යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු | සිළුමිණ

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

  • මූලික වෛද්‍ය ප්‍රතිකාර අනතුර සිදු වූ තැනදීම
  • ජීවිතයත්A අතත් බේරුණ රෝගියා මහනුවර රෝහලේ සුවය ලබමින්...
  • හිරවුණ අත ගලවන්න කෝටියකට වැඩි මුද්‍රණ යන්ත්‍රය කපලා

අම්පාර තරිඳු ඕෆ්සෙට් ප්‍රින්ටර්ස් ආයතනය නැඟෙනහිර පළාතේම විශාලතම මුද්‍රණාලයයි. එදා දෙසම්බර් 28 වැනි දාය. නව වසරට තව දින කිහිපයක් ඇති නිසා මුද්‍රාණාලයේ වැඩකටයුතු අධික විය මුද්‍රණ යන්ත්‍රයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. එය ජර්මනියේ නිෂ්පාදිත නවීනතම යන්ත්‍රයකි. විදුලි කාර්මික අංශය කළ සුළු අලුත්වැඩියාවකින් පසු මුද්‍රණ යන්ත්‍රයේ වැඩකටයුතු ආරම්භ වූයේ සවස 3ට පසුවය.

මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස වසර 30ක අත්දැකීම් ඇති ගාල්ල ප්‍රදේශයේ පදංචි මුණසිංහ එම ආයතනයේ සේවයට පැමිණියේ සති දෙකකට පෙරදීය. තවත් සඟයෙකු සමඟ ඔහු එම මුද්‍රණ යන්ත්‍රයේ වැඩ කරමින් සිටියේය. සියල්ලෝම කඩිමුඩියේ වැඩය. සිය මුද්‍රණ කටයුතු කරගන්නට පැමිණි අයගෙන් ආයතන පරිශ්‍රය පිරිලාය. මුද්‍රණ ආයතනයේ හිමිකරු මෙත්තාන්නද රූපසිංහට එකවරම ප්‍රධාන මුද්‍රණ යන්ත්‍රයේ ශබ්දය වෙනස් වන අයුරු ඇසිණි. සැණෙකින් ඔහු එදෙස බැලීය. ඒ සැණින් යන්ත්‍රය නැවතිණි. ඇසුණේ මාරාන්තික විලාපයකි. රූපසිංහ ඇතුළු පිරිස සැණෙකින් ඒ දෙසට දිව ගියහ.

දුටු දෙයින් ඔවුහු බිරාන්ත වූහ. මුද්‍රණ යන්ත්‍රයේ ක්‍රියාකාරුගේ අත යන්ත්‍රයේ දැති රෝදවලට හසුව සිර වී තිබිණි. අත හසුව තිබුණේ කොළ දමන සහ පිටවන පැත්තෙන් නොව යන්ත්‍රයේ මැදිනි. අත උරහිස ආසන්නය තෙක් එම රෝදවලට හසුව අනෙක් පසින් මතුව තිබිණි.

“ අනෙක් පැත්තට කරකවලා ගමු ... ” එතැන සිටි පිරිස කෑගසන්නට වුවෝය.

“ එහෙම කරන්න එපා... එහෙම වුණොත් ආයේ ආපස්සට ගද්දි වීල් වලට අහුවෙලා අත ගන්න දෙයක් නැති වෙයි” මුද්‍රණාලය හිමිකාර රූපසිංහ කෑගසා කීවේය. ඔහු සිය පුතු තරිඳුව ඇමතුවේය.

“හරියන්නේ නෑ පුතේ... මැෂිම ආපස්සට ගත්තොත් කරදරයක් නැතිව අපේ මැෂිම බේරගන්න පුළුවන්. නමුත් අත ගන්න දෙයක් නැති වෙනවා. මැෂිමට මොනවා වුණත් කමක් නැහැ කොහොම හරි මෙයාගේ අත බේරගන්න මට ඕනෑ. ඒ හින්දා මැෂිම කපමු. ” තරිඳු සිය පියා දෙස බැලුවේ වික්ෂිප්තවය.

යන්ත්‍රයට අත හසු වූ මුද්‍රණ සේවක මුණසිංහ වේදනාවෙන් කෑ මොර දෙමිනි. සියලු දෙනාම කලබයට පත්වය. ඔවුහු එහේ මෙහේ දුවති. මුද්‍රණ යන්ත්‍රවලට හසුව මෙවැනි අනතුරු වන සෑම අවස්ථාවකම සිදු වන්නේ යන්ත්‍රය ආප්සසට කරකවා සිරවූ අත ඉවත් කිරීමය. නැත්නම් යන්ත්‍රය ගැලවීමය. නමුත් මෙවැනි මුද්‍රණ යන්ත්‍රයක් ගලවන්නට අවශ්‍ය කර්මිකයන් අම්පාරේ නැත. ඔවුන් කොළඹ ප්‍රදේශයෙන් ගෙන්වා ගත යුතුය. ඒ සඳහා අඩුම තවත් දවසක්වත් ගත වේ. ඔවුන්ට යන්ත්‍රය ක්‍රමානුකූලව ගලවන්නටත් අඩුම තරමේ වරුවකට වඩා වැඩි කාලයක් ගත කරන්නට සිදු වේ. යන්ත්‍රය බේරා ගන්නට යෑමෙන් තම සේවකයාගේ ජිවිතය අවධානයට පත්වන බව දැනගත් රූපසිංහ නිශ්චිත තීන්දුවක් ගත්තේය.

