ජනපති පදවිප්‍රාප්තියට සිවු වසරයි! | සිළුමිණ

ජනපති පදවිප්‍රාප්තියට සිවු වසරයි!

  • දේශපාලන දෛවය
  • දූෂණ විරෝධි සටන්
  • විමර්ශන කොමිසම
  • උත්තම පූජා දෙකක්
  • ගම්භීර සිහිවටන

2015 ජනවාරි 08 වැනිදා මෙරටේ සිදු වූ අභිනව සමාජ දේශපාලන විප්ලවයට මෙන්ම එහි නියමුවා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තියටද ඉකුත් 8 වනදා සිව් වසරක් සපිරිණි. ඒ ඓතිහාසික නිමිත්තෙහි අපූර්ව සිහිවටන ලෙස පොදුජන උරුමයන් බවට පත් ලග්ගල සංස්කෘතික පුරවරය මෙන්ම, එපුර සීමාවෙන්ම අලුත් ශිෂ්ටාචාරයක් සේ ගලා බස්නා කළුගඟ ජලාශයද මගේ මතකයට නැ‍ඟෙයි. වැවට, කෙතට හා පරිසරයට අයත් සුවිශිෂ්ට ජනනායකයකුගේ විප්ලවීය විජයග්‍රහණයක් බඳු ජනවාරි 8 පිළිබඳ සොඳුරු සැමරුම් මෙන්ම අඳුරු සෝතැවුල්ද නැතිවා නොවේ. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ සිව් වසරක රාජ්‍ය නායක ශේෂපත්‍රයෙහි වඩාත් ඇත්තේ සාඩම්බර සටහන් බව අවිවාදිතය. කොළඹ ප්‍රභූ දේශපාලන රාමුවෙන් පරිබාහිර රජරට ගොවි ජනපද නායකයකුගේ පුතකු වූ මෛත්‍රී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වීම ඒ ප්‍රභූ පැලැන්තියේ පමණක් නොව, අන්තර්ජාතික තලයේද හෘදයස්පන්දනය මොහොතක් වේගවත් කළ සිද්ධියක් වූවා නිසැකය. දසක කීපයක් මුළුල්ලේ මෙරටේ රාජ්‍ය බලය හුවමාරු වූයේ කුලීන පවුල් කිහිපයක් අතරය. එහෙත් ඒ කුලීන දේශපාලන බලවතුන් පසුබැස්වීමට තරම් ප්‍රබල දේශපාලන පෞරුෂයක් මෛත්‍රී වැනි ග්‍රාමීය කුටුම්බයකින් මතු වූ සාමාන්‍ය පුද්ගලයකු සතු වීමම හාස්කමක් වැන්න.

කෙසේ වුවද මේ කොළඹ කුලීන දේශපාලන හවුල්කාරයන්ට ඒ වන විට බලයේ සිටි රාජපක්ෂවරුන් ඉවත් කරගැනීම සඳහා ප්‍රබල චරිතයක්ද නොවීය. ත්‍රස්තවාදය පරාජය කළ යුදවීරයන්ගෙන් සමන්විත රාජපක්ෂ පාලනයට අභියෝග කළ හැකි ප්‍රබලම චරිතය මේ රජරටින් දේශපාලනයට පිවිසුණු මෛත්‍රී බව ඔවුහු එකහෙළාම තීන්දු කළහ. ජනාධිපතිවරණ ජයග්‍රහණ පිළිබඳ ඔවුන්ට තිබුණු අපේක්ෂාභංගත්වයද සුළු-පටු නොවීය. 2010දීත් ඔවුහු පරාජය වූහ. මෛත්‍රී යනු ඒ වන විට මෙරටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරය වූ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා විය. රාජපක්ෂ ආණ්ඩුවේ ඔහුගේ භූමිකාවද කැපී-පෙනිණි. එපමණක් නොව; ඔහුගේ දේශපාලනය මෙරට වාමවාදි චින්තනය සමඟද බද්ධ වූවකි. මෛත්‍රී යනු යොවුන් වියෙහිදීම චීන කොමියුනිස්ට පිල සමග එක්ව සිට, ඉනික්බිති ලෝකයේ ප්‍රබල වාමාංශික නායකයන්ගේ පරමාදර්ශ තමා වෙත සමීප කරගත් ප්‍රබුද්ධ දේශපාලන චරිතයකි. පිදෙල් කැස්ත්‍රෝ, චේ ගුවේරා මෙන්ම නෙල්සන් මැන්ඩෙලා හා මහාත්මා ගාන්ධි යන ආකර්ෂණීය දේශපාලන චරිත සමඟ ඔහු මනාව බැඳී සිටියේය. සත්තකින්ම එතරම් දේශපාලන කමටහන් වැඩූ අධිෂ්ඨානශීලි දේශපාලන චරිතයක් රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍යය බිඳ-හෙළීමට ප්‍රමාණවත් බව ඔවුන් නිවැරදිව තේරුම් ගෙන තිබිණි.

