රන්ජන්ගෙන් කාලබෝම්බයක් | සිළුමිණ

රන්ජන්ගෙන් කාලබෝම්බයක්

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී සිවු වසරක් ගතවීම පසුගිය සතියේ දේශපාලන කරළියේ අවධානය දිනාගත් ප්‍රමුඛ සිදුවීම බවට පත් වුණා. තම සිවු වසරක ජනපති මෙහෙවර වෙනුවෙන් ජනපතිවරයා විසින් ලග්ගල හරිත නගරය ජනතාව තිළිණ කරද්දී අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 2019 වසරට නියමිත අය - වැය ලේඛනය සම්පාදනය කිරීම ඇතුළු කටයුතුවල නිරතව සිටිනු දැකගත හැකි වුණා. ඒ අතර ශ්‍රීලනිප - පොහොට්ටු එකතුව ගැන ඇතුළු තවත් සිදුවීම් රැසකින් පසුගිය සතියේ දේශපාලන කරලිය සුපුරුදු පරිදි උණුසුම් වුණා.

ජනපතිගේ තවත් සිහිනයක් සැබෑ වෙයි

2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ විජයග්‍රහණය මෙරට දේශපාලන, සමාජ සහ ආර්ථික ගමන් මඟේ හැරවුම් ලක්ෂයක් වුණා. එදා සිට සිවු වසරක් පුරා ජනපති මෛත්‍රී විසින් රටට දිනාදුන් බොහෝ දේ අතර මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශය මෙරට ජනතාවට ලබා දුන් ස්වර්ණමය තිළිණයක් වශයෙන් සැලකිය හැකියි.

ජනපති පදවි ප්‍රාප්තියේ සිවුවෙනි වර්ෂ පූර්ණය යෙදුණු පසුගිය 08 වැනිදා ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජාතියට ලබා දුන් මේ ස්වර්ණමය තිළිණයට තවත් මැණිකක් එක් වුණා. ඒ කළු ගඟ ජලාශයට තම ගම්බිම් පූජා කළ ලග්ගල ජනතාවට සියලුම යටිතල පහසුකම් සමඟ නව හරිත නගරයක් ලබාදීමයි. මේ ඓතිහාසික අවස්ථාවට ජනපතිවරයා සමඟ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද ඇතුළු අති විශාල පිරිසක් එක්ව සිටියා.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තහවුරු කරමින් සියලූ ජාතීන් බියෙන් සැකෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැඟීම මෙන්ම නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉකුත් සිව් වසර තුළ වැදගත් පියවර රාශියක් ගත් බව ජනාධිපතිතුමා මෙහි දී සිහිපත් කළා.

රට ගොඩනැඟීමට ප්‍රබලතම අභියෝගයක් ව පවතින වංචාව, දූෂණය සහ අක්‍රමිකතාව පිටුදැකීමට පසුගිය සිවු වසර තුළ සුවිශේෂී කැප කිරීමක් සිදු කළ අතර ඉකුත් අත්දැකීම් ආශිර්වාදයක් කර ගනිමින් දූෂණය සහ වංචාව පිටුදැකීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස ජනාධිපතිතුමා මෙහි දී සියලුදෙනාට ආරාධනා කළා. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අද රටට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට බෙ දී බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිසක් නොව පොදු න්‍යාය පත්‍රයක් අනුව රට ගැන සිතා කටයුතු කරන පිරිසක් බවයි. අලුතින් සිතා, අලුතින් සැලසුම් කර අලුත් ගමනක් යෑමට ලැබූ නව වසරේ අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බවත් ජනපතිවරයා මෙහි දී ප්‍රකාශ කළා.

මල්වතු අනු නාහිමිගෙන් ජනපතිට ආරාධනාවක්

මේ අතර ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා ජනපති මන්දිරයේ දී තවත් සුවිශේෂ ආගමික මෙහෙවරක් ඉටු වුණා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම මෙහි දී සිදු වූ අතර ජනාධිපතිවරයා අතින් සංකේතාත්මක ව විහාරාධිපති ස්වාමින් වහන්සේලා කිහිප නමක් වෙත පූජා ඔප්පු පිළිගැන්වීම ද මෙහි දී සිදු වුණා.

මේ අවස්ථාවේ දී මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවක් කළා.

