ශ්‍රී ලංකා ටෙලිකොම් ජාතියට තිළිණ කළ ඉංජිනේරු තක්සලාව | සිළුමිණ

ශ්‍රී ලංකා ටෙලිකොම් ජාතියට තිළිණ කළ ඉංජිනේරු තක්සලාව

ශ්‍රී ලාංකික තාරුණ්‍යය වෙනුවෙන් ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපනයක් සඳහා ඇති ඉල්ලූම සපුරාලීමට ගත් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මූලිකව එම ආයතනයට පූර්ණ වශයෙන් අනුබද්ධ ආයතනයක් ලෙස මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (Sri Lanka Technological Campus - SLTC) ආරම්භ කරන ලදී. සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළව උපාධි පාඨමාලා හැදෑරීමට රුචිකත්වයක් ඇති සිසු සිසුවියන්ගේ බලාපොරොත්තු මුදුන් පත් කරමින් එම ක්ෂේත්‍රයට අදාළ උපාධි පාඨමාලා රැසක් දැනටමත් සංවිධානය වී ඇති අතර මේ පාඨමාලා හැදෑරීම සදහා සිසු සිසුවියන් අතර විශාල උද්යෝගයක්ද ඇති වී තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ අනුමැතිය ලබා ඇති මෙම විශ්ව විද්‍යාලය දේශීය සහ අන්තර්ජාතික ප්‍රධාන පෙළේ නියාමන ආයතන රැසක ඉහළම පිළිගැනීමටද පාත්‍ර වී තිබේ. පැහැදිලිවම ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය එසේත් නැතිනම් SLT Campus යනු තවත් එක් ඉංජිනේරු විශ්වවිද්‍යාලයක් පමණක්ම නොවේ. එසේත් නැතිනම් රටට අවශ්‍ය තවත් තාක්ෂණවේදීන් බිහිකරන ආයතනයක් පමණක් ද නොවේ. මෙම තාක්ෂණික විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් පෙරමුණ ගෙන කටයුතු කළේ රට වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටු කිරීමේ පරම අටියෙනි.

ශ්‍රී ලංකාවේ විදුලි සන්දේශ ඉතිහාසයේ ඉතාම වැදගත් අධ්‍යයන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිත කර ඇත්තේ මෙරට ප්‍රථම චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටි පාදුක්කේ අක්කර හතලිහකින් යුත් මනරම් භූමි භාගයක වන අතර මේ වන විට සිසු සිසුවියන් 730ක පමණ පිරිසක් එහි සිය අධ්‍යයන කටයුතු සිදු කරති. ඒ ආචාර්ය උපාධිය ඇතුළු ඉහළම සුදුසුකම් ඇති අසූවකට අධික පූර්ණකාලීන කථීකාචාර්ය මඩුල්ලක් යටතේයි. එම ඇදුරු මඩුල්ලේ කටයුතු කරන වැඩි දෙනා විදේශ රටවලින් උපාධිය හිමිකරගත් හෝ විදේශ රටවල අධ්‍යාපනය හැදෑරූ අය වීමද විශේෂයෙන් සදහන් කළ යුතු වේ. ඉංජිනේරු විෂයන්ට අදාළ සාමාන්‍ය උපාධි පාඨමාලාවලට අමතරව පර්යේෂණ සහ පශ්චාත් උපාධි පාඨමාලා ගැනද මෙම විශ්වවිද්‍යාලය වැඩි අවධානයක් යොමු කර තිබීම විශේෂත්වයකි.

පසු ගිය දිනක අප මෙම SLT Campus පිළිබදව පුළුල් අවබෝධයක් ලබා ගැනීම සදහා මෙම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණෙමු. එහිදී එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සුමුදු එදිරිසිංහ මහතා අදහස් දක්වමින් සදහන් කළේ සන්නිවේදන ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා හදාරණ සිසුන්ට ඒ සදහා අවස්ථාව උදාකර දීම සදහා මේ රටේ පිහිට වූ මුල්ම ආයතනය ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය එසේත් නැතිනම් SLT Campus ලෙස සදහන් කිරීම නිවැරදි බවයි. පසුගිය වසර තුනක කාල පරිච්ඡේදය ඇතුළත තම විශ්ව විද්‍යාලයට ශිෂ්‍ය කණ්ඩායම් තුනක් බදවාගෙන ඇති බවද සදහන් කළ ඔහු මුලින්ම මෙහි ආරම්භ කෙරුණේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව බවද පැවසීය.

