පිටරටවල් අවුරුදු 10-15 තියලා සැලසුම් හදද්දී, ක්‍රීඩා තරගාවලි ළඟ තියාගෙන අපි සැලසුම් හදනවා | සිළුමිණ

පිටරටවල් අවුරුදු 10-15 තියලා සැලසුම් හදද්දී, ක්‍රීඩා තරගාවලි ළඟ තියාගෙන අපි සැලසුම් හදනවා

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක

උපකුලපති - කොළඹ විශ්වවිද්‍යාලය

අන්තර්විශ්ව විද්‍යාලීය ක්‍රීඩා (2018) තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට මෙවර සමත් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයයි. මෙවර තරගාවලියට විශ්ව විද්‍යාල 14ක් එක් විය. ජයග්‍රහණය වෙනුවෙන් කාන්තා සහ පිරිමි අංශ ද්විත්වයෙන්ම ලකුණු 355 ක් කොළඹ විශ්ව විද්‍යාලය හිමි කර ගත්තේය. ක්‍රීඩා 22ක් ය‍ටතේ පැවැති ශූරතා 36 න් නවයක් ජය ගැනීමට ද කොළඹ විශ්ව විද්‍යාලය සමත් විය. එමෙන්ම මෙවර සමස්ත කාන්තා ශූරතාව දිනා ගැනීමට ද සමත් වූයේ කොළඹ විශ්ව විද්‍යාලයයි. 2018 ලෝක විශ්ව විද්‍යාලීය තරගාවලි හයකට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අතුරින් දහ දෙනෙක්ම කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය කළහ. වාර්ෂිකව මිලියන තිහකට අධික මුදලක් ක්‍රීඩා කටයුතු සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙන් කරයි. මේ ඒ පිළිබඳ කතා බහකට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ‍ෙජ්‍යෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායකට අප වෙන් කළ ඉඩයි.

අපේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔබට මොනවගේ අදහසක්ද තියෙන්නේ?

අපේ රටේ ක්‍රීඩාව ගැන කතා කරද්දි මම දකින්නේ, මගේ අත්දැකීම් වයස එක්ක බලද්දි නම් දියුණුවක්. සමහර වෙලාවට, සමහර අය හිතුවට විවේචනය කළාට ක්‍රීඩාව පහළට යනවා උඩට යනවා කියලා. මේක ඕනෑම රටකට ‍පොදු දෙයක් විදියට තමයි දකින්නේ.

ක්‍රීඩාවේ නිරතවෙන අය, සහාය දක්වන අය, වටපිටාව එක්ක තමයි රටක ක්‍රීඩාවක් උඩට පහළට යන්නේ සහ වෙනස් වෙන්නේ. මෙහිදී ජයග්‍රහණ අඩු වැඩි වෙන්න ඕනෑම වෙලාවක පුළුවනි. හැබැයි දීර්ඝ කාලීනව බැලුවොත් අපේ ප්‍රගතියක් තියෙනවා. අපි බැලුවොත් රටක් විදියට බහුතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් අන්තර් ජාතික තලයට යන තත්වයේ ක්‍රීඩා කණ්ඩායම් ඉන්නවා

මීට කලින් මේ වගේ තත්ත්වයක් තිබිලා නෑ. ක්‍රීඩාව දියුණුවී ගෙන යනවා. මීට වඩා ඉදිරියට තවත් යන්න පුළුවන්. මේකට අලුත් සැලසුම් ඕනෑ දැක්මක් ඇති කර ගන්න ඕනෑ ක්‍රීඩාව විතරක් නෙමෙයි ඕනැම තලයක දෙයක් පටන් ගන්න කොට ඉහළම තලයෙන් පටන් ගන්න බෑ.

සරල උදාහරණයකින් පැහැදිලි කරන්න?

