කොන්දේසි නැතිව සන්ධාන ගතවිය යුතුයි | සිළුමිණ

කොන්දේසි නැතිව සන්ධාන ගතවිය යුතුයි

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල අර්බුද රැසක් මතු වුවත්, මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් ඇති පක්ෂය නියෝජනය කරන නිසා විපක්ෂ නායක ධූරය හිමිවුණා. විපක්ෂ නායක ධූරයේ ඉදිරි කාර්යය භාරය සහ විපක්ෂයේ කාර්යභාරය කෙබඳු ද?

විපක්ෂනායක ධූරයේ සහ විපක්ෂයේ කාර්යය භාරය වන්නේ ආණ්ඩුව යහමඟට යොමු කිරීම සහ කඩිනමින් ආණ්ඩුවක් ලබා ගැනීමේ වැඩපිළිවෙළ එතුමාට සහ විපක්ෂයට පැවැරී තියෙනවා. මේ මුළු රටේ ම ජනතාව එතුමා පිළිබඳ ව විශ්වාසයෙන් සිටිනවා. ඒ නිසා ඉදිරි කාලය තුළදී මේ ආණ්ඩුව ගෙන යන වැරදි වැඩපිළිවෙළ විරුද්ධව ජනතාව පෙළ ගස්වා ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් පාර්ලිමේන්තු ක්‍රියාත්මක කිරීමේ වගකීම එතුමාට පැවැරී තියෙනවා. ඒ නිසා එතුමා ශක්තිමත් විපක්ෂයක විපක්ෂ නායකවරයෙක් හැටියට එතුමා ට එම කාර්යයභාරය කරන්නට පුළුවන් වෙයි.

බෙඳුම්වාදි ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට සුදානමක් තියෙනවා කියලා ඔබතුමන්ලා නිරන්තරයෙන් හඩ නඟනවා. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවලට නැති බලතල ඒ ආණ්ඩුවට පවතිනවා කියලා සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයක් කර තියනවා කියලත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් කියනවා. නමුත් රට බෙදන ව්‍යවස්ථාවක් සම්මත නොකරන බව ආණ්ඩු පක්ෂය කියනවා නේද?

ඉතා පැහැදිලි ව ම ඒ තේරීම් කමිටුවේ මමත් දිනේෂ් ගුණවර්ධන මහතාත් ඉන්නවා. අපි දකිනවා සංශෝධනය ගෙන ඒමට සුමන්තිරන් මන්ත්‍රිවරයා ලොකු උනන්දුවකින් ක්‍රියා කරන බව. මෙය හංගලා ගහන්න හදන කටයුත්තක් බව ඒ අයගේ කරුණු කාරණා පිරික්සලා බලද්දි පේනවා. ‍විශේෂයෙන් ඒකීය රාජ්‍යයක් කියලා කිව්වාට පළාත් සභාවලට නීතිමය බලය ලබා ගත්තට පස්සේ ඒ බලය නැවත ලබා ගැනීමට ඒ පළාත් සභාවේ බහුතරයක කැමැත්ත ගන්නට අවශ්‍යයි. ඒ සඳහා ලොකු ක්‍රියාදාමක් තියෙනවා. ඒ නිසා මෙය ඒකීය රාජ්‍යයක් වෙන්නේ නැහැ. පළාත් සභාවට ගිහිල්ලා ආපසු ගන්න බැරි බලයක් දුන්නාම ඉන්දියාවේ ප්‍රාන්ත රජයට වඩා බලයක් තියෙනවා තමයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක බලතල ඉවත් කරන්නට කටයුතු කරනකොට ආණ්ඩුකාරවරයෙක් නැතුව යනවා. ජනාධිපතිවරයකුට අවශ්‍ය ආකාරයට විසුරුවා හැරීමක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙනවා. ඒ නිසා ඒකට කොහෙත්ම මේ රටේ ජනතාව ඉඩ තියන‍්නේ නැහැ.

ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් විසි එක්දෙනකු වෙනම සන්ධානගත වීමට උත්සාහයක් තියෙනවා. මෙවැනි ක්‍රමන්ත්‍රණ ජයග්‍රහණය කළොත් ශ්‍රිලනිපයට මොකද වෙන්නේ?

මේවැනි තත්ත්ව ඉතිහාසයේත් සිදු වුණා. 2015 මැතිවරණයෙදීත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්නට ක්‍රමන්ත්‍රණයක් දියත් කරපු බව මේ මුළු රට ම දන්නවා. ඒ අය ශ්‍රිලනිප ‍බේදභින්න කිරීම ඉතිහාසය පුරා කළා. නමුත් ඒ කුමන්ත්‍රණ පරාජය කරන්නට මහින්ද රාජපක්ෂ මහතාට එදා හැකි වුණා. බටහිර රටවලට ගැති නායිකාවක් තමයි මේ දේ කරන්නෙ. ඒ අයට වුවමනා කරන්නේ මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න; රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය සහයෝගය දෙන්නයි. තනතුරු අතහැරලා යන්න බැරි, තනතුරු නැතිව ඉන්න බැරි අය මේ සඳහා සහයෝගය දෙයි.

මේ තත්ත්වය මත ඔබ කිව්ව රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත ලබාගැනීමට හැකිවෙයිද?

