පරාජිතයන් සමඟ එකතු වෙන්නෙ නෑ | සිළුමිණ

පරාජිතයන් සමඟ එකතු වෙන්නෙ නෑ

බොහෝ හැලහැප්පිලි මධ්‍යයේ නැවතත් ඔබතුමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් වුණා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ කෙබඳු ද?

එය විශාල වැඩපිළිවෙළක්. එය වචන දහයකින් පහළොවකින් කියා නිම කළ නොහැකියි. ඒ වගේම ආණ්ඩු කුමන්ත්‍රණයට පෙර මහජනයාගේ සුබසිද්ධිය තකා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ක්‍රියාත්මක කළ වැඩසටහන් නැවතත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඔබතුමාව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් කරනවාට විරුද්ධ වන්නෙ ඇයි?

එතැන තියෙන්නෙ තනිකරම පුද්ගලයන් කිහිප ‍දෙනෙකුගේ ප්‍රශ්නයක්. සමස්ත වෛද්‍යවරුන් මා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් කරනවාට කිසිදු ලෙසකින් විරෝධතාවක් දක්වන්නෙ නැහැ. ඔය සංගමයේ සිටින පුද්ගලයන් කිහිපදෙනෙකුට තියෙන ගැටලුවක් සමස්ත වෛද්‍යවරුන්ගේ ගැටලුවක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරනවා. ඒ පුද්ගලයන් කිහිප දෙනාට තේරෙන්නෙ නැහැ මං මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමැතිවරයා ලෙස කෙතරම් සේවයක් කරලා තියෙනවාද කියා. ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒ වගේම මං දන්නෙ නැහැ ඔය වගේ මානසිකත්වයෙන් ඔය කිහිපදෙනා වෛද්‍ය වෘත්තියේ නියැළෙන්නෙ කෙසේද කියාවත්.

ඖෂධ වර්ග 200ක පමණ හිඟයක් ඇති වී තිබෙනවා. ඒ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 75ක් පමණ තිබෙන බවටත් වාර්තා වෙනවා. රට තුළ ඖෂධ හිඟයක් ඇති වීමට හේතුව කුමක් ද?

ඒකට මූලිකම හේතුව තමයි, ‍පහුගිය දින 51 කුමන්ත්‍රණකාරි ආණ්ඩුව සමයේදී කිසිදු වැඩක් මේ අමාත්‍යාංශවල සිදුවුණේ නැතිකම. ඖෂධ ගෙන්වන්න හෝ ඖෂධ කොපමණ ප්‍රමාණයක් ගබඩාවල වගේම රට තුළ තිබෙනවාද කියා කිසිම දෙයක් සොයා බලා නැහැ. ඉතින් මුළු සෞඛ්‍ය පද්ධතියම ඒ දින 51 තුළ දී කඩා වැටුණා. එතැනදී ලොකුම ගැටලුවට මුහුණ දුන්නෙ පිළිකා නාශක ඖෂධ හිඟතාව. මම ඒ දිනවල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ පහක වගේ හිඟයක් ඇති වෙමින් පවතිනවා, වහාම ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියා. ඒ අත්‍යවශ්‍ය පිළිකානාශක ඖෂධ නැති වුණොත් ඒ රෝගීන් මිය යනවා. ඒ දිනවල ජනාධිපතිතුමාත් ඇවිල්ලා මේ ගැන සොයා බලලා තියෙනවා. නිලධාරින් ඒ මොහොතේ පෙන්වා දුන්නාලු ඇති වීමට යන ඖෂධ හිඟය ගැන. මාස එකහමාරක් යන විට ඖෂධ හිඟයක් ඇති වන බව එදා නිලධාරින් පෙන්වා දීලා. නමුත් කිසිම දෙයක් වෙලා නැහැ.

මම නැවතත් ඇමැතිවරයා ලෙස පත් වුණු දවසේම සියලු නිලධාරින් එදිනම කැඳවා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක මූලිකම ඖෂධ ඉක්මනින්ම ගුවනින් ගෙන්වීමට කටයුතු යෙදුවා. ඒ අනුව ගිය 24 වැනිදා සහ 27 වැනිදාත් මේ සතියේත් කොටසක් ලෙස ඖෂධ රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා. ඒත් තවත් විශාල ඖෂධ ප්‍රමාණයක හිඟතාවක් වගේම තවත් ඖෂධ ප්‍රමාණයක් හිඟවෙමින් පවතිනවා. එම ඖෂධද ඉක්මනින්ම ගෙන් වීමට භාණ්ඩාගාරය සහ බැංකු සමඟ කතා කොට මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ තත්ත්වය පසුගිය අවුරුදු තුනේදී කිසිදු විටෙක සිදුවුණේ නෑ. එහෙම තත්ත්වයක් ඇති නොවීමටයි මම පසුගිය අවුරුදු තුනේදී කටයුතු කළේ. එම නිසා තිබෙන ඖෂධ හිඟතාව ඉක්මනින්ම තුරන් කිරීමට මං කටයුතු කරනවා.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ කෙබඳු ද?

