ෆෙඩරල් බිල්ලන් මැවීම | සිළුමිණ

ෆෙඩරල් බිල්ලන් මැවීම

  • ව්‍යවස්ථා කතා
  • කකුලෙන් ඇදීම
  • ඒකීය රාජ්‍ය ව්‍යුහය
  • ඒකීය රටක බලාපොරොත්තු

යැංකි නැවක් ලංකාව අවට මුහුදේ නතර කරලා. ඇමෙරිකාව ඕක එවලා තියෙන්නේ, මෙහේ ව්‍යවස්ථාව හදන හැටි බලන්න.'මීට ටික කලකට පෙර ගමේ කඩපිලේ කෙනෙක් එහෙම කියනකොට අනෙකා ඇස් ලොකු කරගෙන බැලීය.'මොකක්?'

'ඔව්, මතකනේ ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ උතුරේ ඉන්දීය නැව් නවත්තාගෙන හිටියා, වැඩේ ඉවර වෙනකම්. 'මුලින් කී පුද්ගලයා තම කතාව තහවුරු කරන්න සාධක ගෙනෙයි.'ඒක අස්සන් කරද්දී නේද රජීව්ට අපේ හමුදාවේ කොල්ලෙක් දෑත් බදලා තුවක්කුවෙන් පතබෑවේ. 'මුදලාලි කතාවට එකතු විය. බලාගෙන ගියාම කතාව අපූරු ය. හැබැයි එදා රජීව්ට ගැහුවා කියා ඉන්දියාව ඇවිත් ලංකාව ප්‍රාන්තයක් කරගත්තේ නැහැ. මහ ලොකුවට පාරම්බෑවට ඉන්දියාව ගේමට බැස්සා නම් ලංකාව සුන් ය. ඊට දශක කිහිපයකට පස්සේ ලංකාව තවත් එහෙම තක්කඩි වැඩක් කළේය. ඒ ශාරුක් ඛාන් ප්‍රසංගයකට මෙරටට ආව වෙලාවේ ජාතිවාදී කණ්ඩායම් ඔහුට පහරදීමට යෑම ය. එදා ෂාරුක්ට හානියක් වුණා නම් ලංකාවට 'අබ සරණය'. හැබැයි ඒ ජාතිකවාදී ආණ්ඩුවම පස්සේ කාලෙක සල්මන් ඛාන්ලා මෙහේ ඡන්ද වැඩට ගෙනාවේය. සමහර උසි ගැන්වීම් සහ සැක සංකා ඉතිරි කරන්නේ මහා ව්‍යසනයක් ය. නව ව්‍යවස්ථාවට කලබල වෙලා පිස්සු නටන්නේ එහෙම දිය කොරහේ කිඹුලන් දකින පිරිසක් ය."අපට 1947 මහ මැතිවරණයක් ලබා දෙන්න. එවිට අපිට පුළුවන් රටේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට ආණ්ඩුවක් පත් කරගන්න."

47 සෝල්බරි කොමිසමට ගිය ඩී. එස්. සේනානායක එහෙම කීවේය. ඉල්ලීම පිළිගත් කොමිසම මැතිවරණයක් දුන්නේය. ඡන්දෙන් දිනුවේ ඩී. එස්. සේනානායකලාය.එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් 98 දෙනකු ඉදිරිපත් කළ අතර ඉන් 42 දෙනකු ජය ගනු ලැබීය. ලංකා සම සමාජ පක්ෂය ආසන 10ක්ද, බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය 5ක් ද, ද්‍රවිඩ සංගමය 7ක් ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය 3ක් ද, ලංකා ඉන්දියානු සංගමය 6ක් ද, කම්කරු පක්ෂය 01ක් ද ස්වාධීන අපේක්ෂකයන් 21 දෙනෙක්ද තේරී පත්විය. අන්තිමට ඩී. එස්. සේනානායක ආණ්ඩුව පිහිටු වීය.

