අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය | සිළුමිණ

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරග දෙකක් අද වැලිසරදි සහ නිත්තවෙලදී පැවැත්වෙයි. වැලිසර දී නාවික හමුදාව සහ හැව්ලොක්ස් ක්‍රීඩකයන් තරග වදින අතර නිත්තවෙලදී මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩකයෝ තරග වදිති.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූයේ මහනුවර ක්‍රීඩා සමාජයයි. පළමු වටය අපරාජිතව සිටිමින් තරගාවලිය නිම කළ මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 41ක් රැස් කර ගැනීමට සමත් විය. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට දෙවැනි ස්ථානය හිමි වූ අතර ඔවුන් පළමු වටයේදී මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පමණක් පරාජය විය. පසුගිය සතියෙන් ආරම්භ වූ දෙවැනි වටයේ තරග සති පහක් පුරා ක්‍රියාත්මක වෙයි. පළමු වටය නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. මූලික වටයේ තරග පහකට එක්වූ ගුවන් හමුදාවට එක් ජයග්‍රහණයක් හෝ හිමිකර ගැනීමට නොහැකි විය.

දෙවැනි වටයේ තරග ආරම්භයේදී ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථමයා වූ මහනුවර සහ අවසන් ස්ථානය දිනා ගත් ගුවන් හමුදාව අතර තරගය විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම නිත්තවෙලදි සමත් විය. මූලික වටයේ මහනුවර කණ්ඩායමට ප්‍රබලම අභියෝගය එල්ල කළේ වැලිසරදි නාවික හමුදා කණ්ඩායමයි. දෙපිල අවසන් මූලික වටය අවසන් කරමින් පැවැති තරගයේදී මහනුවර කණ්ඩායම ජය ගත්තේ 22 - 20 ක් ලෙස තියුණු තරග අවසානයක් සටහන් කරමින්ය. අවසන් විනාඩි දෙකේදී නාවික හමුදාව 20 - 19 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුවද තිළිණ විජේසිංහට ලැබුණු අවසන් දඬුවම් පහර සාර්ථක කර ගැනීම නිසා මහනුවර කණ්ඩායමේ අපරාජිතභාවය ආරක්ෂා කර ගැනීමට සමත් විය.

කෝකිලගේ නික්ම යෑම

සිය ජීවිතයේ හිරිමල් යොවුන් විය පසු කරමින් සිටි සී.ආර්. කණ්ඩායමේ කෝකිල සම්මන්දපෙරුමට සිය ජීවිතයට නැවතීමේ තිත තැබීමට සිදු වූයේ ‍මෙවර රග්බි තරග වාරයේ විවේක කාලය තුළදීය. කෝකිල ගමන් ගත් විදුලි සෝපානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි පාලනය ගිලිහී යාමෙන් සිදු වූ අනතුරින් අවාසනාවන්ත ලෙස ඔහුට ජීවිතයෙන් සමු ගැනීමට සිදුවිය.

දෙවැනි වටය ආරම්භ වන විට ම අන්තර් සමාජ ලීග් රග්බි පිටියේ පෙරළිකාර වෙනසකට සී.එච්. කණ්ඩායම මුල පිරීය. ඒ ලාංකේය සම්භවයක් හිමි ඔස්ට්‍රේලියානු ජාතික ඇඩම් ගාඩ්නර්ගේ සේවය මේ ඉදිරි තරග සඳහා සිය කණ්ඩායමට ලබා ගැනීමට තීරණය කිරීමත් සමඟය අන්තර් සමාජ රග්බි තරගාවලියේ මූලික වටයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ එකම තරගය වූයේ යුද හමුදාව සහ සී.ආර්. අතර තරගයයි. මූලික වටයේ තරගවලදී නාවික හමුදාව - පොලිසිය හමුවේ, සී.ආර්. - සී.එච්. හමුවේ, හැව්ලොක්ස් - සී.එච්. හමුවේ ජය හිමිකර ගත්තේ එක් ලකුණකිනි. පසුගිය වසරේ ලීග් රග්බි කිරුළ හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වූ අතර, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට නාවික හමුදාව සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

Comments