“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” “ගම්පෙරළිය” යළිත් පෙරට | Page 2 | සිළුමිණ

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” “ගම්පෙරළිය” යළිත් පෙරට

ග්‍රාමීය සංවර්ධනය විධිමත් රාමුවක් තුළ වේගවත් අයුරින් ඉටු කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණු රජය මගින් ආරම්භ කර ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක කරන ලද “ගම්පෙරළිය සංවර්ධන ක්‍රියාන්විතය” නැවතත් ආරම්භ කිරීම සඳහා රජය තීරණය කර තිබේ.

2018 ඔක්තෝම්බර් මස 26 වැනි දින සිදු වූ අනපේක්ෂිත බල පෙරළියෙන් පසු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ රජය මෙම “ගම්පෙරළිය” සංවර්ධන වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා එම මුදල් නැවතත් මහා භාණ්ඩාගාරය වෙත කැඳවීමට උපදෙස් ලබා දී තිබුණි. එහෙත් එක්සත් ජාතික පෙරමුණ විසින් යළි ආණ්ඩු බලය තහවුරු කර ගැනීමෙන් පසු 2019 වසර සදහා පළමුව පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගම්පෙරළිය යළි ආරම්භ කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණු අතර මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදී.

“ගම්පෙරළිය” සංවර්ධන ක්‍රියාන්විතය දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් එක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන් කිරීමටත් මෙම කැබිනට් රැස්වීමේදී තීරණය කෙරුණු අතර ඒ අනුව මුළු දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාස සඳහා වෙන් කෙරෙන මුළු මුදල රුපියල් මිලියන 48000කි. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු ඇමැතිවරයා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත “ගම්පෙරළිය” වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් සදහා මුදා හැරීමට කටයුතු කෙරෙන අතර සියළුම සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා මහ‍ලේකම් කාර්යාලයක් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවිමටද එහි ප්‍රධානියා ලෙස ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු පත් කිරී‍මට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ මුදල් යොදා ගෙන ගම නගරය එක සේ දියුණු කිරිමට අවශ්‍ය කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම එම මහලේකම් කාර්යාලය විසින් ඉටු කළ යුතු අතර සංවර්ධන කටයුතු සදහා රජය මගින් වෙන් කරනු ලබන මුදල් නිසි සැළැස්මකට අනුව විධිමත් ලෙස වැය කරමින් ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ එක සේ දියුණු කිරිමට අවශ්‍ය කඩිනම් සංවර්ධන වැඩසටහන් හදුනා ගැනීම,ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම මෙම මහලේකම් කාර්යාලය වෙත පැවරෙන ප්‍රධාන වගකීම වේ.

පසුගිය 2018 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඇරඹි “ගම්පෙරළිය” වැඩසටහන සඳහා ආරම්භයේදී එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 ක් බැගින් දිවයින පුරා පිහිටා ඇති මැතිවරණ කොට්ඨාස 160 සඳහා රුපියල් මිලියන 32000 ක මුදලක් වෙන් කර තිබුණි. ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන යටිතල පහසුකම් අංශ 12 ක් යටතේ “ගම්පෙරළිය” වැඩසටහන තුළින් ප්‍රතිලාභ ලබා දීමට යෝජනා කර තිබුණද අනපේක්ෂිත බල පෙරළියත් සමග “ගම්පෙරළිය” සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර කර දැමීමට කරුණු කාරණා පෙළ ගැසුණි. කෙසේ වුවත් වඩා වැඩි ප්‍රතිපාදනද සමග මෙම නිර්මාණශීලී යෝධ සංවර්ධන ක්‍රියාන්විතය නැවුම් මුහුණුවරකින් යළි ආරම්භ වීමත් සමග ගමට පිවිසෙන මාර්ගයේ සිට ජලය,ඇලවේලි, ගොවිබිම්,කර්මාන්ත, සේවා, පාසැල්,සෞඛ්‍ය, පෝෂණ ,ආගමික, සාමාජයික,ක්‍රීඩා, කලා කටයුතු ආදි අංශ රැසක සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තුළින් ජනතාවට සහන හා පහසුකම් ලබා දීමට හැකි වෙතැයි අපේක්ෂා කර තිබේ.

මේ අතර රටට අවශ්‍ය නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය 2018 වසරේ ජූනි මාසයේදී ආරම්භ කරන ලද “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන” ද ඔක්තෝම්බර් මස 26 වැනි දින සිදු වූ බල පෙරළියත් සමග මාස දෙකකට වැඩි කාලයක් පුරා අතරමග නතර වී තිබුණි.

ඊට පෙර එම සහන පොලී ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාරික ආයතන හා පුද්ගලයන් 25,000 කට ආසන්න පිරිසකට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හරහා රුපියල් මිලියන 49000 ඉක්මවන ලද ණය මුදල් ඉතා සහන පොලී අනුපාත යටතේ ලබාදී තිබුණු අතර තවත් විශාල පිරිසක් සහන පොලී අනුපාත යටතේ ණය මුදල් ලබා ගැනීම සදහා අදාළ බැංකු වෙතින් ඉල්ලීම් කර තිබුණි.

2019 වර්ෂය ආරම්භයේ සිටම “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන” යළි සක්‍රීය කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මෙම වැඩසටහන යටතේ ජනතාව බලාපොරොත්තු වන ණය මුදල් ප්‍රමාදයකින් තොරව එකී ණය ඉල්ලුම් කිරීමට ලබා දීමට පියවර ගන්නා ලෙසද “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන” සමග සම්බන්ධව කටයුතු කරන සියළුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත රජය මගින් දැනටමත් අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

Comments