බෙලිඅත්ත දුම්රිය මඟේ සැබෑ අයිතිකරුවෝ කවුරුද? | සිළුමිණ

බෙලිඅත්ත දුම්රිය මඟේ සැබෑ අයිතිකරුවෝ කවුරුද?

සේයාරූ - විමල් කරුණාතිලක

සුද්දාගේ කාලයෙන් පසු ඉදි වන පළමු දුම්රිය මාර්ගය දිගේ අපි ගමන් ගතිමු. ඒ පසුගිය 6 වැනි දා ඉරිදාය. බෙලිඅත්තේ සිට මාතර දක්වා දුම්රිය මාර්ගයේ පරීක්ෂණ ධාවනයට පළමු බලවේග දුම්රිය සූදානම්ව තිබිණි.

එහෙත් මේ දුම්රියේ මංගල ගමනට ආරම්භයටත් පෙර බාධා එල්ල විය.

අපි විමසිලිමත් වූයෙමු. මංගල දුම්රිය ගමනට මඟීන්ට අවසර ලබා දී නොතිබුණත් පිරිසක් අනවසරයෙන් දුම්රිය එන්ජිමේ ඉදිරියට පවා නැඟ විවිධ විරෝධතා බැනර් එල්ලන්නට වූහ. ඔවුහු එසේ හඬ නැඟුවේ බෙලිඅත්ත දුම්රිය මඟ ඉදි කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ ගෞරවය ඔහුට දිය යුතු බවත් පවසමිනි‍. බැලූ බැල්මටම මේ පිරිස කවුරුන් විසින් හෝ උසි ගන්වන ලද පිරිසක් බව පැහැදිලි විණි.

අපි ඒ ගැන සොයා බැලුවෙමු. අපගේ සිතිවිල්ල නිවැරැදි බව පැහැදිලි විය. ඒ පැමිණ තිබුණේ ප්‍රාදේශීය සභාවක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ ආධාරකරුවෝ පිරිසකි. ඔවුහු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට දුම්රියට ගොඩ වීමට ඉඩ නොතබා බාධා කළහ.

මංගල දුම්රිය පෙරවරු 11.00ට පිටත් විය. බඹරැන්ද දුම්රිය ස්ථානයේදී මෙන්ම කැකණදුර දුම්රිය ස්ථානයේදීද එවැනිම පහත් ක්‍රියාවන් දක්නට ලැබිණි.

ඒ සියලු බාධා මැඬගෙන දුම්රිය මාතරට ළඟා වූයේ පෙරවරු 11.45ට පමණය.

අධිවේගී දුම්රිය මඟක් වුවද එදින දුම්රිය සාමාන්‍ය වේගයකින් පැමිණියේ මඟ දෙපස රැස්ව සිටි ජනතාවට දුම්රිය ගමන පහසුවෙන් දැකබලාගැනීම පිණිසය.

දුම්රිය මාතරට පැමිණි පසුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කෙටි මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔහු පෙන්වා දුන්නේ මේ දුම්රිය මාර්ගය තනනු ලබන මුදල් ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ හෝ තමාගේ හෝ වෙනත් කිසිවකුගේ නොවන බවත් එම සියලු මුදල් ජනතාවගේ බවත්ය.

එමෙන්ම ප්‍රාදේශීය සභාවල යම් යම් සොරකම් කර චෝදනා ලැබූවන් විසින් විවිධ හඬ නැංවීම සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවත් සිංහල අවුරුද්දට පෙර මේ මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම තම අරමුණ බවත් ඔහු පෙන්වා දුන්නේය. බෙලිඅත්තේදී මෙන්ම අතරමඟදී එල්ල වූ මේ විරෝධතා ඇත්තෙන්ම ඉතාම පහත් ක්‍රියා ලෙස සැලකිය හැක්කේ ප්‍රධානම හේතු දෙකක් නිසාය.

පළමු වැන්න මේ දුම්රිය මාර්ගය ඉදි කළ චීන සමාගමේ සියලු ප්‍රධාන නිලධාරීන් මේ මංගල පර්යේෂණ චාරිකාව සඳහා පැමිණ සිටීමයි. පවුලේ ප්‍රශ්නයක් වෙත් නම් එය පවුලේ විසඳා ගන්නවා විනා එය බැහැරට ගෙන යෑම කිසිසේත්ම නොකළ යුත්තකි. එයින් සිදු වන්නේ රටම අපකීර්තියට පත් වීමකි. ඒ බව එම විරෝධතාකරුවන් නොසිතන්නට ඇත.‍

මේ දුම්රිය මඟ ඉදි කිරීමේ ගෞරවය සැබැවින්ම හිමි විය යුත්තේ කාටද යන්න දුම්රිය ඉතිහාසය විමසා බැලුවහොත් පෙනී යන හෙයින් ඒ ගැනද යමක් සොයා බැලීම වටනේය.

