අප මේ ගෙවන ජීවි­ත­යත් සොබා­ද­හම පව­සන දේත් අතර ලොකු පර­ස්ප­ර­යක් තියෙ­නවා : මනෝ­රං­ජන හේරත් | Page 2 | සිළුමිණ

අප මේ ගෙවන ජීවි­ත­යත් සොබා­ද­හම පව­සන දේත් අතර ලොකු පර­ස්ප­ර­යක් තියෙ­නවා : මනෝ­රං­ජන හේරත්

නූතන පරපුරේ පුරෝගාමි මූර්ති ශිල්පියකු ලෙස කටයුතු කරන මනෝරංජන හේරත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මූර්ති අධ්‍යයනාංශයේ ප්‍රධාන ආචාර්යවරයා ලෙස කටයුතු කරයි. සිංහරාජ වනාන්තරයේ කෙටි කාලයක් ගත කළ හෙතෙම ඒ පිළිබඳ සිය පරිකල්පනය දෘශ්‍යමය කියවීමකට ලක් කරයි. සොබාදහමේ රිද්මය (Rhythm of Nature) නමින් ඔහු තම ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතය. මෙහිදී මානවයා හා සොබාදහම අතර පවත්නා නිරන්තර අරගලය වර්ණ හැඩතල ඔස්සේ ප්‍රකාශ කිරීමට හෙතෙම උත්සාහ දරයි. එළඹෙන 05 වැනිදා නවදිල්ලියේ ඔන්ක්ෆ් කලාගාරයේදී (Gallery ONKF) ඔහු මේ දෘශ්‍ය ප්‍රකාශන එකතුව එළිදැක්වීමට නියමිතය. මේ කාර්යයේදී ඔහු සමඟ සුප්‍රසිද්ධ ඉන්දීය චිත්‍ර ශිල්පියකු වන පුන්කාජ් මානව් (Punkaj Manav) ද එකතු වේ. මේ ඒ පිළිබඳව මනෝරංජන හේරත් සමඟ කළ කතාබහකි.

 

ඔබ සොබාදහම හා මානවයා අතර පවතින ගැටුම දකින්නේ මොන විදියටද?

“පෘථිවියේ ඇති ජීව - අජීව සියල්ල සොබාදහමේ අංග. මානවයන් වන අප සියලුදෙනා එහි කොටස්කාරයන්. සොබාදහම තුළ ජීවත් වන අප විවිධ වෙනස්කම් සහිත ජීව කොට්ඨාස. විටෙක මේ පරිසරයට අනුගත වන අප සියලු දෙනා තවත් විටෙක එය හසුරුවන්නන් බවට පත් වනවා; ඒ විතරක් නෙමෙයි, එය හිතු මනාපයේ අසීමිතව විනාශ කරමින් ජීවත් වන්නන් පිරිසක් බවට පත් වෙලා...”

 

මේ නිර්මාණ එකතුව අපට වැදගත් වන්නේ මොන අර්ථයකින්ද?

“මගේ මේ නිර්මාණ එකතුව බිහි වන්නේ මේ මොහොතේ පවත්නා සමාජ දේශපාලන වපසරිය තුළයි. මේ නිර්මාණ එකතුව මඟින් සොබාදහම දෙස ඉතා සමීපව බලන්න මා උත්සාහ ගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය උත්තේජනය මට සපයන්නේ ලෝක උරුමයක් වන අපේ සිංහරාජය වනාන්තරය තුළට වෙලා ගත කළ දින කිහිපයේ මා ලැබූ අත්දැකීම් සම්භාරයයි.

ඇත්තටම සිංහරාජ වනාන්තරය කියන්නේ පෘථිවියේ තිබෙන අතිරමණීය සෞන්දර්යයෙන් පොහොසත් වනාන්තරයක්! මේ භූමිය ලෝක උරුමයක් නිසා දෝ කිසියම් ආකාරයකට විශාල බලපෑමකට ලක් නොවී පවතිනවා. ඔබත් දවසක එහි ගියොත් දැනේවි අපට වඩාත්ම සංවේදිව දැනෙන්නේ අප මේ ඉන්න පරිසරයද නැත් නම් මේ සුන්දර වනාන්තරයද කියලා. ඒක ඇතුළෙදි අමුතුම ජීවයකින් මුළු ශරීරයම පිරිලා යනවා.

මේ වනාන්තරය ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත්. දුර්ලභ ග‍ණයේ සත්ත්ව විශේෂ වගේම ශාක විශේෂත් මෙහි දැකගන්න පුළුවන්. මෙවැනි වනාන්තරයක් මේ ආකාරයට ආරක්ෂා වී තිබීම අප ලද වාසනාවක් කියලයි මට හිතෙන්නේ.

මේ වනාන්තරය ඇතුළෙ ගත කරපු දවස් කිහිපයේ මා තුළ ඇති කළ භාවයන් කිසියම් විදියකට විරේචනය කරන්න මා උත්සාහ කළා. අද අප මේ ගෙවන ජීවිතයත් සොබාදහම අපට පවසන දේත් අතර ලොකු පරස්පරයක් තිබෙනවා. මෙන්න මේ පරස්පරය කුමක්ද කියා තේරුම් ගන්න-එක මං හිතන්නේ අප හැමෝටම මේ මොහොතේ ඉතා වැදගත් කියලයි.”

