ජනවාරි 18 වැනිදාට යෙදෙන සිය­වන ජන්ම දිනය නිමි­ත්තෙනි : ජීවි­තයේ යථා­ර්ථය හඳු­නා­ගත් කවියා | සිළුමිණ

ජනවාරි 18 වැනිදාට යෙදෙන සිය­වන ජන්ම දිනය නිමි­ත්තෙනි : ජීවි­තයේ යථා­ර්ථය හඳු­නා­ගත් කවියා

කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරට අයත් කැපී පෙනෙන කවියකු වශයෙන් විමලරත්න කුමාරගම හැඳින්විය හැකි ය. ඔහු වර්ෂ 1919 ජනවාරි මස 18 වැනි දින පාතදුම්බර, නාරම්පනාවේදී උපත ලැබුවේ ය. කුමාරගමගේ පියා පුංචි බණ්ඩාර කුමාරගම ය. මම කේ‍.එච්. බණ්ඩාර මැණිකේ ය. මේ යුවළට දරුවෝ සත් දෙනෙක් සිටියහ. කුමාරගම දෙවැනි දරුවා ය. වර්ෂ 1923 දී මහනුවර මඩොල්කැලේ විද්‍යාලයට ඔහු ඇතුළු වෙයි. කුමාරගමයන්ගේ පියා ද රජයේ පාසලක මුල් ගුරුවරයකු වූ බැවින්, තම දරුවන්ට හොඳින් ඉගැන්වීම සඳහා කැප වූයේ ය. 1928 දී, මේ ශිෂ්‍යයා තෙල්දෙණිය පාසලට පිවිසෙයි. එය ද්විභාෂා මිශ්‍ර පාසලකි. අනතුරුව, පිළිවෙළින් මොරපිටිය විදුහලටත්, කටුගස්තොට රාහුල විදුහලටත්, කුමාරගම ඇතුළත් කෙරිණ. මේ පාසල්වල දී, හේ සිංහල භාෂාවත්, සාහිත්‍යයත් ඉතා ආශාවෙන් ඉගෙන ගත්තේ ය. වර්ෂ 1930 දී, කුමාරගම මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වන්නේ ය‍. ඔහු පාසලේදී සුවිශේෂ කුසලතා පෙන්වයි. මේ ශිෂ්‍යයා ලන්ඩන් මැට්රිකියුලේෂන් විභාගයෙන් උසස් අන්දමින් සමත් වූයේ ය. පසුව 1935 දී, රාජ්‍ය ලිපිකාර සේවයට කුමාරගම බඳවා ගැනිණ. ඔහුට ප්‍රථම ලිපිකාර පත්වීම ලැබෙන්නේ අනුරාධපුර දිසාපති කාර්යාලයට ය. එහි සේවයේ නිරතව සිටියදී ආදායම් පාලක නිලධරයන් බඳවා ගනු ලබන තරග විභාගය සඳහා‍ ද, හිඳ ගැනීමට කුමාරගමට අවස්ථාව ලැබිණ. වර්ෂ 1942 දී, ඔහු එම තරග විභාගයෙන් සමත් විය. එහි ප්‍රතිඵලය වූයේ ආදායම් පාලක නිලධරයකු වශයෙන් පත්වීමක් ලබාගෙන අනුරාධපුර කච්චේරියේ ම සේවය කිරීමට එතුමාට අවස්ථාව ලැබීම ය.

වන්නි ජනතාව

මේ කුසලතා පූර්ණ නිලධරයා දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරයි. ආණමඩුව, හඟුරන්කෙත, හේවාහැට, කලවාන, කොළොන්න, කෑගල්ල, දළදාගම, කොත්මලේ වැනි ප්‍රදේශ රාශියක කුමාරගම රාජකාරි කටයුතු කළේ ය. එම නිසා, වන්නි ජනතාවගේ ජීවිත හා ඔවුන් ජීවත්වෙන පරිසරය සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ලබාගැනීමට ඔහුට හැකි විය.

