ශ්‍රී ලංකා ක්‍රිකට් තිසර හා මාලිංග | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් තිසර හා මාලිංග

විචාරයට පෙර හැදෑරීමේ වැදගත්කම ජාත්‍යන්තරව පවා පිළිගත් මුඛ්‍ය සාධකයක් වන විට එය අමතක කර හෝ නොසලකා හැර කටයුතු කිරීම තුළ ප්‍රදර්ශනය වන්නේ නොදන්නාකම සහ හිස්කම පමණී. කිසිම ක්‍රීඩාවක, ක්‍රීඩකයකුගේ හෝ ක්‍රීඩිකාවකගේ අන්තර්ජාතික ජයග්‍රහණයන් හුදු ෂෝට්කට් හෝ පටුමං ඔස්සේ වැටී ඇතැයි සිතන්නේ නම් එය මුළාවකි. ලාංකේය ක්‍රීඩාව සමස්තයක් ලෙස බිඳ වැටී ඇත්තේ නිකම් ම නිකන් නොවේ. එයට මුලිකව ම හේතු වී ඇත්තේ දැක්මක්, සැලැස්මක් සහ නිසි වැඩපිළිවෙළක් නොමැතිවීමය. දැක්මක්, සැලැස්මක් සහ වැඩපිළිවෙළක් ඇතිව වැඩ කළ හැකි වැඩකාරයන් ද මෙයට පයින් ගසා තම තමන්ගේ වැඩක් බලාගෙන සිටින්නේ නිකමුන් ජරාජීර්ණ වී ඕජස් ගලන ක්‍රීඩාවේ බඩපිනුම් ගසන බැවිනි. ක්‍රීඩා සංගම්, සම්මේලන අරක් ගෙන සිටින පුස්සන්ද පරාජයේ මළ කුණුම බුදිමින් එහිම ලැග සිටින්නේ මේ රීරිමාංශයෙන් තම තමන්ගේ ගිණුම්වලට තව කීයක් හෝ බැර කර ගැනීමට, රට සවාරි ගැසීමට මිස ක්‍රීඩාවට ආදරයෙන් නොවන බව සක්සුදක්සේ පැහැදිලිය.

ක්‍රීඩා අමාත්‍යවරයාට වැඩ බාර ගෙන ක්‍රීඩා සංගම් - සම්මේලන හැටකට අධික සංඛ්‍යාවක් ඇති රටක ක්‍රිකට් අමාත්‍යවරයා වීමට සිදුවන්නේ ද එවන් පසුබිමකය. අපේ රටේ බොහෝ ක්‍රීඩා සංගම් - සම්මේලන අතර බොහෝ අමාත්‍යවරුන්ට සුපිරි - මාර ආයතනයක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට අනුව දූෂණයේ රජ දහනකි. ඊට පෙර මෙවන් අදහසක් හෝ අසන්නට ලැබුණේ සී.බී. රත්නායක ක්‍රීඩා අමාත්‍යවරයාගෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි හොර ගුහාවක් කියූ එකී හිටපු අමාත්‍යවරයාට වැඩිකල් නොගොස් ම අමාත්‍ය ධුරයට ද තට්ටු විය.

තරග පාවාදීම් සහ දූෂණ ‍චෝදනා හේතුවෙන් අන්තර්ජාතික වශයෙන් ද කප් ගසා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීමට, පිරිසුදු පිරිසකට භාර දීම තම අභිලාෂය බව ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය. මේ අතර ක්‍රිකට් නිලවරණය කල් දානවාද? නැද්ද? අතුරු කමිටුවක් පත්කරනවාද යන්නත් අමාත්‍යවරයා මුහුණ දී ඇති ප්‍රබල ගැටලුවකි. ක්‍රිකට් අතුරු කමිටුවකට යන්නේ නම් එය ද ලෙහෙසි පහසු නොවන්නේ මේ සඳහා සුදුසු අය තෝරා ගැනීමේදීය. පසුගිය වසරේ මැයි මාසයේ සිට ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක වන්නේ අතුරු කමිටුවක ස්වරූපයෙනි. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා නිසි බලධරයා වශයෙන් කටයුතු කරන තත්ත්වයක් තුළය.

