අපේ වංශ කථාවේ රස­බර තොර­තුරු කියූ අබේ­සේ­කර මුද­ලි­තුමා | සිළුමිණ

අපේ වංශ කථාවේ රස­බර තොර­තුරු කියූ අබේ­සේ­කර මුද­ලි­තුමා

මීට ශතවර්ෂයකට ‍පමණ ‍ප්‍රථම කොළඹ ආනන්ද විද්‍යාලයීය ශාලාවේ ශාස්ත්‍රීය සමිතියක් විසින් සංවිධානය කළ ‘පෘතුගීසි යුගය’ ගැන පෝල් ඊ. පීරිස් මහතා විසින් ඉංග්‍රීසියෙන් පත්වන ලද ශාස්ත්‍රීය හා ඓතිහාසික දේශනයක් ඇසීමට ගිහි පැවිදි පඬිවරු බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. එහි සිටි මැදි වියේ මහතෙක් ඒ කතාව සිංහලට පරිවර්තනය කරමින් සිටියේ ය. මේ පරිවර්තකයාට පෝල් ඊ. පීරිස් මහතා රවන්නට විය. එවර පරිවර්තකයා තව තවත් තතනමින් පරිවර්තනය කරන්නට විය.

“මම කියන දේ නොවෙයිනේ උඹ පරිවර්තනය කරන්නේ, උඹ කියන බොරු අහල අහගෙන ඉන්න මේ වැදගත් අයටත් හිනා යනවා. උඹේ ඔය පල් හෑලි නවත්තපන්.”

පරිවර්තකයා විදුලි වේගයෙන් අතුරුදන් විය. සභාව නොසන්සුන් විය.

වේදිකාවේ සිටි වියතෙක් මේ රැස්වීම සහභාගි වූ තරුණයකුට ඇඟිල්ල දික් කළේ ය. ඒ ගැටවරයා ඒ කතා කළේ කාටදැයි සැක දුරලා දැන වේදිකාවට ගොඩ විය. පෝල් ඊ. පීරිස් මහතා මුල සිටම කතාව පටන් ගත්තේ ය. තරුණයා ක්ෂණිකව එහෙත් නිරවුල්ව තම පරිවර්තන කාර්යය ඉටු කළේ ය. ඔහුගේ සාර්ථක කාර්යය ගැන කථිකයාට මෙන් ම මුළු සභාවටම වැටහිණ. තරුණයාට හැම අතින් ම ප්‍රශංසා ලැබූහ.

කවුරුද මේ තරුණයා?

ඉංග්‍රීසි හා සිංහල දෙබසින් ම ප්‍රවීණත්වය ලත් බොහෝ ඇසූ පිරූ ඇති පඬිවරයකු ලෙස ප්‍රකට වූ මුදලිඳු ඊ.ඒ. අබේසේකර (Mudliyar E.A. Abeysekara) මුලින්ම (1908) අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තාවකාලික ලිපිකරුවකුව, පසු කලෙක (1949) රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා ලෙස විශ්‍රාම ලබන තෙක් කටයුතු කර ඇත.

කවියකු, ග්‍රන්ථකතුවරයකු, සඟරා සංස්කාරකයකු, නාට්‍ය රචකයකු, නිෂ්පාදකයකු, ප්‍රවීණ භාෂෝපකාර සමිතියේ ලේකම්වරයකු මෙන් ම මනා සංවිධායකයකු ලෙස ද පුළුල් සේවයක් කළ පඩිවරයෙකි; රසවතෙකි, ඔහු.

1891 වර්ෂයේ දෙසැම්බර් 26 වැනිදා කොළඹ කොල්ලුපිටියේ උපත ලැබූ නානායක්කාර වසම් එගොඩගේ ඇල්ෆ්‍රඩ් අබේසේකර දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටියේ පොල්වත්තේ ඉංග්‍රීසි බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. ඉන්පසු කොළඹ ආනන්ද විද්‍යාලයට පිවිසි අබේසේකරයන් තමාට කුඩා කල ගෙදරට විත් උගැන්නූ ගුරුන්නාන්සේ ගැන ‘ඇවිදින පාසලක්’ වූ රතු ගුරුන්නාන්සේ ගැන අප්‍රකට තොරතුරු හෙළි කර ඇත.