පාසලක් ගන්න මේකේ හැම දෙයක්ම ක්‍රමානුකුලව තමයි ළමයාට දෙන්න ඕනෑ. පළමුවැනි පන්තියේ ඉඳලා ඉහළට යන්න ඕනෑ. එහෙම නැතුව ම අතර මැද ඉඳලා ඉහළම හරි පහළම ගියොත් වැඩේ අසාර්ථකයි. ළමයා අතර මං වෙනවා. ළමයකුට පාසල් අධ්‍යාපනය අනිවාර්යයිනේ . පළමු පන්තියේ ඉඳලා පාසල්වල තියෙන උනන්දුව උඩ තමයි ක්‍රීඩාවට ළමයින් යොමු වෙන්නේ.

පාසලේ ළමයෙක් හොඳට ක්‍රීඩා කරනවා විශ්ව විද්‍යාලයට ආපු ගමන් ක්‍රීඩාව අත හරිනවා. මේ ගැන ඔබ හොයනවද?

ඔව්, විශේෂයෙන් මම ඒ ගැන අහනවා. ඔවුන් කියන්නේ සර් කොහොමහරි උපාධිය කරගන්න ඕනේ කියලා තමයි. අපි පහුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ හුගක් උත්සාහ කළා ළමයින්ව යොදාගෙන ඔවුන් ක්‍රීඩාවලට සම්බන්ධ කරන්න සහ ක්‍රීඩාංගණ වලට ගේන්න.

මේ උත්සාහයේ ප්‍රගතියක් තියෙනවාද?

ඔව්, අපි දැකලා තියෙනවා. දකිනවා. ඒ වගේ ම ළමයින් හඳුනා ගන්න පුළුවන්, ඒකට තමයි පළමු වසරේ ළමයින්ට අපි හඳුනා ගැනීමේ ක්‍රීඩා තරගාවලියක් තියන්නේ.

ඒ මගින් අපි උත්සාහ කරන්නේ පළමු අවුරුද්ද පුරාම ඒ දක්ෂතාව හඳුනා ගන්න. ඒ පළමු වසරේ ක්‍රීඩා තරගාවලියේ අපට පුළුවන් දක්ෂයන් හඳුනා ගන්න.

ඊට පස්සේ ඒ අයට තමයි අන්තර් පීඨ විශ්ව විද්‍යාලය සහ ජාතික තලය දක්වාම මේ ගමන එන්න පුළුවනි. මේ හදුනා ගැනීම තමයි වැදගත් දේ. මමත් පාසලේ ක්‍රීඩා කරලා තියෙනවා. විශ්ව විද්‍යාලයට ඇවිත් පළමු වසරේ ක්‍රීඩා තරගාවලියට ආවා. ඒ පළමු වසරේ ක්‍රීඩා තරගාවලිය හරහා මට මගේ දක්ෂතා - හැකියාවන් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණා.

අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිතේ හයියයි, ඇ‍ඟේ හයියයි විතරක් ම තියාගෙන අන්තර්ජාතිකව ගැටෙන්න පුළුවන්ද?

මම හුගක් තැන්වල දැකලා තියෙන දෙයක් තමයි මේක පාසල් මට්ටමේ ඉදලම කෙරෙන්න ඕනෑම ප්‍රධානම දේ තමයි පෝෂණය ගැන අවධානය යොමු කිරීම. අපේ ඇ‍ඟේ, හිතේ මොන තරම් හයිය තිබුණත් හරියට වැඩ කරන්නේ නැත්නම්, ක්‍රියාකාරි නැත්නම්, ක්‍රීඩාවට හරියන විදියට පෝෂණ මට්ටම නැත්නම්, අපට අන්තර්ජාතිකව තරග ජය ගන්න බැරි වෙනවා.

අපට ඒවාට සැලසුම් තියෙන්න ඕනෑ. අපේ විශ්ව විද්‍යාලයේ ගත්තොත් මම ආවට පස්සේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කළා. අපි මේ අවුරුද්දේ පෝෂණ මධ්‍යස්ථානයක් ක්‍රීඩාව වෙනුවෙන් ම ආරම්භ කළා. වෛද්‍ය රනිල් ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් තමයි මෙය ආරම්භ කළේ. ඉදිරියේ මෙය තවත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.

විශ්ව විද්‍යාල ක්‍රීඩාව රටේ ක්‍රීඩාවෙන් වෙනස් ද?