මුල්ම පාර්ලිමේන්තුව රැස් වෙන්නේ එහෙම ය. ඒ ආණ්ඩුවේ මුදල් ඇමැතිකම ජේ. ආර් ටත් කෘෂිකර්ම ඇමැතිකම ඩඩ්ලිටත් දුන්නා, ඩී. එස්. සෞඛ්‍ය හා පළාත් පාලන සහ සභා නායකකම දුන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකට ය. එහෙම බැලුවම ඩී. එස්. බණ්ඩාරනායකට සෑහෙන්න සලකලාය. පස්සේ කාලෙක, ඒ කියන්නේ 1951 ජූලි 12 දින විරුද්ධ පක්ෂයට එක්වෙනතුරු බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයේ දෙවැනියා ය. සිරිමාවෝ බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂ කාන්තා සංවිධානයේ සභාපතිනිය ය.

එකම රටේ මිනිස්සු පක්ෂ දෙකක් ලෙස වෙන්වී ජම්මාන්තර වෛරක්කාරයන් බවට පත් වෙන්නේ ඊට පස්සේ ය. 1947 පැවැත් වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඩී. එස්. සේනානායක අගමැති වන්නේද හවුල් ආණ්ඩුවකින් ය. ඩී. එස්. සේනානායක හැදූ එක්සත් ජාතික පක්ෂය ප්‍රභූ මුස්ලිම් නියෝජනයක් ද සිංහල මහ සභා නියෝජනයක් ද ලබා තිබූ අතර, ආණ්ඩුව හදන්නට අවශ්‍ය වූ බහුතරය ලබා ගත්තේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය හවුල් කර ගැනීමෙනි. එහෙත් ඒ ආණ්ඩුවේ සිටියේ ඇමැතිවරුන් 14කි. 1965 දී ඩඩ්ලි සේනානායක හැදූ ආණ්ඩුව හත් හවුල් ආණ්ඩුවක් විය. හිටියේ ඇමැතිවරුන් 17ක් ය.දැන් කෙසේ වෙතත්, 2015 ජනවාරි 8 සිට ටික කලක් යනතුරු මෛත්‍රි - රනිල් දෙදෙනා වෑයම් කළේ ඒ වෙන්ව සිදු කළ මරා ගැනීම රටින් ඉවත් කරන්නට ය. මේ පක්ෂ දෙක අතර පවතින මූලික ප්‍රතිපත්තිමය විරසකය යම් දුරකට තුනී කරන්නට ය. අලුත් සංස්කෘතික හර පද්ධතියක් සහිත 'සංහිඳියාවේ' දේශයක් ඇති වෙතැයි මිනිස්සු හීන දැක්කේ ඒ සුසංයෝගය ඒක කරාවි යැයි කියා හිතලා ය.

නමුත්, 'බලය, බලය ලබා ගැනීම, එය පවත්වා ගැනීම, තහවුරු කිරීම' යනා දී මැකියාවෙලීගේ සංකල්පයේ අනවරත ව වෙළී සිටින දෙපිරිස අර ප්‍රාර්ථනා කෙරෙහි කොතෙක් 'අවංක' වූවාද කියා කියන්නට දන්නේ නැත. ඒකීය රටක් යනුවෙන් ව්‍යවස්ථාපිතව, එහෙත් යථාර්ථයේ දී 'කෑලි කෑලිවලට' බෙ දී වෙන්වූ රටක් ඉතිරි වූයේ මේ බලකාමය සහ ඊර්ෂ්‍යාව නිසා ය.1953 දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල, දෙමළ දෙබසටම සමතැන දෙන බව කීවේ බණ්ඩාරනායක දකුණේ දී 'සිංහල රජ බස' කරන බව කීම හින්දා ය. අන්තිමට නැති ප්‍රශ්න ඇති වී රට අරාජික විය.

එදා වේල කන්නේ කොහොමද කියා කල්පනා කරමින් ජීවන අරගලයක යෙදුණු මිනිස්සුන්ට ජීවත්වීමේ කලාව පුරුදු කරනවා වෙනුවට අවස්ථාවාදී දේශපාලකයෝ කළේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් 'සංවේදී' ප්‍රශ්න හුරතල් කරන එක ය.

සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු දෙමින් 56 දී රාජ්‍ය බලය ලබාගත් බණ්ඩාරනායකට දෛවය කළ සරදමක මහත, අන්තිමට ඔහුට සිදුවුණේ, 57 දී දෙමළ ධනපති පන්තිය සමඟ බල බෙදීමකට ගිවිසුම්ගත වෙන්නට ය. හැබැයි ජේ. ආර්. ඊට 'බාල්දියක්' පෙරළුවේ ගිවිසුම ගිනි තබා නුවරට පා ගමනක් අරඹමින්ය.1964 දී සභාග ආණ්ඩුවක් සෑදූ සිරිමාවෝ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ගැසූ අතර ඒකටත් එජාපය එරෙහි විය. 1964 දී සභාග ආණ්ඩුවක් සෑදූ ඩඩ්ලි චෙල්වනායගම් එක්ක ගිවිසුමක් ගැසූ අතර එයට විරුද්ධව ශ්‍රී ලං. නි. ප., කො.ප., සම සමාජ හවුල කැරලි ගැසූහ.

71 දී සිරිමාවෝ ගේ හවුල් ආණ්ඩුවට ජ.වි.පෙ. සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වෙනකොට ජේ. ආර් කීවේ එතෙරින් හෝ හමුදා ගෙනත් කැරැල්ල මඬින්න කියා ය. හැබැයි ජේ. ආර්. බලයට එන්න පාවිච්චි කළ ඒදණ්ඩක් වුණේ මැතිනි තරුණයන් 15, 000ක් මැරුවාය කීම ය. ජේ ආර්ගේ කාලයේ 80 මහා වැඩ වර්ජනයට ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ 'වර්ජකයන් කනත්තට යවන්න ඕනා' කියන එක ය. ඒක කීවේ ලලිත් ඇතුලත්මුදලි ය.78 ජේ.ආර්. අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවේ ඒ වෙනකොටත් ඔහුට තිබ්බ මහා බලය උපයෝගී කරගෙන ය.'ජේ.ආර්ගේ ව්‍යවස්ථා ගැට ලිහනවා බොරු.'

මිනිස්සු කීවේ එහෙමය. ඔහුට සියල්ලටම වඩා වුවමනා වූයේ එක්සත් ජාතික පක්ෂය' හැමදාම බලයේ තියා ගන්නටය.94 චන්ද්‍රිකා ආවේ ජේ.ආර්.ගේ 'බහුභූත' ව්‍යවස්ථාව වෙනස් කරනවා කියා ය. හැබැයි ඒක වසර 10ක් තිස්සේ දිගින් දිගට ඇදුණු 'රැවටිල්ලක් විය. එජාප විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නිර්ධය ලෙස විවේචනය කරමින් ආ චන්ද්‍රිකා කීවේ එ.ජා.ප. ආණ්ඩුව වසර 17ක් තුළ ආයතන 43 ක් විකුණා දැම්මා කියලාය. හැබැයි 1994 ඇරඹි චන්ද්‍රිකා පාලනයේ වසර නවයක් ඇතුළත දී පෞද්ගලීකරණය කළ ආයතන ගණන 57ක් ය. එහෙම බැලුවම වෙන වෙනම දෙගොල්ලෝම තකට තකය.එහෙම එකේ මේ දෙගොල්ල එක්ව කරන දෙයකින් විනා වෙන්ව කරන දෙයකින් රටට සෙතක් වෙතැයි කියා ඉතිහාසයවත් ඔප්පු කර නැත. ඉතිහාසය විසින් රටට භාර කළ තීරණාත්මකම මොහොත මේ වෙද් දී උදා වී තිබේ. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට දායාද කිරීමේ අවස්ථාව ය. මහින්ද පාර්ශ්වය එරෙහි වී සිටින්නේ ඒ තීරණාත්මක අවස්ථාවට ය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ ආණ්ඩුවේ මූලික පොරොන්දුවක් විය. දැන් කකුලෙන් අදින්නේ ඒ පොරොන්දුව ය.18 ගෙනත් කැමැති පදම් ජනාධිපති වීමේ සංශෝධනයක් ගේන්න කියා මහින්දගෙන් මිනිස්සු ඉල්ලුවේ නැත. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එහෙම තිබ්බෙත් නැත. තිබ්බේ විධායකය අහෝසි කරනවා කියලා ය. හැබැයි කළේ ජීවත් වන තුරා විධායකයට පත්වීමේ සංශෝධනයක් ගේන එකය.සමහරුන්ට අනුව මේ ව්‍යවස්ථාව බටහිර අධිරාජ්‍යවාදීන්ට රට අල්ලා ගැනීමට ඉඩ සැලසීමට සකස් කරන ලද මර උගුලක් ය. තව පිරිසකට අනුව, රට කොටස් නවයකට බෙදා ස්වාධීන රාජ්‍යයන් නවයක් බිහිවීමට මඟ පාදන උගුලක්ය. සමහරු අහන්නේ මේ වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මොකටද කියලාය. දශක ගාණක් තිස්සේ ආඥාදායක ඒකාධිපති ජනාධිපති පාලන ක්‍රමයෙන් රට සහ ජනතාව මුදා ගැනීමේ අවස්ථාව මින් උදා වේ. දශක තුනක යුද්ධයෙන් බිඳුණු සිත් සුවපත් කිරීමේ සහජීවන රටක් ගොඩ නැඟේ.