මේ නව්‍ය අත්දැකීම් භාවිත කිරීම නිසා කුමාරගම කොළඹ යුගයේ අනෙක් කවීන්ට වඩා නව මාවතක ගමන් කරන්නේ ය. එක් අතකින් ඔහු කාරුණික හදවතක් ඇති මිනිසෙකි. අනෙක් අතට, කුමාරගම අනෙකුත් කවීන්ට වඩා කඩවසම් ය. ඉංග්‍රීසි හා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍ර පිළිබඳ ව ඔහුට පෘථුල දැනුමක් තිබිණ. ඔහු කාව්‍ය නිර්මාණය කිරීමේදී නිරන්තරයෙන් ම, වන්නි ප්‍රදේශවලින් එකතු කරගත් අත්දැකීම් සම්භාරය අමුද්‍රව්‍ය වශයෙන් ‍උපයුක්ත කරගත්තේ ය.

කාව්‍ය ලක්ෂණ

කුමාරගම කවියාට ඡන්දස් කවි ලිවීමේ අපූරු කුසලතාවක් තිබිණ. වර්ෂ 1935 දී, මේ කවියා ‘සංවේග දර්ශන’ නමින් දීර්ඝ කවි පන්තියක් රචනා කළේ ය‍.

පසුව 1940 දී, හෙතෙම ‘සංවේග වේදනා’ නමින් කාව්‍ය සංග්‍රහයක් පළ කරයි. වර්ෂ 1945 දී, රචිත ‘හපුමලී’ ඔහුගේ තවත් රසවත් කාව්‍ය සංග්‍රහයකි. එය 1946 වර්ෂයේදී පළ කෙරිණ. කුමාරගමයන්ගේ නිර්මාණයන්හි කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් දැකිය හැකි ය.

ඔහුගේ කාව්‍යවල මතු වී පෙනෙන එක් ලක්ෂණයක් වන්නේ අව්‍යාජත්වයයි. වන්නි ගම්වලින් උකහා ගත් අව්‍යාජ අත්දැකීම් ඔහුට කාව්‍ය රචනා කිරීමට බලපෑවේ ය. එබැවින්, කුමාරගම මහ පොළොවේ පය ගසා සිටි විශිෂ්ට කවියකු වශයෙන් හැඳින්විය හැකි ය. ඔහුගේ පද්‍ය නිර්මාණයන්හි පෙනෙන්නට තිබෙන තවත් ලක්ෂණයක් වන්නේ මානවහිතවාදයයි.

එතුමාට තිබුණේ උණුවන හදවතකි. කුමාරගම මිනිසුනට පමණක් නොව සතුන් හා පරිසරයට ද ආදරය කළේය. අපගේ අදහසට අනුව ඔහු මිනිස්කමෙන් දෙවැනි වන්නේ ලංකාවේ කලක් රාජකාරි කළ ලෙනාඩ් වුල්ෆ් හා ආර්.එල්. ස්පිටල්ට පමණි. කුමාරගම විසින් නිර්මිත ‘කැටවල’ කවි පන්තියෙන් ඔහු සතුන් කෙරෙහි දක්වන ලද ආදරය මැනවින් පෙනෙන්නේ ය.

 

වම් ඇලයට වැටී ගති ඒ වැළ හින්න

මම කෑගැසිමි කඩියට වෙඩි නොතියන්න

දඟලන අතර ඈ තැතිගෙන නැගිටින්න

දුක්මුසු ලෙසින් ඇඬුවා පොඩි දරු දෙන්න

 

වැළහින්නට වෙඩි වැදුණු අවස්ථාවේ වලස් පැටව් දෙදෙනා දුක්වෙන ආකාරය මේ කවියෙන් ධ්වනිත වෙයි. මේ කවි පන්තිය කියවා අවසන් වනවිට සහෘදයන්ගේ හදවත් කම්පනයට පත් වෙයි. කවියා වන සතුන් කෙරෙහි දක්වන කරුණාව “මම කෑගැසීම් කඩියට වෙඩි නොතියන්න” යන පදයෙන් ධ්වනිත වේ.

සරල භාෂාව

අලියා වැටුණුවැව ගම්මානයේ ජීවත්වූ ජනතාවට කුමාරගම කවියා දැඩි ලෙස ප්‍රේම කළේ ය. එහි සිටි දිළිඳු ජනයා ජීවත්වූයේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ය.

එම ප්‍රදේශයේ පැවැති දරුණු නියඟය නිසා පිරිසුදු වතුර බිඳක් පවා සොයා ගැනීමට ‍ඔවුනට නොහැකි විය. ගැමියන් නිරන්තරයෙන් ම අරගල කළේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා ය. කුමාරගම පිටිසර ප්‍රදේශවල ජීවත්වූ මිනිසුන්ගේ ජීවිතවල යථාර්ථය අවබෝධ කරගත්තේ ය‍. ඔහුගේ කාව්‍ය නිර්මාණවල දැකිය හැකි ලක්ෂණවලින් එකක් වන්නේ ව්‍යංගර්ථ දැනවෙන සරල බස් වහරක් භාවිත කොට තිබීම ය. මතු දැක්වෙන පද්‍යය නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය.