කුමක් වුවත් මෛත්‍රීගේ දේශපාලන දෛවය පුදුමාකාර එකක් විය. ඔහු තමා එතෙක් දැරූ දේශපාලන නිල-බල සියල්ල අත්හැර ජනාධිපතිවරණ සටන සඳහා එළඹෙන්නේ ඔහුගේම පක්ෂයේ සභාපතිවරයා මෙන්ම ඔහු ඇමැතිවරයකු ලෙස ක්‍රියා කළ ආණ්ඩුවේ නායකයාද වූ මහින්ද රාජපක්ෂට එරෙහිවය. එපමණක් නොව; තිස් අවුරුදු ත්‍රස්තවාදය පරදවා ලොවම බිය ගැන්වූ ප්‍රභාකරන්ද අවසන් කළ යුදවීරයා වූ රාජපක්ෂට එරෙහිවය. කිසිදු බියකින් හා චකිතයකින් තොරව ජනාධිපතිවරණ සටන් බිමට එළඹුණු මෛත්‍රී දෙස බොහෝ දෙනකු බලා සිටියේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයකින් නොවිය යුතුය.

පොලොන්නරුව වැනි දුෂ්කරයැයි කිව හැකි ඈත ගම්දනව්වක සිට ක්‍රියාකාරි දේශපාලනයට එක් වූ මෙන්ම වසර එකහමාරකට නොඅඩු කාලයක් 1971 අප්‍රේල් කැරැල්ල වෙනුවෙන් එයට කිසිදු සබඳතාවක් පවා නැතිව සිරබත් රස බැලූ තරුණ නායකයකු ලෙස මෙරට රාජ්‍ය නායකත්වයට පත් ප්‍රථම දේශපාලනඥයා මෛත්‍රී බව නිසැකය. හතළිස් වසරකට ආසන්න ගම්භීර සමාජ දේශපාලන අභ්‍යාසයක නිරත වූ මෛත්‍රී වැනි ප්‍රබුද්ධ දේශපාලන චරිතයක් සිය සටකපට දේශපාලන නූල්සූත්තරවලින් නැටවිය හැකි රූකඩයක් කරගත හැකි වනු ඇතැයි කල්පනා කළ පිරිසක්ද වූහ. 2015 ජනවාරි 8 ජයග්‍රහණය ඒ මුග්ධ දෘෂ්ටිවාදයයෙන් විවරණය කළ ඔවුහු යහපාලන ආණ්ඩුවේ මුල සිටම පොට වරද්දාගත්තෝ නොවෙත්ද?

2015 ජනවාරි 8 යථාර්ථවාදි දේශපාලන වෙනසකට හරස් වූයේ ඒ පටු අදහස් බව නිසැකය. රාජපක්ෂ පාලනයට එරෙහිව ඉදිරිපත් කළ දූෂණ, භීෂණ මෙන්ම ඝාතන චෝදනා ව්‍යාජ ඒවා නොවුවත්, ඒ කිසිවක් තහවුරු කිරීමට යහපාලන ආණ්ඩුව අසමත් වීමද මේ ගෙවී ගිය සිව් අවුරුදු පාලන සමය තුළ දැකගත හැකි විය. දූෂණ විරෝධි සටන් පාඨය අතට ගත් ආණ්ඩුවටම බරපතළ දූෂණ චෝදනා එල්ල වූවා පමණක් නොව; දූෂණයේ චුදිතයා ලෙස හංවඩු ගැසූ රාජපක්ෂට යළිත් ජනප්‍රසාදය හිමි වීමද ඒ කාලය තුළ සිදු වූවකි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට අයත් සිවිල් ක්‍රියාධරයන් විසින් සමාජගත කරන ලද්දේ මෙරටේ බිහිසුණුම පාලනය රාජපක්ෂ යුගය බවය. එහෙත් මෙරට දූෂණය ආරම්භ වන්නේ රාජපක්ෂවරුන්ගේ සමය තුළ නොවන බව ජනතාව තේරුම් ගෙන ඇත. ලසන්ත වික්‍රමතුංගට පෙර රිචඩ් සොයිසා ඝාතනය වූ බවද බොහෝ අය දනිති. රාජපක්ෂ යුගය ඒ දූෂණවල, භීෂණවල උච්චතම අවදිය විය හැකිය. කුමක් වුවත් යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධය අවලංගු සටන් පාඨයක් බවට පත් වූ බව නම් පැහැදිලිය. අනෙක් අතට යහපාලන ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කළ ව්‍යවස්ථා සංශෝධනය හා මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමවත් සිදු වූයේ නැත.