“අපට ගෙදරට විත් උගැන්නූ ගුරුන්නාන්සේ හැඩි දැඩි ශරීරයකින් යුත්, පට සරොමක් හා කළු කබායක් ඇඳි හිසේ නැමි පනාවක් පැළඳි, අතින් කුඩයක් ගත්, මූණ හා ඇඟපත රතුපාට වූ අවුරුදු 50ක් පමණ වයස් වූ කෙනෙකි. ඔහුට කා විසිනුත් පාවිච්චි කළ නාමය නම් ‘රතු ගුරුන්නාන්සේ’ යනු යි. කොල්ලුපිටියේ හා බම්බලපිටියේ ගෙවල් 50කට පමණ දිනපතා ගොස් ළමයින්ට අකුරු කියවීමෙහි යෙදී සිටි රතු ගුරුන්නාන්සේට එක ගෙදරකින් මසකට ලැබුණේ රුපියලකි. උදේ 7ට පිටත් වන රතු ගුරුන්නාන්සේ උගන්වා ආපසු ගෙදර යන්නේ දවල් 12ට ය. ඊට පසු දවල් දෙකට පිටත්වී සවස 5 වන තුරු උගන්වන්නේ ය.

මේ රතු ගුරුන්නාන්සේ නිසා ‘ගුරු’ යන පදයේ තේරුම පොඩි කාලයේ ම අපට මනාව අවබෝධ විය. ඔහු යන එන ගෙදරක වේලාපත්කඩයක් සෑදීමට හෝ නැකතක් බැලීමට හෝ විවාහ පොරොන්දම් බැලීමට හෝ වුවමනා වුණොත් එය කරන්නේ රතු ගුරුන්නාන්සේ ය. ගෙදරක යම්කිසි අසමගියක් ඇති වුවහොත් එය සමථ කරන්නේ ද රතු ගුරුන්නාන්සේ ය. යම් කිසි ගෙදරක කෙනෙකුට සුළු උණක් ගැනුණොත් එදා හවස තෙල් මතුරා නූලක් බඳින්නේත් රතු ගුරුන්නාන්සේ ය. පසුදා උණ නොබැස්සොත් රතු ගුරුන්නාන්සේ සුළු කෂාය වට්ටෝරුවක් ලියා දෙන්නේ ය. ඊටත් සුවයක් නොලැබුණු විටය සිං‍ඤ්ඤෝ වෙද මහත්තයා කැඳවන්නේ. මේ කරුණු නිසා රතු ගුරුන්නාන්සේ අපේ ගුරුවරයා පමණක් නොව මුළු පළාතේම ගුරුවරයා විය. දැන් මෙන් පෑ පහේ ගුරුවරයකු නොව සකලාංග සම්පූර්ණ ගුරුවරයෙක් විය. මේ නිසා රතු ගුරුන්නාන්සේ එනවිට මුළු බම්බලපිටියත්, කොල්ලුපිටියත් හුනස්නෙන් නැගිටීම පුදුමයක් නොවී ය.

වයස අවුරුදු 17 ශිෂ්‍යයකු වශයෙන් කොළඹ ආනන්ද කොලීජියට ඇතුළු වූ අබේසේකරයන්ට දක්ෂ ගුරුවරුන්ගේ ආශ්‍රය ලැබී ඇත. ඩී.බී. ජයතිලක, ෆෝබර්ස්, ජයතුංග ජයවර්ධන, සී.ඊ. ජයතිලක, ටිසල් ඩේවිඩ්, චාර්ල්ස් ඩයස්, ඩබ්ලිව්. චාල්ස් ද සිල්වා යන ගුරු මහතුන්ගෙන් ලබන ලද අක්ෂර ශික්ෂණයත්, ආදර්ශයත් එකල ශිෂ්‍යයන් බොහෝ දෙනකුගේ මතු අභිවෘද්ධියට හේතු වී ඇත. ඒ අතුරින් චාල්ස් ඩයස් ගුරුමහතාගේ විශේෂය ඔහු මෙසේ දක්වා ඇත.

