අපට හැමදාම ගොළු හදවතේ හිරවෙලා ඉන්න බෑ : සේපාලි මායා­දුන්නේ | Page 2 | සිළුමිණ

අපට හැමදාම ගොළු හදවතේ හිරවෙලා ඉන්න බෑ : සේපාලි මායා­දුන්නේ

 

ශ්‍රී ලාංකික නවකතාවෙහි සුවිශේෂ අනන්‍යතා ලක්ෂණයක් පිළිබිඹු කරන සේපාලි මායාදුන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයෙහි සෑම අංශයක්ම නියෝජනය කරන්නීය. එයට අමතරව ඇය අතින් බිහි වී ඇති පර්යේෂණ කෘතිද රාශියකි. ඩී.ආර්. වි‍ජේවර්ධන සම්මානයෙන් පටන් ගෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ෆෙයාවේ සම්මානය ඇතුළු සෑම සම්මානයක්ම පාහේ දිනා ඇති ඇයගේ නවතම කෘතිය වනුයේ ‘දුක්ගන්නාව’ කෘතියයි. මේ සංවාද සටහන බිහි වනුයේ එය පදනම් කොටගෙනයි.

 

නවකතාව තුළ ඔබටම අනන්‍ය වූ ශෛලියක් ගොඩනඟා ගැනීමට ඔබ ගත් උත්සාහය සාර්ථක වී ඇතැයි ඔබ සිතනවාද?

ඔව්. එය සාර්ථකයි. ඒක මට ලැබෙන පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලිවම පෙනෙනවා. මට කවරදාවත් හිතපු නැති විදියට ඒ ශෛලියට හා අන්තර්ගතයට දැඩිව ඇලුම් කරන විශාල පාඨක පිරිසක් මා වටා එක් රොක් වී සිටිනව. ඒ අතර පූජ්‍ය පක්ෂය විශේෂයි. හාමුදුරුවරුන් වගේ ම පියතුමන්ලා රාශියක් මගේ ව්‍යායාමය ගැන ඉතා සතුටින් කතා කරනවා. මම එච්චර එළියෙදි හම්බ වෙන්නෙ නැති නිසා සාමාන්‍ය පාඨකයන් නිරතුරුවම දුරකථනය ඔස්සේ මා එක්ක කතා කරනවා. ඒ අනුව බැලුවාම මගේ උත්සාහය සාර්ථකයි කියලා මට හිතෙනවා.

නවකතාවක්, ඒ වචනයෙ තේරුම හැටියටම අලුත් කතාවක් වෙන්න ‍ඕනෑ. ඒ අනුව එය අපට එය එක් රාමුවකට පමණක් කොටු කර තබාගන්න පුළුවන්කමක් නැහැ. එහෙම එකම ආකෘතියක් ඇතුළේ හෝ අන්තර්ගතයක් තුළ රැඳී සිටින්න ඕනෑ නැහැ. එහෙම රඳවා තබාගන්න පුළුවන්කමක්ද නැහැ. ඒ නිසා මම වෙනස් විදියෙ අන්තර්ගතයකුයි, ආකෘතියකුයි යොදාගත්තා. සයිමන් නවගත්තේගම නුවර කලාවිය ගැන කතා කෙරුවා. හැබැයි ඔහුට අහු වුණේ ඔහුගෙ උපන්ගම වෙච්ච පුත්තලම ප්‍රදේශයයි. මන්නාරම පැත්තෙ මායිම් අහු වුණේ නැහැ. ඒ නිසා කාටවත් අහුවෙච්ච නැති නුවර කලාවියෙ තොරතුරු මගේ කෘති මඟින් ඉදිරිපත් කිරීමට මම උනන්දු වුණා. මගේ ‘දෙබෙදුම’ නවකතාවට ඩී.ආර්. විජේවර්ධන සම්මානය ලැබෙන්නත් හේතුව ඒකයි. ඊට පස්සෙ මම දිගටම නුවර කලාවිය පිළිබඳ තොරතුරු හොයන්න ලොකු මහන්සියක් ගත්තා. ඇත්තටම කියනවා නම් මගේ පොත් දෙක-තුනේ තියෙන විස්තර හැර නුවර කලාවිය මේ වන විට ලංකා සිතියමෙන්ම අතුගෑවිලා ඉවරයි.