එකම පවුලේ අය පවා ඇනකොටාගත් මනාප ඡන්ද මගඩිය නිමා වේ. රාජ්‍ය සේවාව, අධිකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යනා දී රාජ්‍ය ආයතන හා සේවාවන් ස්වාධීන කොට ශක්තිමත් කිරීම, මානව අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කොට තහවුරු කිරීමද නව ව්‍යවස්ථාවකින් සිදු වේ.මේ අතළොස්සක් විතරය. සියල්ලටම වඩා මේ මොහොතේ සියලු පක්ෂ ඉතා තීරණාත්මක ලෙස නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් එක්ව සිටී. නැත්තේ, මහින්ද පිල විතර ය.

මේ රටේ සිටින වියපත්ම දෙමළ නායකයා ආර්.සම්පන්දන් ය. පැසුණු බුද්ධියකිනුත්, දේශපාලන පරිණත බවකිනුත් හෙතෙම පිරිපුන්ය.2018 පෙබරවාරි 19 වන දින ඔහු පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ කතාව මෙරට සමස්ත සමාජය නැවත, නැවත ඇසිය යුතුය. ඔහු සිය කතාවෙන් මෙහෙම කීවේය."ගරු කථානායකතුමනි,

ඔබතුමා අවසර දෙනවා නම්, මේ මැතිවරණයේ ගෙන ගිය ප්‍රචාරක යාන්ත්‍රණයේ ස්වභාවය සම්බන්ධව යමක් මා කියන්න කැමතියි. මට ආන්දෝලනයක් ඇති කරන්න උවමනාවක් නෑ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්තරා මැතිවරණ රැළියක් අතරතුර "මේ මැතිවරණයේ ප්‍රතිඵල මත ඇතැම් විට දෙමළ ඊළම බිහිවෙන්න උනත් පුළුවන්" කියා ප්‍රකාශයක් කළ විට, මට තැතිගැන්මක් ඇති වුණා.

එයට හේතු වශයෙන් ඔහු කිව්වෙ, "ගොනුකරමින් පවතින නව ව්‍යවස්ථාවක ප්‍රතිඵලය වශයෙන් එය සිදු විය හැකියි" යනුවෙන්. "සිය කතාව මෙලෙස සිදුකරගෙන යන සම්බන්ධන් එක් තැනක දී මෙවැනි දෙයක් පවසයි.'1987-88 හෙවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල ගැන්වූ කාලයේ සිට මේ රටේ සියලු පුරවැසියන්ට පිළිගත හැකි අන්දමේ දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා 13 වැනි සංශෝධනය වැඩි දියුණු කරන්න විවිධ ජනාධිපතිවරුන් සහ රජයන් අඛණ්ඩ උත්සාහයක් දරා තිබෙනවා. ජනාධිපති ප්‍රේමදාස සමයේ 13 වැනි ව්‍යවස්ථාවට බොහෝ එහා ගිය සංශෝධන සහිත මංගල මුණසිංහ ගෙන ආ කැබිනට් යෝජනා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනි සමයේ 2000 වසරේ අන් කවරෙකුවත් නොව මහාචාර්ය ජී. එල්. පීරිස් ම පාර්ලිමේන්තුවට ගෙන ආ 13 වෙනි සංශෝධනයට බොහෝ එහා ගිය ව්‍යවස්ථා සංශෝධන, කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ආ ඒ යෝජිත ව්‍යවස්ථාවේ නව අංග රාශියකුත් තිබුණා.

