වොලිබෝලයේ අලුත්ම නෑයා හිම | සිළුමිණ

වොලිබෝලයේ අලුත්ම නෑයා හිම

ඇ‍මෙරිකාවේ හෝලීයෝග් නුවරදී 1895 වර්ෂයේ විලියම් ජේ. මෝගන්ගේ උපදේශකත්වය මත උපත ලැබූ වොලිබෝලයේ මුල් නම මින්ටොනෙට් ය. එයට පසුව 1896 වර්ෂයේ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාරිරික අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනයේ දී මහාචාර්ය ඒ. ටී. හල්ස්ටෙට් මහතා විසින් මින්ටොනෙට් වෙනුවට වොලිබෝල් යනුවෙන් නම් කරන ලදි.

ලෝකය පුරා කාන්තා පිරිමි භේදයකින් තොරව ඉක්මනින්ම ව්‍යප්ත වූ වොලිබෝල් ක්‍රීඩාවට නිල පිළිගැනීම ලැබෙන්නේ 1947 ප්‍රංසයේ පැරිස් නුවරදී අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය පිහිටුවීමත් සමගමය. ප්‍රථම පිරිමි ලෝක වොලිබෝල් ශූරතාවලිය 1949 දී චෙකොස්ලෝවේකියාවේ ප්‍රාග් නුවරදීත් ප්‍රථම කාන්තා ශූරතාවලිය රුසියාවේ මොස්කව් නුවරදී 1952 දී පැවැත්විනි. 1964 ටෝකියෝ ඔලිම්පික් උ‍ලෙළේ සිට වොලිබෝල් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උ‍ලෙළේ නිල ක්‍රීඩා ඉසව්වක් බවට පත් විය.

1930 දී වොලිබෝල් ක්‍රීඩාවට නෑයෙක් එක්විය. ඒ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවයි. 20 වන සියවසේ මුල් භාගයේ දී දකුණු කැලිෆෝනියාවේ සාන්ත මොනිකා වෙරළ තීරයේ දී උපත ලැබූ වෙරළ වොලිබෝලයේ ප්‍රථම නිල තරගය 1976 දී කැලිෆෝනියා පැලිසේට් වෙරළ තීරයේ දී පැවැත්විණි. පසුව අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ රටවල් 221 තුළම ව්‍යාප්ත වූ වෙරළ වොලිබෝල් ක්‍රීඩාව 1996 ඇට්ලන්ටා ඔලිම්පික් ක්‍රීඩා උ‍ලෙළේ සිට නිල ඔලිම්පික් ක්‍රීඩාවක් බවට පත් විය. වෙරළ සහ ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාවන් අතර තාක්ෂණික සහ නීතී රීතිවල විශාල වෙනසක් දක්නට ලැබෙයි. වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවන් දෙකක් වූවද අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය විසින් එක ක්‍රීඩාවක් තුළ ක්‍රීඩා ඉසව් දෙකක් යන තේමාව යටතේ ක්‍රීඩාවන් දෙකම එකම ධජයක් යටතේ පාලනය කරමින් සිටියි.

වොලිබෝල් පවුලට තවත් අපූර්ව අලුත් නෑයෙක් වර්තමානයේ එකතු වී සිටීයි. ඒ හිම වොලිබෝල් ක්‍රීඩාවයි. වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ නීතිරීතිවලට බොහෝ දුරට සමාන නීතී රීති මෙම ක්‍රීඩාව සඳහා යොදාගනී. එසේම හිම වොලිබෝල් ක්‍රීඩාව 2022 වසරේ සිට සීත සෘතු ඔලිම්පික් උලෙළ හි නිල ඉසව්වක් ලෙස ඇතුළත් කිරීමටද අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය කටයුතු කරමින් සිටියි.

හිම වොලිබෝල් ක්‍රීඩාව සඳහා එක් පිලකට ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් වන අතර එක් අතිරේක ක්‍රීඩකයකු ද තබා ගැනීමට එක් කණ්ඩායමකට අවසර ලැබේ.

