අව්‍යාජ ගැමි සමා­ජයේ නොහිමි පුසුඹ වහ­නය වන අනඟි පුස්ති­කා­වක් | සිළුමිණ

අව්‍යාජ ගැමි සමා­ජයේ නොහිමි පුසුඹ වහ­නය වන අනඟි පුස්ති­කා­වක්

 

ස්වකීය ජාතභූමිය තරම් ප්‍රියාදරණීය පරිසරයක් කාහට වුවද තවත් නැති සේය. සිය නිජගම් පියසේ ජීවන පුසුඹ කුමන ආගන්තුක සුගන්ධයක් වුව ද පරයන සුළු ය. ඊට සහේතුක වනුයේ තිඹිරි ගෙයින් එළිදකින “නවජයා” ප්‍රාරම්භකව ආඝ්‍ර­ාණය කරනු ලබන්නේ ගැමි පුසුඹ නිසාය. එතැන් පටන් කොට, නවජ අවධියේ රුහිරු තරලය පුරාවට කැළතී ඇත්තේ උක්ත පුසුඹ ම ය. එමෙන් ම ළපැටියාගේ ඇස ගැටෙන, සවන් වදින සෑම දෙයක් ම ග්‍රාමීය පරිසරය හා සබැඳී ඇත. මේ නිසා ම කවරකුට වුව ද “අපවත්වනතාක්” තම උපන්ගමට බැඳී අසීමිත ප්‍රේමය මනුස්මෘතියෙන් ඇකී මැකී නොයෙනු ඇති.

ඇරත් තමා බාල සන්දියේ ගමේ තිබූ සුමනෝහර බව ඇතැමකුට පසක් වනුයේ එහි සතතදර්ශනයෙන් දුරස් වූ විටයි. යොවුණුදාව ගිලී ආප්තෝදාවට පාත්‍රවන බහුතරයකට ම පාහේ සිය “ලැකොල්” සමය (බාලවිය) ආවර්ජනය වීම අරුමැසි නොවේ. ඉනික්බිතිව එමඟින් ඔහු හෝ ඇය මනෝලෞල්‍යයෙන් සහන්සුව වළඳණු ලබන්නේ මතු “ලැකොල්” වියට යළිත් සමවදින හෙයිනි. එ් හෘදයානන්දකර වින්දනය හමුවේ පිළිපන් පරිඥානයෙන් (අත්විඳීමෙන් ලද දැනුමෙන්) ඔබ්බට මෙනෙහි කළ විට තමා “පැළවූ” විසිතුරු නිජ බිමකඩ හෙවත් ‍ගම් පියසේ සොබා සොඳුරු දසුන් විසිතුරුව මැවී පෙනෙන්නේ මැයි.

මේ ස්වභාවය ජනාදරණීය ලේඛිකාවක් වූ රත්නා කහඳගම‍ගේ සූරණීට ද උරුමය. ඒ නිසාවෙන්ම දෝ ඇය මීට දශක පහකට පමණ පෙරාතුවේ ගෙවූ “පැටි” සමය සිතින් ආරූඪ කරගෙන ගිං ග‍ඟේ අතුරු ගංගාවක් වූ ‘තෙරුන් ඇළ’ හරහා වැටී තිබූ වැල් පාලම මතට ගොඩ වී සිය උපන් ගම් කොටුවේ එදා තිබූ අසිරිය විපරම් කිරීමට උත්සුක වූයේ.

ඊට අනුගව එකල, පණනල සෙයින් පෙම්බැඳි නිජ ගමේ සැබෑ අන්දරය රත්නා විසින් සමාජයට මුදා හරිනු ලබන්නේ එදා තමාට අමරණීය වූ ‘වැල් පාලම’ නමින් එළිදුටු පොත් පිංච තුළිනි. වැල් පාලම පිළිබඳ ලේඛිකාව කරන විවරණයෙන් සුපැහැදිලි වන්නේ එවකට සිය ගම්මානයට යාම් ඊම් සඳහා ගැමියන් උපයෝගී කරගෙන තිබ‍ුණේ කම්බිවල ආධාරයෙන් “ගිංගඟ” හරහා දමා සකසාගත් පැද්දෙන පාලමක් බවයි. ඊට ගැමියෝ “වැල් පාලම” යැයි ව්‍යවහාර කළහ.