රටේ සමස්තයක් විදියට ගත්තම එක එක මට්ටමේ තියෙන්නේ. විශේෂයෙන් විශ්ව විද්‍යාල ළමයින්ට සියයට සියයක්ම ගත්තත් විශේෂ වෙනසක් දකිනවද. උදාහරණයක් විදියට දැන් කොතරම් විශ්ව විද්‍යාල ළමුයි ප්‍රමාණයක් ජාතික මට්ටමේ ඉන්නවාද කියන්න බෑ. ඒත් ක්‍රිකට් දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කරනවා. ඉස්සර ගත්තොත් මයියා ගුණසේකර රග්බි නායකයා. ජාතික මට්ටමට ගියා. ඒ වගේ ජාතික මට්ටමට යන්න පුළුවන් ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ඉන්නවා. ජාතික මට්ටමේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ගත්තොත් ඔවුන්ගේ ජීවන වෘත්තීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ම හොයාගෙන තියෙනවා. විශ්ව විද්‍යාලයට එනකොට ක්‍රීඩා වෘත්තියෙ ක්‍රීඩා පරිසරය අමතක කරලා හරි ජීවන මාර්ගය ගැනත් අවධානය යොමු කරන්න වෙනවා.

ලංකාවේ ක්‍රීඩා ගත්තොත් වෘත්තීම මට්ටමට ගිහින් තියෙන්නේ මෑත කාලයේදී. ඉස්සර ක්‍රීඩා කළාට ඒකට වෘත්තිමය මට්ටමක් නෑ. දුප්පත් වෙලත් ක්‍රීඩාව කරන්න අමාරුයි. දැනට අවුරුදු 10 -15 කට විතර කලින් ක්‍රීඩා කරලා අපේ රටේ ජිවත් වෙන්න පුළුවන් කියලා දැක්කෙ නැහැ. ඉස්සර හුගක් අය රැකියාවක් කරන අතර තමයි ක්‍රීඩා කළේ. එහෙමත් නැත්නම් ජීවත් වෙන්න මාර්ගයක් හදා ගෙන තමයි ක්‍රීඩා කළේ.

අද වෙන කොට සාමාන්‍ය දුරකට හරි අපේ මේ තත්ත්වයේ වෙනසක් දකිනවාද?

ඔව්, අද වෙන කොට එදාට සාපේක්ෂව ගත්තොත් වෘත්තීමය තත්ත්වයක් දකින්න තියෙනවා. ඒක හොඳ දෙයක්. විශ්ව විද්‍යාලයේ ඉන්න කොට මේ තත්ත්වය නෑ. ඉගෙන ගන්න අතරේ ක්‍රීඩාව කරනවා. ක්‍රීඩාවෙන් තෘප්තියක් ලබනවා. හැබැයි මම හිතන්නේ නෑ. වෘත්තිමය මට්ටමින් ක්‍රීඩාව තෝරා ගෙන එළියට යන්න බලන වැඩි පිරිසක් මෙතැන ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. හොඳ පෞරුෂයක් ගොඩනැගෙනවා. මෘදු දක්ෂතා හැකියාවන් වර්ධනය කර ගන්නවා. අඩුම තරමේ කෙළින් ඇවිදින්න හරි ඉගෙන ගන්නවානේ. ඒ වගේ හොඳ දැක්මක් මේ තුළින් ඇති වෙනවා.

ඒ විතරක් නෙවෙයි, හොඳ ප්‍රතිඵල පවා ගන්නේ ක්‍රීඩා කරන සහ කරපු අය කියලා පැහැදිලිව ම පේන්න තියෙනවා. උපාධි ප්‍රතිඵල වුණත් හොඳට තෝරලා බේරලා බැලුවොත් පේනවා පාඩම් කරන්නයි ක්‍රීඩා කරන්නයි බෑ කියලා නෑ. හරියට කාල කළමනාකරණය කර ගත්තොත් මේ දෙකම හරියට ම කර ගන්න පුළුවන්.

අපේ රටේ විශ්ව විද්‍යාල කියන්නේ ඉගෙනීමට විතරක් කොටු වෙච්ච තැනක්ද?