“මහ මන්දිර බැහැර කරමින් පොදු ජනතාව අතර සිට ජනතාවට සේවය කරන ජනපති අද රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක්. මත්ද්‍රව්‍ය වැනි බිහිසුණු උවදුරුවලින් සමාජය ගලවා ගනිමින් අධ්‍යාත්මික ගුණවගාවෙන් රටත්, ජනතාවත් සුපෝෂණය කිරීමට ඉකුත් සිවු වසර තුළ ජනපතිගේ නායකත්වයෙන් විශේෂ වැඩකොටසක් ඉටු වුණා. ඉදිරි වසර පමණක් නොව තවත් වසර 05ක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත්, සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ආරාධනා කරනවා” පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේගේ තම අනුශාසනාවේ දී සඳහන් කළා.

අගමැති කතරගම දී ආගමික වතාවත්වල

දේශපාලන වශයෙන් දැඩි අවිවේකී සතියක් නිමා කළ අගමැතිවරයා පසුගිය සති අන්තය ආරම්භ කළේ දකුණු පළාතේ විශේෂ සංචාරයක නිරත වෙමිනි. ඒ අනුව පසුගිය සෙනසුරාදා මුලින් ම දෙවිනුවර විෂ්ණු දේවාලයට ගිය අගමැති රනිල් එහි පුද පූජා ඇතුළු ආගමික කටයුතුවල නිරත වුණා. එහි දී පැමිණ සිටි ජනතාව සමඟ කතාබහ කරමින් ඔවුන් සමඟ කෙටි කාලයක් ගත කිරීමට ද අගමැතිවරයා අමතක කළේ නැහැ.

ඊට පසු අගමැතිවරයා ඇතුළු පිරිස කතරගම පුද බිම වෙත පැමිණියා. සුපුරුදු පරිදි මුලින්ම කතරගම කිරි වෙහෙර වැඳ පුදා ගත් අගමැති රනිල් ඉන් අනතුරුව කතරගම මහා දේවාලයේ දී කතරගම දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමට පියවර ගත්තා. මේ අවස්ථාවේ දී පැමිණ සිටි බැතිමතුන් හමුවී ඔවුන් සමඟ කතාබහ කිරීමට ද අගමැතිවරයා පියවර ගත්තා.

මේ අතර කාලය ඉතිරිව තිබූ හෙයින් වැඩිහිටි කන්ද වන්දනාමාන කිරීමට ද යමු යැයි අගමැතිවරයා තම හිතවතුන්ට යෝජනා කළා. ඔවුන් ද එම යෝජනාව එකසිතින් පිළිගත් නිසා අගමැතිවරයා ඇතුළු පිරිස වැඩිහිටි කන්ද බලා පිටත් වුණා. එහි දී ද පුදපූජාවලින් පසුව අගමැතිවරයා සුපුරුදු පරිදි බැතිමතුන් සමඟ කතාබහ කිරීමට ද කාලයක් වෙන් කළා.

සති අන්තයෙන් පසුව ආරම්භ වූ රාජකාරි සතිය තුළ අගමැතිවරයා දැඩි කාර්ය බහුල ව සිටියා. ඒ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත් වී සිවු වසරක් සම්පූර්ණ වීම ඇතුළු කටයුතු රැසක් තිබුණා. විශේෂයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු දිනයට පෙර පැවැත්වීමට ජනපතිවරයා සූදානම් වීම තුළ අගමැතිවරයා සතිය ආරම්භයේදීම වඩාත් කාර්ය බහුල වුණා.

කරන්දෙණිය කතාවට ප්‍රසාදය

අගමැති රනිල් බදාදා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙල සහ එහි තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. එහි දී අගමැතිවරයා පාර්ලිමේන්තුව සහ දේශපාලනඥයන් ගැන කළ කතාව ගැන ජනතාව අතර සේම දේශපාලන කරළිය තුළ ද දැඩි අවධානයක් යොමු වුණා.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා අගමැති රනිල් සුපුරුදු පරිදි රාජකාරි කටයුතු කිහිපයක් ඉටුකර ගැනීම සඳහා අරලියගහ මැඳුරට පැමිණියා. අගමැතිවරයා සමඟ වඩාත් පහසුවෙන් සහ සැලකිය යුතු වේලාවක් කතා කිරීමට ලැබෙන හොඳ ම අවස්ථාව මෙදින බව දන්නා ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ එජාපයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් සහ අගමැතිවරයාට සමීප මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද අරලියගහ මන්දිරයට පැමිණ සිටියා. ඒ අතර වජිර, ගයන්ත, නවීන්, ලක්ෂ්මන්, දයා වැනි ප්‍රබල ඇමැතිවරුන් සේම රාජ්‍ය ඇමැතිවරුන් වන අජිත්, රංජිත්, රන්ජන් ද චමින්ද, හේෂා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද සිටියා.