එයින් පසුව බලයට ආ ජනපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පළමු සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ දී කළ කතාව යළි සිහියට ගත්තොත් ඔහු කතා කළේ, කළ හැකි උපරිම බලය බෙදා හැරීම ගැන. ඔහු විධායක කමිටුවක් පත් කළා. ඒ කමිටුව වාර්තාවකුත් ඉදිරිපත් කළා. මහාචාර්ය තිස්ස විතාරණ යටතේ පැවැති කමිටුවක් ඔවුන්ගේම වාර්ථාවකුත් ඉදිරිපත් කළා. එහි තිබුණු යෝජනා 13 වැනි සංශෝධනයෙන් බොහෝ දුර ගිය යෝජනා. ඒක තමයි පැවැති ස්ථාවරය.

එයින් පසුව මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පරිවර්තනය වුණා. එහෙම උණේ මේ පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කර ගත් කෙටුම්පතක් මඟින්. ඒකාබද්ධ විපක්ෂයේත් සියලු දෙනාගේ සහාය ඒ මොහොතේ ඒ පනත් කෙටුම්පතට තිබුණා. ඔබ කිසිවෙක් එයට විරෝධය පළ කළේ නැහැ. මේ සඳහා නියාමන කමිටුවක් පත් කළා. ඔබ ඒ නියාමන කමිටුවේ කටයුතුවලටත් සහභාගී වුණා. ඔබ කිසිවෙක් එයට විරෝධය පළ කළේ නැහැ. ඔබ කිසිවෙක් එයට විරුද්ධව වචනයක් මේ පාර්ලිමේන්තුවේ කතා කළේ නැහැ. ඔබ කිසිවෙක් එයට එරෙහිව වචනයක් ඒ නියාමන කමිටුවේදි කතා කළේ් නැහැ; ඔබ එය පිළිගත්තා. ඔබ එය සමඟ එකඟතාවයෙන් යුතුව ඉදිරියට යන්න එකඟ වුණා. එක පාරටම මේ මහින්ද රාජපක්ෂ කියනවා " ජනතාව ප්‍රවේශම් නොවුණොත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඊළම බිහිවෙන්න පුළුවන්" කියලා.

මම කියනවා කතානායකතුමනි, මෙන්න මේ පණිවිඩය මේ රටේ අහිංසක සිංහල ජනතාව අතරේ පතුරුවලා තිබෙනවා. ඔවුන්ට කියා තිබෙනවා "මේක ඊළම වෙනුවෙන් දුන්නොත්, ඔබ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළොත්, එහි ප්‍රතිඵලය වෙන්නේ ඊළම බිහිවීම. ඒ නිසා ඔවුන්ට ඡන්දය දෙන්න එපා නෙළුම් පොහොට්ටුවට ඡන්දය දෙන්න." කියලා. මට දැන ගන්න ලැබෙනවා කතානායකතුමනි, මේ ප්‍රචාරණය දකුණේ සියලුම පන්සල්වල, සියලුම ගම්මානවල ඉතාම දුෂ්ට ලෙස සිදු කෙරුණ බව. මා හිතන්නේ මෙය ඉතාම අභාග්‍ය සම්පන්නයි."අවසන් වශයෙන් ඔහු කතාව හමාර කළේ මෙහෙමය 'මට වාර්තාවල සටහන් කරන්න අවශ්‍යය; මගේ පක්ෂය, අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නොබෙදුණු, බෙදිය නොහැකි, තනි රටක් තුළ දේශපාලන විසඳුමක් ගැන කතා කළ බව. රට බෙදීම ගැන කතා කරපු කිසිම ප්‍රචාරක වැඩපිළිවෙළක් උතුරේ හෝ නැගෙනහිර කොතැනකවත් කෙරුණේ නැහැ. අපි කතා කළේ අපේ ජනතාවට පිළිගත හැකි, සාධාරණ, බලය බෙදීමේ ව්‍යුහයක්, එක්සත් නොබෙදුණු, නොබෙදිය හැකි, තනි රටක රාමුව තුළ ක්‍රියාත්මක කිරීම ගැන. ඒකයි අපි අපේ ප්‍රදේශ සියල්ලෙහි ගෙන ගිය ප්‍රචාරක වැඩ පිළිවෙළ.