ළමයින්ගේ පැත්තෙන් ගත්තත් මවුපියන්ගේ පැත්තෙන් ගත්තත් ළමයින් විශ්ව විද්‍යාලයට එන්නේ සහ එවන්නේ ඉගෙන ගන්නයි දැනුම ලබා ගන්නයි අලුත් දැනුම් නිර්මාණය කරගන්නයි. අපි ගුරුවරු විදියට දැනුම බෙදා දෙනවා. ඒ නිසාම දැනුම මුලික කරගෙන තමයි ඔවුන් විශ්ව විද්‍යාලවලට එන්නේ. ප්‍රධාන පරමාර්ථයත් ඒකම තමයි. විශ්ව විද්‍යාලය කියන්නේ දැනුම ලබා ගන්න එක තැනක් විතරක්ම නොවෙයි. තව දේවල් තියෙනවා. තමන්ගේ ජීවිතයට යම් යම් දේවල් එකතු කර ගන්නවා. පරිසරය ඉතාමත් වැදගත්. අපි බලනවා හොඳ පරිසරයක් ගොඩ නගලා දෙන්න.

සමහරු ඉන්නවා ක්‍රීඩා කරන්න කැමති අය. තව අය ඉන්නවා පුස්තකාලයට යන්න කැමැති අය. අපි දැනට මුලු විශ්ව විද්‍යාල පද්ධතියම එකතු කරලා තියෙන්නේ. බද්ධ කරලා තියෙන්නේ. මෙකේ ක්‍රීඩාවේ ඉඳලා හැම දෙයක්ම එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. හොඳ ක්‍රිකට් කණ්ඩායම්, රග්බි කණ්ඩායම් ඉන්නවා. රුවල් ඔරු වගේම අලුතින් එකතු කරලා බේස්බෝල්, කරාතේ වගේ දේවල් එකතු වෙලා තියෙනවා. මම ඉගෙන ගන්න කාලයේ මේවා තිබිලා නෑ. දැනට අපේ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා 24 ක් තියෙනවා. අපේ කාලයේ මේ හැම දෙයක්ම සීමා සහිතයි. අපි දුව===නවා - රග්බි ක්‍රීඩා කරනවා, ක්‍රිකට් ගහනවා, පිහිනුම් වගේ සීමිත ක්‍රීඩා කිහිපයකට කොටු වෙලා තිබුණේ.

දැන් වෙනස් වෙලා ද?

ඔව්, දැන් ළමයින්ගේ පවා උනන්දුව තියෙනවා ක්‍රීඩාවලට යොමු වෙන්න. හැමදාම හතර පහට බැලුවොත් මේ ක්‍රීඩාංගණය පිරිලා. මේ දර්ශන දකින්නත් ආසයි. අපි පුළුවන් තරම් ප්‍රතිපාදන යොදවනවා. විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා දියුණු කරන්න. ඒ නිසා තමයි අපිට මේ අවුරුද්දේ විශ්ව විද්‍යාල ක්‍රීඩා තරගාවලියේ ශූරයන් වෙන්න පුළුවන් වුණේ. අපේ ක්‍රීඩා උපාධිය නෑ. හැබැයි දැන් අපි බලනවා ක්‍රීඩාව වෙන් කරන්නේ නැතුව ඒකාබද්ධකර ගන්න. අපි මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ ළමයි තුළ ක්‍රීඩාව කෙරෙහි උනන්දුව ඇති කරන්න. ක්‍රීඩාව කියන්නේ ශාරීරික වගේ ම මානසික සෞඛ්‍යයත් දියුණු කරන දෙයක්නේ.

ඒ නිසා අපි ඉලක්ක කරන්නෙ හොඳ මානසික වගේම ශාරීරික සෞඛ්‍යයයක් තියෙන ළමයින් පිරිසක් බිහි කර ගැනීමයි. මොන දේ කරන්නත් මනසේ ඒකාග්‍රතාවය හරියට තියා ගන්න ඕනෑ. මේ හැම දෙයක්ම කරන්න හොඳ ජවයක් ක්‍රීඩාවෙන් ලැබෙනවා. මම ක්‍රීඩකයෙක් නිසා මේ අත්දැකීම් මට හොඳට තියෙනවා.