මේ ෆෙඩරල් ව්‍යවස්ථා ව සම්මත කරගැනීමට විරුද්ධවෙන්න අපිට සන්ධානගත වෙන්නම ඕන නැහැ. විපක්ෂයේ ඉදගෙනත් අපිට ඒ කාර්යය භාරය කරන්නට පුළුවන්. අවශ්‍ය වෙන්නේ ශ්‍රිලනිප ඉන්න පිරිස් අපිත් සමඟ එකතු වීමයි. අනෙක් කාරණය ඔය කියන තරම් ලේසියෙන් කරන්න බැහැ. ඒ සඳහා ලොකු ක්‍රමවේදයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබෙන්න ඕන එය කරගැනීමට. එසේ වුවත් ‍ඉන් පසුව ශ්‍රේෂ්ඨ‍ාධිකරණයට යන්නට ඕන. ඉන් පසුව ජනමත විචාරයකට යන්න ඕන. ආසන වශයෙන් අපි ශක්තිමත් වෙලා තියෙනවා; ඒනිසා ජනතාව ඒ අයට එවැනි ව්‍යවස්ථාවකට සහය දෙන්නේ නැහැ; ජනමත විචාරණයකදි එය පරාජය කරන්නට පුළුවන්.

ඉදිරි අයවැය පරාද කිරීමෙන් අනතුරුව මහා මැතිවරණයකට යෑමට විපක්ෂය සුදානම් වෙනවා. නමුත් ආණ්ඩු පක්ෂය කියන්නේ ජනාධිපති මැතිවරණයකට යා යුතු බවයි. කෙසේ වෙතත් අයවැය පරාද කරන්නට විපක්ෂයට පුළුවන් වෙයිද?

අද එජාප ජනාධිපතිවරණයක් ඉල්ලුවාට මෙරටේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඔහු බහුතර ජන්දෙන් ජනතාව අතරින් පත්වෙලා තියනවා නමුත් ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නැහැ. මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ මැතිවරණ අරමුණු කරගෙන වුවත් ජනතාව ඒ දේවල්වලට රැවටෙන්නේ නැහැ. ව්‍යවස්ථාව සම්මත කරලා දෙන්නම් කියන පොරොන්දු නිසා ආණ්ඩුවට මේ අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයේ ඡන්දය තියෙනවා. ඒ නිසා බටහිර රටවල කුමන්ත්‍රණකරුවෝ මේ අයට උදව් කරනවා. එජාප ඇතුළේ අර්බුද තියෙනවා. එක එක්කෙනා බලන් ඉන්නවා අගමැති වෙන්න. ඒ නිසා මේ අයව බටහිර රටවල් ටික ගැට ගහගෙන තියාගෙන ඉන්නවා. මේ ව්‍යවස්ථා ගොඩදා ගන්නකල්. දෙමළ ජාතික සන්ධානය ඒ ස්ථාවරයෙ ඉන්නවා. නමුත් පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැහැ.

ඔබ කිව්වා ආණ්ඩු පක්ෂය අභ්‍යන්තරයේ ගැටුම් තියනවා කියලා. නමුත් ශ්‍රිලනිප තුළත් ගැටුම් තියනවා. මේ වනතුරුත් පොදුජන පෙරමුණ අතර සන්ධාන ගතවීමක් සිදුවෙලත් නැහැ. මේ ගැටුම් නිසා කොහොමද ඉදිරි මැතිවරණයකට මුහුණ දෙන්නේ ?

දෙගොල්ලක් එකතු වුණාම ගැටුම් තියෙනවා තමයි. විවිධ අදහස් දරණ අයයි මේ පක්ෂවල ඉන්නේ. ඒ නිසා ගැටුම් තියෙනවා; හංගන්න ‍දෙයක් නැහැ. නමුත් අපි දේශපාලනික වශයෙන් එක ස්ථාවරයක ඉන්නවා. මතවාදමය ගැටුම් තියෙනවා; නමුත් මේ සියලු පක්ෂ වලට අභියෝගයක් වෙමින් අපි පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පොදු ජන පෙරමුණ ලෙස ඉදිරියෙන් සිටියා. ඒ නිසා මේ රටේ බහුතර බලය තියෙන්නේ පොහොට්ටුවත් සමඟයි. ජනමතයක් නැතුව ජාතික ලැයිස්තුවලින් එන අය කියන දේවල් කරන්න බැහැ.

පොදු මතයක් සමඟ එකට ඒකරාශි වු සන්ධානයකින් හැර ජනතාවගේ බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි නේද?

සන්ධානයකින් මැතිවරණයකට ඒම සඳහා එකඟතාවකට සුදානම් වෙද්දි මුලින් ම ගැටුම් ඇති කරගැනීමට ගියොත් ගැටලු මතු විය හැකි යි. හැමෝම සන්ධාන ගතවන පක්ෂ දැනගන්න ඕන මේ රටේ බහුතර දේශපාලන බලය තියෙන්නේ කාටද කියලා. ඒ පක්ෂයටයි යම්කිසි නායකත්වයක් තියෙන්නට අවශ්‍ය වෙන්නේ. අපි සන්ධාන ගත වෙන්න ඕන කොන්දේසි විරහිතවයි. අපිට ජනතා බලය තියෙනවා. ඒවගේම අනෙත් පාර්ශ්වලට රාජ්‍ය බලය තියෙනවා. ඒනිසා අපි සන්ධාන ගතවෙලා ජයග්‍රහණය කළ යුතුයි.

අදහස්