බෙහෙන්ම සුඛ නම්‍ය සුගම බස් වහරකින් ගෙත්තම් වූ රත්නාගේ “වැල් පාලම” කෘතිය පාඨක සිත් ආනන්දයට පාත්‍ර කෙරෙන කෙටිකතා “පඳුරකින්” සමන්විත වෙයි. ඒ හැම කෙටි කතාවක් ම එකින් එක පෑහෙන ආකාරයෙන් සුසංයෝගී කර ඇත්තේ හුදෙක් ම තම නිජ ග්‍රාමයේ ම‍නෝරම්‍ය භාවයට බිදකුඳු හානිකර නොවන ආකාරයෙනි. තම ගම් පියසේ යථා තත්ත්වය පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන රත්නා කහඳගමගේ ඒ තුළින් ඉතිර පැතිර ගිය ජීවන පුසුඹ දෝතට ගෙන පාඨක සිත් සතන් තුළ තැවරීම අරමුණු කර ඇරපාන වාග් රටා සුවිසුන්දර ය. සිත්කලු ය. එමඟින් සිත් රූ රටා සිත්තම් කරමින් තම ලෙන්ගතු එදා ගම් දනව්වට පාඨකයා කැඳවාගෙන යන අයුරකි ‍වැල් පාලම කෘතියේ මෙම ඡේදය තුළින් විසඳවනුයේ.

“කැකුලන්විල කන්දටත්, රුක්අත්තනගොඩ කන්දටත් අතර මැද ඇත්තේ දෙණියකි. ඒ දෙණිය ඉහත්තාවේ මඳ උස් බිමකි. එහි හා පහළ තැනි බිමේ කුඩා තේ යායකි. ඊටත් පහළින් වූ දොළ මං සේ දී ගෙන ගලන වගුරු බිමේ කෙත් යායකි. ඒ කුඩා කෙත් යාය ගමේ වූ විහාරස්ථානය දක්වා ම විහිදේ. පිටඉර මහවේල්ල මායිම් කරගත් මේ කුඩා කෙත් යාය ගමටම සිරියාවක් විය. එයින් ගමට ලැබෙන සුන්දරත්වය සුළුකොට තැකිය නොහැකි ය.” (පි. 16)

සාරහාර එම ගම්මානයෙන් එදා වාගැබට ඉගිළ ගිය ගමට ම ආවේණික ඇදහිලි විශ්වාස, මන්ත්‍ර ගුරුකම් හා සිරිත් විරිත් ආදී ජනශ්‍රැතිකාංග සජීවී ආකාරයෙන් වැල් පාලම කෘතිය උචිත ස්ථාන කරා යොමු කිරීම නිසාවෙන් ම මේ කෘතිය කියවන්නාට ආස්වාද ජනක වෙයි. එමෙන් ම මෙහි හමුවන පුප්පන්කොස්, නිල්වරකාව, ගැටෝර ගෙඩි, වරකා හකුරු, අවුදැල්ල, කළුපොල්, සහගින්දරේ, තප්පිච්චි, දඩබඩ වෙලාව, වැහි ආරාව, විස්වහ කරනවා, මුළුක්කාදිය, සොල්පයක්, තුන්මුනින් දාදිය දාගෙන, ගඟ ඉදිමිලා ආදී ව්‍යවහාරයන් ගමේ කම තම තවත් ඔප කළ මේ ගමඹුව පැළදි විසිතුරු ආභරණ සේය.

මේ කෘතිය කීපවිටක් ම කියවූ මට ඒ හැම අවස්ථාවක දීම මතකයට නැඟුණේ කෘතහස්ත ජනශ්‍රැති ලේඛකයකු වශයෙන් ජන සම්භාවනාවට පාත්‍රව සිට අපෙන් සදහටම සමුගත් පියසේන කහඳගමගේ වියතාණෝ ය. එ් වියතාණන්ගේ ප්‍රභාස්වරය ඔහුගේ සෙවණැල්ලක් බඳු රත්නා කහඳගමගේ ලේඛිකාවට මෙවන් අනඟි කෘතියක් ලිවීමට පන්නරය ලැබෙන්නට ඇතැයි මට නොසිතෙන්නේ නොවෙයි.