“ගැරේජ්වල ඉන්න වෑල්ඩින් කරන අයට අදාළ උපකරණත් එක්ක එන්න කියන්න. අපි මැෂින් එක කපමු.”

ඒ සැණින් එතැන සිටි අයෙක් අම්පාර රෝහලේ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ගයාන් ගාල්ලගේට මෙම සිදුවීම දැනුම් දුන්නේය. තම බිරිය සමඟ ගමනක් යමින් සිටි වෛද්‍යෙවරයා යන ගමන නවතා සැණෙකින් එම ස්ථානයට පැමිණියේ ය. තත්ත්වය දුටු වහාම ඔහු ඒ බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධිකාරී හංස රාමනායකට දැනුම් දුන්නේය. විනාඩි 15ක් යන්නට මත්තෙන් වෛද්‍ය ප්‍රමිත ක්‍රිෂාන් තිලකරත්න ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් හෙදියන් දෙදෙනකු ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් සමග අවශ්‍ය උපකරණද රැගෙන ගිලන් රියකින් පැමිණියේය. අම්පාර රෝහලේ ගලවා ගැනිමේ වෛද්‍ය කණ්ඩායම පැමිණ තුවාලකරුගේ ජිවිතය ආරක්ෂා කරන්නට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කළේය.

තවත් ටික වේලාවකින් අවට ගරාජ්වල කිහිප දෙනෙකු අදාළ යකඩ කැපිමේ උපකරණද රැගෙන එම ස්ථානයට පැමිණියහ. තුවාලකරුගේ සිරුරට සේලයින් ලබා දෙමින් වේදනා අඩු කරන ඔසු ලබා දෙමින්, තුවාලකරුව සන්සුන් කරමින් මෙම වෛද්‍ය කණ්ඩායම ප්‍රතිකාර කරද්දී ගරාජ් කාර්මික පිරිස රුපියල් කෝටියකට අධික වටිනාකමක් සහිත මුද්‍රණ යන්ත්‍රය කැපීමට සූදානම් වූහ.

දැන් තවත් ගැටලුවකි. ඒ යන්ත්‍රය තුළ තිබෙන්නේ වහා ගිනි ගන්නා සුළු තීන්ත වර්ගය. යන්ත්‍රයේ ලිහිසිතෙල්වලටද ද ගිනි ගැනීමට හැකිය. ඒ නිසා මෙම යකඩ කැපීමට යොදාගන්නා ඔක්සිජන් ටැංකි භාවිත කර යන්ත්‍රය කැපිය නොහැකිය. එහෙත් ඒ අවදානම ගනු හැර වෙනත් කළ හැකි දෙයක් නොතිබිණි. ආයතනයේ ඇති සියලු ගිනි නිවන උපකරණ යන්ත්‍රය අසලට ගෙනැවිත් තැන්පත් කෙරිණි. අනතුරුව අතේ එළියේ තිබෙන කොටස ආවරණය කෙරිණි. යන්ත්‍රයේ කපන දැතිරොද සහිත යකඩ කොටසට ජලය යොදමින් සෙමෙන් සෙමෙන් මුද්‍රණ යන්ත්‍රය කැපීම ඇරැඹිණි.

වෛද්‍ය ප්‍රමිත තුවාලකරුට අවශ්‍ය සේලයින් හා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් තුවාලකරුගේ ජිවිතය බේරාගැනිමට කටයුතු කළේය. ඒ වනවිටත් අධික ලෙස රුධිරය වහනය වී තිබිණි. ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ සිදු කරන ප්‍රතිකාර අනතුරට පත් පුද්ගලයාට අනතුර සිදුවූ ස්ථානයේ දී කරමින් සිටින වෛද්‍ය කණ්ඩායමකි. සිය සේවකයා අබ්බගාතයෙක් නොකර ඔහුගේ ජීවිතය බේරා දීම සඳහා මුද්‍රණ යන්ත්‍රයේ පෙන්වන ඕනෑම කොටසක් කපා දැමීමට උපදෙස් දෙන මනුෂ්‍යත්වය පිරුණු ව්‍යවසායකයෙකි. මනුෂ්‍යත්වයේ හැඩය කුමක් විය යුතුදැයි වැඩබිමක දී පෙනෙමින් තිබිණි.

