පළාත් ආණ්ඩුකාරකමේ වරුණ | සිළුමිණ

පළාත් ආණ්ඩුකාරකමේ වරුණ

වර්ෂය ආරම්භයේදීම නව ආණ්ඩුකාරවරුන් අට දෙනකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළේ ය.

ඒ අනුව බස්නාහිර පළාත සඳහා නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතාද, මධ්‍යම පළාතට මෛත්‍රී ගුණරත්න මහතාද, උතුරු-මැද පළාතට සරත් ඒකනායක මහතාද, වයඹ පළාතට පේෂල ජයරත්න මහතාද, නැ‍ඟෙනහිර පළාතට එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද, දකුණු පළාතට රංජිත් කීර්ති තෙන්නකෝන් මහතාද, සබරගමු පළාතට ධම්ම දිසානායක මහතාද, උතුරු පළාතට සුරේන් රාඝවන් මහතාද ඌව පළාතට මාර්ෂල් පෙරේරා මහතාද පත්කෙරිණි.

පළාත්සභා ක්‍රමය හඳුන්වා දීමත් සමඟ පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීම ආරම්භ විය. මේ පළාත්සභා ක්‍රමය මෙන්ම ආණ්ඩුකාර ධුරය පිළිබඳවද විවිධ පිරිස් විවිධ මත ඉදිරිපත් කරති. ප්‍රධාන වශයෙන් සැලකූ කල පළාත් සභා ක්‍රමය මෙන්ම ආණ්ඩුකාර තනතුරද රටට අවශ්‍ය බව සමහර පිරිස් ඉදිරිපත් කරන අතර, ‍සෙසු පිරිස කියා සිටින්නේ මේ ක්‍රම දෙකම අප රටට අවශ්‍ය නැති බවය. මීට පෙර අවස්ථාවක ආණ්ඩුකාරවරුන්ගේ සේවාව නාමික සේවයක් පමණක් කළ යුතු බවටද සාකච්ඡා කෙරිණි. එහෙත් එය රටේ ඒකීය භාවයට තර්ජනයක් බවටද සමහර පිරිස් විසින් අදහස් දක්වන ලදි. කෙසේ වෙතත් නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමත් සමඟ මේ කතා-බහ යළිත් සමාජය තුළ ඉස්මතු වෙමින් තිබේ. ඒ කෙසේ වුව ආණ්ඩුකාරවරයකුගේ බලය කෙබඳුද යන්න කතාබහ කිරීමට මෙය වඩා වැදගත් අවස්ථාවක් බව කිය යුතුය‍.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) ව්‍යවස්ථාවට අනුකූලව පළාත්සභාවක් පිහිටුවනු ලැබ ඇති සෑම පළාතක් සඳහාම ආණ්ඩුකාරවරයකු සිටිය යුතුය. මේ ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. ආණ්ඩුකාරවරයා තම ධුරය භාරගත් දිනයේ සිට අවුරුදු පහක කාලසීමාවක් දැරිය හැකිය. එය ජනාධිපතිවරයාගේ කැමැත්ත මත දීර්ඝ කිරීම හෝ අඩු කිරීම සිදු විය හැකිය. ජනාධිපතිවරයා ඉදිරිපිටදී ප්‍රතිඥා දී අස්සන් කිරීමෙන් හෝ දිවුරුම් දී ඊට අස්සන් තැබීමෙන් පසුව ආණ්ඩුකාරධුරය හිමි වේ. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරන ලද හෝ ‍පිළිගන්නා ලද වෙනත් යම් ධුරයක් දැරීම ආදාළ ආණ්ඩුකාරවරයාට අහිමි වේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් පාර්ලිමේන්තුවේ තම අසුනින් ඉවත් විය යුතුය.‍ එපමණක් නොව, ආණ්ඩුකාරවරයාට වෙනත් කවර හෝ ලාභදායි ධුරයක් හෝ තනතුරක් ඉසිලිය නොහැකිය.

ආණ්ඩුකාරවරයාට සුදුසුයැයි අදහස් කරන වෙලාවකදී සහ ස්ථානයකදී රැස්වීම සඳහා ඔහු විසින් කලින් කල පළාත්සභාව කැඳවිය හැක්කේය. ඒ කෙසේ වෙතත් එක් සභාවාරයක අවසාන රැස්වීම සහ ඊළඟ සභාවාරයේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරන ලද දිනය අතර කාලය මාස දෙකකට අඩු විය යුත්තේ ය.

කලින් කල පළාත්සභාවේ වාරාවසාන කිරීම, පළාත් සභාව විසුරුවාහැරීම ආණ්ඩුකාරවරයාට ඇති තවත් බලතලය. තවද; ආණ්ඩුකාරවරයාගේ මතය අනුව, පළාත්සභාවේ මන්ත්‍රීවරුන් බහුතර සංඛ්‍යාවක සහයෝගය අමාත්‍ය මණ්ඩලයට ඇති තාක් කල් ආණ්ඩුකාරවරයා විසින් මේ අනුව්‍යවස්ථාව යටතේ ඔහුගේ බලතල ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුකූලව ක්‍රියාත්මක කළ යුත්තේය.