අප එසේ කරද්දි, කොහොමද ජනපති රාජපක්ෂ කියන්නේ "මේ ඡන්දයෙන් පසුව ඊළම නිර්මාණය වෙන බව?" මේක දකුණේ අහිංසක සිංහල ජනතාවට කරපු වංචාවක් පමණක් නෙමෙයි. මේක තමන්ටත් ඇතුළුව සියලු දෙනාට කරපු වංචාවක්.මම කැමතියි මේක වාර්ථාගත කරන්න, මම කැමතියි මේ රටේ සියලු දෙනාට දැනුම් දෙන්න, මේ වෛරී සහගත, ද්වේෂ සහගත, සත්‍යයෙන් තොර, අසත්‍ය ප්‍රචාරණය කරන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පොදුජන පක්ෂය මේ න්‍යාය පත්‍රයම ඉදිරියට ගෙන ගියහොත් ඊළම බිහිවෙන්නේ අප නිසා නෙමෙයි, ඊළම බිහිවෙන්නේ ඔබලාගේ නෙළුම් පොහොට්ටුව නිසා. ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති. අන්න එයයි සිදුවන්නේ. ඒ නිසා කරුණාකරලා, ඒ වගේ අසත්‍ය ප්‍රචාර තුළින් සිල්ලර දේශපාලන වාසි ලබා ගැනීමට ඔබට ඇති ආශාව මැඩ පවත්වා ගන්න.'කලින් කලට මේ රට විවිධ මිත්‍යාවන් නඩත්තු කරමින් තිබේ. එයින් බොහොමයක් මිත්යාවන් ජාතිවාදය සහ ආගම්වාදය කරපින්නාගත් ඒවා ය. 'රට බෙදනවා', 'ඊළමක් එනවා', 'ෆෙඩරල් දෙනවා' වැනි කතා කලක සිටම මෙරට 'ජාතිවාදී කල්ලි' ස්වකීය අරමුණු නඩත්තු කරගැනීම පිණිස පාවිච්චි කළ 'බිල්ලෝ' ය.

දේශපාලනයේ වෙනස් වීම් එක් අතකින් අරුම පුදුම ය. දෛවයේ සරදම්වලින් එය ගහනය. දශක කිහිපයකට පෙර ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස 'සිංහල' නායකයන් ෆෙඩරල් යෝජනා කළහ.එහෙත් එවක දෙමල ජනතාව එක හෙලා 'ඒකීය'රාජ්‍යයක් ඉල්ලා සිටියහ.එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ඔක්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයෙන් නික්මී 1925 දී ආපසු දිවයිනට පැමිණ, ‘ප්‍රගතිශීලී ජාතික පක්ෂය’ නමින් නව පක්ෂයක් පිහිටුවා ගත්තේය.‘ප්‍රගතිශීලී ජාතික පක්ෂ’ ව්‍යවස්ථාවේ මෙලෙස සඳහන් විය.‘අපේ රටේ ජීවත් වන විවිධ ජාතීන් අතර පවතින වෙනස්කම් හේතුකොටගෙන, අපට ඔබින එකම විසඳුම වන්නේ ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුවක් ස්ථාපිත කර ගැනීම’’එන් නොනැවතී ඔහු‘‘දේශීය තත්ත්වයන්, විශේෂයෙන්, ජාතික වෙනස්කම් ගැන සළකා බැලීමේ දී, එවැනි වෙනස්කම් අවම කිරීමටත්, ඒවා කෙමෙන් සමනය කිරීමටත් දායක විය හැකි වඩාත් පිළිගත හැකි ක්‍රමය වන්නේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් බව අප බොහෝ දෙනාගේ හැඟීම’’ යැයි ප්‍රකාශ කෙළේය. තවදුරටත් ඔහු මෙසේ ද කීය: ‘‘එවැනි ආණ්ඩු ක්‍රමයක්, විශේෂයෙන් ස්විට්සර්ලන්තය වැනි වෙනත් රටවල ජාතික සමගියට තුඩු දී ඇත. ලංකාවේ වර්තමාන පළාත් නවය එසේම තිබිය යුතු බවත්, ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය ඒ මත පදනම් විය යුතු බවත් අපි විශ්වාස කරමු.’’