“මුලදී ගුරුවරයකුව සිටි ඊළඟට නීතිඥයකු වී පසුව නාට්‍ය ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් කීර්තියක් ලැබූ චාල්ස් ඩයස් මහතා උසස් ගණිතය පිළිබඳවත් චිත්‍ර කර්මය පිළිබඳවත් දක්ෂ ගුරුවරයෙක් වූයේ ය. මෙකල සිරිතක්ව පැවැති උගැන්වීමට වේවැල පාවිච්චි කිරීමට වේවැල පාවිච්චි කිරීම ඩයස් මහතා ද අමතක නොකළේ ය. බෞද්ධ ධර්මය සම්බන්ධව ද ඩයස් මහතා මනා දැනුමක් ඇතිව සිටියේ ය. ස්වකීය මයිලණුවන්ට අයිති මරදානේ ටවර්හෝල් ශාලාවේදී මේ කාලයේ රඟ දැක්වූ පද්මාවතී - දුටුගැමුණු - විදුර ජාතක යන කථා රාශියක් ම මහජනයා ඉතා ආශා කරන නාට්‍යය විය. මෙකලම සිටි සුප්‍රසිද්ධ නාට්‍ය කර්තෘවරයකු වූ ජෝන් ද සිල්වා නීතිඥතුමා තමා විසින් පටන් ගත් කාර්යය තව කෙනෙකු කිරීම ගැන වැඩි සතුටක් නොදැක් විය.”

ඇනී බෙසන්ට් මැතිනිය ලංකාවට පැමිණ ආනන්ද විද්‍යාලයට පැමිණෙන දා එතුමිය පිළිගැනීමට ස්තුති පත්‍ර සකස් කිරීමට විදුහල්පති ඩී.බී. ජයතිලක මහතා පැවරුවේ කණිෂ්ඨ පන්තියේ සිටි අබේසේකරයන්ට ය. ජ්‍යෙෂ්ඨ පන්තියේ සිටි ශිෂ්‍යයන්ට වඩා අබේසේකරගේ භාෂා දැනුම ගැන විදුහල්පතිවරයා දැන සිටියේ ය.

වරක් මු. අරුක්ගොඩ නම් පුවත්පත් ලේඛකයා ‘සරසවිය’ පුවත්පතට විශේෂාංගයක් ලිවීමට 1963 දී දෙහිවල හිල් වීදියේ අබේසේකර වලව්වට ගිය විට හමුවී ඇත්තේ මේස් බැනියමකුත් පළල් රටා ඇති ජා සරමකුත් ඇඳි කොලුගැටයකු මෙන් කඩිසර අඩි පහකට වඩා නො උස් කටින් පමණක් වයසට ගිය කාරුණික පුද්ගලයෙකි. අරුක්ගොඩ අබේසේකරයන්ගෙන් මුලින් ම අසා ඇත්තේ මුල් ම රැකියාව ලැබුණු හැටි ය.

“අධ්‍යාපන කන්තෝරුවේ තාවකාලික ලිපිකාර ඇබෑර්තුවකට ඉල්ලුම් කළා ම චරිත සහතිකයක් ගෙනෙන්න කීවා. ඒ කාලේ ඒකත් මට ටිකක් අමාරු වුණා. පස්සේ විද්‍යෝදයේ මහගොඩ ඤාණිස්සර නායක හාමුදුරු‍වන් ළඟට ගිහින් කීවා. උන්වහන්සේ මහ ඉහළින් චරිත සහතිකයක් ලියලා පිරිවෙනේ ප්‍රධානියාව සිටිය හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවන් ලවා අත්සන් කරවලා, උප ප්‍රධානියා හැටියට තමුන්ගේ අත්සන් කරලා දුන්නා. එදා ම රක්ෂාව ලැබුණා.”

1910 වසරේදී ඇරැඹුණු සිංහල තරුණ සමිතියේ ප්‍රථම ලේකම්වරයා වූයේ අබේසේකරය‍. එවකට ඔහු දහනම හැවිරිදි තරුණයෙකි. එහි අනුශාසකවරු වූයේ සර් ඩී.බී. ජයතිලක හා පෝල් ඊ. පීරිස් ය.

සිංහල සංස්කෘතිය හා සභ්‍යත්වය, ජන කවි, ජන කථා, සිරිත් විරිත් ගැන පුනර්ජීවනයක් ඇති කළ මේ සමිතිය 1915 කොළඹ ආනන්ද විද්‍යාලයේදී අදත් රට පුරා පැවැත්වෙන සිංහල ජාතික උත්සවයට මුල පුරමින් සිංහල අවුරුදු උත්සවයක් ආරම්භ කළ බව තතු දත්තෝ පවසති. තරුණ අබේසේකරගේ කර්තෘත්වයෙන් අරඹන ලද ‘සිංහල තරුණයා’ සඟරාව විසින් සිංහල භාෂාවට හා සාහිත්‍යයට ද, සිංහල නාට්‍ය කලාවට හා සංගීතයට අනුග්‍රහ දැක්වීය.

