ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේදිත් තිසරගේ සරණ ලැබෙයි ද? | සිළුමිණ

ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේදිත් තිසරගේ සරණ ලැබෙයි ද?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ගෙවී ගිය වසර නිම කළේත් නව වසර ඇරඹුවේත් නවසීලන්තයේදීය. නමුත් ඔවුනට සිදු වූයේ එක් අමිහිරි අත්දැකීමක් ලැබීමටයි. එනම් පරාජයයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාව නවසීලන්තය ජය ගත්තේ 1 - 0 ක් වශයෙනි. එසේ වුවත් එය සම්පූර්ණ තරගමාලා පරාජයක් වීමටත් විශාල අවස්ථාවක් තිබුණි.

පළමු තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් විය. නියත පරාජයක් කරා ගමන් කරමින් සිටිය ශ්‍රී ලංකා කණ්ඩායම බේරා ගත්තේ සුපිරි සබඳතාවක් සහ වරින් වර තරගයට වර්ෂාවෙන් එල්ල වූ බාධාය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 282 කි. නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 578 කි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 296 ක් පිටුපසින් සිටියේය. දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා මුල් කඩුලු 03 ම බිඳ වැටුණේ ලකුණු 13 ක් පමණක් රැස්කර තිබියදීය.

එසේ වුවත් තරගයේ සිවුවැනි දිනය පුරාවට ම කඩුල්ලේ රැ‍ඳෙමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වීමට ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සමත් වූහ. තරගයේ අවසන් දිනයේ දී ක්‍රීඩා කිරීමට ලැබුණේ ඕවර 13ක් පමණකි. ශ්‍රී ලංකාව දෙවන ඉනිමට කඩුලු 03ක් දැවී ලකුණු 287 කි. මෙන්ඩිස්ට නොදැවී 141කි. මැතිව්ස්ට නොදැවී 120කි. ඔවුන් අතර සිවුවැනි කඩුල්ලට නොබිඳුණු සබඳතාව ලකුණු 274කි.

දෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 423 ක දැවැන්ත පරාජයකි. එය නවසීලන්තය ලකුණු අනුව ලැබූ විශාලතම ටෙස්ට් ජයග්‍රහණයයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ගෙවී ගිය වසර නිමා කළේ ඒ ආකාරයටයි. නව වසරේදී මුලින් ම ශ්‍රී ලංකාව තරග කළේ එක්දින ජාත්‍යන්තර තරගමාලාවකටයි. ඊට තරග 03 කි. එය නිමාවට පත් වූයේ නවසීලන්තයට 3 - 0 ජයක් අත්කර දෙමිනි.

දෙරට අතර පළමු තරගයෙන් නවසීලන්තයට ලකුණු 45 ජයකි. නවසීලන්තය කඩුලු 7 ට ලකුණු 371 කි. ශ්‍රී ලංකාවට ලකුණු 326 කි. කුසල් පෙරේරාට ලකුණු 102 කි. නිරෝෂන් දික්වැල්ලට ලකුණු 76 කි.

මෙම තරගයේදී වමත් පිතිකරු ජිමී නීෂම් එක්දින ජාත්‍යන්තර තරගයක ඕවරයකදී වැඩිම ලකුණු ගණනක් රැස් කළ නවසීලන්ත පිතිකරුවා බවට පත් වූයේය. ඒ දකුණතින් මද වේග පන්දු යැවූ තිසර පෙ‍රේරාගේ ඕවරයකදී ලකුණු 34ක්ම රැස් කරමිනි. ඊට 6 පහරවල් 05 කුත් අයත් විය. එම ඕවරයේදී නීෂම් ලකුණු ලබා ගත් අයුරු මෙසේය.

6 - 6 - 6 - 6 - (නිපන්දුව + 2) - 6 - 1

එය එක්දින ජාත්‍යන්තර තරගයක ඕවරයකදී පිතිකරුවකු රැස් කළ තෙවන වැඩිම ලකුණු ගණන සම කිරීමක් විය. මෙම පිතිහරඹයේ විශේෂත්වයක් විය. එනම් 28 හැවිරිදි නීෂම් ගත වූ කාලයේදී නවසීලන්ත ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් අහිමි වූ තුන් ඉරියව් ක්‍රීඩකයකු වීමයි.

තරගය නිමා වූ විට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දඩ ගැසීය. ඒ තරගය තුළ නියමිත කාලයට යැවිය යුතුව තිබූ පන්දු ඕවර ගණන යැවීමට අසමත් වූ බැවිනි. ඒ අනුව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගට තරග ගාස්තුවෙන් සියයට විස්සක් සහ සෙසු ක්‍රීඩකයන්ට සියයට දහයක මුදල් ප්‍රමාණයක් දඩ ලෙස ගෙවීමට සිදු වේ. දෙවන එක්දින තරගයෙන් නවසීලන්තයට ලකුණු 21 ක ජයකි. නවසීලන්තය කඩුලු 7 ට ලකුණු 319 කි. ශ්‍රී ලංකාවට ලකුණු 298 කි. ඒ ඕවර 46 පන්දු දෙකකදීය.

