්‍යාලයෙනි. ඔහු තවරාජා ඇන්ඩෘෘ ජැක්සන්ය. මේ දරුවා දැන් පූර්ණ අන්ධය. මේ අන්ධ දරුවාගේ නවාතැන ළමා නිවාසයකි. අන්ත දුගී මවුපියන් ඉන්නේ මන්නාරමේය. දෑස් අඳ තරුණයා නඩත්තු කර ගත නොහැකි මවුපියෝ අධ්‍යාපන කටයුතු උදෙසා ඔහු එම ළමා නිවාසයට භාර කළහ.

ඒ තවරාජා පුතණුවන් මෙවර උසස්පෙළ විභාගයෙන් සමත්වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ තුන් වැනියා ලෙසය. විශිෂ්ටතමයන් අතර සිටින ඔහු ලබා ඇති ඉසඩ් අගය 2.2094 කි.

සවස් කාලයේ තවරාජාට දුරකථනයෙන් කතා කරන විට ඊට පිළිතුරු දුන්නේ ඔහු රැඳී සිටින යාපනයේ තෙලිප්පලෙයි චුන්නාකම් ''වාල්වගම්'' නැමති විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ට රැකවරණය සපයන ළමා නිවාසයේ බාරකරුය.

තවරාජා සමඟ කතා කිරීමට අවස්ථාව උදා වූ විට ඔහු ඉතාම සං‍යමයෙන් යුතුව ඔහු ගැන කියා සිටියේය.

''මම දැන් යාපනයේ මේ ''වාල්වගම්'' ළමා නිවාසයේ ඉන්නේ. මම මෙහාට ආවේ මගේ ඇස් දෙකම පෙනෙන්නේ නැති නිසයි.

මම මන්නාරමේ ඉරුක්කලම්පිඩ්ඩි තෝට්ටවේලී ගම්මානයේ ජීවත් වුණේ. මට අක්කා අයියා නංගී මල්ලී එක්කෙනා ගානේ ඉන්නවා. මගෙ තත්තාගේ රස්සාව මාළු අල්ලන එකයි. ඔහු ධීවරයෙක්. මුහුදු යනවා. අම්මා මොනවත් කරන්නේ නෑ.

මට පුංචි කාලෙදි හොඳට ඇස් දෙක පෙනුණා. වයස අවුරුදු දාහතරේ දි මම ලෙදර් බෝලවලින් ක්‍රිකට් ගහන්න ගිය වේලාවක මගේ ඇස්වල ඒ බෝලය වැදුණා. ඇස් තුවාල වුණා. බෝලයේ තිබුණු විෂබීජයක් ඇස් දෙකටම ගිය නිසා මගේ ඇස් දෙකම නොපෙනී ගියා. කොච්චර ප්‍රතිකාර කළත් ඒක යථා තත්ත්වයට ගන්න බැරි වුණා. මගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වුණා.

මම මේ ගැන ගොඩාක් දුකෙන් ඉන්න කොට තමයි මාව මේ ස්ථානයට යොමු කළේ. එදා ඉඳලා මගේ ගෙදර මේකම වුණා. මේ ළමා නිවාසයට ළඟ තියන යුනියන් විද්‍යාලයට තමයි මම ගියේ. ඊට පස්සෙ මුල ඉඳන්ම මගෙ අධ්‍යාපනය බ්‍රේල් ක්‍රමයෙන් හැදෑරුවා.

ඉස්කෝලෙදි මට මගේ අසරණකම තේරුණා. එක නිසා මම හිතා ගත්තා ඉගෙන ගත්තොත් තමයි ජීවිතයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ කියලා. මම ඉතින් ඉගෙන ගත්තා. මම උසස් පෙළ විභාගය අනෙක් ළමයින් එක්ක ලිව්වේ බ්‍රේල් ක්‍රමයෙන්මයි. ඉහළින්ම විභාගය පාස් වුණා. මට හරිම සතුටුයි. ඒ වගේම තමයි මට රැකවරණය දුන්න තැනටත් මම ඉගෙන ගත්ත පාසලටත් මට ගෞරවයක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා.''

ඇන්ඩෘගේ කතා විලාශයේ කිසිදු වෙනසක් නොවීය. බොහෝ දෙනෙකු සිය සතුට දුක විස්තර කරද්දී ගොත ගසමින් කතා කළත් තවරාජාගෙන් එවැන්නක් දක්නට නොලැබිණි. ඔහුගේ ජීවිතයේ ඉලක්කයටම ඔහුට යෑම අවශ්‍ය වූවා සේම ඔහුගේ ජීවිත කතාවද ඉතාම මැනවින් පෙළ ගැස්වීමට ඔහුට හැකියාව තිබිණි.

තවරාජා මේ ඉහළ අධ්‍යාපනයෙන් සමාජයට කුමන අන්දමේ සේවාවක් කරන්නෙක්ද යන්නද මට ඔහුගෙන් දැනගැනීමට අවශ්‍ය විණි. මෙවැනි චරිත හමු වූ විට එය කාහටත් පොදුවේ සිතට නැඟෙන ප්‍රශ්නයකි.