යහපාලන ආණ්ඩුවේ මහා ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන 19 වැනි සංශෝධනය පිළිබඳ යථාර්ථය කුමක්ද? අද බොහෝ විචාරකයන් විසින් ඒ සම්න්ධයෙන් කරනු ලබන විවේචනවල පදනම වී ඇත්තේ ඒ සංශෝධනය හුදෙක් අගමැතිවරයා බලගන්වා, විධායකය සතු බලතල උදුරාගැනීමක් බවයි; ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමයන්ට උඩින් පැන, වංචනික ලෙස කරන ලද සංශෝධන ක්‍රියාවලියක් බවයි. එනිසා 19 වන සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ මේ වන විට නැඟී තිබෙන චෝදනා අතිශය බරපතළය. කුමක් වුවත්, ඒ ජයග්‍රහණය ජනතාවට ලබාදීම සඳහා මෛත්‍රී ජනාධිපතිවරයා විසින් දැරූ ප්‍රයත්නය සුළු-පටු නැත. ශ්‍රීලනිපය හා සන්ධාන මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලබාගැනීම හුදෙක් මෛත්‍රී ජනාධිපතිවරයාගේ මෙහෙයුමක් බව පැහැදිලිව පෙනිණි. 19 වැනි සංශෝධන ක්‍රියාවලිය තුළ පෞද්ගලික න්‍යායපත්‍රද විය. විශේෂයෙන් රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඈත් කිරීම එබඳු අරමුණකි. අනෙක: ව්‍යවස්ථාවේ ‘ඒකීය’ යන වචනය ඉවත් කිරීමේ අවශ්‍යතාවක් තවත් පිරිසකට තිබීමය. මෙහිදි දෙමළ පිටපත් වලට එක් කළ බව කියන වචනයක් පිළිබඳ උද්ගත වූ විවාදය අපට මතකය. 19 වැනි සංශෝධනය හා එයින් ඇති කරන ලද ව්‍යවස්ථා සභාව පිළිබඳ මේ වන විට තිබෙන විවේචන සුළු-පටු නැත. එයින් යෝජනා කර තිබෙන ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම නීති ක්ෂේත්‍රවල අයගේ පවා සැකයට තුඩු දී තිබේ. මේවා ගැන දීර්ඝව කරුණු දැක්වීමට ඉඩ නැතත්, මෙරට ව්‍යවස්ථා සම්පාදනය යනු ගුප්ත හා වංචනික අදහස්වලින් දුෂිත පුද්ගලයන් අතට පත් වීම භායානක ප්‍රතිඵල අත් කර දෙන්නක් බව නම් නොකියාම බැරිය. මේ දිනවල යම් යම් පුද්ගලයන් හා සිවිල් සමාජ සංවිධාන ලෙස පෙනී සිටින අය ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා දරන ප්‍රයත්නයද සැකයට තුඩු දී තිබේ. අලුතින් පත් වූ ආණ්ඩුකාරයන් දෙදෙනකු වන මෛත්‍රී ගුණරත්න හා කීර්ති තෙන්නකෝන්ද මේ එබඳු ක්‍රියාදාමයකට සුදුසු පරිසරයක් නොවන බව කියා සිටිති. අප යෝජනා කරන්නේද රටට උචිත, ජනතා අභිලාෂයන් පිළිබිඹු කෙරෙන, ජාතික සමගිය හා ජාතීන්ගේ අයිතීන් සුරැකෙන අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවයි. එහෙත් දූෂිතයැයි චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන්ගෙන්ද යුතු පාර්ලිමේන්තුවකින් එබඳු උතුම් ක්‍රියාවක් අපේක්ෂා කළ හැකිද? කඩිමුඩියේ ව්‍යවස්ථාවක් ගෙන-ඒමේ අවශ්‍යතාව ගැන මල්වතු, අස්ගිරි නාහිමිවරුද එකඟ නොවෙති.