මේ ‘ප්‍රගතිශීලී ජාතික පක්ෂයේ’ ව්‍යවස්ථාව තුළ ෆෙඩරල් ක්‍රමයක ස්වභාවයත්, එහි පරිමාවත් සවිස්තරාත්මකව සඳහන් විය. එපමණක් නොව ෆෙඩරල් ක්‍රමය පළාත් නවයක් මත පදනම් විය යුතු බවත් සඳහන් විය.එපමණද? ඒ සෑම පළාතකටම පූර්ණ ස්වායත්ත භාවය තිබිය යුතු බවත් එයින් කියැවිණ.බණ්ඩාරනායක රට පුරා ඇවිදිමින් ෆෙඩරල්වාදයේ උසස් ප්‍රතිපත්ති ප්‍රචාරය කරන්නට වූ අතර, ඒ ගැන ජාතික පුවත්පත්වලට ලිපි ලේඛන සපයන්නටද විය.එහෙත්, ‘උඩරට ජාතික සභාවත්’ ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලමින් සිටින අතරේ, දෙමළ ජාතිකයෝ ඊට ඉඳුරාම විරෝධය පෑහ. එස්. එච්. පෙරියනායගම්ගේ නායකත්වය යටතේ පිහිටුවා ගත් ‘යාපනේ ශිෂ්‍ය සංගමය’ හෙවත් ‘යාපනේ තරුණ කොන්ග්‍රසය’ වශයෙන් පසුව හැඳින්වුණු ව්‍යාපාරය, ෆෙඩරල් ක්‍රමයට විරුද්ධ වෙමින් ඒකීය ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා සිටියහ.දෙමල නායකයෙක් වූ පොන්නම්බලම් කිසිදාක ෆෙඩරල් ක්‍රමයකට කැමැත්තක් නොදැක්වීය. ඔහුගේ ප්‍රතිපත්තිය වුණේ, ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තුළ, ‘ප්‍රතිචාරාත්මක සහයෝගයකි’.‘‘ලංකාවේ ෆෙඩරල් රාමුවක් තුළ, භාෂා පදනමක් මත, ස්වායත්ත දෙමළ ඒකකයක් පිහිටුවා ගැනීම හරහා, ලංකාවේ වෙසෙන දෙමළ කතා කරන ජනතාවගේ නිදහස දිනා ගැනීම’’ අරමුණ කරගත්, චෙල්වනායගම් 1949 දෙසැම්බර් 18 වැනි දා, ‘ෆෙඩරල් පක්ෂය’ නමින් අළුත් පක්ෂයක් පිහිටුවා ගත්තේය. ෆෙඩරල් පක්ෂය පිහිටුවීමෙන් වසර තුනකට පසු 1952 දී මහ මැතිවරණයක් පැවැත්වුණි. එහි දී කන්කසන්තුරේ ආසනය සඳහා තරග කළ චෙල්වනායගම්ව පරාජය කරන ලද්දේ එකළ බලවත්ව සිටි දෙමළ කොන්ග්‍රස් අපේක්ෂකයා විසින් නොව, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්ගේ බෑනා වන, එස්. නටේසන් ය. ෆෙඩරල් ඉල්ලූ චෙල්වනායගම්ව දෙමළ ජනයා තුට්ටුවකට මායිම් කළේ නැත.

ෆෙඩරල් බිල්ලෙක් බවත්, ඉන් රට නොකැඩෙන බවත් මුලින්ම කීවේ, බණ්ඩාරනායක මහතා ය. 1926 ජුලි 27 වැනි දා යාපනේ පැවැති, ආචාර්ය ඉසාක් තම්බයියා මුලසුන දැරූ රැස්වීමක දී ඔහු මෙහෙම කීවේය.‘මේ ක්‍රමයට එරෙහිව දහසකුත් එකක් විරෝධතා මතුවිය හැකියි. එහෙත් ඒ විරෝධතා සමනය කළ පසු, ලංකාවට ඇති එකම විසඳුම වන්නේ, යම් ආකාරයක ෆෙඩරල් ක්‍රමයක්ම බවට මට සැකයක් නැත.’’වාර්ගික අර්බුදවලින් එතරම් පීඩා නොවිඳි වකවානුවේ පවා බණ්ඩාරනායක මහතා ෆෙඩරල් ගැන කතා කළේය.