අන්තර්ජාතික මට්ටමේ ගත්තොත් බහුතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල හරහා ඉදිරියට එනකොට අපේ රටේ එහෙම තත්ත්වයක් නැත්තේ ඇයි?

විශේෂයෙන් මම දකින විදියට එක් සාධකයක් වෙන්නේ අපේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය කියන්නේ ම දැනුම බෙදා දෙන දැනුම නිර්මාණය කරලා දෙන තැනක් නිසා ඒකට වැඩි අවධානයක් යොමු කරනවා. එතකොට නිරායාශයෙන්ම ක්‍රීඩාවට ලැබෙන්නේ දෙවැනි තැනයි. ඒ වුණාට දැන් අපි ඒක වෙනස් කරගෙන යන්නේ. දැන් අපේ රටෙත් වෙනත් විශ්ව විද්‍යාලවල ක්‍රීඩා උපාධි දෙනවා. ඇත්තට ම එතකොට පොදු ළමයි මේ සඳහා යොමු වෙනවා. අපොස උසස් පෙළ සමත් ළමයින් ඒ විශ්ව විද්‍යාලවලට යන්න උත්සාහ කරනවා. දැන් අපිත් ක්‍රීඩාවට දක්ෂ අය ගන්න බලනවා.

සමහර පිටරට විශ්ව විද්‍යාල ඒවටම පීඨ හදාගෙන තියෙනවා. ඒවම පුහුණු කරන අය ඉන්නවා. මම හැම වෙලාවේම කියන දෙයක් තමයි මෙතැනට එන්න ඕනෑ ශූරයෝ. ක්‍රිකට් ගත්තත්, රග්බි ගත්තත්, වොලිබෝල් - පිහිනුම් හෝ වෙනත් ක්‍රීඩාවල ශූරයන් අපේ මනසේ තැන්පත් වෙලා ඉන්නවානේ. මේ අයයි එන්න ඕනෑ. මට මතකයි මම ඒ දවස්වල දුවන කොට සහබන්දුලා, සුනිල් ගුණවර්ධන, ප්‍රේමචන්ද්‍රලා, භද්‍රලා තමයි දුවන්නේ. අපේ විජේදාස තමයි පුහුණුකරු අපේ පුහුණුකරු තමයි එයලාගෙත් පුහුණුකරු අපිව දාන්නේ ඒ අයත් එක්ක දුවන්නයි.

මේ උරෙන් උර ගැටිලා දුවන දිවිල්ල සහ පුහුණුව තමයි වැදගත්. ඇත්තටම මේ වගේ දේවල් තමයි වෙන්න ඕනෑ. අපිටත් පුළුවන් නම් මේ වගේ සම්බන්ධතාවක් ගොඩ නගන්න ඒක හරිම වැදගත්. මම කියන්නේ හැම ක්‍රීඩාවකටම මේ දේ කරන්න පුළුවන් නම් හොඳයි.

ඇත්තට ම අපේ රටේ වෙලා තියෙන්නේ මොකක්ද?

හුඟක් අය ජීවන බරත් එක්ක ක්‍රීඩාව කරන ගමන් ම රැකියාවක් හොයා ගන්න බලනවා. එතැනින් බේරිලා විශ්ව විද්‍යාලයට එන අය ක්‍රීඩාව අමතක කරලා ඉගෙනිම් පැත්තට අවධානය යොමු කරනවා. ඒකට මම දකින ප්‍රධාන හේතුව තමයි විශ්ව විද්‍යාලවලට ඇවිල්ලා මේ පද්ධතිය ඇතුළේ ක්‍රියා පටිපාටියක් තියෙනවානේ පන්ති එන්න ඕනෑ, විභාගවලට ඉඳගන්න ඕනෑ. හැබැයි මම දන්න බටහිර රටවල විශ්ව විද්‍යාලය මේ අයව ගන්නවා. හැබැයි අපේ රටේ වගේ පන්ති කාමරයට කොටු වෙච්ච ක්‍රියා පටිපාටි වෙනස්. අදටත් අපේ රටේ තියෙන්නේ දහඅට වැනි සියවසේ විභාග ක්‍රම දැනුම මනින්නේ අර වගේ ඈත කාලයේ මිනුම් දඬු උපයෝගි කර ගෙනනේ.