මීටර 16 ක් දිග මීටර 08 ක් පළල ( 16m x 8m) , මීටර් 02 ක නිදහස් කලාපයක් (2m) සහිත සෙන්ටීමීටර් 30 ක (30 cm) ඝනකමින් යුත් හිම තට්ටුවක් සහිත මීටර් 2.43 පිරිමින් සඳහාද මීටර් 2.24 කාන්තාවන් සඳහා ද උසින් යුත් දැලකින් මෙම ක්‍රීඩා පිටිය සමන්විත වේ. දැලෙහි කෙළවර මීටර් 1.8 ක උසකින් යුත් ඇන්ටනා දෙකක් පැති රේඛාවට සමාන්තරව තිබිය යුතු අතර 250g– 280g බරකින් සහ 66cm-88cm පරිධියකින් යුත් වොලිබෝලයක් හිම වොලිබෝල් සඳහා යොදා ගැනේ. ශරීරයේ උණුසුම රඳා පවතින පරිදි ශරීරය සම්පූර්ණයෙන්ම ආවරණය වන ක්‍රීඩා කිරීමට පහසු වන අංක සහිත ක්‍රීඩා ඇඳුම් දැනට භාවිතා කරන අතර, හිම වොලිබෝල් ක්‍රීඩාවේදී හිම මත ලිස්සා යෑම වැළැක්වීම සඳහා පාපන්දු බූට්ස් හිම වොලිබෝල් ක්‍රීඩාවේදී ක්‍රීඩා පාවහන් වශයෙන් යොදා ගනී.

එක් තරගයක් තරග වට 03කින් සමන්විත වන අතර ලකුණු 15කට එක් තරග වටයක් සීමා වේ. කණ්ඩායම් 02ම ලකුණු 15 දී සම තත්ත්වයට පත්වුව හොත් තවත් අමතර ලකුණු 2ක් හිමිකර ගන්නා කණ්ඩායමට ජයග්‍රහණය හිමි වේ. ඒ හිම වොලිබෝල් ක්‍රීඩාවේ මූලික තරග නිතී රිතී වන අතර අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය විසින් මෙම වොලිබෝල් ක්‍රීඩාව සඳහා යෝජිත නීතී රිතී දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.

හිම වොලිබෝල් ක්‍රීඩාවේ මුල් සංකල්පය හිමි වන්නේ ඔස්ට්‍රියානු ජාතික මාර්ටින් කස්වර්ඩ්ටය. ඒ 2006 වර්ෂයේ දී ඔස්ට්‍රියාවේ වර්ජිනියා නුවර ඔහුට අයත් අවන්හල් පරිශ්‍රයේ හිම වොලිබෝල් ක්‍රීඩා පිටියක් සකස් කර සංචාරකයින් සඳහා හිම වොලිබෝල් ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසාදීමෙනි. 2011 වසරේදී ඔස්ට්‍රියානු වොලිබෝල් සම්මේලනය හිම වොලිබෝල් ක්‍රීඩාව එරට නිල ක්‍රීඩා ඉසව්වක් වශයෙන් පිළිගත් අතර 2015 වසරේ දී යුරෝපා මහද්වීපික වොලිබෝල් සම්මේලනය විසින් ඔවුන්ගේ වාර්ෂික නිල ක්‍රීඩා දින දර්ශනයට හිම වොලිබෝල් ක්‍රීඩාව ඇතුළත් කිරීමට යෙදිණි.