තරගයෙන් පරාජය වුවත් වමතින් පිතිහරඹයේ නිරත වෙමින් විශිෂ්ට ශතකයක් (140) රැස් කළ තිසර පෙ‍ෙර්රා තරගයේ වීරයා වූයේය. එක්දින ජාත්‍යන්තර තරග 147 ඉනිම් 114 කදී 29 හැවිරිදි තිසර රැස් කළ ප්‍රථම ශතකය එය විය.

ඔහු එහිදී ශතකය රැස් කළේ පන්දු 57 කදීය. එය නවසීලන්තයට එරෙහිව එක්දින තරගයකදී පිතිකරුවකු රැස් කළ වේගවත්ම (අඩුම පන්දු ගණනකදී) ශතකය විය. එමෙන්ම නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගයකදී රැස් කර තිබූ වැඩි ම ලකුණු වාර්තාව සම කිරීමක් ද විය. ඊට පෙර එහි හිමිකරුවා වූයේ සනත් ජයසූරියයි.

තිසරගේ මෙම වේගවත් ඉනිමට පන්දු 74 කි. ඊට හතරේ පහර 8 කි. හයේ පහර 13 කි. මෙම හයේ පහර ගණන ශ්‍රී ලංකා වාර්තාවකි. මීට පෙර එක්දින තරගයකදී වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කර තිබුණේ ද ජයසූරියමයි. ඒ හයේ පහර 11 කි.

තිසර හැර මෙම දෙවන තරගයේදී සාර්ථක වූයේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පමණි. ඔහුට ලකුණු 71 කි. ‍

මෙම තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථා උදා වී තිබුණි. එහෙත් තීරණාත්මක මොහොතේදී පිතිකරුවන් අඩු ලකුණු ගණනට දැවී යෑම ජයග්‍රහණවලට බාධා විය.

ප්‍රථම තරගයේදී තිසරත් දෙවන තරගයේදී කුසල් පෙරේරා හෝ දික්වැල්ලත් සාර්ථක වූයේ නම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයන්ට අනිවාර්යයෙන් ම ඉවහල් වනු ඇත.

හිටපු ශ්‍රී ලංකා නායකයකු වන මහේල ජයවර්ධන මෙම තරගවලින් අනතුරුව සිය මතය ‍මෙසේ දැක්වූයේ ඒ නිසාය.

“නවසීලන්තය සමඟ පැවැති (මුල්) එක්දින ක්‍රිකට් තරග දෙකේදී එක් එක් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉදිරියට ඇවිත් තියෙනවා. පළමු තරගයේ දී කුසල් පෙරේරා සහ දෙවැනි තරගයේදී තිසර පෙරේරා විශිෂ්ට ශතක ලබා ගත්තා. නමුත් ඒකාබද්ධ ප්‍රයත්නයකින් කණ්ඩායම ගොඩගැනීමට හැකිවූයේ නැහැ. ඍණාත්මක දේට වඩා ධනාත්මක දේ බහුලව තියෙනවා. තවදුරටත් වැඩි දියුණු විය යුතු දේ තියෙනවා.”

තෙවන තරගයෙන් නවසීලන්තයට ලකුණු 115 ක ජයකි. නවසීලන්තය ඕවර 50 දී කඩුලු 4 ට ලකුණු 364 කි. ශ්‍රී ලංකාව ඕවර 41 පන්දු 4 දී ලකුණු 249 කි. තිසර පෙරේරා 80, නිරෝෂන් දික්වැල්ල 46 සහ කුසල් පෙරේරා 43 ක් ලෙස ලකුණු රැස් කර ගත්හ.

නවසීලන්තය වැනි රටකදී ක්‍රීඩා කිරීම විදෙස් කණ්ඩායම්වලට පහසු කාර්යයක් ‍නොවේ. විශේෂයෙන් ම වත්මන් නවසීලන්ත ජාතික කණ්ඩායම ඉතා ප්‍රබල මට්ටමක සිටියි.

එවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට කිවි රටේදී සාර්ථක වීම කිසිසේත් ම පහසු කාර්යයක් නොවේ. වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරය දස්කම් අතර නොසිටීම ඊට ප්‍රධානතම හේතුව වේ.

මෙවැනි අවස්ථාවක නවසීලන්තය එර‍ෙට්දී පරාජය කරමින් තරගමාලා ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු නොවිය යුතු වන්නේ ඒ නිසාය.

මෙම සංචාරයට පෙර ශ්‍රී ලංකාව සම්පූර්ණ තරගමාලාවකට සහභාගි වූයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. එහිදීත් ශ්‍රී ලංකාව පරාජය විය.

මෙම නව වසර මුලදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලැබී තිබෙන්නේ අසීරුතම සංචාරයන් ත්‍රිත්වයකි. මින් පළමු සංචාරය නවසීලන්තයටයි. දෙවන සංචාරය ජනවාරි - පෙබරවාරි මාසවලදී ඔස්ට්‍රේලියාවටයි. තෙවන සංචාරය පෙබරවාරි - මාර්තු මාසවලදී දකුණු අප්‍රිකාවටයි.