 

සොබාදහමේ රිද්මය (Rhythm of Nature) කියලා මේ නිර්මාණ එකතුව නම් කරන්න හේතුව මොකක්ද?

“ඇත්තටම සොබාදහමේ රිද්මය කියල මේ චිත්‍ර එකතුව නම් කරන්නේ ඒ සඳහා මූලික ආවේශය ගෙන දුන්නේ මේ පරිසර පද්ධතියේ වූ විවිධ දේ පිළිබඳව මා දැක්වූ සියුම් නිරීක්‍ෂණ. ඒ ගස්වැල් අතර තිබුණ විවිධ හැඩ, රටා, දිරා ගිය ගස්කොළන්, ඒ අතරින් මතු වී පෙනෙන විවිධ ස්වභාවයන්, පාෂාණවල තිබූ විවිධ හැඩ, මතුපිට ස්වභාවයන්, වර්ණයන්, ගලා යන ජල දහරාවන්ගේ රිද්ම රටාවන් මෙන්ම විවිධ ශාක පත්‍රවල තිබෙන නොයෙක් හැඩ මම විමසිල්ලෙන් බැලුවා. මේ විදියට සමීපව කළ සියුම් නිරීක්‍ෂණ තමයි මේ සිතුවම් නිර්මාණය කිරීම සඳහා බලපෑවේ.”

 

එහෙත් අපට මේ සිතුවම්වල දක්නට ලැබෙන්නේ ස්වභාව ධර්මය එලෙස පිටපත් කිරීමක් නොවෙයි. ඒ වෙනුවට ඔබ තොරාගන්නේ අමූර්ත කලා ශෛලිය...

මේ විදියට සොබාදහම සියුම්ව අධ්‍යයනය කරන විට එකිනෙක අතර බොහෝ විවිධත්වයන් ඇති බැව් මට පෙනී ගියා. ඒත් ඒ සියල්ල අතර මනා සබැඳියාවක්, සුසංයෝගයක් ඇති බව මට පැහැදිලිව පෙනුණා.

ස්වාභාවික දේ මෙන්ම ජ්‍යාමිතික හැඩවලින් මේවා සංකලනය වී ඇති බව මට පෙනුණා. මේ එකිනෙක හැඩ, වර්ණ හා නොයෙක් රටා රිද්මයානුකූලව පැවතීමේ චමත්කාරය දෙස විවිධ මානයන්ගෙන් බැලීමටයි මට ඕනෑ වුණේ. සොබාදහමේ විවිධ අංග දෙස මේ විදියට සමීපව බලද්දි ඒ තුළ, අප නොදකින අමූර්ත හැඩ සහ ගැළපීම් රාශියක් ඇති බව මට පෙනී ගියා.

මාගේ මේ නිර්මාණ එකතුව ගොඩනැඟෙන්නේ අමූර්ත කලා නිර්මාණ එළඹුමක් ලෙස නොවුණත්, සමස්තය තුළ එවැන්නක් දෘශ්‍යමාන වන බවට ඔබ කියන දේ එක්ක මො එකඟ වනවා. එහෙත් මාගේ උත්සාහය වෙන්නේ විවිධ හැඩ, රිද්ම, රේඛා, වර්ණ ආදියෙන් පොහොසත් සොබාදහමේ පවත්නා ගුණය එකට එක් කර, ඒ තුළ අප හැම එක්වරම නොදකින සියුම් රිද්මය ග්‍රහණය කරගන්නයි. මා කරන්නේ එය දෘශ්‍යමාන රූපයක් මගින් ප්‍රකාශ කිරීමට උත්සාහ ගැනීමයි.”

ඔහු පවසන්නේ සත්‍යයකි.

මානවයා හා පරිසරය සම්බන්ධයෙන් සලකා බැලීමේදී මානව පරිණාමීය අවධි දෙකක් අපට හඳුනාගත හැකිය. එනම්: අක්‍රිය ශිෂ්ටාචාරය (Porssive Civilization) සහ කි‍්‍රයාකාරි ශිෂ්ටාචාරය (Active Civilization) වශයෙනි.

අක්‍රිය ශිෂ්ටාචාරය (Porssive Civilization) ලෙස හඳුන්වනු ලබන්නේ පරිසරයට බලපෑම් නොකර, පරිසරයට එරෙහි නොවී ඒ හා සහයෝගයෙන් කටයුතු කළ මානව සමාජයයි.

‘ගෝත්‍රිකයන්’ ලෙස හඳුන්වනු ලබන මේ ජනකොට්ඨාසය අවුරුදු දහස් ගණනක් ඉක්ම ගියද සිය මූලික ගතිපැවතුම් වෙනස් නොකරමින් සත්ත්වයන් මෙන් පරිසරයටම ඈඳුණු ජනකොටසක් ලෙස ජීවිතය පවත්වාගෙන යති. මේ සඳහා නිදසුනක් ලෙස සෙන්ටිනෙල්ස් (Sentinelese) ගෝත්‍රික ජනයා හඳුන්වාදිය හැකිය.