1912 වර්ෂයේ ජනවාරි 01 වැනිදා මාසික සඟරාවක් ලෙස ඇරඹි‍ මේ සඟරාවේ අරමුණ මෙසේ විස්තර වෙයි.

“1915 වර්ෂයෙහි සිංහල මුස්ලිම් දෙපක්ෂය අතර ඇතිවූ අභාග්‍යසම්පන්න කැරලි කෝලාහල කාලයෙහි පැවැති භේදාදි‍යක් නො සලකා සිංහලයන් සමඟිව එ්කී භූත ව ජාතිකොන්නතිය ඇති කිරීමෙහි ප්‍රමුඛස්ථානයක් ගත් සංස්ථාවක් නම් සිංහල තරුණ සමිතිය මේ මාසික සඟරාව ‘සිංහල තරුණයා’ ය.

අබේසේකරයන් නාට්‍ය රචකයකු ලෙස ‘දෙවැනි රාජසිංහ චරිතය’ නිෂ්පාදනය කළ අතර නීතිඥ‍ ජෝන් ද සිල්වා මහතා සමඟ නාට්‍යයේ හා සංගීතයේ දියුණුවට කටයුතු කර ඇත. ලංකා ගුවන් විදුලි සේවයේ උපදේශක මණ්ඩලයේ සේවය කරමින් එදා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩසටහනක් වූ ‘රේඩියෝ රඟ මඬල’ ආදි කර්තෘවරයා අබේසේකර මහතා බව පැවසේ.

එපමණක් නොව ඔහු ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය කළේ ගුවන් විදුලියේ අධිකාරිව සිටි ෂර්ලිඬා සිල්වා මහතා සමඟ ය. 1938 මාර්තු 29 වැනිදා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ජේ.ආර්. ජයවර්ධන මහතා (හිටපු ජනපති) රචනා කළ ‘සමාජ සේවකයා’ නම් ගුවන් විදුලි නාට්‍යයේ නිෂ්පාදකවරයා වූයේ අබේසේකර මහතා ය. මේ නාට්‍යයේ එලිනා ජයවර්ධන (හිටපු ජනපති ආර්යාව) ආචාර්ය ගුණපාල මල‍ලසේකර, යූ.ජී.ජී. ද සිල්වා, ඊ.ඒ. අබේසේකර, මුදලිඳු හා සී. ෆොන්සේකා රඟපෑ බව පැවසේ.

1938 වසරේ අබේසේකර මහතා රටටත්, කලාවටත්, මහජනතාවටත් කළ අපරිමිත සේවාව සලකා මුදලි නම්බු නාමයක් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පිරිනමා ඇත. ඒ මහතා අතින් ලියැවුණු ග්‍රන්ථ අතර දෙවැනි රාජසිංහ චරිතය, කාව්‍යමාලා, ගැමුණු රජ සහ දස මහා යෝධයෝ, ගුත්තිල කාව්‍ය සාරාංශය යනාදී කෘති වෙයි. “ගැමුණු රජ සහ දස මහා ‍යෝධයෝ’ කෘතිය ගැන අබේසේකරයෝ මෙසේ සඳහන් කරති.

“ගැමුණු රජ සහ දස මහා යෝධයෝ’ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලකාරයෙහි කාක වර්ණ ගෝඨඉම්බර, ඵුස්සදේව යන වර්ගත්‍රයට අයත් කථා වස්තු උපුටා ගන්නා ලද සංග්‍රහයකි.” මේ වනාහි කථා වස්තුන් මාර්ගයෙන් මනුෂ්‍යයා දාන ශිලාදී පුණ්‍ය කර්මයන්හි යෙදවීමත් ඉන් හටගත් ශ්‍රද්ධා බුද්ධි ඇති භක්ති හාරා වනත මනුෂ්‍යයා හට නිර්වාණය කෙළවර කොට ඇති පරමාර්ථය ධර්මය අවබෝධ වීමට මං සලස්වා ලීමත් නිමිත්ත කොට ගෙන ගළපන ලද්දකි.