ඉතාම හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි මේ වර්ෂය තුළදී ජනතාවට ඍජු ලෙසම බලපාන ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නඟනවා. ඒ අනුව ඉදිරියේදී ගෙන ඒමට නියමිත අයවැය ලේඛනය බොහෝම ජනතා හිතවාදී අයවැය ලේඛනයක් බව කිව හැකියි. ඉන් ජනතාවට සහන රැසක්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම රට තුළ විශාල සංවර්ධන වැඩපිළිවෙළක්ද අප ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ රජය ආරම්භ කළ බොහෝ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින්නෙ. එම සංවර්ධන වැඩ නිම කොට විවෘත කිරීමට නියමිතව තිබෙන්නෙ මේ වර්ෂයේදී. ඒ සඳහා රජය දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් පසුගිය මාස දෙකේ වූ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළ නිසා රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වූ බොහෝ වැඩ කටයුතු අතපසු වුණා. එය මාස දෙකක් වුණාට රටේ සංවර්ධන කටයුතුවලදී අවුරුදු දෙකක පමණ පසුබෑමක් ලෙස සඳහන් කළ හැකියි.

පො‍හොට්ටුව සහ ශ්‍රීලනිපය එක්ව රජයේ ඇතැම් පාර්ශ්වද එක් කරගෙන ඉදිරි අයවැය පරාජය කොට මැතිවරණයකට යෑමටත් සුදානමක් පවතින බවට හෙළි වෙනවා. ඔබතුමා ඒ පිළිබඳව පවසන්නෙ කුමක් ද?

ඒ වගේ දේවල් කවදාවත් කෙරෙන්නෙ නෑ. රජයේ පාර්ශ්ව කිසි කෙනෙක් ඔය කියන පරාජිතයන් සමඟ එකතු වෙන්නෙ නැහැ. අපිට ස්ථාවර රජයක් තිබෙනවා. එක පක්ෂයක් ලෙස නොවුණත් 113ට වැඩි ඡන්ද ප්‍රමාණයක් රජයක් ලෙස අපිට ඕනෑම මොහොතකදී පාර්ලිමේන්තුව තුළදී පෙන්විය හැකියි. හැබැයි ඉදිරි අයවැයේදී ශ්‍රීලනිපයේ විශාල ඡන්ද ප්‍රමාණයක් අපිට ලැබෙනවා. එම නිසා අපි ඉතාම පහසුවෙන් අයවැය ලේඛනය ජයග්‍රහණය කරනවා. ඔය කියන පාර්ශ්වවලට තියෙන්නෙ සිහින මාලිගා පමණයි.

කෙසේ හෝ වර්තමානය වන විට පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එක්ව ගමනක් යෑමට සැරැසෙන බවක් පෙනෙනවා?

කොහේද ඒ දෙගොල්ලන්ට එක්ව ගමනක් තියෙන්නෙ. ශ්‍රීලනිපයේ ලේකම් කියනවා ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන කියා. ඒ අතරේ ජී.එල්. පීරිස් කියනවා ජනාධිපති අපේක්ෂකයා තෝරන්නෙ මහින්ද රාජපක්ෂ මිසක් වෙන කවුරුවත් ‍‍නොවෙයි කියා. ඔයිට වඩා අවශ්‍ය නෑනේ. ඒ ප්‍රකාශවලින් තේරෙනවානේ දෙපිරිසේ ගමන කොහොමද කියා. ආරම්භය මෙහෙම නම් පස්සට යන කොට කොහොම තියෙයිද. පහුගිය මාස දෙකෙත් එකට ගිය ගමන මුළු රටම දැක්කනේ. පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන අන්තිමට කියනවා අපි ගියේ නෑ කියා.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානමක් පවතිනවා. ඇයි මේ එක්වරම රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ දරන්නෙ...?

මෙය එක් වරම ගෙන එන ව්‍යවස්ථාවක් ‍නොවේ. ව්‍යවස්ථා සභාව පිහිටෙව්වෙ 2015 දී. දැන් 2019, අවුරුදු හතරක් ගිහින්. මේ අවස්ථාවේ තමයි ව්‍යවස්ථාවක් හදන්න දීර්ඝතම කාලයක් ගත්තෙ. කොහොම වුණත් ව්‍යවස්ථාවක් එක් වරම ගෙන එන්න බැහැ. ව්‍යවස්ථාව හදන අය එය ව්‍යවස්ථාදායක සභාවට යොමු කරනවා. ව්‍යවස්ථාදායක සභාව තමයි ඒ ගැන යම් තීන්දු තීරණ ගෙන එය පාර්ලිමේන්තුවට යොමු කරන්නෙ. ඊට පසුව පාර්ලිමේන්තුව තමයි තීන්දු කරන්නෙ නව ව්‍යවස්ථාවක් ගෙන එනවාද කියා. ඒ නිසා කිසි කෙනෙක් මේ ව්‍යවස්ථාව ගැන කලබල විය යුතු නැහැ. මොකද හැමෝම මේ ගැන සාකච්ඡා කරලායි පාර්ලිමේන්තුවේදී තීන්දුව ගන්නෙ. ඒ වගේම මං හිතන්නෙ නැහැ ව්‍යවස්ථාව හදලා ඉවර වුණාට මේ තියෙන කලබලකාරි කාලපරිච්ඡේදයේදී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට හැකිවෙයි කියා. ඒ නිසා මට නම් හිතන්නෙ මැතිවරණයකින් පසු ස්ථාවර ආණ්ඩුවක් බිහිවූවාට පසුවයි ඔය ව්‍යවස්ථාව ගෙන ඒමට හැකි වන්නෙ කියා.

සංවාදය - අමිල මලවිසූරිය

අදහස්