සුපුරුදු පරිදි ආ ගිය කතා අතරතුර වජිර අබේවර්ධන අගමැති රනිල්ගේ කරන්දෙණිය කතාව ගැන තම අදහස කිව්වා.

‘ඊයේ කරන්දෙනිය ඉස්කෝලෙදි ඔබතුමා කළ කතාව වටිනවා. පාර්ලිමේන්තුවටත් වඩා අද පාසැල් සිසුන් අතරේත් හොඳ විනයක් තිබෙනවා; ඒ වගේම අඩුගානෙ පාර්ලිමේන්තු විනයත් මුලින් පාසැල් දරු දැරියන්ගේ විනය මට්ටමටවත් ගෙන ඒම අත්‍යවශ්‍යයි කියපු එක ඉතා වැදගත් විග්‍රහයක්. වජිරගේ කතාව තමන් ද පිළිගන්නා බව මේ සමඟ ගයන්ත ද කිව්වා. හේෂාගේ ප්‍රශ්නයට නවීන්ගෙන් තල්ලුවක්

මේ අතර පසුගිය සති කිහිපය පුරා පුවත් මවන මැෂිමක් බවට පත්ව සිටින හේෂා විතානගේ ආණ්ඩුකාරවරුන් පත් කිරීම ගැන තමන් ඇතුළු පසුපෙළට තිබෙන හැඟීම ගැන කතා කළා.

“පළාත් සභාවල හිටපු පරිණත ආණ්ඩුකාරවරු ඉවත්කරලා ඒ වෙනුවට රනිල් අගමැතිතුමාටයි එජාපෙටයි දැඩි ලෙස විරුද්ධ දේශපාලන අත්දැකීම් නැති පිරිසක් ආණ්ඩුකාරවරු ලෙස පත්කිරීම පුදුමයක්. විශේෂයෙන් නැගෙනහිර පළාත විදෙස් ආයෝජන හරහා දියුණු කිරීමේ රෝහිත බෝගොල්ලාගම ආණ්ඩුකාරවරයාගේ හා අනෙක් පළාත්වල සංවර්ධනයත් ඇණහිටින්න පුළුවන්; හේෂා විතානගේ තරමක් කළකිරීමෙන් වාගේ කිව්වා.

“මැතිවරණ ව්‍යාපාරයක් සඳහා රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ අල්ලගෙන මරාගෙන මැරෙන ගේම් එකක් දෙන්න නව ආණ්ඩුකාරවරු පත් කළා කියලත් කියනවා, නවීන් දිසානායක තමන් සතු තොරතුරු අනුව හේෂාගේ ප්‍රශ්නය ඉදිරියට තල්ලු කළා.

නවීන්ගේ මේ කතාව කිහිප දෙනෙක් ම එකහෙළා පිළිගත් බව පෙනුණා.

“නව පත්වීම් ලබපු අය ආණ්ඩුකාරවරුන්ට වඩා ඒ ඒ පළාත්වල ශ්‍රීලනිපයේ ප්‍රධාන සංවිධායකවරු කියලත් සමහරු කියනවා. නවීන් දිසානායක තවත් කරුණු පැහැදිලි කරමින් කිව්වා.

එජාපයේ මහා සම්ප්‍රදාය ගැන රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

මේ අතරේ රන්ජන් සුපුරුදු පරිදි කාලබෝම්බයක් පත්තු කරමින් එජාප ප්‍රබලයන්ගේ අවධානය බෙලිඅත්තට යොමු කළා.

“ප්‍රේමදාස මහතා පටන්ගත්ත චන්ද්‍රිකා ඉස්සරහට තල්ලු කරපු මහින්ද දැඩි ලෙස උනන්දු වූ හා මේ රජය ඉදිකළ මාතර බෙලිඅත්ත නව දුම්රිය පාරේ ගියපු පළමු දුම්රියට මහින්දගෙ බැනර් ගහලා හෙන්චයියො ටිකක් ඇවිත් මහ කලබලයක් කළා. එහෙමනම් අනිත් හැම කෝච්චි පාරක් ම ඉදිකරපු මහරැජිනගෙ හෝ බ්‍රිතාන්‍ය අගමැතිගෙ පින්තූර ගහන්න වෙනවා. කෝච්චියෙ ගහපු මහින්දගෙ පෝස්ටරේ ලසන්ත හා තාජුඩීන්ගෙ මිනීපෙට්ටිවල ගැහුවෙ නැත්තෙ ඇයි කියලයි සමාජ ජාලාවල ප්‍රශ්න කරන්නෙ; රන්ජන් රාමනායක සුපුරුදු ලෙස තරමක් හයියෙන් කිව්වා.