ආරම්භක වකවානුවේදී සිසුන් පනහක් පමණ හිටියා. ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ සහ කළමනාකරණ විෂය ක්ෂේත්‍රවලට අදාළව තමයි මුලින්ම පාඨමාලා පැවැත්වූයේ. උසස් පෙළට තොරතුරු තාක්ෂණවේදය හැදෑරූ සිසුන්ට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඒ හා සම්බන්ධ උපාධියක් ඇති කිරීමට මෙම විශ්ව විද්‍යාලයේ කටයුතු සලසා තියෙනවා.Electronics & Power Systems Engineering, Electronics and Telecommunication Engineering, Electronics Engineering and Engineering Management, Software Engineering, Civil Engineering, Mechatronics Engineering, Bio Systems Engineering, Quantity Surveying යන ඒවා පවතිනවා.මේ ආයතනයෙන් ලබාදෙන උපාධියට ශ්‍රී ලංකා ටෙලිකොම්හි පිළිගැනීමද හිමිවෙනවා.

මේ වන විට මෙම විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය කණ්ඩායම් තුනක් බදවා ගෙන ඇති අතර එම සිසු සිසුවියන් වෙනුවෙන් එලෙස ආරම්භ වූ පාඨමාලා රැකියා වෙළෙදපළේ ඉහළම ඉල්ලූමක් ඇති පාඨමාලා වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වේ. මේ උපාධි පාඨමාලා සැලැසුම්කර ඇත්තේ අනාගත ලෝකයේ අවශ්‍යතා පිළිබදව ඉතා ගැඹුරින් සළකා බලා වන අතර Electronics Technology, Process Automation and Control Technology, Agri Technology iy Environmental Technology ආදී නවීන ලෝකයේ අවශ්‍යතා හා බැදුණු ඉතා විශේෂිතම

නව්‍ය පාඨමාලා සදහා සිසු සිසුවියන් අතර දැඩි ඉල්ලුමක් ඇති වී තිබේ.

Fiber Optic තාක්ෂණයට අදාල පර්යේෂණ සිදුකරන අති සූක්ෂම උපකරණ රැසක් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (Sri Lanka Technological Campus - SLTC) සතුව පවතින අතර එයින් ඇතැම් උපකරණ දකුණු ආසියානු කලාපයටම ඇත්තේද මෙමSLT Campus සතුව පමණි. මේ උපකරණවලින් ෆයිබර් ඔප්ටික් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කරන විශේෂ අංශයක්ද මේ වන විට මෙම විශ්ව විද්‍යාලයේ ආරම්භ කර තිබේ. එබැවින් මේ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරණ සිසුන්ට මේ සියළු පහසුකම් භුක්ති විදිමින් සිය අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක ලෙස සිදු කිරීමට හැකියාව ලැබී තිබේ.

එපමණක්ද නොවේ මෙම SLT Campus අප රටේ තිබෙන හොඳම විද්‍යාගාර ඇති විශ්ව විද්‍යාල අතර ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් ලෙස කිසිදු අතිශයෝක්තියකින් තොරවම හදුන්වා දිය හැකි වේ. ඒ විද්‍යාගාර අතර ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ විද්‍යාගාර තුනක් මෙන්ම ෆයිබර් ඔප්ටික්, පවර් ඉලෙක්ට්‍රොනික්, මොබයිල් තාක්ෂණය යටතේ එන 3G,4G,5G සහ 6G තාක්ෂණය යන විෂයන් අධ්‍යයනයට අදාළ පර්යේෂණ රැසක් සිදු කළ හැකි විද්‍යාගාරද වේ.