 

වැලි මාවත් ලෙසින් ඇති ගං හෝ දොළය

උණුසුම උරා බී ගති වැව්වල ජලය

හැම තැන ගසාගෙන යන වියලුණු කොළය

ගිනියම් සුළඟ තුළ ඇත ලෙඩකර බලය

 

‘සිරගෙදර’ නැමැති කවි ‍පන්තියේ ගල් වලක වැටී දුක්මුසු ආකාරයෙන් දවස් හතක් වේදනා විඳ මිය ගිය ඇතින්නක් ගැන කියැවේ. උක්ත කවියෙන් පෙන්නුම් කෙරෙන්නේ නියඟය හේතු කොට‍ගෙන දැවී ගිය පරිසරයේ කටුක ස්වභාවයයි.

ගං‍ගාවල ජලය සිඳී ගොස් තිබෙන බව කවියා පවසන්නේ නැත. එහෙත් ඔහු ඒ තත්ත්වය නිරූපණය කරයි.

ගංගා හා දොළවල් වැලි මාවත් ලෙසින් පෙනෙන බව පැවසීමෙන් ධ්වනිත වන්නේ නියඟයේ දරුණුකමයි. කුමාරගම සිය කාව්‍ය අරමුණු ඉටුකර ගැනීම සඳහා කදිම ලෙස බස හැසිරවීමේ හපනකු බව මේ කවියෙන් පෙනේ.

චරිත නිරූපණය

කුමාරගමගේ ඇතැම් කාව්‍ය නිර්මාණවලින්, චමත්කාරජනක ලෙස උපමා යොදමින්, චරිත නිරූපණය කෙරෙයි. ඔහුගේ ‘ආරච්චිරාල’ කවි පන්තිය නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය. කවියා වචන ඉතා පරෙස්සමින් යොදමින්, ආරච්චිරාලගේ බාහිර පෙනුම නිරූපණය කරයි.

 

රජයේ සේවයෙන් කෙහෙ පෑදුණු තට්ටේ

පොල් තෙල් ගෑ වැනිය අමු පොලයක කට්ටේ

තැවරුණ බවක් පවසන ගොම මුසු මැට්ටේ

කොණ්ඩය කුහුඹු ගුලියකි පොලයක නැට්ටේ

 

මෙහි භාවිත කර තිබෙන අවස්ථාවෝචිත උපමා නිසා ආරච්චිරාලගේ බාහිර ස්වභාවය මැවී පෙනෙයි.

මේ කවියා නොඉඳුල් ප්‍රේමය සම්බන්ධයෙන් කවි ලියා තිබෙන්නේ ස්වල්පයක් පමණි. ඔහු අවිවාහකයෙකි.

කොළඹ යුගයේ සිටි ඇතැම් කවීහු හිටිවන කවි කීහ. අල්විස් පෙරේරා, ජෝන් රාජදාස යන කවීහු හිටිවන කවි කීමට කුසලතා දැක්වූහ.

එහෙත් කුමාරගම හිටිවන කවි කීවේ නැත. කොළඹ යුගයේ සමස්ත කවිය පිරිහී පවතින බව සිරි ගුනසිංහ, ඒ.එම්.ජී. සිරිමාන්න වැනි විචාරකයන් පවසා තිබිණ. කෙසේ වෙතත්, එම විචාරකයන්ගේ අදහස් පිළිගත නොහැකි ය.

කුමාරගමගේ කාව්‍ය නිර්මාණ විමසා බැලීමේදී පෙනෙන්නේ ඉහත විචාරකයන්ගේ අදහස් පිළිගත නොහැකි බවයි.

මේ ප්‍රතිභාපූර්ණ කවියා 1962 දෙසැම්බර් මස 29 ‍වැනි දින කවියට සමුදී දැයෙන් සමුගත්තේ ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු හතළිස් තුනකි. කුමාරගමයන්ගේ නිර්මාණ ඇසුරෙන් නූතන කවියන්ට තම කවිත්වය ඔපවත් කරගත හැකි ය.

 

අදහස්