මට හැම විටම ඕනෑ ක‍ළේ පාඨකයන්ට හරවත් යමක් දෙන්න විතරයි. ඒ හැරුණු කොට වෙනත් කිසිම දෙයක් බලාගෙන මම ලියන්නෙ නැහැ. මගේ පොත්වලට සාධාරණයක් ඉටු නොවුණු අවස්ථා තියෙනවා. එහෙම කියන්නෙත් මගෙ පාඨකයො. එහෙත් මම ඒ දේවල් ගැන අනවශ්‍ය විදියට කලබල වෙන්නෙ නැහැ. එහෙම කලබල වෙන්න ගියොත් පොත් හරහා මම කරන ව්‍යායාමයට අතරමගදී බාධා ඇතිවෙන්න පුළුවන්. මම මගේ වැඩේ කරගෙන යනව. පාඨකයන් හට අලුත් දෙයක් දෙන්න පුළුවන් තාක් කල් මම ලියනවා. ලිවීම මට වෙහෙසකර කාර්යයක් නෙමෙයි. ඉතාම තෘප්තිමත් කාර්යයක්.

ඒ තතු එසේ වුවත් ඔබගේ නවතම කෘතිය වන ‘දුක්ගන්නාව’ වෙනස් අන්තර්ගතයක් මත බිහි වන්නක්...

එහි වෙනස් ගතියක් තියෙනවා තමයි. ඒත් ඒ පොත පවා මගේ දිගුකාලීන අභ්‍යාසයේ ප්‍රතිඵලයක්. මේ නවකතාවේ සීමා-මායිම් නැහැ කියලයි මම හිතන්නෙ. ඒ පොතේ තියෙන්නෙ මුළු ලෝකෙම යටත් කරගන්න ඕලන්ද ජාතිකයන් අතීත‍ෙය ඉඳලා දරපු උත්සාහය. ඒ යුද ක්‍රියාමාර්ග නිසා ඔවුන්ගේ මෙන්ම අන් රටවලද තරුණ පිරිස් අකාලයේ නැති වෙලා යනව. යුද්ධයේදී අපට අහිමි වෙලා යන තරුණ පිරිස ගැන තමයි මම එහිදී මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ. ඕලන්ද ජාතිකයන්ගෙ යුද කටයුතු දිගේ යනකොට ඒ හ‍රහා බිහි වන ඕලන්ද ඉතිහාස කතාව ඔස්සේ තමයි එය නිර්මාණය වන්නේ.

යුද්ධය කියන්නේ මහා භයානක දෙයක්. යුදබිමේදී මිය යන්නෙ බොහෝ විට තරුණයන්. යුද බිමේදී ඔවුන් මිය ගියේ නැත් නම් අනාගතයෙදි ඔවුන් දක්ෂ සංගීතඥයන් වෙන්න තිබුණා; චිත්‍රශිල්පීන් වෙන්න තිබුණා; පරිසර කාමීන් වෙන්න තිබුණා; කොටින් ම කියනවා නම් ලෝකයට වැඩදායි අත්‍යවශ්‍ය පුද්ගලයන් වෙන්න තිබුණා. ඒත් ඒ හැම දෙයක් ම තාරුණ්‍යයේ රසය විඳින්නත් කලින් යුද්ධය විසින් විනාශ කරනවා. එහෙම වුණේ නැත් නම් ලෝකය මීට වඩා සුන්දර තැනක් වෙන්න තිබුණා. එය අදත් සිදු වෙනවා. ලෝක ඉතිහාසයේ දීර්ඝ කාලීන එහෙත් නොවෙනස්ව පුනරාගමනය වන ඒ කතා පුවත තමයි ඕලන්ද ඉතිහාසය හරහා ‘දුක්ගන්නාව’ කෘතිය මඟින් මම පාඨකයන්ට තිළිණ කරන්නෙ. ඕලන්ද කතාන්තරය පමණක් ගත්තත්, එය සකල ලෝක සටන් ඉතිහාසයේම හරස්කඩක් බවට පත් වනවා.

එය තවදුරටත් පැහැදිලි කළොත්...