තවද මෙම SLT Campus හී ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ සන්නිවේදන හැකියාව සහ මෘදු කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගෙන කටයුතු කිරීමට මගපෙන්වන වැඩසටහන් රැසක් ද මෙහි ක්‍රියාත්මකවේ. තොරතුරු තාක්ෂණ කුසලතාව, ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම මේ අතරින් සුවිශේෂි වන අතර මේ සදහාම කැපවූ ප්‍රවීණතා ඇති කාර්ය මණ්ඩලයක්ද මෙහි සේවය කරයි.

මේ SLT Campus සැලැසුම් කර ඇත්තේ පූර්ණ ලෙසම නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස වුවත් කෙනකුට අවශ්‍ය නම් බැහැර සිට දිනපතා පැමිණීමටද ඉඩ සලසා තිබේ. මහල් හතකින් යුත් නේවාසිකාගාරයේ සිසු සිසුවියන් හාරසියයකට වැඩි පිරිසකට එකවර නවාතැන් පහසුකම් සළසා ගත හැකිය. පරිගණක විද්‍යාගාර, මෘදුකාංග විද්‍යාගාර,ශිෂ්‍ය මධ්‍යස්ථාන, ශරීර සුවතා මධ්‍යස්ථානය, පුස්තකාලය, විවිධ ක්‍රීඩා සදහා වෙන්වුණු ක්‍රීඩාපිටි ආදී පහසුකම් මෙම විශ්වවිද්‍යාලය අංග සම්පූර්ණ විශ්ව විශ්වවිද්‍යාලය බවට පෝෂණය කර තිබේ.

මෙම SLT Campus හී ඉගෙනිම ලබන සිසු සිසුවියන් තුළ ව්‍යවසායකත්ව හැගීම ඇති කිරීම සදහා University Students’ Enterprise නමින් විශේෂිත වැඩපිළිවලක්ද මෙහි ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරේ.

ඒ යටතේ මෙම SLT Campus හී ආපනශාලාව, පොත්හල, පුස්තකාලය, ශරීර සුවතා මධ්‍යස්ථානය ආදී සෑම කටයුත්තක්ම පාලනය කර ලාබ ලබන තත්ත්වයෙන් පවත්වාගෙන යාමට මෙහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙත භාර දී තිබේ. ඒ අනුව සිසු සිසුවියන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පාලනය වෙමින් කළමනාකරණය, මුදල් පාලනය, මුදල් ඉපැයීම පමණක් නොව ආයතනයක් පරිපාලනය කරමින් ව්‍යවසායකයකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය කරන පුහුණුවද මේ යටතේ සිසු සිසුවියන් වෙත හිමි වේ.

ආචාර්ය සුමුදු එදිරිසිංහ මහතා අවසාන වශයෙන් කියා සිටියේ —මෙම විශ්වවිද්‍යාලයෙන් පිට කරන උපාධිධාරීන් තවත් එක් සුවපහසු රැකියාවක් තෝරාගෙන සුඛෝපභෝගී ජීවිත ගතකරන්නට කල්පනා කරන්නන්ට වඩා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දුක්කරදර විඳගෙන අභියෝග භාරගෙන කටයුතු කරන පිරිසක් වනු දැකීම අපේ බලාපොරොත්තුවයි.

මෙහි පාඨමාලා සදහා අයකරන ගාස්තු එයින් ලබාදෙන අති විශිෂ්ට සේවයට සාපේක්ෂව ඉතා සාධාරණ වන්නේ එහි ගුණාත්මකභාවය නිසාය. එහෙත් උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබාගන්නා ආකාරයට පාඨමාලාවල ගාස්තු අඩු කිරීමේ ශිෂ්‍යත්ව ක්‍රමවේදයක් තිබේ. මේ නිසා දක්ෂ සිසුන්ට ගාස්තු අඩු කිරීමේ සහන යටතේ මේ විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරිය හැක.

අදහස්