“එදා පන්ති කථා, තරග, සංදර්ශන හා විභාගාදිය පැවැත්වීමෙන් පෙරදිග සංගීතය හා නාට්‍ය කලාව දියුණු කිරීමේ පරමාර්ථයෙන් 1936 පෙබරවාරි මස 15 වැනි දින ‘ලංකා ගාන්ධර්ව සභාව’ ආරම්භ කිරීමට අබේසේකරයන් පුරෝගාමි වී ඇත. එහි අනුශාසක ධූරයට ලංකාණ්ඩුකාර තුමා ද සභාපති ලෙස අධ්‍යාපන අධ්‍යක්ෂ ඇල්.මැක් රොබින්සන් මහතා ද, ලේකම් පදවිය ඊ.ඒ. අබේසේකර හා ඇස්.ඇල්.බී. කපුකොටුව මහතා ද, භාණ්ඩාගාරික ලෙස යූ.ජී.පී. ද සිල්වා මහතා ද පත්වී ඇත. දොස්තර පැස්ටොන්ජි, ජී.ඇම්.ජී. පෙරේරා, ඩී.එම්. පට්ටිආරච්චි, ජේ.ඩී.පී‍. පෙරේරා, පී.බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමි, ආර්.ඇන්. ජිනේද්‍රදාස, ඊ.ඒ. දෙල්ගොඩ, ඩබ්ලිව්. ඇල්ප්‍රඩ් පෙරේරා, සී‍.ආර්. මහාරජා, සරණගුප්ත අමරසිංහ ආදීන් පත්වූහ.

වී.ඩී.පී. ප්‍රනාන්දු මහතා විසින් ප්‍රදානය කරන ලද රුපියල් 1000 ත්‍යාගය 1948 ජනවාරි මස 31 වැනි දින ජාතික ගී තරගයක් සභාව විසින් පවත්වන ලදී. පී.බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමි විසින් රචනා කරන ලද ගීතය මුල් තැනට තේරුණු බැවින් ඒ මහතාට ත්‍යාගය හිමි විය.

එහෙත් සභාවේ කටයුතුවලට ආධාරයක් වශයෙන් එතුමා විසින් ඒ මුදල සභාවට පරිත්‍යාග කරන ලදී. එදා එතුමා භූපාලි තාලය - ත්‍රිතාල් ලෙස ලියූ ‘ශ්‍රී ලංකා මාතා - පාලා යස මහිමා ජය ජය” ගීතය බව අබේසේකර මහතා 1956 සැප්තැම්බර් 03 ඉරිදා ලංකාදීපයට ලියා තිබිණි‍.

මුදලිඳු අබේසේකර විසින් ‘අධ්‍යාපනය’ හා ‘අධ්‍යාපන ප්‍රවෘත්ති’ නමින් සඟරා දෙකක් ද සංස්කරණය කර ඇත. මූ. අරුක්ගොඩ පත්‍රකලාවේදියා කියා ඇති අන්දමට අබේසේකර මුදලිඳු දක්ෂ කවියෙක්, හිටවන කවි කීමට දක්ෂයෙක්ලු. වරක් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි එස්.එල්.බී. කපුකොටුව මහතා

මුදලිඳුනි දැන් මට

තිබේ ගමනක් යෑම ට

ලෙඩ බැවිනි රත ය ට‍

ඔබේ කාරෙක හැකි ද දෙන්නට

යි කොළ කැබැල්ලක ලියා එවීය. එහි ම පිටපැත්තේ මුදලිතුමා

ගියර් එක හොඳ නැහැ

බ්රේක් ලයිනුත් හරි නැහැ

ඩ්‍රයිවර ද පණ නැහැ

යන්ට රිසි නම් මට කමක් නැහැ

ලියා යැව්වාලු.

එක් අවධියක පරීක්ෂකයකු පිරිවෙන් පරීක්ෂාවට ගොස් එම පන්සල්වලින් ම දවල් ආහාරය ගන්නා බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රචාරය වී තිබිණි. මේ නිලධාරියා දිනක් කවියක් කොළ කැබැල්ලක ලියා ගෙනැවිත් ‘ලොකු ලොකු මුදලිවරු ඉන්නවා, පුළුවන් නම් තෝරන එකයි’ කීවාලු. කවුරුත් අබේසේකර මුදලිතුමා දෙස බැලුවා. එහි ලියා තිබුණේ

ගසට නමකි, ගස මළ කොට වෙන නමකි

ගෙඩියට නමකි, ගෙඩියේ සුඹුලට නමකි

මදට නමකි, මද කනකොට වෙන නමකි

මෙතුන් පදේ තෝරාලා කියන් සකි

කියාය.