ඒ මිනුම් දඬු වෙනස් කරන්න බැරිද?

මම සනාතන සභාවල මේවා ගැන කතා කරනවා. තර්ක කරනවා. අපිට ක්‍රීඩා උපාධියක් නෑ. අපිට එහෙම ක්‍රීඩා උපාධියක් තියෙනවා නම් ක්‍රීඩාව කරන අතර වෙනත් විෂයන්වලට යොමු කරන්න ඕනෑ. එහෙම නැතුව විභාග ප්‍රශ්න පත්‍රයක් දීලා කාමරයකට කොටු කරලා හරියන්නේ නෑ. බටහිර රටවල කරන්නේ ඒ වගේ දේවල්නේ. අපිට තවම ඒ ක්‍රමය නෑ.

ඒවගේ දැන් අපේ රටේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇවිත් තියෙන්නේ පාසල්වලින් නේ. පාසල්වලින් උඩට ආවට විශ්ව විද්‍යලවලට එන්න ක්‍රමයක් නෑ. එ අයට විතරක් වෙන දැනුම තියෙන අයටත් විශ්ව විද්‍යාලවලට එන්න ක්‍රමයක් නෑ. අපි පොඩි කෝටා එකක් දිලා තියෙනවා. එහෙම ආවත් මේ අ‍ැතුලේ තියෙන ක්‍රමයත් එක්ක දුවන්න බෑ. මේවා ඉතින් වෙනස් වෙන්න ඕනෑ. මම ඉතින් සනාතන සභා‍ෙව් වගේ ම හැම තැනම මේවා ගැන කතා කරනවා.

දැනට අපි ටික ටික මේවා වෙනස් කරගෙන යනවා. මම කිසිම තැනක පරණ ආකල්ප වලින් හිතන්නේ නෑ. අපේ කඩා වැටීමක් නෑ. අප රට පහළට යනවා කියලා හිතන්නෙත් නෑ. එහෙම අපි හිතුවත් අපිව පහළට යාමක් තමයි සිද්ධ වෙන්නේ. මොන අර්ථයෙන් ගත්තත් අපේ රටේ ක්‍රීඩාවේ දියුණුවක් තියෙනවා. මගේ විශ්ව විද්‍යාල ජීවිතය මේ අවුරුදු හතළිස් ගණනක්. මම ඒ කාලය තුළ දන්නවා විශ්ව විද්‍යාලවල ක්‍රීඩාවේ දියුණුව කොහොමද කියලා. අන්තර්ජාතික මට්ටමේ ගත්තත් අපේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ඉස්සරට වඩා ඉදිරියෙන් ඉන්නවා. අපි මේ අයව තව තවත් ඉදිරියට ගේන්න ඕනෑ.

ඊළඟ පරම්පරාවට ගැම්මක් ඇතිවෙන්නේ ඒ තුළින්ද?

පැහැදිලිවම ඒ නිසා අපි කිසිම තැනක වැටිලා කියලා මම හිතන්නේ නෑ. ඒත් අපි යන්නේ කොහෙද කියන ප්‍රශ්නය තියෙනවා. බටහිර රටවල් එක්ක බලද්දි අපේ පසුබැසීමක් තියෙනවා. අපි එතැනට කාලයක් එක්ක යයි. මේ ගමන වේගවත් කරන එක තමයි වැදගත් වෙන්නේ. අපි යන වේගය ශීඝ්‍ර කරගන්නවා නම් ක්‍රීඩා පිටියේ අභියෝග ජය ගන්න එක අමාරු නෑ.

මේවාට හොඳ සැලසුම් ඕනෑ?.