කෙසේ නමුදු වැල් පාලමේ කතා නායකත්වය රත්නා විසින් හිමිකර දෙන ලද්දේ ඇ‍ඟේ “හීන්දොහනි” වර්ණවත් කළ ආත්තම්මා හා මුත්තණ්ඩි ආදී සිට පරපුරේ අක්මුල් වලට බව ඇය පවසන්නේ හරිම ගර්වයෙනි. සරුසාර කෙත්වතු, ගවසම්පත මෙන්ම විවිධාකාරයේ වගාවන් මෙන් ම ජනගහණයට නොදෙවෙනි වනගහණය ගමට ශ්‍රී සමෘද්ධිය කැන්දන් ආ බව කතුවරිය විටින් විට වැල් පාලමට මුසු කළා ය. එපමණක් නොව සිය නිජ ගම්මානයේ නාමය කුමක් දැයි ඇය හඳුන්වාදී සැටියි මේ.

“අපේ ගම එදා කුඩා දූපතක් වුව ද, සාරවත් බවින් අනූන විය. මේ ගම ගැන මගේ ආත්තම්මා හා මුත්තණ්ඩි මෙන්ම ඒ සම වයස් වූවෝ ද ඉතා ඉහළින් අගය කරති. එදා එහි තිබූ නොනිමි සුන්දරත්වය එයට හේතු වූවා මෙන්ම, මහා පඬිවරු බිහි වීමද තවත් හේතු වන්නට ඇත. මෑත යුගයේ පහළව සිටි “වැලිවිටියේ සෝරත මහා නායක ස්වාමීන් වහන්සේ” ද මගේ ගමේ ය යන්න මට ආඩම්බරයෙන් කිවහැකි ය. එදා මා කුඩාවකුව සිටියදී මගේ ගම ගැන රසවත් තොරතුරු වැඩිහිටි‍යෝ මට පැවසූහ.” (පි. 26)

එවකට ගම්මානයක තිබූ අති මනෝරම්‍ය බවට කදිම දුෂ්ටාන්තයකි රත්නා කහඳගමගේ ලේඛිකාවගේ මෙම “වැල් පාලම” කෘතිය. එහි දී ඇය බෙහෙවින් ම එදා ගමේ තිබූ සමඟි සමාදාන දිවි පෙවෙත හා සමූහාණුබද්ධිතව කටයුතු කළ අයුරු, (වහලේ අතු කඩලා, කයියේ හයිය, කයියට ගොඩ වැදුණෝ) ආදී කෙටි තුළින් කදිමට පවසන්නේ ය.

එදා ගමක් වූ කලී එකම මතයකට අනුගතව කටයුතු කළ, එකම ප්‍රධානයකට අවනත වූ, පොදු කටයුතුවල දී එකා මෙන් නැඟී සිටි අපේකම, පරපුරු දායාදයක් වූ සිරිත් විරිත්, අරපිරිමැස්ම හා බෙදා හදාගැනීම් ආදී ගුණාංග රැසකින් ද පූර්ණ වූ ජනපදයකි. එය වැල් පාලමෙන් ද මනාව එළි දකී. එවකට මේ ආකාරයෙන් තමා ජනිත “ගැමි රාජ්‍යයේ” තිබූ අකුරට නඟන්නට බැරි තරම් වූ උදාරත්වය අධිරාජ්‍යවාදීන්ගේ සංකර කිල්ලට නතුව වියැකී ගිය බව රත්නා කහඳගමගේ වැල්පාලමෙහි ලා මෙසේ දක්වනුයේ ඛේදජනකව ය.

“එදා සුදු පාලකයන් විසින් අපේ ගම් නියම් ගම් සිසාරා උරුම කරගෙන උන් සැටි ද ඔවුන්ගේ ආගම භාෂාව ප්‍රචලිත කිරීමට ගත් උත්සාහය ද පැහැදිලිවම අද ද එහි ශේෂයන්ගෙන් දක්නට හැකිය.” (පි. 18)

කෙසේ නමුදු වැල් පාලම අත්දැකීම් පදනම් කරගෙන ම ලියැවුණු අපූරුතම රසවත් අන්දරයක් බව ප්‍රශංසාත්මකව අගයන අතර මෙවන් අනගි කෘති තව තවත් එළිදැක්වීමේ වීරිය දිරිය රත්නා කහඳගමගේ ලේඛිකාවට නොමඳ ව ලැබේවා යැයි මගේ එක ම ප්‍රාර්ථනය යි.

අදහස්