“ජනතා මුදලින් හා අධික ණයවලින් හදන දේවල්වලට නම ගහගන්න සමහරුන්ට තියන දැඩි ආසාව ඔබතුමාට නැත්තෙ ඇයි ?” අජිත් පී. පෙරේරා සිනාසෙමින් අගමැති රනිල්ගෙන් ප්‍රශ්න කළා.

“ජනතා මුදලින් හදන දේවල්වලට තියා අතේ මුදලින් හදන දේකට පවා නම නොගහන එක මගේ නෙවෙයි; එජාප සම්ප්‍රදාය. ජේ ආර් මේක කළේ ම නෑ. ප්‍රේමදාස උපන්දින උත්සවයක් නම් තිබ්බා. හැබැයි ඒකෙන් වැඩි ම වාසිය වුණේ ඒ ඒ පළාත්වල මිනිස්සුන්ටයි, අගමැතිවරයා අතීත සිදුවීම් උපුටා දක්වමින් කිව්වා.

කරුට මෝල්ටාවේ දී උණුසුම් පිළිගැනීමක්...

කතානායකවරයාට පසුගිය සතියේ පොදු රාජ්‍ය මණ්ඩලයීය කතානායක සමුළුවට සහභාගී වීම සඳහා මෝල්ටා රාජ්‍යය වෙත පිටත් ව යෑමට පෙර විශේෂ සාකච්ඡා කිහිපයකට සහභාගී වීමට සිදු වුණා. එයින් වැදගත් ම සාකච්ඡාව වුණේ ආරක්ෂක ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති සාකච්ඡාවයි. ආරක්ෂක ලේකම්වරයා, යුද හා ගුවන් හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශයේ ඉහළ ම නිලධාරීන් කිහිප දෙනෙක් සහ මානව හිමිකම් කොම්ෂමේ සභාපතිනිය මේ සාකච්ඡාවට එක් වුණා. එහි දී එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට ලැබී ඇති අවස්ථා නිසි පරිදි යොදා ගැනීම පිළිබඳව මෙහි දී සාකච්ඡා වුණා.

මේ සාකච්ඡාවේ දී කතානායකවරයා වැදගත් කරුණක් පෙන්වා දුන්නා.

“එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාවට ඇති අවස්ථාව පුළුල් වීමෙන් හමුදාවට මෙන්ම රටට ද සුබවාදී ප්‍රතිඵල රැසක් අත්පත් කර ගන්න පුළුවන්. ඒ නිසා එම අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගත යුතුයි” කතානායකවරයා ආරක්ෂ අංශ ප්‍රධානීන්ට පෙන්වා දුන්නා.

මෙවැනි වැදගත් සාකච්ඡා කිහිපක් සාර්ථකව නිම කළ කතානායකවරයා මෝල්ටා රාජ්‍ය බලා පිටත්ව ගියා. මෝල්ටා රාජ්‍යයේ දී කතානායකවරයාට ඉතාම උණුසුම් පිළිගැනීමක් ලැබුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා සුවිශේෂ අනුග්‍රහයක් ලබා දෙන මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් පදනමේ ප්‍රධානීන් සමඟ ද කරු විශේෂ සාකච්ඡාවක් සඳහා එක් වුණා. මේ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරුත්වය හා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කතානායකවරයා ක්‍රියා කළ ආකාරය පැසසුමට ලක් වුණා.

මේ අතර මෝල්ටාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද කතානායකවරයා හමුවීමට පැමිණියා.

සජිත්ගෙන් මෛත්‍රීට යෝජනාවක්

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව සිවු වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ විශේෂ සමරු වැඩසටහන් අතර ලග්ගල හරිත නගරය ජනතා අයිතියට පැවරීම සුවිශේෂ සිදුවීමක් වුණා. මේ අවස්ථාවට එජාපයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඇමැති සජිත්, ජනපතිවරයා සමඟ ජනපතිවරයාගේ නිල රථයෙන් ම උත්සවයට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියා. මෙසේ ගමන් කරමින් සිටිය දී සජිත් ජනපතිවරයාගෙන් මොරගහකන්ද ජලාශයේ ඉතිහාසය ගැන විමසුවා. සජිත්ගේ ප්‍රශ්නයට සුපුරුදු සැහැල්ලු ස්වරයෙන් ජනපතිවරයා පිළිතුරු දුන්නා.