පසුගිය සිව්වසරක කාලය තුළ මෙරටේ බොහෝ ක්‍රියාකාරකම් සඳහා පෙනී සිටි ඇන්ජීඕකාරයන්ට හිසරදයක් වූයේද මෛත්‍රී ජනාධිපතිවරයාය. ඔවුහු මෛත්‍රීගේ ජාතික ආගමික නැඹුරුව නොඉවසූහ. මෛත්‍රීගේ ස්වදේශිකවාදි ප්‍රතිපත්තිය ඔවුන්ගේ ගර්හාවට ලක් විය. මෛත්‍රී ජනාධිපතිවරයා හා යහපාලන ආණ්ඩුව අතර ඇති වූ ගැටුම හා ඉන් පුපුරා ගිය ජාතික ආණ්ඩුව ගැන මේ ඇන්ජීඕ නඩ දැඩි සේ කැලඹීමට පත්ව සිටියහ. ඔවුන්ගේ විවේචන වෛරයේ විසවලින් පිරී තිබිණි. ඉංග්‍රීසි පන්නයට සිංහල උච්චාරණය කරන ස්ත්‍රියක් මෛත්‍රීට දැක්වූ විරෝධය සමාජ වෙබ් අඩවි මගින් අපට දැකගත හැකි විය. බුදුන්ට අවමන් කළ චිංචිමාණවිකාව මෙන් ඒ ඒ සැහැසි ස්ත්‍රිය ප්‍රකාශ කළේ තමන් ජනාධිපතිරවයාට පරිප්පු ප්‍රහාරයක් සූදානම් කර පැමිණි බවකි. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට පැමිණි සමහරු එයට ඔල්වරසන් දුන්හ. ඇයගේ වචනවලින් ගම්‍ය වූයේ අද අප මුහුණ දී සිටින සාරධර්ම පරිහානියේ හා සංස්කෘතික දරිද්‍රතාවේ බිහිසුණු ස්වරයයි.

මෛත්‍රී ජනාධිපතිවරයාට එබඳු විවේචන එල්ල වන්නේ ඔහු නියෝජනය කරන ග්‍රාමීය සමාජ පන්තිය හා ඔහුගේ සිංහල බෞද්ධ මතවාදය නිසා බව පැහැදිලිය. මේ කරුණ අප දකිනවාට වඩා ගැඹුරු දේශපාලනික දෙයකි. එදා 56 විප්ලවයෙන් බිඳ වැටුණු බවට උදම් අනන බමුණු කුලය හා කොම්ප්‍රදෝරු ධනපති පන්තිය යළි හිස ඔසවමින් සිටින බව නොවේද මේවායින් තහවුරු වන්නේ? ඇත්ත වශයෙන්ම මෛත්‍රී-රනිල් සම්මුතිය බිඳ වැටුණේද ඒ බමුණු කුලයට අවශ්‍ය පරිදි රට මෙහෙයවීමට මෛත්‍රී ජනාධිපතිවරයා ඉඩ නොදුන් නිසා බවද අප තේරුම් ගත යුතුය. රාජපක්ෂ පාලනය වෙනස් කළ යුතුය යන අභිලාෂය මෙරටේ බහුතර ජනතාව තුළ තිබුණි. එම පාලන සමයේ සිදු වූ අත්තනෝමතික, දූෂිත හා බිහිසුණු ක්‍රියාකාරකම් අපටද අනුමත කළ නොහැකිය. එහෙත් රාජපක්ෂ පාලනය බිඳ-වැටීමෙන් පසු පිහිටුවූ යහපාලන ආණ්ඩුව ජනතා න්‍යායපත්‍රය මඟහැර වෙනත් අවස්ථාවාදි හා බෙදුම්වාදි නියෝජිතයන්ගේ අණසකට යටත් වීම මෛත්‍රී ජනාධිපතිවරයාට පමණක් නොව, ජනතාවටද ප්‍රශ්නයක් විය. දූෂණය, වංචාව, රාජ්‍ය දේපොළ විකිණීම වැනි ක්‍රියාවලට එල්ල වූ විරෝධය මතින් බලයට පත් අයද එබඳු දේවල් සිදු කිරීමට පෙලඹීම සමාව දිය හැකි වරදක් නොවේ. ආණ්ඩුව පිහිටුවා නොබෝ කලකින්ම සිදු වූ මහ බැංකු මංකොල්ලය ගැන යහපාලනයේ භාරකරුවන්ට කිව හැකි දෙයක් තිබේද?