කැන්ගරු දේශයේදී ශ්‍රී ලංකාව සහභාගි වන්නේ ටෙස්ට් තරග දෙකකට පමණකි. එහෙත් ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවට ‍එරෙහිව එරටේදී ටෙස්ට් තරගයක් හෝ තරගමාලා ජයක් අත්කර ගැනීමට මෙය ශ්‍රී ලංකාවට ලැබුණු කදිම අවස්ථාවකි.

සිය ටෙස්ට් තරග ඉතිහාසයේ දී මෑතකදී ටෙස්ට් වරම් ලැබූ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය හැරුණු විට අදාළ රට තුළදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාව තවමත් අසමත් වී තිබෙන්නේ දෙරටකදී පමණි. ඒ ඉන්දියාවේදී සහ ඔස්ට්‍රේලියාවේදීය. අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව මේ වන විට ටෙස්ට් ක්‍රීඩා කර නැත.

මේ වන විට ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමත් දස්කම් අතර නැත. ඔවුහු මීට දින කිහිපයකට පෙර සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගමාලාව පරාජයට පත් වූහ. මෙය ඉන්දියාව ලැබූ ඉතිහාසගත ජයකි. දශක හතකට වැඩි ඉතිහාසයක් ඉන්දීය - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගවලට තිබේ. එහිදී ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගමාලා ජයක් ලැබුවේ ප්‍රථම වතාවටයි.

මෑතකදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිහරඹය විශාල ලෙස දුර්වල විය. ඊට හේතුව වූයේ ඔවුන්ගේ සුපිරිතම පිතිකරු යුගලය වන හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපු උපනායක ඩේවිඩ් වෝනර් ක්‍රීඩා නොකිරීමයි.

ස්මිත් සහ වෝනර් මේ වන විට වසරක කාලයක ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටිති. ඒ ගිය වසරේදී දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවට හානි කිරීමට වැරදිකරුවන් වූ බැවිනි.

මේ වසරක තරග තහනම මෙම වසරේ මාර්තු මාසය වන විට අවසන් වීමට නියමිතයි. ඔවුහු ඒ වෙනුවෙන් දැනටමත් ක්‍රිකට් තරගවලට සහභාගි වෙති. මේ වන විට ඔවුහු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරති. එසේ වුවත් ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කළ නොහැකිය.

එම නිසාම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවටත් ස්මිත් සහ වෝනර් ක්‍රීඩා කරන්නේ නැත. ශ්‍රී ලංකාව එම වාසිය අත්කර ගත යුතුව තිබේ.

දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාව සම්පූර්ණ තරග සංචාරයකට සහභාගි වනු ඇත. ඊට ටෙස්ට් තරග 02, එක්දින 05 සහ 20 - 20 තරග 03 කි.

මෙම තරග සංචාරය සංවිධානය වූයේ එක්දින ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සූදානම් වීම සඳහාය. ශ්‍රී ලංකාවටත් ඒ දෙයම කර ගැනීමට හැකිය.

ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවේ අවසන් මොහොතේදීය. එසේ වුවත් 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 20 - 20 ලෝක කුසලාන තරගාවලියට නම් එය අදාළ වන්නේ නැත. ඒ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන බැවිනි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ගිය වසරේ අවසන් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව මුල් ස්ථාන 08 හිමි කරගෙන සිටි රටවල් 2020 ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමි වූයේ 09 වැනි ස්ථානයේ සිටි බැවිනි. 08 වැනි ස්ථානයේ සිටියේ ඇ‍ෆ්ගනිස්තානයයි.

ශ්‍රී ලංකාව කාලයක් 20 - 20 තරගවලදී ඉදිරියෙන් ම සිටිය කණ්ඩායමකි. එහි ලෝක කුසලාන තරගාවලියන්හිදී ද සාර්ථකව සිටියේය. ඔවුනට හිමි වූයේ 2014 ලෝක ශූරතාවයයි. 2009 සහ 2012 අනුශූරතාවයි.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගත වූ කාලයේදී කෙතරම් පසුබැසීමකට ලක්වී තිබේදැයි පැහැදිලිය.

ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් මේ පිළිබඳ සිය මතය නොබෝදා මෙසේ ප්‍රකාශ කළේය.

“මම අපේ ක්‍රිකට් වර්තමාන තත්ත්වය ගැන කොහෙත්ම සෑහීමට පත්වෙන්නේ නැහැ. අපිට දැන් ලෝක කුසලානයට (20 - 20) යන්නත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වෙන්න වෙලා තියෙනවා. මේකට සුදුසු කට්ටිය දාලා තියෙනවානේ. ඒ අයම තමයි මෙහෙම වු‍ෙණ් ඇයි කියලා හොයන්නත් විසඳුම් සොයන්නත් ඕනේ. මේකට පරිපාලකයන්ටම දොස් කියන්නත් බැහැ. ක්‍රීඩකයන්ගේ දක්ෂතා මදිකමකුත් පේනවා.”

කෙසේ හෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ වන විට පත්වී තිබෙන දැඩි අසාර්ථක බවට වහාම විසඳුම් සොයාගත යුතුව තිබේ.

අදහස්