විශේෂයෙන්ම නෞකා තාක්ෂණය දියුණු කරගත් ප්‍රංසය, එංගලන්තය, ඕලන්දය, ස්පාඤ්ඤය, ඩෙන්මාකය වගේම පෘතුගාලයද සමුද්‍රතරණයෙන් ලෝකයේ සශ්‍රීක රාජ්‍ය රැසක් ආක්‍රමණය කර, ඒවා තමන්ගේ යටත්විජිත බවට පත් කරගන්නවා. ඒ අතර ඕලන්දය යුරෝපයෙ නිරන්තර අවධානයට ලක් වෙනවා. ඒ අනුව ඕලන්ද ජනතාවට ආක්‍රමණිකයන් සමඟ තරග වදින්නට සිදු වෙනවා. ඉන් පස්සෙ මුළු ලෝකයම බලවත් විවිධ ජාතීන්ගේ යුදබිමක් බවට පත් වෙනවා.

ශක්තිමත් අප්‍රිකානු තරුණ පෙළ ඔවුන්ගේ ගෙල යකඩවලින් බැඳලා, බ්‍රසීලයේ හා ඇමෙරිකාවේ වහල් මෙහෙයට රැගෙන යනවා. මේ ආක්‍රමණ නිසා පෙරදිග ලෝකයෙ චින්තනයට මෙන්ම සංස්කෘතිකාංගවලටත් බලවත් පහරක් වැදෙනවා. මීට අමතරව තවත් විශාල වෙනස්කම් මුළු ලෝකයෙම ඇති වෙනවා. ඒ නිසා ආක්‍රමණ සහ යටත් කරගැනීම් නොවන්නට ඉතිහාසයක් කියා දෙයක් සටහන් වීම පවා සිදු වන එකක් නැහැ කියලා මට හිතෙනවා. ලෝක ඉතිහාසය කියන්නෙම සටන් හා ආක්‍රමණවලින් පිරී ගිය එකක්. එය අදත් සිදු වනවා. මේ හැම මොහොතකම එය ගොදුරු වන්නෙ තරුණයන්. එයට යුද්ධය ජයග්‍රහණය කළ රටවල තරුණ පෙළටත්, යටත් කරගත් රාජ්‍යවලින් අල්ලාගැනුණු වහලුන් බවට පත් වුණු තරුණ පෙළටත් එක සේ සංවේගජනකයි. යුද්ධය නිසා අහිමි වී යන තාරුණ්‍යයේ බල පරාක්‍රමය, නිර්මාණශීලිත්වය, තාරුණ්‍යයේ මිහිරි බව යුද්ධයට බිලි වීමෙන් ඔවුන් සමඟම වැළලී යනවා. ඒ නිසා තමයි ‘දුක්ගන්නාව’ කෘතියෙන් මම ගොඩනගන දෙය එක ජනතාවකගේ හෝ රාජ්‍යයක කතාවක් පමණක්ම නොවන්නේ.

ඉතිහාසය හා ජනශ්‍රැතිය ඇසුරෙහි නිර්මාණ පෙළ ගැස්වීමට ඔබ වැඩි රුචියක් දක්වන්නේ මන්ද?

ඉතිහාසය කියන්නෙම සාහිත්‍යයක්. ඒ වගේම ජනශ්‍රැතිය කියන්නෙත්, ජනප්‍රවාද කියන්නෙත් අපේ සංස්කෘතික දායාදයක්. ඕනෑම රටකට මේ කාරණා දෙකම පොදුයි. විවිධ රටවල රචකයන් මේ අංග දෙකෙන්ම උපරිම ප්‍රයෝජන ලබාගන්නවා. ඒ නිසා ඉතිහාසය හෝ ජනප්‍රවාද කියන ඒවා අපත් සමඟ එකිනෙකට බැඳිලා තියෙන දෙයක් මිසක් වෙනත් බාහිර දෙයක් නෙමෙයි. ඒ නිසා මම මේ අංශ දෙක මගේ නිර්මාණ සඳහා යොදාගන්නවා. ඒක ගැන මම හරි තෘප්තිමත්.