''මම විභාගය කළේ කළා අංශයේ විෂයන්වලිනුයි. දේශපාලන විද්‍යාව, ඉතිහාසය, හා දෙමළ භාෂාව කියන විෂයයන් තුනටම ඒ සාමාර්ථ්‍ය ලබාගෙන තමයි මම යාපනය දිස්ත්‍රික්කයේ තුන්වෙනි ස්ථානයට පත් වුණේ.

මම එදා ඉඳලම හිතාගෙන හිටියේ හොඳට ඉගෙනගෙන ජනතාවට සේවය කරන්නට පුළුවන් රැකියාවක් කරනවා කියලයි. ඉතින් මගේ ඇස් දෙක පෙනෙනෙත් නෑ. ගොඩාක් තැන්වල ඇවිදලා කරන රස්සාවක් මට කරන්න අමාරුයි. ඒක නිසා මේ සේරටම ගැළපෙන විදිහට මම නීතිය හදාරලා ඉස්සර වෙලාම නීතිඥයෙකු වෙන්නට හිතාගෙන ඉන්නවා.

ඒක රැකියාවකට වඩා ජනතාවට සේවය කරන්න පුළුවන් සේවයක්. ඉතින් මම ඒක තමයි තෝරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒකට මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ගුරුවරු මේ මම ඉන්න ළමා නිවාසේ පාලකවරුන් ඇතුළු සියලු දෙනාත් කැමතියි. ඒක නිසා මම ඒ අරමුණ කරා යොමු වෙනවා''

ඊළඟ කතාව ගුවනිගේය. ගුවනි කරුණාරත්නගේය. ඇය ඉගෙනගත්තේ කෑගල්ල ශාන්ත ජෝෂප් විද්‍යාලයේය. ගුවනි ලෝකයේ පාට දුටුවේ යන්තමින්ය. ගුවනි තවරාජාට වඩා නම් වාසනාවන්තය. ඇයට තවමත් ඉතා සීමිත පෙනීමක් තිබේ. උපතින්ම දෘෂ්‍යාබාධිත ගුවනි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු ලෙසිනි. එහෙත් ගුවනි මෙවර උසස් පෙළ ගණිත අංශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවැනියා ය. විෂයයන් තුනටම ඒ සාමාර්ථ්‍ය රැගෙන සමත් වූ මේ දිරිය දියණියගේ කතාවත් බොහෝ දෙනෙකුට පාඩමක් වැනිය.

උපතින්ම උරුම වු පෙනීමේ අඩුපාඩුව සමනය කරන්නට ඇයගේ මවුපියන් වන අචිනි ධර්මප්‍රිය හා ජයලත් කරුණාරත්න නොගත් වෙහෙසක් නැත. එහෙත් එය ඉටු නොවුණු පැතුමක් වී තිබිණි.

ගුවනි ඇය ගැන කතා කළාය. ‍

“ පොඩි කාලයේ ඉඳන්ම මගේ පෙනීම බොහෝ දුරට අඩුයි. මට මතක ඇති කාලයේ පටන්ම ඇස් රෝහල්වල තමයි කාලය ගෙවුණේ. කිසිම දෙයක් එක පාරට කියවා ගන්න බැහැ. දුර පේන්නේ නැති නිසා පන්තියේ වාඩි වුණාම කළු ලෑල්ලේ ගුරුවරුන් ලියන දේවල් පේන්නේ නැහැ. කළු ලෑල්ල පේන්නේ නැති වුණාම ටීචර් කියන එක අහගෙන ඉඳලා ගෙදර ගිහින් හිතලා සටහන ලියන්න පටන් ගන්නවා. මේ වේලාවට මගේ යාළුයෝ වගේම ගුරුවරුත් ගොඩාක් උදවු කළා. ඇස් පෙනීමේ අඩුපාඩු නිසා වාර විභාගවලට ලකුණු අඩු වුණා. ඒ වේලාවට දරාගන්න බැරි දුකක් ඇති වුණා.

මම ශිෂ්‍යත්වයෙන් ලකුණු 138 ක් ලැබිලා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවට ගියා. ඒ යද්දි හිතට ටිකක් භය හිතුණා, මේ තත්ත්වය මත මට වැඩ කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා. අලුත් පාසලට ආපු මුල් දවස්වල මම පන්තියේ ඉස්සරහ පේළිය ඉල්ලන්න ගියේ නැහැ. කොහොම හරි ලැබුණු තැනම වාඩි වෙලා අමාරුවෙන් වැඩ කරගෙන ගියා. වාර විභාගවල ලකුණු අඩු වුණත් මම මහන්සි වෙලා පඩම් කරලා සාමාන්‍ය පෙළට 'A' 6ක් හා ;'B' 3ක් ගත්තා.