කොළයේ අනෙක් පැත්තේ එය තෝරා කවියක් ලියන්නට එතුමාට විනාඩි තුනකට වඩා ගියේ නෑ. හැබැයි ඒ තේරුම් කවිය කවුරුත් දන්නා එක නොවෙයි එහි ලියැවී තිබුණේ.

සැරියුත් පෙළපතින් පැවතෙන උතුම් වන

ගුණයුත් මහ සඟන වෙත කුළ නැති සිතින

සිල්වත් අය විසින් ලොබ දුරු කොට පුදන

දන් බත් මේ කවෙන් තේරෙයි උඹ කෙළින

පි‍රිවෙන පරීක්ෂක ‍වැඩි වෙලා එතැන නැවතී සිටියේ නෑ.

ප්‍රකට තැනැත්තන් පිළිබඳ අප්‍රකට තොරතුරු කීමේ අති දක්ෂයකු බව එතුමාගේ සමාකාලීනයෝ දැන සිටියහ. මේ කතා හාස්‍ය ජනක ය. ඇතැම් විට උපහාසාත්මකය. විශේෂයෙන් තමාගේ ළමා කාලයේ දුටු දේ කීමේ ශුරයෙකි ඔහු. මේ කතා සමාජ විද්‍යාත්මකය. මේ ඉන් එකක් ඔහු විස්තර කර තිබූ අයුරුය මේ.

“මුලින් ම මට සිහිවන්නේ වයස අවුරුදු හය පමණ කාලයේ දී බැලීමට කැඳවාගෙන ගිය පිරිත් පින්කම් උත්සවයකි. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ස්ථානයෙහි පවත්වන ලද පිරිත් පින්කමක් අවසාන වන දිනයේදී පැවැත්වූ දොරකඩ අස්න ඇසීම සඳහා මහා සෙනඟවත්, දේවදූතයාවත් වෙන කිසිවකුත් නොව මතක තිබෙන්නේ එකම දෙයකි. එනම් එහි තිබුණු කැරකෙන ආසන කූඩු ය.

ස්වාමීන් වහන්සේලා වැඩ සිටි මණ්ඩපයේ උඩ කොටස නොනවත්වා ම කැරකිණි. ඒ අවස්ථාවේ මට පෙනුණේ මුළු මණ්ඩපයම කැරකෙන්නාක් මෙනි.

පොඩිම කාලයේ හිතේ තදින්ම පදිංචි වූ මේ සිද්ධි පසු කාලයේදී ඇති වූ තවත් සිද්ධියක් නිසා වැඩියක් වැදගත් විය.

භයානක මෝටර් රථ අනතුරකින් මරණයට පත් ව‍ූ ධර්මපාලතුමාගේ සොහොයුරෙකු වූ ද, බෞද්ධ ජනනායකයකු ව‍ූ දොස්තර සී.ඒ. හේවාවිතාරණ මහතා ඒ මාරක අනතුරට අට මසකට පමණ ප්‍රථම එක් හවස අබේසේකර තරුණයා අමතා මෙසේ කියා ඇත.

“පිරිවෙන් පිරිත් පින්කම පටන් ගන්නේ එන සුමානෙයි. දැන් එහි වැඩ කෙරී ගෙන යනවා. යමු බලන්න.”

ඔවුන් එහි යන විට පිරිත් මණ්ඩපය සාදා අවසාන වන්නට කිට්ටුය. ඒ දෙස බලා සිටි අබේසේකර තරුණයා මෙහි මුලින් සඳහන් කළ, මේ ස්ථානයෙහි ඊට තිස් ගණනකට පෙර තමා දුටු කැරකෙන කූඩුවේ විත්තිය කියා ඇත. තදින් ඇසිපිය හෙළමින් ඊට කන් දුන් දොස්තර හේවාවිතරණ මහතාගේ සිතට එය තදින් බල පෑවේ ය.