මෛත්‍රී ජනාධිපතිවරයා ඒවා ඉවසා නිහඬව නොසිටීම ආණ්ඩුවේම සමහරුන්ගේ කෝපයට හේතු විය. රාජපක්ෂලාගේ දූෂණයට එරෙහිව නැඟී සිටි මෛත්‍රීට එබඳු දෙවල් අනුමත කළ හැකිද? හොරුන්ට මැදිව ගෙන යා හැකි පිරිසුදු පාලනය කුමක්දැයි මෛත්‍රී තනිවම කල්පනා කළේය. අනතුරුව ඒ හොරුන් පිළිබඳ රටට හෙළි කිරීමට ජනධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමටද ජනධිපතිවරයාට සිදු විය. ආණ්ඩුව ඇතුළේ කුඩා කණ්ඩායමක් රටේ ආර්ථිකය මෙහෙයවූ ආකාරය ගැනද මෛත්‍රී ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවීය. මහ බැංකු හොරුන් සහ ආර්ථික ඝාතකයන් ගැන විපක්ෂයෙන් එල්ල වූ චෝදනා වලට බිහිරිව සිටීමට, දූෂණයට එරෙහිව ජනවරමක් ලබාගත් නායකයකුට හැකිද? මේවා ගැන වගේ-වගක් නැති අතැම් පිරිස් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වැනි දේවල් ගැන දෙඩවීම ව්‍යාජයක් බව මෛත්‍රී ජනාධිපතිවරයා දුටුවේය. රනිල් වෙනුවට මහින්දට ආණ්ඩුව භාර කිරීම පිළිබඳ විවේචනයක් තිබේ. එහෙත් මෛත්‍රී ලවා ඒ දෙය කරවාගත්තොත් කවරහුද? එහිදි පෙළගැසුණු මෛත්‍රී විරෝධය පසුපස බටහිර බලවේග පවා තිබුණු බව රටම දනි. එදා ප්‍රජාතන්තත්‍රවාදය සුරැකීම සඳහා මුල් වූ අයම අද ව්‍යවස්ථාවේ සිදුරු සෙවීමට දරන ප්‍රයත්නයද රහසක් නොවේ. 19 වැනි ව්‍යවස්ථාවේ ඇද-කුද පමණක් නොව, එමගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදි පැවැත්මට එල්ල වී තිබෙන අනතුරු ගැනද අද ප්‍රසිද්ධියේ වාද විවාද සිදුවේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ‘ව්‍යවස්ථාසභාව’ ප්‍රජාතන්ත්‍රවාදයේ අබරණ පැලඳගත් ව්‍යවස්ථානුකූල අධිපතිත්වයක් බව තහවුරු වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා පවා සඳහන් කළේ තමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දෙශ කර එවනු ලබන නම් පවා එමඟින් ප්‍රතික්ෂේප වන බවයි. ජනතා පරමාධිපත්‍යය අද හසුරුවන්නේ එබඳු අධිපතිවාදි කණ්ඩායම්ද යන්න ප්‍රශ්නයකි.

මහින්ද ඉවත් කර, යළිත් එජාපෙරමුණ බල ගැන්වූ අයට ඔල්වරසන් දිය හැකි වුවද, අද මෙරටේ තිබෙන දේශපාලන අවුල බරපතළය. පාර්ලිමේන්තුව තුළ තිබෙන ඔළු ගෙඩිවලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය මැනීමට නොහැකිය. එහෙත් බලය රැකගැනීම සඳහා දොළපිදේනි දීමට අද ආණ්ඩුවට සිදු වී තිබේ. පාර්ලිමේන්තුව තුළ කුමක් සිදු වුවත්, එය විසුරුවා හළ නොහැකිය. ඇත්ත වශයෙන්ම අද එජාපෙ ආණ්ඩුව මුහුණ දී සිටින කැබිනට් ඇමැති අර්බුදය මෙරටේ මුල් බැසගත් මජර දේශපාලනයේම පැතිකඩකි. මොන ක්‍රමයකින් හෝ ඇමැතිකමක්, නිලයක් ඩැහැගැනීමට පෙලඹෙන බොහෝ අය දේශපාලන වශයෙන් කුජීත වූවෝ වෙති. ඔවුහු කිසියම් විශේෂ ක්ෂේත්‍රයකට අයත් වූවෝද නොවෙති. ප්‍රදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව තෙක් දේශපාලන සංස්කෘතිය කෙබඳු විගඩමක්දැයි රටම දනී.