“ජලාශයට මුල්ගල තියලා පැය 48ක් යන්න කලින් මාව ඇමැතිකමෙන් අස් කළානේ. ඊට පස්සේ 2007 ඉඳලා 2012 වෙනතුරු මේ ජලාශය වෙනුවෙන් එක තඹ සතයක් දුන්නේ නැහැ. 2015 දී මම ජනාධිපති වුණාට පස්සේ කොහොම හරි සල්ලි හොයා ගෙන මම මේ ජලාශේ වැඩ පටන් ගත්තා” ජනපති මෛත්‍රී කිව්වා.

ජනපතිවරයාගේ කතාවෙන් සජිත් තුළ යම් කම්පනයක් ඇති වුණා. සජිත් ඒ බව නොසඟවා යළි කතා කළා.

“එක එක උදවිය මේකට තමන්ගේ නම් දාගන්න හැදුවත් මේ සැලසුම් කළෙත්, නිර්මාණය කළෙත් ඔබතුමා. මේකේ සැබෑ පීතෘ ඔබතුමානේ. ඒ නිසා මේ ජලාශයට “මෛත්‍රීපාල සිරිසේන ජලාශය” කියලා නම දාන්නයි තිබුණේ ” සජිත් කිව්වා.

සජිත්ගේ අදහස් දැක්වීම සුපුරුදු සිනාවෙන් භාරගත් ජනපති මෛත්‍රී, “අනේ, මං ඕවට නං ආස නෑ” කියලා කිව්වා.

බැසිල් සහ ප්‍රසන්නගේ නාට්‍යය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. ඊට සමගාමීව රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබාදිය හැකි නාට්‍යමය වැඩසටහනක අවශ්‍යතාවක් දැනුණු නිසා බැසිල්, සුදත් රෝහණ ඇතුළු පොදුජන පෙරමුණේ කලාකරුවන් පිරිසකට කතා කළා. ඒ අනුව කලාකරුවන් සහ බැසිල් අතර සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා පැවැත් වුණා.

“මට අවශ්‍ය කරන්නේ රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ හැකි නාට්‍යමය වැඩසටහනක් ” බැසිල් තම අවශ්‍යතාව ගැන දීර්ඝ ලෙස පැහැදිලි කරමින් කිව්වා.

බැසිල් රටේ දේශපාලන තත්ත්වය සහ පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන දක්වන සංවේදීතාවය සහ දැනුවත්කම ගැන කලාකරුවන් තුළ දැඩි ප්‍රසාදයක් ඇති වුණ බව සාකච්ඡාව අවසානයේ ඔවුන් කළ කතාවලින් පැහැදිලි වුණා.

“අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. බැසිල් ඇමැතිතුමා සේරම පැහැදිලි කළා. හරියට ස්ක්‍රිප්ට් එකක් වාගේ ” ප්‍රවීණ කලාකරුවෙක් සැහැල්ලු ස්වරයෙන් කිව්වා.

ඉතාම කෙටි කාලයකින් කලාකරුවන් බැසිල්ගේ ඉල්ලීම ඉටු කරලා දුන්නා. ඒ අනුව කලාකරුවන්ගේ ද දායකත්වය ලැබුණු “ගම සමඟ පිළිසඳරක්” මංගල සම්මන්ත්‍රණය ගම්පහ මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේ පැවැති හෝටලයක දී පැවැත් වුණා. බැසිල්, ප්‍රසන්න, ලන්සා, සුදර්ශනී, රණවීර, ඉන්දික සමඟ කලාකරුවන් නියෝජනය කරමින් සුදත් සමඟ රෝහණදේව ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

සම්මන්ත්‍රණය ආරම්භයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන ප්‍රසන්නගේ උපදෙස් පරිදි සකස් කෙරුණු වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කළා. ඉතාමත් සිත්ගන්නා සුළු ආකාරයට සකස් කර තිබු‍ණු එම වාර්තා වැඩසටහන දෙස බැසිල් මහත් උනන්දුවකින් බලා සිටියා.

“හරිම ලස්සන වැඩක් ” බැසිල් ප්‍රසන්නට ප්‍රසංශා කළා. මහින්ද ආණමඩුවේ දී ලක්ෂේ සොයයි

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මීට සතියකට පමණ කලින් විපක්ෂ නායක මහින්දට කතා කළා.