අනතුර සිදු වූයේ සවස 6.45ට පමණය. යන්ත්‍රයේ කොටස් එකින් එක කපා දමා තුවාලකරු මුදාගත්තේ රාත්‍රි 9. 15 ට ය. ඔහුගේ අත වැළමිමෙන් පහළ කොටස තැළී පොඩිව තිබිණි. නිසි ප්‍රතිකාර එම ස්ථානයේම සිදු කළ සැණෙකින් තුවාලකරු අම්පාර රෝහල වෙත රැගෙන ගියේය. ඒ වන විටත් අම්පාර රෝහලේ විශේෂඥ වෛද්‍ය ලෝචන කුමාරගම ඇතුළු වෛද්‍යවරු සහ රෝහල් මණ්ඩලය රෝගියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන්නට සුදානම්ව සිටියහ. දැඩි ලෙස රුධිරය වහනය වී තිබුණු රෝගියාට රුධිර පාරවිලනය අම්පාර රෝහලේදී සිදු කෙරිණි. අත බේරාගැනීමට හැකි බව වෛද්‍යවරු තීන්දු කළහ.

ඉන් පසුව වැඩි දුර ප්‍රතිකාර කිරීමට තුවාලකරු මහනුවර රෝහල වෙත පිටත් කෙරිණි. එහිදි මහනුවර රෝහලේ වෛද්‍යවරු කළ සාර්ථක ශල්‍යකර්මයකින් අනතුරුව මේ වන විට තුවාලකරු මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් හිඳී.

වෛද්‍ය ගයාන් ගාල්ලගේ සිය අත්දැකීම මෙසේ කීය “ඒ වෙලේ යන්ත්‍රය ආපස්සට ගත්තා නම් අත දෙකට කැඩෙනවා. රූපසිංහ මහත්තයා මැෂින් එක කපලා අත බේරගනිමු කියන මතයේ හිටිය නිසා රෝගියාගේ අත කැඩෙන්නේ නැතිව ගන්න හැකි වෙයි කියලා අපිට විශ්වාසයක් තිබ්බා. අත හම ගිහිල්ලා ඇඹරිලා ලේ ගොඩක් යනවා. මම එකින් එක යන්ත්‍රයේ කොටස් කපන්න කිවාම ඔවුන් ඒ එක එක කොටස් කපා දැම්මා. ඒ වැඩේ ඉතා පරිස්සමට කරන්න සිදු වුණා. අතට සිදුවු හානිය වැඩි නොවෙන්න ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න අපට සිද්ධවෙලා තිබුණා. එය ඉතා අපහසු දෙයක්. වැදගත්ම දේ මෙතැනදි මතුවෙච්චි මනුස්සකම. යන්ත්‍රයට වෙන හානිය ගැන රූපසිංහ මහත්තයා එක මොහොතක්වත් කල්පනා කළේ නෑ. අත බේරාගන්න අවශ්‍ය නිසා මම පෙන්නන හැම කොටසක්ම කිසිදු පැකිළීමකින් තොරව කපන්න ඔහු සූදානමින් හිටියා. අතට රස්නය නොඑන්න ඒ කාර්ය සිදු කළ යුතු නිසා සෑහෙන කාලයක් ගත වුණා.

අපි ගොඩක් වෙලාවට ප්‍රාථමික වෛද්‍ය ඒකකයේදි තමයි මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්න පටන් ගන්නේ. නමුත් අනතුර සිදුව ස්ථානයේ අනතුර මැද ඉන්න තුවාලකරුටයි අපි ප්‍රතිකාර කළේ. ඒ අනුව රෝගියාගේ ජිවිතය බේරා ගැනිමට හැකි වුණා. අතත් බේරාගන්නට හැකි වුණා. නැති නම් රෝගියා මරණයට පත් වීමේ දැඩි අවදානමක් තිබ්බා.”

ආයතනයේ හිමිකරු මෙත්තානන්ද රූපසිංහ මහතා ද අප සමඟ කතා කළේය. “මට ඕන වෙලා තිබුණේ මේ අසරණ මනුස්සයගෙ අත බේරගන්න. මගෙ වහලෙ යට වැඩ කරපු අසරණයෙක් මැරෙන්න දාලා මේ යකඩ ගොඩක් බේරගෙන මොනවා කරන්න ද?. මැෂිමට වෙච්චි පාඩුව කොච්චරද කියන්න තේරෙන්නෙ නෑ. පාඩු වෙච්චි බිස්නස් කොච්චරද කියලා දන්නෙත් නෑ. ඒ කිසි දෙයක් වැදගත් නෑ. ආර්ථික පාඩුව වළක්වා ගන්න ඕන නම් මට තිබුණෙ තත්පර දෙක තුනක තීන්දුවක් අරගන්න. මැෂිම ආපස්සට කරකවන්න. එච්චරයි. සල්ලි හම්බ කරගන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ මිනිස්සු විදිහට ජීවත් වෙන එක.

අදහස්