(9) 34 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාගේ බලතලවලට හානියක් නොමැතිව සහ ඔහුගේ විධානයට යටත්ව පළාතක ආණ්ඩුකාරවරයාට ඒ පළාත සඳහා පිහිටුවන ලද පළාත් සභාව විසින් සාදන ලද ප්‍රඥප්තියකට එරෙහිව වූ හෝ පළාත් සභාවට ප්‍රඥප්ති සෑදීමට බලය ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සාදන ලද නීතියකට එරෙහිව වූ වරදකට වරදකරු කරනු ලැබූ සෑම තැනැත්තකුටම සමාවක් දීමේ සහ එවැනි යම් තැනැත්තකුට අධිකරණය විසින් නියම කරන ලද දඬුවමක් ක්‍රියාත්මක කිරීම කල් තැබීම හෝ එම දඬුවම ලිහිල් කිරීමේ බලයද තිබේ. කෙසේ වෙතත් යම් කාරණයක් සම්බන්ධයෙන්, අමාත්‍ය මණ්ඩලයේ උපදෙස්වලට ආණ්ඩුකාරවරයා එකඟ නොවන්නා වූද එම කාරණය, ආඥා‍වක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීම මහජන යහපත පිණිස අවශ්‍යවන්නේයැයි ආණ්ඩුකාරවරයා සලකන්නා වූද අවස්ථාවක ඔහු විසින් ඒ කාරණය ජනාධිපතිවරයා වෙත යොමු කළ හැක්කේය.

ආණ්ඩුකාරවරයාට පළාත්සභාව ඇමතීම කළ හැක්ක්‍ෙය. එමෙන්ම ඒ සඳහා මන්ත්‍රීවරුන්ට පැමිණෙන්නැයි නියෝග කිරීමටද හැකියාව තිබේ. සභාවේ අවධානය යොමු තිබෙන ප්‍රඥප්තියක් හෝ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට සභාව වෙත පණිවිඩ යැවීම කළ හැකිය. එමෙන්ම එලෙස පණිවිඩයක් යැවූ විට පළාත්සභාව හැකි තරම් ඉක්මනින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුව පවතී.

යම් පළාතක කටයුතු පරිපාලනයට සම්බන්ධ සහ නීති සම්පාදනය සඳහා වූ යෝජනාවලට අදාළව ආණ්ඩුකාරවරයා විසින් ඉල්ලනු ලබන තොරතුරු ඉදිරිපත් කිරීම සහ අමාත්‍යවරයකු තීරණයක් ගෙන ඇත්තා වූ, එහෙත් පළාත් අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා නැති වූද, යම් කාරණයක් පළාත් අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලනු ලැබීම සඳහා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා විසින් නියම කරනු ලැබුව හොත් එසේ ඉදිරිපත් කිරීම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යයක් වේ.

ආණ්ඩුකාරවරයාට සිය කාර්යය ඉටු කිරීමේදී සහාය වීමට සහ උපදෙස් දීමට ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු වෙනත් අමාත්‍යවරුන් හතර දෙනකුට නොවැඩි සංඛ්‍යාවක අමාත්‍ය මණ්ඩලයක් පත් කරගත හැකිය. යම් කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ අභිමතය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ විධානය මත විය යුතුය. එය කිසියම් අධිකරණයකදී ප්‍රශ්න කිරීම නොකළ යුතව පවතී.

පළාත් සභාවේ යම්කිසි මන්ත්‍රීවරයකුට පළාත් සභාවේ බහුතර මන්ත්‍රීන්ගේ සහාය ලැබේයැයි ආණ්ඩුකාරවරයා තීරණය කරන්නේ නම්, ඔහු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්කිරීමේ බලයද ආණ්ඩුකාරවරයාට පවතී.

ආණ්ඩුකාරවරයා ඉල්ලා අස් වීමේදී ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියකින් සිය ධුරයෙන් ඉල්ලා අස් විය හැකියාව පවතී. ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමද ව්‍යවස්ථාවේ ‍විස්තර වේ. ඒ අනුව ආණ්‍‍ඩුකාරවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වේතනාන්විතව උල්ලංඝනය කිරීම, ස්වකීය බලතල අයුතු අන්දමින් භාවිත කිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරද සිදු කර තිබීම, අල්ලස් සම්බන්ධ වරදක් හෝ චරිත දූෂණය හා සම්බන්ධ වරදක් සිදු කර තිබීම යන හේතු මත ආණ්ඩුකාරවරයා ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන යෝජනාවක් පළාත් සභාවේ මන්ත්‍රීන්ගේ තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවකින් සම්මත කර ඉදිරිපත් කිරීමෙන් ඉවත් කළ හැකිය.

එමෙන්ම ආණ්ඩුකාර ධුරය දරන තැනැත්තාගේ වැටුප, දීමනා, විශ්‍රාම ගැනීමේ වයස සහ විශ්‍රාම වැටුප් හිමිකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් නීතිය මගින් විධිවිධාන සලසා තිබේ.

අදහස්