කෙසේ හෝ මෛත්‍රී ජනාධිපතිවරයාගේ සිව්වැනි පදවි ප්‍රාප්තිය සම්පූර්ණ වන මේ මොහොතේ යහපත් සමාජ දේශපාලන පසුබිමක් ඇතැයි කිව නොහැකිය. රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුව සමඟ යා යුතු ගමනක් හා කළ යුතු වැඩ කොටසක් ජනාධිපතිවරයාට තිබේ. ඒ හැම ක්‍රියාදාමයකම ප්‍රතිඵලය හා රටේ හෙට දවස ගැන අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා කැප වනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක්ද පවතී.

මේ සටහන අවසන් කිරීමට පෙර ඉකුත් සිව් වසරක කාලය ඇතුළත මෛත්‍රී ජනාධිපතිවරයාගේ සුවිශේෂ අවධානය යොමු වූ ජාතික, සංස්කෘතික හා ආධ්‍යාත්මික භූමිකාවේ ස්වර්ණමය ලකුණු පිළිබඳවද සිහිපත් කළ යුතුය. මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතියේ සාඩම්බර හිමිකම් ජනතා අයිතියට පත් කළ මෛත්‍රී ජනාධිපතිවරයා මෙරටේ යෝධ වාරි සංවර්ධන සැලැස්මේ අග්‍රඵලය රටට අත් කර දී ඇත. ඒ සියලු තතු දැන් ජනතාවගේ හදවත්හි තැන්පත්ව තිබෙන යසෝ ගී රාවයන් බඳුය. මෛත්‍රීගේ සිව් අවුරුදු රාජ්‍ය පාලන සමය තුළ නිදහසින් පසු මෙරටේ බිහි වූ කිසිදු රාජ්‍යනායකයකු විසින් ඉටු නොකරන ලද සාඩම්බර මෙහෙවරක් ලෙස අගය කළ යුතු උත්තම පූජා දෙකක් අපට දැකගත හැකිය. පළමුවැන්න: නොබෝදා සිදු කළ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමය. දෙවැන්න: ජාතික විමුක්ති සටහනේ වීරාභිදානයට ලක්ව සිටින වීර කැප්පෙට්ටිපොළ ප්‍රමුඛ විරුවන්ට තිබුණු රාජද්‍රෝහි හංවඩුව ඉවත් කර, ඔවුන් ජාතික වීරයන් ලෙස අභිෂේක කිරීමයි.

සියවස් ගණනකට පෙර වලගම්බා නිරිඳුන් දවස බුද්ධ භාෂිතය සුරැකීම සඳහා මෙරටේ වැඩ විසූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින් මාතලේ අලු විහාරයට රැස්ව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කරනු ලැබ ඇත. එදා මිහිඳු මාහිමියන් මෙරටට රැගෙන හා ධර්ම සන්දේශයේ ගම්භීරත්වය තහවුරු කෙරෙන සනාතන නිධානය ඒ ත්‍රිපිටක ධර්මයයි. ජනපති ඒ උතුම් සිද්ධියට කළ පූජාව ඵෙතිහාසික මෙහෙවරකි. දැන් එය ලෝක උරුමයක් බවට පත් කිරීමටද සූදානමින් සිටියි. මෙරටේ ජාතික නිදහස රැක දුන්, ඒ වෙනුවෙන් දිවි දුන් වීර කැප්පෙටිපොළ ප්‍රමුඛ වීරයන්ගේ නාමලේඛනය ජාතිද්‍රෝහීන් ලෙස නම් කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ගැසට් පත්‍රය අවලංගු කළ මෛත්‍රී ජනාධිපතිවරයා ඔවුන් ජාතික වීරයන් ලෙස නම් කර බුහුමන් දැක්වීම කෙබඳු උතුම් උපහාරයක්දැයි කිව යුතු නැත.