අතුරු කමිටු සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එතරම් කැමැත්තක් නොදක්වන අතර, මීට පෙර දිගින් දිගට ම මේ ගැටලුව ඇතිවූ අවස්ථවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පෙබරවාරි මාසය තුළ නිලවරණය පවත්වන බවට පොරොන්දු වීමෙන් අනතුරුව අතුරු කමිටුවක ස්වරූපය ක්‍රියාත්මක වන පාලක මණ්ඩලයකට ඔවුන්ගේ අනුමැතිය හිමි විය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දු වන ආකාරයට නැවත අතුරු කමිටුවකට යන්නේ නම් ඒ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ අනුමැතිය හිමිවිය යුතුය. එය එසේ නොවුණහොත් මතුවන්නා වූ ගැටලුවල නිමක් නොවනු ඇත. මේ සියල්ල සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ සඳහා දක්වන්නා වූ ප්‍රතිචාරය වඩා වැදගත්ය. මෙරට තුළ කවුරු කවුරුත් මොන කයිවාරු ගැසුවද සැබෑ කතාව ඇත්තේ මේ වර්ග කිලෝමීටර හැටපන්දහයෙන් එළියේ බව බලධාරින් අමතක කිරීම මේ සියලු ගැටලුවලට මුල බව රහසක් නොවේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දක්වන්නේ යහපත් ප්‍රතිචාර නොවේ. මේ සියල්ල විසඳා ගෙන ඉදිරියට යාම අමාත්‍යවරයාගේ අද දවසේ මුඛ්‍ය කාර්යයන් වී තිබේ. රැවුලයි - කැඳයි දෙකම බේරා ගෙන ඉදිරියට යාම අතුරේ යාමටත් වඩා අසීරු වී තිබේ. අමාත්‍යවරයාගේ මත දැක්වීම් වලින් පැහැදිලි වන්නේ දූෂණ චෝදනා - නිලවරණය ආදිය තුළින් මඩ ගොහොරුවක සිරවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ඉන් මුදා ගැනීමට කෙටි කාලයකට හෝ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය සහ ආශිර්වාදය මත අතුරු කමිට‍ුවක අවශ්‍යතාව ඔවුන්ට පෙන්වාදීමටය.

‍‍මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා සිය ධුරයට පත්වූ විගස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් ද හමුවී තිබේ. මෙහිදී දෙදෙනා අතර පැවැති කතාබහේදි වැඩි අවධානයක් යොමු වී ඇත්තේ තරග පාවාදීම් පිළිබඳ එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ගත යුතු ක්‍රියා මාර්ගයන්ය. ඔවුන් විසින් වාර්තාවක් ලබා දුන් බව ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදි හෙළිදරව් කළේය. එහිදි අනාවරණය වූයේ පාතාල සාමාජිකයන් පවා මේ ක්‍රියාදාමයට හවුල්වී ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාවාදීම්වල දිග - පළල සහ ගැඹුර පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම බලධාරින්ගේ මුඛ්‍ය අරමුණ විය යුතුය. මැස්සෙක්වත් අල්ලන්න බැරි තරමට අපේ ක්‍රීඩා නීතිය අරාජික බව නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද ක්‍රීඩා සමඟ ප්‍රකාශ කළේ මීට මාස තුනකට පෙරය. එසේ තිබියදී ක්‍රීඩා නීතියක් නැති රටක මේ ආකාරයට ක්‍රිකට් තරගපාවාදීම්වල නිරතවන්නා වූ දූෂිතයන් මෙරට තුළ බඩපිනුම් ගැසීම පිළිබඳ එක් අතකින් පුදුම විය යුතු නොවේ.

‍ෙම් අතර නැවතත් බිඳ වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා සංගා, මහේල සහ අරවින්ද එක්ව ගොඩනැඟූ සැලසුම ගැනද අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව ‍පෙනේ. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා උපදේශකයන් ලෙස සහාය දක්වන ලෙස සංගා, මහේල සහ අරවින්දට කරන ලද ඉල්ලීම ද ඔවුන් පැහැදිලිවම ප්‍රතික්ෂේප කළේ, දිගින් දිගට ම සිය නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට බොහෝ දෙනා දක්වන්නාවූ නොසැලකිල්ල නිසාය. කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම්, සංගා සහ මහේල අමාත්‍යවරයාට සහාය දක්වන බව ප්‍රකාශකර ඇතැයි ද කියැවේ. ක්‍රීඩා අමාත්‍යවරයාට මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට නම් දැඩි තීන්දු, තීරණ ගත යුතුව තිබේ. දයාසිරි ජයසේකර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මීට ටික කලකට පෙර ප්‍රකාශ කළේ මහේලගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ක්‍රිකට් සමාජවලින් එල්ල වූ ‍චෝදනා නිසා බවය. එසේ නම් මේ අභියෝගය ජයගෙන ඉදිරියට යෑමට ක්‍රීඩා අමාත්‍යවරයාට සිදුවනු ඇත.