පොඩි කාලේ ඉඳන්ම මම ගත කළේ රෝහල්වලමයි. ඒ නිසා මට ජීව විද්‍යාව කරලා වෛද්‍යවරියක වීමේ හීනය එපා වෙලයි තිබුණේ. මට ඇස් පෙනීමේ ප්‍රශ්නය නිසා සටහන් ලිවීම අපහසු වුණා. මේ නිසා උසස් පෙළ කරද්දි මට තිබුණු එකම විකල්පය වුණේ ගණිත අංශයෙන් උසස් පෙළ කරන එක. ඒ හින්දා මම මහන්සි වෙලා ගණිත අංශයෙන් උසස් පෙළ කළා. ඒත් නිතරම ගණන් හැදීමත් ඇහැ‍ට ගොඩාක් වෙහෙස කර වුණා. ඒත් කළ යුතු දෙයක් තිබුණේ නැති නිසා අමාරුවෙන්ම පාඩම් වැඩ කරගෙන ගියා. මේ නිසා මම පාඩම් කරද්දි නිතරම මට ඇස් රෝහල්වලට යන්න සිදු වුණා. උසස් පෙළ පාඩම් ගොඩාක් පාඩු වුණා. මම මුල් වතාවේ උසස් පෙළ ලිව්වා. එතකොට 'B' 2 යි, 'C' 1 යි ලැබුණේ. මට හිතුණා මම තව මහන්සි වුණොත් ලබන වතාවේ මීට වඩා හොඳින් පාස් වෙන්න පුළුවන් කියලා. මේ නිසා මම නැවතත් මහන්සි වෙලා පාඩම් කරන්න පටන් ගත්තා...“

“ දෙවැනි වතාවේ විභාගයට පාඩම් කරද්දි ගෙදර අය බය වුණා. ඒ අය හිතුවා යන්තම් පේන එකත් නැති වෙන්න වැඩක් තමයි මේක කියලා. බොහෝ දිනවල රාත්‍රියට ඇහැරගෙන ඉන්න එක ඇත්තටම හරිම මහන්සියක් තමයි. විභාගයේදි මට විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුට හිමි වන අලෝකය වැඩි ස්ථානයක හිඳගෙන ලියන්න අවස්ථාව ලැබුණා. “ ගුවනි කියන්නීය.

ගුවනිගේ අම්මා පිරී ඉතිරෙන සතුටිනි.

“ දුව මෙවර ගොඩාක් හොඳින් සමත්වෙයි කියලා අපේ විස්වාසයක් තිබුණත් එයා මේ දිස්ත්‍රික්කයෙන් ඉහළ තැනකට එයි කියලා හිතුණේ නැහැ. එත් එයා ගණිත අංශයෙන් මෙවර පාසලේම දෙවැනි ඉහළ ලකුණු ලබා ගත්තා. පොඩි කාලයේ පටන්ම දුවගේ ඇස් පෙනිමේ ප්‍රශ්න තිබුණු නිසා එයා ඉපදුණ දා පටන්ම අපි එයාව ගෙනියන්න පුළුවන් හැම රෝහලකටම ගෙන ගියා . ඒත් වෛද්‍යවරුන් කිව්වේ මෙය හොඳ කරන්නත් බැහැ, ශල්‍ය කර්මයක් කරන්නත් බැහැ කියලයි. මේ අඩුපාඩු තිබුණත් දුව හරිම උනන්දුයි.

ඒත් විභාගයට පාඩම් කරද්දි නිතරම එයාගේ ඇස් බොඳ වෙන්න පටන් ගත්තා. එයා උත්සාහය අත්හැරියේ නැහැ. ටිකක් වේලා නිදිය ගෙන ආයිත් නැඟිටලා පාඩම් කරන්න පටන් ගන්නවා. කොහොම වුණත් අද දුව අපි බලාපොරොත්තු නොවුණට වඩා දුර ගිහින්. එදා දුක් වුණ අපි අද ගොඩාක් සතුටින්...“ ගුවනිගේ මව අචිනි කීවාය. දැන් ගුවනී මොරටුව සරසවියට ඇතුළත්ව ඉංජිනේරුවරියක වීමේ අරමුණ පෙරදැරිවය.

ලෝකයේ විචිත්‍රත්තවය නොදකින මේ දිරිය දරුවෝ ජයග්‍රහණයේ වර්ණය මොන තරම් විචිත්‍රදැයි ලෝකයට දෙමින් සිටිති. ඒ මිහිර අපව පුරවාලයි.

එහෙත් මෙවැනි ජයග්‍රහණයක් අබියසදීවත් සමාජය ඉදිරියට එන්නට මැළි වන විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ වෙති. සමාජය පිළිබඳ තවමත් ඔවුහු තිගැස්මෙනි. ඉන් නොකියා කියන්නේ අප නොදැනුවත්වම ඔවුන් දෙවෙනි කොට සලකා ඇති බවය. අප අපේ ගෝත්‍රික ප්‍රකාශන සමාජය ඉදිරියේ එළිදක්වා ඇත්තේ ඉතා ප්‍රාථමික ලෙස බවය. මේ දරුවන් වෙන් කොට නොසලකන තෙක්, ඔවුන්ට අභිමානය හා විශ්වාසය ලබා දෙන්නට සූදානම් නොවන තෙක් අප මනුෂ්‍යත්වයේ පුංචිම අංශුවක්වත් ස්ඵර්ශ කරන්නේ නැත.

සුභාෂිණි ජයරත්න

රසුල දිල්හාර ගමගේ

අදහස්