සියවස් ගණනක ඉතිහාසයේ අක්-මුල් සොයා ගිය සංස්කෘතික සක්මනක් ලෙස දැක්විය හැකි මේ ක්‍රියාදාමයන් ජාතියේ බුහුමනට පාත්‍ර කළ නූතන රාජ්‍ය නායකයා වන්නේද මෛත්‍රී ජනාධිපතිවරයාය. මහින්දාගමනයත් සමග ආරම්භ වූ රාජ්‍යත්වය සමග බැඳුණු සංස්කෘතික හුය පොට යළි මතු කරගත් නූතන ප්‍රජාතන්තවාදි පාලකයකුගේ ආධ්‍යාත්මික ආඪ්‍යත්වය ඒ ක්‍රියා මඟින් මොනවට පිළිබිඹු වේ.

තතු මෙසේ හෙයින් මෛත්‍රී ජනාධිපතිවරයාගේ සිව් අවුරුදු සමය තුළ මෙරටට ජාතික, ආර්ථික දේශපාලන, සංස්කෘතික ආදි ක්ෂේත්‍ර ගණනාවක මහඟු ප්‍රතිලාභ හිමිව තිබෙන බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ස්වාර්ථයෙන් හා බලකාමිත්වයෙන් ගිලන් වූ විජාතික දුෂ්ට බලවේග සමග සහවාසි මුග්ධ පැළැන්තියට හැර අන් සියලු දෙනාටම ඒ මෛත්‍රීගේ සිව් වසරක දේශපාලන ගමනේ ශේෂ පත්‍රයද එහි ගම්භීර සිහිවටන, අපූර්ව ජයග්‍රහණ දෙස බලා පහන් සිතින් ඒ සතුට විඳගැනීමට හැකි වනු නිසැකය. එදා තමා සමඟ එක පෙළට සිටි සමහරු අද තමා හැර ගොස් සිටිය හැකිය. එදා නොසිටි අලුත් අය අද තමාසමග අත්වැල් බැඳ සිටිය හැකිය. එහෙත් මෛත්‍රී ජනාධිපතිරවයාට ඒ කිසිවක අමුතු සතුටක් හෝ අඳුරු වේදනාවක් හෝ නැත. දේශපාලනය යනු සරදම් සහිත ගංගාවක් මෙන් බැස යන්නක් බව ඔහු ඉඳුරා දනී. ඒ දේශපාලන සක්මන් මළුවේදී හමු වන වචීපරම මිතුරෝද අවමන් ගැරහුම් කරන සතුරෝද බොහෝය. බල අරගලයෙන් හා නිල තෘෂ්ණාවෙන් මැඬුණු සිත්-පිත් නැති සමාජයක දේශපාලන පාරමිතා පූරාණය කිරීමේ අභියෝගය කෙබඳුදැයි ඔහු අපට පෙන්වා දී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදි වෙස්මුහුණු බැඳගත් බටහිර රූකඩ බවට පත්ව සිටින ෆෙඩරල්වාදි හා බෙදුම්වාදි නඩවලට මෛත්‍රී නොරිසි වුවද, ස්වදේශීය දැක්මක් ඇති, ජාතික සංස්කෘතික විඥානයකින් පොහොසත් ප්‍රබුද්ධ ජනතාවට ඔහු ප්‍රියය; සමීපය. දූෂණය, වංචාව, නාස්තිය, බල කාමය, ජාති-කුල-ආගම් භේද ආදි සකලවිධ දුස් පිළිවෙතින් නිදහස් වූ ප්‍රතිරූප දේශයක දුකට හඬන මුවග සිනාවක් වී පිපෙන්නටද, අවිද්‍යාවෙන් වෛරයෙන් මෝහනය වූ සමාජයක විද්‍යාවේ හා සත්‍යයේ ආලෝකයක් වන්නටද හැකි නම්, එතරම් ප්‍රීති-ප්‍රමෝදයක් මෛත්‍රී ජනාධිපතිවරයාට නැත. සත්චර්යාව, සත්‍යවාදිබව, ජාතික සංස්කෘතික වටිනාකම් හඳුනාගැනීම රාජ්‍ය පාලනයක අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණ බව ඔහු පසක් කරගෙන සිටියි.

පාවා නොදී මවුබිම නිල බලවලට

ජාතියෙ නමින් කළ උත්තම මෙහෙවරට

බාධක මැදින් යන ගමනකි පෙරමුණට

ආඩම්බරයි ඔබ වැනියන් ලක් මවට

අදහස්