“සර්, සර්ගේ කාලේ අපි හදන්න පටන් ගත්තු වෙළෙඳ සංකීර්ණේ වැඩ දැන් ඉවරයි. සර්ම ඇවිත් ඒක විවෘත කරනවා නම් හොඳයි” සභාපතිවරයා මහින්දගෙන් ඉල්ලා සිටියා.

“හරි මම එන්නම්, අපි දිනයක් දා ගනිමු” මහින්ද පොරොන්දු වුණා. ඒ අනුව යොදාගත් පරිදි මහින්ද පසුගිය 07 වැනි දා ආණමඩුව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වුණා. අරුන්දික, පියංකර, සනත් ඇතුළු පිරිසක් මේ සඳහා පැමිණ සිටියා.

උත්සවයෙන් පසුව පිරිස කතා කරමින් සිටින අතරතුර මහින්ද අරුන්දිකගෙන් ප්‍රශ්නයක් ඇසුවා.

‘අරුන්දික, කෝ අර තමුන්නාන්සේලාගේ පැත්තේ ලක්ෂේ ?”

මහින්ද කී කතාව අරුන්දිකට එක්වරම වැටහුණේ නැහැ.

‍‘මොන ලක්ෂය ද සර් ?” අරුන්දික ටිකක් පුදුමයෙන් වාගේ ඇසුවා.

“නෑ, මං ඇහුවේ අර හැරවුම් ලක්ෂේ ගැන, මහින්ද සිනාසෙමින් කිව්වා.

මහින්දගේ කතාවට හැමෝටම හිනා ගියා.

“ආ එයාද ? දැන් ඉන්නවා කැබිනට් ඇමැතිකමක් උඩින් වැටෙනකම් බලාගෙන, සනත් සිනාසෙමින් කිව්වා.

“වැටෙයි වැටෙයි ඔහොම යන කොට, අරුන්දික ද සිනාවට එක් වෙමින් කිව්වා.

කෝප් සභාපති පුටුව ගැන ජවිපෙ දෙගිඩියාවෙන්.

සුපුරුදු පරිදි පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී ඉදිරි දින කිහිපය තුළ ගත යුතු තීන්දු තීරණ ආදිය පිළිබඳ සාකච්ඡා කළා. ඒ සමඟ එම සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳ ව ද ඔවුන් සාකච්ඡා කළා. එහි දී ඔවුන්ගේ අවධානය පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා නියෝජිතයන් පත්කිරීම පිළිබඳව ද යොමු කළා.

“දැන් විපක්ෂයේ මන්ත්‍රීන් ගණන වැඩියි. ඒ නිසා අපේ පක්ෂයට ලැබෙන්නේ කාරක සභාවල එක් නියෝජිතයෙක් පමණයි. කෝප් එකට ගිණුම් කාරක සභාවට එක් නියෝජිතයා බැගින් පත් කරන්න ඕනෑ” අනුර දිසානායක ජවිපෙ ස්ථාවර පැහැදිලි කරමින් කිව්වා.

“පාර්ලිමේන්තුව කල් තියපු නිසා කෝප් සභපති තනතුරත් දැන් අහෝසි වෙලා. කෝප් කමිටුවේ සභාපති ධුරයට මොකද වෙන්නේ. කෝප් කමිටුවට අපි කවුද යන්නේ.” විජිත හේරත් විමසුවා.

“හඳුන්නෙත්ති සහෝදරයා ම කෝප් කමිටුවට යන එක හොඳයි. නමුත් සභාපති ධුරය භාරගන්නවද කියන ප්‍රශ්නය තියෙනවා නේද?” වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රශ්න කළා.

“කෝප් කමිටුවේ විශාල කාර්යභාරයක් තියෙනවා. වංචා දූෂණ විශාල ප්‍රමාණයක් විමර්ශනය කෙරෙනවා. ඒ නිසා සභාපති ධුරයේ වැඩ කරන්න ලැබුණොත් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් අනෙක් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව තමයි ඒක තීරණය වෙන්නේ.” අනුර දිසානායක තමන් හමුවේ ඇති අවශ්‍යතාව සහ අභියෝගය ගැන පැහැදිලි කළා.

“අනෙක් මන්ත්‍රීවරු කැමති නම් අපි සභාපති ධුරය භාරගමු” විජිත හේරත් බලාපොරොත්තු සහගත ස්වරයෙන් කිව්වා.

ගජබා

gajabanagaha1975gmail.com

අදහස්