සිය දශක දෙකකට ආසන්න ක්‍රිකට් අත්දැකීම් උපයෝගි කරගනිමින් මහේල සිය මුල්ම සැලසුම 2015 දී භාර කළේ එවකට ක්‍රිකට් අතුරු කමිටුවේ ප්‍රධානියා වූ සිදත් වෙත්තිමුනිගේ ඉල්ලීමකට අනුවය. කෙසේ වෙතත් එකී සැලසුම ක්‍රියාත්මක නොවූ අතර, දයාසිරි ජයසේකර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් සැලසුමකට දායක වන ලෙස පැවැසූ ඉල්ලීමකදි මහේල ප්‍රකාශ කළේ, අවසාන උත්සාහයත් යොදලා බලමු. නොකෙරෙන දේවල් පසුපස යාම් තේරුමක් නැති බවද මහේල එහිදී වැඩිදුරටත් පැවැසීය. කෙසේ වෙතත් සිය මුල් සැලසුම ක්‍රියාත්මක නොවීම පිළිබඳ සංගා, මහේල මෙන්ම අරවින්ද පවා දැඩි කනස්සල්ලකින් පසු වූ බව රහසක් නොවේ.

මේ අතර තිසර පෙරේරා සහ ලසිත් මාලිංග අතර ඇති පෞද්ගලික ප්‍රශ්නයක් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ජාලා එකී ගැටලුව ජාතික ගැටලුවක් දක්වා ඔසවා තැබීමට වෙර දරන විට, ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි එක්දින තරගයෙන් පසු නායක ලසිත් මාලිංග තිසර ගැන මහත් ප්‍රශංසා මුඛයෙන් කතා කර තිබීම කාගෙත් අවධානයට ලක්වූ කරුණක් විය. නවසීලන්ත දෙවැනි තරගයේදි තිසර ක්‍රීඩා කළේ විශ්වාස කළ නොහැකි ඉනිමක්. තිසර තරග දිනවිය හැකි ක්‍රීඩකයෙක්. දෙවැනි තරගය ජයග්‍රහණයේ ආසන්නයට ම රැගෙන ආවා. කණ්ඩායමක් විදියට අපි තිසර ගැන ගොඩක් සතුටු වෙනවා. මාලිංග එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ප්‍රවීණ විස්තර විචාරක රසල් ආර්නල්ඩ් කණ්ඩායම් හැඟීම ගිලිහීයාම ගැන මීට වඩා අවධානය යොමු කළ යුතු බව පවසයි. ක්‍රීඩකයන් කුමන පසුබිමකින් පැමිණියත්, සියලු දෙනා එක අරමුණකින් ක්‍රීඩා කළ යුතු බව පවසයි. මේ අතර, මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන සෑහීමකට පත්විය නොහැකි බව කියා සිටියේ මීට දින කිහිපයකට පෙරය. පසුගිය දශක දෙකක කාලය තුළ අපි ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් ලෙස නැගී සිටියා. එහෙත් අද ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කරන තත්ත්වයක් දක්වා වැටී ඇති බව ද පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ගෙවෙන මොහොතේ පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්ත්වයක බව පැහැදිලිය. මීළඟ ක්‍රිකට් ලෝක කුසලානයට ඇත්තේ තවත් මාස කිහිපයකි. නිසි නායකත්වයක් පවා කණ්ඩායමට නොලැබෙන තත්ත්වයක් තුළ අතුරේ යාමටත් වඩා අසීරු ගමනකට නව වසරේදී ම ශ්‍රී ලංකා ක්‍රිකට් පත්වීම කනගාටුවට කරුණකි.

 

අදහස්