තමාගේ තදින් සිතට කාවදින විට දී දොස්තර හේවාවිතාරණ මහතා තමා කණ්ණාඩි කුට්ටම යටින් ඇස් ඔසවා බලා ඒ කතාව අසා ඇත. දෙදෙනාම එදින රාත්‍රියේ විද්‍යෝදය පිරිවෙනට ගියහ. එය අබේසේකර මුදලිඳු මේ ගැන මෙසේ විස්තර කර ඇත.

“ධර්ම ශාලාවට සමීපවත්ම මා නෙතට හමුව‍ූවේ කැරකෙන ආසන කූඩුවකි. විස්මයට පත් මම දොස්තර මහතා දෙස බලා “මේ මොන පිස්සුවක්ද? සාදා නිම කරන ලද මණ්ඩපය කඩා මේ කැරකෙන ආසන කූඩුවක් සෑදීමට රුපියල් දාහක් පමණ අපතේ වියදම් කිරීමම කොපමණ ලොකු මෝඩකමක් දැයි කීවෙමි.

මද සිනහවකින් මුව සරසා ගත් දොස්තර මහතා “පිස්සුවක් නොවෙයි, හොඳ සිහියෙන් කළ වැඩක්. කුඩා කාලයේදී මෙවැනි පිරිත් පින්කමක් ඔබ ‍සිතෙහි රඳා පැවතීමට කැරකෙන ආසන කූඩුවක් හේතු වූයේ නම්, මේ කැරකෙන ආසන කූඩුවක් අද මෙහි රැස්ව සිටින කුඩා දරුවන් දහසක් දෙනාගේ සිතේ ද මේ පින්කම නොමැකී සටහන් වන්නට හේතු විය හැකියි. ඒ නිසා ඒ වියදම අපතේ ගිය මුදලක් නොවේය.” මා නිහඬ කරමින් දොස්තර මහතා පැවසීය.

සුරතල් අදහසක් මුදුන් පමුණුවා ගැනීමට රුපියල් දහසක් නොමසරුව වියදම් කිරීමට නොපසුබට වන මෙවැනි ජාති හිතෛෂි ත්‍යාගවන්තයන් ජීවත්ව සිටි ඒ කාලය සැබවින් ම ප්‍රිය ජනක වූ සුන්දරතර වූ කාලයක් බව කිව යුතු ද?”

මුදලිඳු අබේසේකර ගේ භාෂා පරිවර්තනය ගැන පණ්ඩිත බඹරපණේ ඤාණිස්සර හිමියන් පවසා ඇත්තේ මුහුදුබඩ පෙදෙසේ ඉංග්‍රීසීන්ට අයත් වූ අවදියේ ජෝන් ඩොයිලිගෙන් ඇරැඹුණු ප්‍රධාන පරිවර්තන ධූරය අවසන් වූයේ අපේ මුදලිතුමාගෙන් බවය.

දුක සැප දෙකේදීම කම්පා නොවී සිටීමට සහජ ශක්තියක් තිබුණු එතුමා නිතර ප්‍රීතිමත්ව සිටි බවත්, ඒ යුගයේ රජයේ නිලධාරීන්ගේ පැවැති පුහුමානය ඊ.ඒ. අබේසේකර මුදලිතුමා තුළ නොවී යැයි ද ඒ හිමියෝ පවසා තිබුණි. කාර්ය ශූර සංවිධායකවරයකු වන අබේසේකර මහා ලංකාවේ මුල්ම සාහිත්‍ය සම්මේලනයක් පැවැත්වූ පු‍රෝගාමියා ලෙස ද ඉතිහාසයට එක් වී සිටී.

මුදලිතුමා පුතුන් ‍තිදෙනකු හා දූවරුන් දෙදෙනකුගේ කාරුණික පියෙකි. විජිත අබේසේකර ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවර‍යකුව සිටි අතර, අමිත අබේසේකර (1933 – 2000) විකට චිත්‍ර ශිල්පියකු හා ඉංග්‍රීසි පුවත්පත් තීරු රචකයකුව සිටියේ ය. අනෙක් පුත්‍රයා තිලක අබේසේකරය.

1965 වස‍රේ දෙසැම්බර් 07 වැනිදා අබේසේකර මුදලි තුමා මියගොස් ඇත්තේ උදේ පුවත්පතක් කියවමින් සිටියදී ය.

අදහස්