ඔව්, අපි වේගයෙන්, ශීඝ්‍රයෙන් ලෝකයත් සමග සමඟ ඉදිරියට යන්න නම් හොඳ සැලසුම් ඕනෑ. අපි විශ්ව විද්‍යාල මට්ටමින් ඒ සැලසුම් සකස් කරනවා. මම මේ අවුරුදු තුන හමාර ඇතුළත වින්ටර් ඔලිම්පික් බලන්න කොරියාවට දෙන්නෙක් යැව්වා. මේ දේවල් අපේ අය දකින්න ඕනෑ. මේවා අත් විඳින්න ඕනෑ. අපි උපයන මුදල් ප්‍රතිපාදන මේ ළමයින්ගේ අභිවෘද්ධියට ම යොදවනවා. අපි මිලියන තිහක් විතර ළමයින්ගේ ක්‍රීඩා කටයුතුවලට වියදම් කරනවා. මේ ප්‍රතිලාභ ඒ වෙලාවේම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් පහුවෙලා හරි රටට ‍ඒ ප්‍රතිලාභ ලැබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයට ගෙවී ගිය අවුරුද්ද ක්‍රීඩා පිටියේ ජයග්‍රාහි වසරක් වෙනවා. මොකක්ද රහස ?

ඇත්තටම ඔව්, මෙහි ලොකුම රහස විදියට දකින්නේ, මම ක්‍රීඩකයෙක්, මම දැන් ක්‍රීඩා කරන්නේ නැති වුණාට, පාසල් යන කාලයේ ඉඳලම ක්‍රීඩාවේ නිරත වුණා.

එතකොට මට ලොකු වුවමනාවක් තියෙනවා විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාව නඟා සිටුවන්න. එත‍කොට මම උපකුලපති තනතුරට ආපු දවසේ ඉඳලා මගේ පරමාර්ථ ගොඩක් තියෙනවා. එක දෙයක් තමයි ක්‍රීඩාවට උදව් කරන එක. ආයෝජනය කරන්න වගේම මගේ දැනුම මේකට දෙන්න.

මුලින් ළමයි ආවේ නෑ. සමහර පීඨ තිබුණා ළමයි එන්නේ ම නෑ. අපි ළමයින් ම යොදා ගෙන ඔවුන්ට ක්‍රීඩාංගණයට ගෙනෙන්නේ කො‍හොමද කියලා ක්‍රමවේද හොයාගත්තා. මම මගේ කතාවලදී මේ ක්‍රීඩාවට ප්‍රමුඛතාව දීලා කතා කරනවා. මේ විදියට තමයි ජයග්‍රාහී මාවතට දොරටු හදා ගත්තේ, ඒ වගේ ගුරුවරුන්ගේ සහායත් හරිම වැදගත්. ආචාර්ය මණ්ඩලයෙත් ක්‍රීඩා කළ අය ඉදිරියට ගත්තා.

ඔබ එකතු කරපු දේවල් මොනවාද?

ඒ වගේම පෝෂණයත් හරිම වැදගත්. හොඳ ක්‍රීඩා ඇඳුම් කට්ටලයකින් සැරසිලා ඉන්න කැමැතියි. මටත් හරි ආසයි මේවා දකින කොට. ඉස්සර මේවා තිබුණේ නෑ. ළමයින් මේ විදියට ලස්සනට ඇඳලා පළදලා ඉන්න කොට අනිත් අයත් කැමැතියි.

අපිට හොඳ ජිම් එකක් තියෙනවා. පිහිනුම් තටාකයකට, බාස්කට් බෝල් පිටියකට සැලසුම් හදනවා. අපේ ජිම් එක ක්‍රීඩා අමාත්‍යාංශයේ ජිම් එකට දෙවැනි නෑ. මේ දේවල් වැඩි කරන කොට ළමයින් අතර ‍ප්‍රබෝධයක් ඇති වෙනවා. මම කවදාවත් ක්‍රීඩා කරන ළමයකුට නෑ බෑ කියන්නේ නෑ. ඒ අයත් දන්නවා අපිත් හැම වෙලාවේම ඔවුන් ගැන හොයලා බලනවා කියලා. ඒ වගේම හොඳම ටීම් එකක් අපිට ඉන්නවා. මේවා තමයි අපේ ජයග්‍රහණයේ රහස්.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රීඩා සංස්කෘතියක් තියෙනවාද ?