මාතර සිට කතරගම දක්වා වූ දුම්රිය මාර්ගය තැනීමේ යෝජනාව 1977 විවෘත ආර්ථිකයත් සමඟම කරළියට පැමිණියේය. එහෙත් එය කතාබහට ලක් වූවා මිස වැඩකටයුතු ආරම්භ වූයේ නැත. එහෙත් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව මේ මාර්ගය කඩිනමින් තැනීමේ අවශ්‍යතාවක් රණසිංහ ප්‍රේමදාස මහතාට තිබිණි. එම නිසා මේ සම්බන්ධව සොයා බලා කටයුතු කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට දන්වන ලදී.

ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයත් කොරියානු ඉදිකිරීම් අමාත්‍යාංශයත් අතර ගිවිසුමක් 1990 වසරේදී අස්සන් කරන ලදී.

කොරියානු අන්තර්ජාතික උපදේශන ආයතනය (K C I) ආයතනය විසින් ශක්‍යතා අධ්‍යයනක් සිදු කිරීමට කටයුතු කරන ලදී. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කොරියානු රජයෙන් සිදු කළ ඉල්ලීමක් වූයේ මේ කාර්යය යුද්ධයක් මැද සිදු කරනු ලබන හෙයින් යම් සහනදායි ක්‍රමවේදයක් සලසා දෙන ලෙසයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉහළින්ම පිළිගත් කොරියානු රජය මාතර කතරගම දුම්රිය මාර්ගයට අදාළ ශක්‍යතා අධ්‍යයනය නොමිලේම සිදු කිරීමට කටයුතු කරන ලදී.

එම ශක්‍යතා අධ්‍යයනය සඳහා එවකට දුම්රිය ඉංජිනේරුවන් ලෙස කටයුතු කළ පසුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරුන් ලෙස පත්ව විශ්‍රාමික වූ ප්‍රියාල් ද සිල්වා, විජය අමරතුංග හා දුම්රිය ප්‍රධාන සංඥා ඉංජිනේරුවකු වූ ජී ඩී. හේමචන්ද්‍ර මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ මහතාද සහභාගි වූහ.

එම ශක්‍යතා අධ්‍යයනය 1991 වසරරේදී ප්‍රවාහන අමාත්‍යාංශයට බාර ‍දෙන ලදී.

ඒ අනුව 1992 වසරේදී මේ සඳහා එවකට ප්‍රවාහන ඇමැතිවරයාව සිටි විජයපාල මෙන්ඩිස් මහතා විසින් මුල් ගල තබන ලදී. පසුව මාර්ගය තැනීමේ වැඩ කටයුතු ආරම්භ වුණු අතර ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව අඩපණ වෙමින් තිබූ දුම්රිය මාර්ගය කෙසේ හෝ නිල්වලා නදිය අසලට ඉදි කර මාතර සිට පිලදූව දක්වා දුම්රියක් ධාවනය කිරිමටද එවකට පියයර ගන්නා ලදී. ඒ එවකට නාගරික හා මහජන උපයෝගිතා ඇමැතිවරයාව සිටි මංගල සමරවීර මහතාගේ ඉල්ලීමකට අනුවය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේය.

පසුව නිල්වලා නදිය හරහා පාලම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ඉදි කරන ලදී. මහින්ද අමරවිර මහතා නව දුම්රිය මාර්ග සංවර්ධන ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දුම්රිය මාර්ගය කඩිනමින් තැනීම සඳහා කටයුතු කරන ලදී. ඒ අනුව දුම්රිය මාර්ගය තැනීමේ කටයුතු චීන ර‍ජයට පවරා එහි වැඩකටයුතු ආරම්භ කරන ලදි. එකල ජනාධිපතිවරයාව සිටියේ මහින්ද රාජපක්ෂ මහතාය.

ඒ අනුව මේ දුම්රිය මඟ තැනීම චීන එක්සිම් බැංකුවේ ණය ආ‍ධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් යටතේ ස්ථාපිත කිරීම් ආරම්භ කෙරිණි.

ආරම්භක සැලැස්මට වඩා යම් වෙනස්කම් සහිතව මේ දුම්රිය මඟ ඉඳි කළද එහි ප්‍රධාන සැලැස්මට විශේෂ වෙනස්කම් සිදු නොවීය. ඒ අනුව මේ මාර්ගය මාතර සිට බෙලිඅත්තට එක් අදියරක් හා බෙලි අත්ත සිට හම්බන්තොට දක්වා 2 අදියර ලෙසත් ‍හම්බන්තොට සිට කතරගම දක්වා 3 අදියර යටතේ වශයෙන් මාර්ගය ඉදි කිරීම යෝජනා විය.

දුම්රිය මාර්ගය තැනීමේ කටයුතු චීන ර‍ජයට පවරා දුන්නේ එහි පළමු අදියරට ඇමරිකන් ඩොලර් මිලියන 278ක් වැය කරමිනි. ඒ අනුව මේ දුම්රිය මඟ තැනීම චීන එක්සිම් බැංකුවේ ණය අධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් යටතේ සිදු කෙරිණි.