සෙන්ටිනෙල්ස් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දීය අන්දමන් දූපත්වල උතුරු සෙන්ටිනෙල් දිවයිනේ ආදිවාසි ජනයාය. බාහිර ලෝකය සමග සබඳතා පැවැත්වීමට මොවුහු බෙහෙවින් විරුද්ධය.

ඇමසන් වනාන්තරය තුළ මෙවැනි ගෝත්‍ර තවත් සිටීද යන්න අපි නොදනිමු. එනිසා නවීන ශිෂ්ටාචාරයට නොගැළපෙන ජීවිත ගත කරන අවසන් මානව කොට්ඨාසය මොවුන් විය හැකි බවට අදහස් පළ වී තිබේ.

දඩයම් කිරීමෙන්, මසුන් ඇල්ලීමෙන් හා වල් පැළෑටි එකතු කර ආහාරයට ගැනීමෙන් මොවුහු සිය පැවැත්ම සහතික කරගනිති. එමෙන්ම මොවුන් සත්ත්ව ඝාතකාගාරය පවත්වාගෙන ගියද කෘෂිකාර්මික ක්‍රම භාවිතය හෝ ගින්දර භාවිතය දැන සිටි බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමුව නැත.

ක්‍රියාකාරි ශිෂ්ටාචාරය (Active Civilization) ලෙස හඳුන්වනු ලබන්නේ, පරිසරය සමඟ ගැටෙමින්, එය වෙනස් කරමින් සිය අවස්ථානුකූලව පරිසරය වෙනස් කළ ජනකොට්ඨාසයයි. නූතන මානව ශිෂ්ටාචාරය ලෙස අප හඳුනාගන්නේ ඔවුන්ය. මේ අනුව ඕනෑම මානව ශිෂ්ටාචාරයක් පරිණාමය වන්නේ මේකී ලක්ෂණ මූලික කරගෙනය.

මේ පරිණාමීය ක්‍රියාවලිය තුළ අපේ ඉතිහාසය ස්ථානගත කළ හොත් එවකට ලෝකයේ පැවති අනෙකුත් ශිෂ්ටාචාරවලට සමගාමීව තාක්ෂණය, කෘෂිකර්මය, නිර්මාණශීලිත්වය අතින් පරිපූර්ණ ශිෂ්ටාචාරයකට උරුමකම් කී බව නොරහසකි.

ඔවුන් කළ නිර්මාණ හුදු නිමැවුම් නොව කලාත්මක නිමැවුම්ය. ගෘහ නිර්මාණ ශිල්පය, වාරිකර්මාන්තය, වානේ කර්මාන්තය, ශෛලමය නිර්මාණ, ඇත්දළ - ලී කැටයම්, අත්කම් නිර්මාණ... ආදිය සලකා බැලීමේදී මේ බව මනාව වැටහේ. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ සලකා බැලීමේදී සීගිරිය, යාපහුව, ලෝවාමහාපාය... වැනි ශෛලමය ඉදිකිරීම් මෙන්ම චෛත්‍යද විමසා බැලිය හැකිය.

චෛත්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේදී, එය වටේට ඇත් පවුරක්, කොරවක් ගල්, මුරගල්, පියගැට පෙළ ඒ ඉදිරියේ සඳකඩපහණක් ආදි වශයෙන් බලන විට ඒවා විශිෂ්ට ගනයේ ගෘහ නිර්මාණයෝ වෙති. උදාහරණයකට ජේතවනාරාමය ගෙන බැලුව හොත්: ලෝකයේ විශාලතම ගඩොළු ගොඩනැගිලිවලින් දෙවැනි වන්නේ පිරමීඩවලට පමණි. එසේ ත්‍රිකෝණාකාර පැති හතරක් එක් කිරීම තරම් ගෝලාකාර ගොඩනැගිල්ලක් නැංවීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා අතිශය දියුණු තාක්ෂණ ඥානයක් අවශ්‍යය.

එසේම කලා නිර්මාණ දෙස සුපරික්ෂාකාරීව බැලීමේදී සිතුවම් කලාව, නර්තනය, සංගීතය (තාලවාද්‍ය භාණ්ඩ), සාහිත්‍ය, කොඩි... ආදිය විමසා බැලුවද අපට හමු වන්නේ විස්මිත නිර්මාණ ශක්තියකින් හෙබි පරිපූර්ණ ශිෂ්ටාචාරයක ලක්ෂණය. මෙම ශිෂ්ටාචාරය ගොඩනගා ඇත්තේ ‍සොබාදහමට එරෙහි වීමෙන් නොව, එය හඳුනාගැනීමෙනි. එහෙත් නූතනයේ අප මේ පිළිබඳ සැලකිලිමත් වී ඇතිද? යන්න ගැටලුවකි.

මනෝරංජන හා පුන්කාජ් මානව් අපට ගෙනහැර දක්වන්නේ මේ සත්‍යතාව නොවේද‍?

 
 
 
 

අදහස්