තියෙනවා. අද විතරක් නෙමෙයි ඉස්සර ඉඳලම මේ දේ තිබුණා. අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උලෙළ ගත්තත් ඉස්සරට වඩා දැන් හුඟක් හොඳයි. ක්‍රීඩා සංස්කෘතිය දැන් දියුණු වෙලා තියෙන්නේ. ක්‍රිඩා උපාධියක් දෙනවා කියන්නේ අපේ මට්ටම උඩට ගිහින් කියන එක නේ.මේකට වටිනා කමක් තියෙනවා. අගයක් තියෙනවා. විශ්ව විද්‍යාලය ඇතුළේ විතරක් නොවෙයි ක්‍රීඩා උපාධිය අරගෙන යන්නේ කොහේද කියන එකත් වැදගත්. ආචාර්යවරුන් බඳවා ගැනීමේදී උපාධිය විතරක් බලන්නේ නෑ. අනෙක් දේවල්වලටත් සම්බන්ධ ද කියලා බලනවා. ක්‍රීඩාව කියන්නේ අද සමාජයේ ඕනෑම තැනක අතිරේක සුදුසුකමක් . මේවා එක්ක බලන කොට ක්‍රීඩා සංස්කෘතියක් හදන එක අමාරු නෑ.

ඔබේ ගම් පළාත කොහෙද?

මගේ මුල් ගම දැන් වික්ටෝරියා ජලාශයට යටවෙලා. තෙල්දෙණිය තමයි ගම. 1973 තමයි කොළඹ විශ්ව විද්‍යාලයට ආවේ. සම්පූර්ණ විශ්ව විද්‍යාල ජීවිතයේ අවුරුදු 45 ක් ඉවරයි. ශිෂ්‍යයකු විදියට ඇවිත් ජීවිත කාලය ගෙවුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ. පෑගුණු නැති වැලි කැටයක් නැතුව ඇති. වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයෙන් තමයි විශ්ව විද්‍යාලයට ආවේ. මාතලේ විජය විද්‍යාලයෙත් ඉගෙන ගත්තා. ක්‍රීඩා නායකයා විදියට කටයුතු කළා.

කැඩෙටින් සාජන් වෙලා සිටියා. හොඳට ක්‍රීඩා කළා. විශ්ව විද්‍යාල හොකි කණ්ඩායමත් නියෝජනය කළා. වර්ණ පවා දිනා ගෙන තියෙනවා. රග්බි ක්‍රීඩා කළා. මලල ක්‍රීඩා කළ, දුර පැනීම තමයි ඉසව්ව. විශ්ව විද්‍යාලයේ පළමු අවුරුද්දේ ක්‍රීඩා උ‍ෙලළේ පළමු වැනියා වුණා. මට මීටර් 100 විතරයි දුවන්න පුළුවන්, ඊට වඩා දුවන්න බෑ. මේ පසුබිම තමයි මාව මේ තරම් දුර ගෙනාවේ. මම මගේ ජීවිතයේ හැමදාම හොඳ දේවල් විතරයි බලන්නේ. පුද්ගලයන්ගේ හොඳ නරක දෙකම තියෙනවා. අපි ගන්න ඕනෑ හොඳ දේවල් විතරයි. එතකොට ඉබේම නරක දේවල් යට යනවා.

 

ක්‍රීඩාව අද වෙන කොට අපි දියුණු කරගත් දේවල් තියෙනවා. මේවා හැම මෙතරම් ම ඉදිරියට ගන්න ඕනෑ. අපි දියුණු වෙලා තියෙනවා. ඒක නෑ කියන්න බෑ. මම විශ්ව විද්‍යාලයට ඇවිත් ටකරන් වහලවල් යට ඉගෙන ගත්තේ. අද ඒ වගේ දහස් ගුණයකින් දියුණු වෙලා තියෙනවා. ක්‍රීඩාවත් ඒ වගේ තමයි. ජයග්‍රහණයට දර්ශනයක් තියෙන්න ඕනෑ. බටහිර රටවල් අවුරුදු 10-15 තියලා සැලසුම් කරනවා. අපි තරගාවලිය අත ළඟ තියගෙන සැලසුම් කරන්නේ. මේ දේවල් වෙනස් වෙන්න ඕනෑ.

අදහස්