කව් ලැකිය | සිළුමිණ

කව් ලැකිය

මේ ලිපි පෙළ සිංහල කව් ලැකිය ගැන යි‍. ලෝක සාහිත්‍යයේ කව් ලැකියක් ඇත්තේ සිංහලයට පමණයි. මේ කව් ලැකියේ වගතුග හෙළි කිරීමේ අදහසින් ලියැවෙන ඉතා කෙටි ලිපි පෙළකි.

ලෝකයෙහි ජීව භාෂා හත් දහස් ගණනක් ඇත. මේ භාෂා අතර සමානකම් මෙන් ම අසමානකම් ද පවතී. ඉන් සමහරක් වියරණ රීති අතුරෙහි දක්නා ලැබෙන වෙනස්කම් ය. සමහරක් වචන කෝෂයෙහි දක්නා ලැබෙන වෙනස්කම් ය.

තවත් සමහරක් ලේඛන ශෛලීන් නිසා ඇති වන වෙනස්කම් ය. සිංහලය වෙනත් භාෂාවලින් වෙනස් වන එක් ලක්ෂණයක් ඒවායෙහි ලේඛන ශෛලීන් හා සම්බන්ධ වෙයි.

කවර භාෂාවක හෝ සාහිත්‍යයක් වේ නම් ඒ සාහිත්‍ය ව්‍යවහාරය මූලික වශයෙන් ගද්‍ය, හා, පද්‍ය යනුවෙන් දෙවැදෑරුම් වෙයි. ඉංගිරිසි සාහිත්‍යයෙහි ද ගද්‍යය හැඳින්වීමට prose යන පදයත් පද්‍යය හැඳින්වීමට verse යන පදයත් යෙදේ.

මේ ලේඛන විධි දෙකේ මූලික වෙනස පවතින්නේ විරිත් භාවිතයෙහි ය. පද්‍යය විරිත් සහිත වන අතර ගද්‍යය විරිත් රහිත වෙයි.

නවකතා හා කෙටිකතා වැනි ප්‍රබන්ධ ද ශාස්ත්‍රීය රචනා ද ලියනු ලබන්නේ ගද්‍යයෙනි. පුවත්පත් හා වාර ප්‍රකාශන පළ කෙරෙන්නේ ගද්‍යයෙනි. කවි හා ගීත ලියනු ලබන්නේ පද්‍යයෙනි. ‍

පද්‍යකරණය සඳහා පමණක් භාවිත කළ යුතු විශේෂ වචන කෝෂයක් මා දන්නා කිසිදු භාෂාවක නැත. කවර ම පදයක් වුව ඒ ස්ථානයට උචිත නම් එය යෙදීම ලේඛකයාගේ දක්ෂතාව යි.

එහෙත් සිංහලයෙහි පමණක් අමුත්තක් දක්නට ලැබේ. එනම් පද්‍ය රචනා සඳහා එක් වර්ගයක පද පමණක් ද ගද්‍ය රචනා සඳහා කවර ම වර්ගයකට අයත් පද ද තෝරා ගෙන යෙදීම යි. පද්‍ය රචනයෙහි ලා යෙදෙන භාෂා ශෛලිය කව් ලැකිය යනුවෙන් ද ගද්‍ය රචනයෙහි ලා යෙදෙන භාෂා ශෛලිය ලෙව් ලැකිය යනුවෙන් ද හැඳින්විය හැකි ය.

කව් ලැකිය මූලික වශයෙන් පද්‍ය රචනය සඳහා වෙන් වූවකි. අවශ්‍ය නම් එය ගද්‍ය රචනය සඳහා ද යොදා ගත හැකි ය.

එහෙත් ලෙව් ලැකිය ගද්‍ය ව්‍යවහාරයට පමණක් සීමා වූවකි. එය පද්‍ය රචනයෙහි ලා කිසිසේත් යොදා ගත නොහැකි විය.

එදිනෙදා කතා බහ කෙරෙන්නේ ද ලෙව් ලැකියෙනි. එය ගැදි ලැකිය යනුවෙන් නම් නොකොට ලෙව් ලැකිය යනුවෙන් නම් කළේ ද එහෙයිනි. කව් ලැකිය. කාව්‍ය ව්‍යවහාරය නම් ලෙව් ලැකිය ලෝක ව්‍යවහාරය වෙයි.

අදහස්