ඒ වගේම මම කුඩා කාලෙ හැදුණු-වැඩුණු පරිසරයද මේ සඳහා මට බලපෑම් කරනවා වෙන්න ඇති. මගේ මුල් ගම අනුරාධපුරයෙ නුවර වැව ආසන්නයේ. අපේ මහ ගෙදරට අල්ලපු වත්තෙ නටබුන් වෙලා ගිය මහායාන පන්සලක් තිබුණා. ඒක මහායාන පන්සලක් කියල මම දැනගත්තෙ පස්සෙ කාලෙදි. ඒ පන්සලට කියන්නෙ ප්‍රාචීණ තිස්ස පබ්බත විහාරය කියල. අපි පොඩි කාලෙත් ඉතුරු වෙලා තිබුණෙත් අත්තිවාරමක් විතරයි. අපි සෙල්ලම් කළේ ඒ බිමේ. එතැනදි නොයෙකුත් කතා මට ඇහෙන්න ගත්තා. නොයෙක් නොයෙක් ජනප්‍රවාද මම කුඩා කාලෙදිම දැනගත්තා. ඒව ඇසුරෙන් මම තනියෙන් කුඩා කුඩා කතන්දර නිර්මාණය කරගත්තා. ඒත් ඒවා අහන්න කවුරුත් හිටියෙ නැහැ. මම තනියෙන් ගස් ගල්වලට කතා කර-කර ඒ කතා කිව්වා‍.

අපි සමහර දවස්වල හවසට නාන්න යනවා නුවර වැවට. සමහර දවස්වලට මම දකිනවා අපි නාන අතරේ මිනිහෙක් නිර්වස්ත්‍රව අපව පහු කරගෙන ගිහින් කම්බිවැටෙන් රිංගනවා. ඊට ‍පස්සෙ බලන කොට කම්බි වැට වෙව්ලනව. ඒක ගෙදර ගිහින් කිව්වම අපිට කිව්ව ඒ බහිරවය කියල. ඒ කාලෙ ඉඳලම මේ වගේ දේවල් මගේ මනසේ තැන්පත් වුණා. ඒව තමයි පසු කාලෙදි නිර්මාණ බවට පෙරළුණේ කියලා මට හිතෙනවා. මේ ජනප්‍රවාද පිළිබඳ මගේ කැමැත්ත කොච්චර දුර-දිග ගියාද කියලා කියනවා නම්: මගේ ආචාර්ය උපාධිය සඳහා කෙරුණු නිබන්ධයෙ මාතෘකාව වුණෙත් ‘සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය’ කියන මාතෘකාවයි.

ඔබ අතින් නිම වන බොහෝ ප්‍රස්තුත සඳහා ඔබට ඍජු වශයෙන් අත්දැකීම් ලබාගැනීමේ හැකියාවක් නැහැ. එම අභියෝගය ඔබ ජය ගන්නේ කෙසේද?

මම ලොකු කියවීමක ඉන්නා කෙනෙක්. ඉතිහාසය සම්බන්ධ හැම පොතක්ම වගේ මම කියවනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ බොහෝ තොරතුරු හොයාගන්නවා. එකම සිද්ධිය පොත් කිහිපයක් කියවලා නැවත නැවත තහවුරු කරගන්නවා. ඒ වගේම ඒ විෂයයට අදාළ උගතුන් සමඟ මම කතා කරනවා. පුස්කොළ, තල්පත්, ලෙන්ලිපි, මේ හැම දෙයක් ගැනම වගේ අධ්‍යයනය කරනවා. එතකොට ඒ කරුණු මගේ අත්දැකීම් බවට පත් වෙනවා. ඊට පස්සෙ මම මගේ පරිකල්පනය ඔස්සේ චරිත ගොඩනඟනවා. ඒ ලෙස තමයි කතාව විකාශය කරන්නෙ.

ඉතිහාසය තුළ ජීවත් වෙච්ච චරිත අදත් ඉන්නවා. මම අනුරාධපුරයෙ තොරතුරු ගැන කතා කෙරුවත්, මහනුවර යුගයෙ තොරතුරු ගැන කතා කෙරුවත් ඒ යුගයෙ ජීවත් වුණ චරිත සමාජ වෙනස් වීමේ පොඩි පොඩි වෙනස්කම් සහිතව තවමත් ජීවත් වනවා. ඔවුන්ගේ සිතුම්-පැතුම් ජීවන රටාව තාම ඉතිහාසෙ සිදු වුණ ආකාරයටම තමයි ගොඩනැඟී තියෙන්නේ. ඒ කියන්නේ ඉතිහාසෙදි අපිට මුණගැසුණු චරිත අදත් ඒ ආකාරයෙන්ම ජීවත් වනවා කියන එකයි.