2016 වර්ෂයේ දී ප්‍රථම හිම වොලිබෝල් යුරෝපිය තරග මාලාවද පවත්වන්නට යෙදිණි. 2018 මාර්තු මාසයේ දී යුරෝපා මහාද්වීපික වොලිබෝල් සම්මේලනයේ මෙහෙය වීමෙන් ප්‍රථම යුරෝපා මහාද්වීපික හිම වොලිබෝල් ශූරතාව ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පවත්වනු ලැබීය. මෙයට අමතරව 2018 වර්ෂයේ දී දකුණු කොරියාවේ පැවති XXIIIවන සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලළේ දී හිම වොලිබෝල් ක්‍රීඩාව හදුන්වාදීම සඳහා ප්‍රදර්ශණ තරග මාලාවක් අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ අනුග්‍රහයෙන් පවත්වන්නට යෙදිණි. 2017-2019 කාලසීමාව තුළ අට අවුරුදු සැලැස්මක් අනුව වොලිබෝල් ක්‍රීඩා කරන සියලුම රටවල් (221) අතර හිම වොලිබෝල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමටද ප්‍රථම ලෝක ශූරතා තරග මාලාව 2020 වර්ෂයේ දී පැවැත්වීමටත් 2020 වර්ෂයේ දී ස්විස්ටර්ලන්තයේ ලුසාන් නුවර පැවැත්වීමට නියමිත III වන යොවුන් ඔලිම්පික් ශිත සෘතු ක්‍රීඩා උ‍ලෙළේ විකල්ප ක්‍රීඩා ඉසව්වක් වශයෙන් හිම වොලිබෝල් ක්‍රීඩාව ඇතුළත් කිරීමටත් අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය සැලසුම් කර ඇත.

හිම වොලිබෝල් ක්‍රීඩාව 2006 දී නිල වශයෙන් ඔස්ට්‍රියාවේ දී ආරම්භ කරනු ලැබුවද 1955 වර්ෂයේ දී රුසියාවේ මොස්කව් නුවරදී හිම වොලිබෝල් ක්‍රීඩා කල බවට සාක්ෂි අනාවරණය විය. ඒ මොස්කව් නුවර වොලිබෝල් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට හමුවූ ඡායාරූපයක් නිසාය. ඒ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමේ දී ඔවුන් සොයාගනු ලැබූවේ 1964 ටෝකියෝ ඔලිම්පික් උ‍ලෙළේ දී වොලිබෝල් ක්‍රීඩාව සඳහා රන් පදක්කම දිනූ සෝවියට් රුසියානු පිරිමි කණ්ඩායමේ විටාලි කොවැලෙන්කෝ ක්‍රීඩකයා 1955 වර්ෂයේ දී මොස්කව් නුවරදී හිම වොලිබෝල් ක්‍රීඩාවට මුල්වූ බවයි. එසේම එයට පසුව 1996 වර්ෂයේ දී රුසියාවේ මොස්කව් නුවරදී නිල නොවන මට්ටමේ හිම වොලිබෝල් තරග මාලාවක් පවත්වා ඇති බවටද අනාවරණය විය.

ගිම්හාන ඔලිම්පික් සහ සීත සෘතු ඔලිම්පික් උලෙළවල් එක් කරන පුරුක වශයෙන් හිම වොලිබෝල් ක්‍රීඩාව යොදාගැනීම අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ අදහස වේ. එළිමහනේ සිට ගෘහස්ථ ක්‍රීඩාගාරවලටත්, ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සිට මුහුදු වෙරළ දක්වාත් ව්‍යාප්ත වු වොලිබෝල් ක්‍රීඩාව හිම මිදුනු කදු මුදුන් සහ නිම්නයන් කරා ගමන් කිරීම නිසා ලෝකයට දෙන පණිවිඩය නම් ලෝකයේ ඕනෑම තැනක ඕනෑම වේලාවක ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ ක්‍රීඩා කිරීමට හැකි විශ්වයේ එකම ක්‍රීඩාව බවට වොලිබෝල් පත් වන බවයි.

ගෘහස්ථ, වෙරළ සහ හිම වොලිබෝල්වලට අමතරව ආබාධිත වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ද වෙන් වූ Sitting and Standing වොලිබෝල් ක්‍රීඩාවන් ද ලෝකයේ ක්‍රියාත්මක වන බවද සඳහන් කළ යුතුය.

සුසිල් රණසිංහ

හිටපු ප්‍රධාන ලේකම්

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය

අදහස්