එසේ අදියර 3කින් දුම්රිය මඟ තැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර සමයේ ඇරැඹුණු අතර ව්‍යාපෘති ඉංජිනේරුවරයා ලෙස කටයුතු කෙළේ ශක්‍යතා අධ්‍යයනය සිදු කළ විජය අමරතුංග මහතාය. දුම්රිය මාර්ගය අධිවේගී දුම්රිය මඟක් ලෙසින් තැනීම ඔහු විසින් ආරම්භ කෙළේය. ඒ අනුව මාතරට ආසන්න දුම්රිය හරස් මාර්ග හැර අනෙක් දුම්රිය හරස් මාර්ග සියල්ලම වාගේ දුම්රිය මඟට ඉහළින් හෝ දුම්රිය මඟට පහළින් හෝ ඉදි කිරීමට පියවර ගන්නා ලදී.

දුම්රිය මඟ තැනීම ඇරැඹීමේ කතාව එසේය. මේ නිසා දුම්රිය මාර්ගය ඉදි කිරීම මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතුව තිබූ ගෞරවයක් වුවද එදා විරෝධතා නැඟූ ඒ දේශපාලන හෙංචයියන් විසින් මහා අගෞරවයක් පමණක් මහින්ද රාජපක්ෂ මහතාට දේශීය හා අන්තර්ජාතික වශයෙන් ලබා දුන් බව කිව යුතුමය. එසේම රටටද චීනය ඇතුළු රටවල අප කීර්තියට පත් කළ යුතු බවද පෙන්වා දිය යුතුය.

ඔවුන් මොන බාධා එල්ල කළද බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කළ මේ දුම්රිය මාර්ග‍යේ කිලෝමීටර් 1.5ක් දුරැති මෙරට දිගම ගුවන් දුම්රිය පාලම මතින් දුම්රිය ගමන් ගනිද්දී පෙනෙන්නේ අලංකාර නිල්වන් කෙත් යායයි. විනාඩි ගණනාවක් යන තුරු දිස් වන රජරට අඩවිය සිහි ගන්වන මේ ප්‍රදේශය ඉදිරියේදී සංචාරයකයන්ට නව සංචාරක ගමන් මාර්ගයක් සලසා දෙනු නොඅනුමානය. එසේම කැකණදුර දුම්රිය ස්ථානය අසලින්ම ඉදි කර ඇති නාකැටිය දුම්රිය උමඟ මෙරට දිගම දුම්රිය උමඟය ලෙසින් ඉතිහාසට එක්ව ඇත. මේ වන තෙක් මෙරට දිගම දුම්රිය උමඟය ලෙසින් ගෞරවය හිමි කර ගෙන සිටි හැටන් සහ කොටගල අතර පිහිටි සිංගිමලේ උමඟට දෙවැනි තැනට පත් විමට සිදුව ඇත.

එසේම මෙරට උසම දුම්රිය පාලමත් වෙහෙරගොඩ ප්‍රදේශයේදී ඉදිව ඇත. දිගම දුම්රිය පාලම, දිගම දුම්රිය උමඟය හා උසම දුම්රිය පාලම යන වාර්තා තුනෙහිම හිමිකම් කියන්නට මාතර - කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර සමත්ව ඇත.

පැයට කිලෝමීටර් 120ක අධිවේගයෙන් ගමන් කළ හැකි ලෙස ඉදි කර ඇති දුම්රිය මගේ ගැස්සෙන සෙලවෙන කරදර බාධක නැත. දුම්රිය පීලි සියල්ල විශේෂ චීන තාක්ෂණය යටතේ එකට පෑස්සුම් කර ඇත. දුම්රිය ස්ථාන සියල්ල ඉදි කර ඇත්තේ ද අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුක්තවය. ප්‍රධාන දුම්රිය ස්ථාන සියල්ලම ප්‍රධාන වේදිකා 3කින් සමන්විතය.

එළැඹෙන සිංහල අවුරුද්ද වන විට කොළඹ සිට බෙලිඅත්ත දක්වා ‍මේ මාර්ගය විවෘත කර දීමට හැකි වන බව දුම්රිය මාර්ග ව්‍යාපෘති‍යේ අධ්‍යක්ෂ චීන ජාතික හ පෙර්ෂි මහතා පෙන්වා දෙයි. මේ වන විට සංඥා පද්ධතිය ස්ථාපිත කෙරමින් පවතින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ මේ මාර්ගයේ දුම්රිය හරස් මාර්ග බාධා අවම වීම දුම්රිය ධාවනයට විශාල රුකුලක් බවයි.

තවත් නොබෝ දිනකින් ‍මේ මාර්ගයේ දුම්රිය ධාවනය අරඹනු ඇත.

එහෙත් දුම්රිය මඟ දෙපස සිටින්නන්ට විශේෂ යමක් දැනුම් දීමට ඇත. දුම්රියේ වේගය පැයට කිලෝමීටර් 120කි. දුම්රිය මඟ අසල පදිංචිකරුවෝ රැසකි. ඉදිරියේ ඇත්තේ අවදානමකි. අවධානය යොමු කොකළහොත් අවාසනාවන්ත ඉරණමකටය පත් විය හැකිය. දුම්රිය මඟ විවෘත කිරිමටක් පෙර ඒ ගැන අවධාරණය කර සිටිමු.

අදහස්