පීපල්ස් ලීසිං වෛද්‍ය සායනයක් හා ජංගම සේවා වැඩසටහනක් | සිළුමිණ

පීපල්ස් ලීසිං වෛද්‍ය සායනයක් හා ජංගම සේවා වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මහරගම ශාඛාව මහරගම පොලිස් ස්ථානය සමඟ එක්ව විශේෂ වෛද්‍ය සායනයක් හා බහුවිධ ජංගම සේවා වැඩසටහනක් පසුගියදා මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයේ දී පවත්වනු ලැබීය. බටහිර වෛද්‍ය සායනයක්, නාවින්න ආයූර්වේද දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවෙන් දේශීය වෛද්‍ය සායනයක්, දන්ත රෝග සායනයක්, පවුල් සංවිධාන සංගමයෙහි සහයෝගීතාවෙන් පියයුරු හා ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කෙරෙන සුවනාරී සායනයක්, ඇස් පරීක්ෂාව හා හෝමාගම සිංහ සමාජයේ අනුග්‍රහයෙන් ඇස් කන්නාඩි ප්‍රදානයක්, තලවතුගොඩ හේමාස් රෝහලේ සහයෝගීතාවෙන් දියවැඩියා රෝග පරීක්ෂාවක්, වකුගඩු රෝග වෛද්‍ය සායනයක්, වකුගඩු රෝගය පිළිබඳ දැනුවත්කිරීමේ දේශනයක්, මරණයෙන් පසු වකුගඩු දන්දීමේ කැමැත්ත පළකිරීමේ කාඩ්පත් ප්‍රදානයක් හා මහරගම නගරය, මහරගම බටහිර, පන්නිපිටිය උතුර හා දකුණ, ගොඩිගමුව උතුර හා දකුණ යන ග්‍රාමසේවා වසම් හි පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත් හා වැඩිහිටි හැඳුනුම්පත් සැකසීමේ වැඩසටහනක්ද පැවැත්විණ. එයට අමතරව මෙම වැඩසටහනට සහභාගීවන්නන්ගේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ට තැන්පතුවක් සහිත ‘සෙනෙහස්’ ඉතුරුම් ගිණුම් ප්‍රදානය කිරීමක්ද සිදුවිය.

මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජිව බණ්ඩාරනායක, ප්‍රධාන කළමනාකාරිනි, ප්‍රියංකා විමලසේන, මහරගම පොලිස් ස්ථානාධිපති, පී. එස්. මීඩින් හා හෝමාගම සිංහ සමාජයේ සභාපතිනි, ජනිතා සඳසිංහ යන මහත්ම මහත්මීහූ සහභාගී වූහ.

අදහස්