පෙළ පොතට නීතිය ඇතුළත් කරන්න කැබිනට් අනුමැතිය | සිළුමිණ

පෙළ පොතට නීතිය ඇතුළත් කරන්න කැබිනට් අනුමැතිය

පාසල් විෂය නිර්දේශය සඳහා නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි  තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ පාසල් වයසේ සිටම දරුවන්ට නීති අධ්‍යාපනය පිළිබඳව දැනුමක් ලබාදීම වටිනා අවස්ථාවක් වන බවයි.
 
නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට හැකීවීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුලික නීතිය වැනි කරුණු පිළිබඳව කුඩා අවධියේ සිටම දැනුමක් ලබා ගැනීම තුළින් රට තුළ ජීවත් වීමේ දී දෛනිකව ඇතිවන ගැටලුවලට මුහුණදීමට දරුවන්ට එය අත්වැළක් වන බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.
 
මුලික නීතිය මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නඩු විධි විධාන සංග්‍රහය වැනි කරුණු පිළිබඳව අවබෝධයක් කුඩා කාලයේ සිටම ලබා ගැනීම තුළින් රට තුළ සිදුවන අපරාධ අඩුවීමට හේතු වන බව ද අමාත්‍යවරිය පවසයි.
 
සිදු කරනු ලබන වැරදි සඳහා පවතින දඬුවම් මෙන්ම ඒවායේ බරපතළ කම වැනි කරුණු පිළිබඳව නොදැනීම නිසා ජනතාව විශාල වශයෙන් අපරාධ සිදු කරන බවත් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මඟින් ඉදිරියේ දී රට තුළ අපරාධ වැරදි ක්‍රියා අවම කර ගත හැකි බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.
 
නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධව ඉදිරි කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.
 
 

අදහස්