විටින් විට දේශපාලන අරමුණු උදෙසා මේ රටේ බිල්ලෝ නිර්මාණයකොට තිබේ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අලුත් යහපාලන ආණ්ඩුව නිදහස් උත්සවය තුළ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්නට යනවාය කියා සමහරු මහා සද්දයක් ගෙන ගියහ.'දේශප්‍රේමියෝ' 'යහපාලන'ආණ්ඩුවට 'හෙන'ඉල්ලූහ.හැබැයි බොහෝ දෙනෙකුට 1949 පෙබරවාරි මස 05 වන දින දිනමිණ පුවත්පතේ පලවූ ලිපිය අමතක විය.'“පස්වරු 4ට අගමැතිතුමා පැමිණෙනවාත් සමඟම ද්‍රවිඩ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන ලදී. එයින් විනාඩි දෙකකට පසු ආණ්ඩුකාරතුමා වේදිකාවට ළඟාවෙත්ම පොලිස් තූර්ය නාද කණ්ඩායම විසින් ඉංග්‍රීසි ජාතික ගීය වයන ලදී. දිවයිනේ සතර දිග් භාගයෙන් පැමිණි තරුණියන් සතරදෙනකු ‘ජාතියේ පණිවිඩය’ පළමුව සිංහල භාෂාවෙන්ද, දෙවනුව අරාබි භාෂාවෙන්ද, තෙවනුව ඉංග්‍රීසි භාෂාවෙන්ද සිව්වෙනුව දෙමළ භාෂාවෙන්ද කියවා අලංකාර පෙට්ටියක බහා මුල්ගලත් සමඟ නිදහස් චතුරශ්‍ර අත්තිවාරමේ තැන්පත් කිරීමෙන් පරාදීනත්වයේ වසර 133 වෙනුවෙන් පරවියන් 133 දෙනකු නිදහස් කිරීමෙන්, අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දේශනයෙන් සහ සරඹ පෙළපාලියෙන් පසු පස්වරු 5.15ට සිංහලෙන් ජාතික ගීය ගැයීමෙන් මේ උත්කෘෂ්ඨ වූද, ඓතිහාසික වූද ජාතික උත්සවය අවසන් විය.'ඉතිහාසයේ සිදු නොවූ දේ දැන් සිදුවෙනවාය කියා 'ප්‍රලාප' දෙසාබාන්නන් දේශපාලනික 'තක්කඩියෝ'ය."ජාතීන් අතර සමගියත් සංහිඳියාවත් ඇතිකිරීම සඳහා මූලික විසඳුමක් විදියට අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කටයුතු මේවනවිට කරගෙන යනවා. මේ පිළිබඳව ඇතැම් අය අසත්‍ය ප්‍රචාර කරනවා. අපි රට කඩන්න හදනවා කියනවා. රට බෙදන්න හදනවා කියනවා. විදේශීය බලවේගවලට යටත්වෙලා කියනවා. ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍යයි." 2017 පෙබරවාරි 1 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහෙම කීවේය.

"බ්‍රිතාන්‍යයන්ගේ පාලනයේ පහසුව වෙනුවෙන් 1833 දී පළමු වතාවට රට ඒකාබද්ධ කළා. ඒ මොහොතේ සිට අපි නිදහස වෙනුවෙන් සටන් කළා. 1948 දී අපි නිදහස ලැබුවා. සිංහල ජනතාව, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව එක්ව නිදහස වෙනුවෙන් සටන් කළා. දමිළ ජනතාව වෙනම ප්‍රදේශයක් නිදහසට පෙර ඉල්ලුවේ නැහැ. දමිළ ජනතාව නිදහසට පෙර ෆෙඩරල් පාලනයක් ඉල්ලුවේ නැහැ. අපි සූදානම් වුණා එකම රටක ජීවත් වීමට. අපි බලාපොරොත්තු වුණේ ගරුත්වය, ආත්ම ගෞරවය සහ ආරක්ෂාව සහිතව අපේ ආර්ථික සහ සමාජයීය අභිලාෂයන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව ජීවත් වූ ප්‍රදේශවල ජීවත්වීමටයි."සම්බන්දන් එහෙමත් කියයි.සම්බන්දන් කියන්නේත් ඒකීය රටක බලය බෙදීමය.එක්සත් ජාතික පක්ෂය කියන්නේත් ඒකය.කෝකවත් නොකියා හොරගල් අහුලන පිරිසක්ද නැතිවා නොවේ.වඩා භයානය 'බිල්ලෝ'මවන අයත් මේ හොරගල් අහුලන අයත්ය.

 

අදහස්