කිසියම් යුගයක් පදනම් කරගෙන ඔබ නිර්මාණකරණයට එළඹෙන විට, ඒ යුගයේ භාෂාව ඒ ආකාරයෙන්ම යොදාගැනීමට ඔබ වෙහෙසෙනවා.‍‍..

ඔව්. මට අවශ්‍ය වෙන්නෙ සැබෑ සමාජ වටපිටාව මගේ පාඨකයන්ට රැගෙන එන්න. එතැනදි මට ඒ යුගයෙ භාෂාව අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි මම කිසියම් කෘතියක් නිර්මාණය කරන කොට ඒ යුගයෙ භාෂාව යොදාගන්නෙ. ඉතිහාසගත ප්‍රවෘත්ති ඇසුරෙහි බිහි වන නිර්මාණ වර්තමාන භාෂා ව්‍යවහාරයෙන් ලියන එක නිර්මාණකරුවකුට එතරම් අපහසු කරුණක් නෙමෙයි. ඒත් ඒ යුගයේ භාෂාවෙන් ලියනවා කියන-එක බැරෑරුම් වැඩක්. මම කොහොමත් කැමැතියි පාඨකයන් එවැනි තැනකට ගෙන එන්න.

අපි පොඩි කාලෙ ළමා පොත් බැලුවා. ඊට පස්සෙ කුමාරතුංගයන්ගෙ ළමා සාහිත්‍යය කියෙව්වා. ඊටත් පස්සෙ ගෙවල්වලට හොරෙන් ඩීමන් ආනන්දගෙ පොත් කියෙව්ව. ඊට පස්සෙ ‘ගොළු හදවත’ වගේ ප්‍රේමය පදනම් වෙච්ච කතා කියෙව්වා. දැන් අපි එතැනින් එහාට යන්න ඕනෑ. අපට හැමදාම ගොළු හදවතේ හිර වෙලා ඉන්න බැහැ. ආයිත් මුලට යන්න ඕනෑත් නැහැ. පාඨකයගේ දැනුවත් භාවය අපි වැඩි කරන්න ඕනෑ. ඒ සඳහා අප විවිධ අත්හදා බැලීම් සිදු කළ යුතුයි. මම ඒ ඒ යුගයන්හි මුල් භාෂාවලින් ලියුවෙ නැත් නම් එහෙම භාෂාවක් තිබුණද කියලවත් පාඨකයන් දැනගන්න එකක් නැහැ‍.

එහෙත් එය යම් ආකාරයකට පාඨකයන් විඩාවට පත් කිරීමක් වශයෙන් සමහරු අදහස් කරනවා...

නවකතාවක් ලියනවා කියන්නේ ඉතා බැරෑරුම් වැඩක්. එය ඉතා පරිස්සමින් කළ යුතු දෙයක්. ඒ වගේ ම තමයි කියවීම. කියවීම කියන්නෙත් ඉතා බැරෑරුම් දෙයක්. එය ඉතා සූක්ෂ්මව කළ යුතු දෙයක්. එය එක හුස්මට කියවා ඉවර කළ හැකි දෙයක් නෙමෙයි. එය බොහොම සුපරීක්ෂාකාරීව සිදු කළ යුතුයි. එවැනි භාෂාවක් ඇසුරු කරගෙන නිර්මාණකරුවා කෘතියක් බිහි කිරීමට යම් වෙහෙසක් දරනවාද පාඨකයාත් එවැනි වෙහෙසක් දැරිය යුතුයි. එහෙම වෙහෙසක් දරන පාඨකයන් ඉන්නවා. සැබවින් ම ඔවුන් අත තමයි නවකතාව ගුණාත්මක වශයෙන් පෝෂණය වන්නේ. මම ‘මහාසාමි’ කෘතිය තුළ මහනුවර යුගයේ භාෂාව යොදාගත්ත කියලා පාඨකයන්ගෙන් නම් ගැටලුවක් තිබුණෙ නැහැ. ‘අත්තානි කණු’ පොතටත් එහෙමයි. මං හිතන්නේ ඒ පොත්වල සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන හේතුවත් ඒක කියලයි. බොළඳ ප්‍රේම කතාවෙ පමණක් හිර වෙලා ඒව විතරක් කියවන අයට නම් යම් ගැටලුවක් ඇති. හැබැයි මගේ එකම පරමාර්ථය පාඨකයාව ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යෑමයි.

අදහස්