නව­ක­යන්ගේ රාත්‍රිය | සිළුමිණ

නව­ක­යන්ගේ රාත්‍රිය

සැඳෑ අඳුර ගලාගෙන එද්දි නේවාසිකාගාරයෙ උඩ ම තට්ටුවෙ සඳලුතලයෙදි හාත්පස සුන්දරත්වය බොහොම අපූරුවට විඳින්න පුළුවන්. සරසවි භූමියෙ තුරු ගොමුව අස්සෙන් යෝධයන් සේ මතුවෙන ගොඩනැගිලි, ඒ අතර විහිදෙන අඳුරු මාවත් දිගේ පියමං කරන විද්‍යාර්ථීන්, මල් පඳුරු යට තනිවුණු පෙම්වතුන් මේ සුන්දරත්වය තවත් ඔප් නංවනවා. නවක වදය අවසානයෙ ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් අපිට ලැබෙන පිළිගැනීමේ සාදය අද. අදින් පසුව අපි හැමෝම එක මට්ටමේ. මාස ගණනාවක් තිස්සෙ ජ්‍යෙෂ්ඨ සිසුන් පනවපු කැලෑ නීති, විවිධ නියෝග, ඒවා බිඳෙද්දි ලැබෙන හිංසා, මැදින් ගෙවුණු කාලය අදින් ඉවරයි.

සඳලුතලයෙ කෙටි බැම්ම මත වාඩිවෙලා මම ඈත බලා ගෙන හිටියා. වෙනදා අපිළිවෙලට තියෙන ආපන ශාලාව අද බොහොම ලස්සනට සරසලා. විදුලි සැරසිලිවලින් අලෝකවත් වූ ආපන ශාලාව අඳුරෙ මැද්දෙ බැබළෙනවා. අලුත් සාරි ඇඳගත්ත තොරණ් වගේ ගැහැණු ළමයි එකා දෙන්නා නේවාසිකාගාරය ඉදිරියේ එක්රැස් වෙනවා. ඊට නොදෙවෙනි වෙන්න ඇඳ පැළඳ ගත්ත පිරිමි ළමයිනුත් එකා දෙන්නා පල්ලම් බහිනවා. චීත්ත ගවුමට මේ ගෑණු ළමයි මොනතරම් ලස්සනයිද? චීත්ත ගවුම් ඇඳපු දවස්වල මේ ගැහැනු ළමයින්ගෙ තිබුණු සුන්දරත්වය අද අතුරුදන් වෙලා ගිහින් කියලා මට හිතුණා. අදින් පස්සෙ ඒ ලස්සන දකින්න ලැබෙන එකක් නෑ. හෙට ඉඳන් “ඩෙනිම්” අඳින්න ගත්තම කට්ටියම “පුවක් ගස්” වගේ හිටියි. පහළ එක්රැස් වන ළමයි දිහා බලාගෙන මම කල්පනා කළා.

“උඹ එන්නෙ නෑ නේ”

“යමං මම නං කියන්නෙ උඹටත් එන්න කියලා. ඕවා හිතේ තියන් ඉඳලා වැඩක් නෑ.”

“එන්න බැරි නම් අපි බල කරන්නෙ නෑ. පරෙස්සමින් හිටපන්.”

මගේ අවසාන තීරණයෙන් පසුවත් මාව රැගෙන යන්න බලවත් උත්සාහයක යෙදුණු කාමර සගයො කිහිපදෙනත් මාව තනි කරලා පල්ලම් බැහැලා යන්න ගියා. මෙතෙක් වෙලා හිනා හඬින්, කෑකෝ ගැසීම්වලින් පිරුණු නේවාසිකාගාරයෙ ඉතිරි වුණේ කෑලි කැපිය හැකි නිහඬතාවක්. උත්සවය පටන් අරන් වගෙයි. මිහිරි සංගීත රාවයක් අඳුර මැදින් ඈතෙන් මතු වෙනවා. මං හිමින් සීරුවේ ඒ හඬ වෙත සිත යොමු කරා.

“මචං දෙයක් කියන්නම් හැබැයි උඹ කලබල වෙන්න එපා.” අනුරුද්ධ මාව හොයාගෙන අපේ ගෙදර ආපු දවස අද වගේ මතකයි……

අනුරුද්ධ උසස්පෙළ පන්තියේ මගේ ළඟම මිතුරෙක්. උසස් පෙළ විභාගයෙ ප්‍රතිඵල එද්දිත් අපි දෙන්නගෙම නම් ඉදිරියෙ සටහන් වෙලා තිබුණෙ විශ්වවිද්‍යාලය අහලකින් වත් යා හැකි ප්‍රතිඵල නෙමෙයි. ප්‍රතිඵල බලපු ගමන් මම කෙළින්ම ගියේ අනුරුද්ධ හොයාගෙන.

“මාත් ගොඩ ගියේ දෙවෙනි පාර. ඕවා ගණන් ගන්න එපා. තුන් පාරක් දෙන්නෙ හැමෝටම එක පාරින් බැරි නිසා. ගිය දේ ගියා කියලා දැන් ඉඳලා පටන් ගනින්”

එදා අනුරුද්ධගෙ අයියා අපි දෙන්ටම දුන්නෙ එකම උපදෙස.

“උඹට නං අවුලක් නෑනෙ මලයා. දැන් ගුරුතුමියකුත් ඉන්නෙ ඉගෙන ගන්න. දැන් කාටද බය. ඔය කෙල්ල අල්ල ගත්ත දවස් වල නං මම හිතුවෙ උඹලා දෙන්නම විභාගෙ ඇන ගනියි කියලා. වෙලාවට ඒකි හරි ගොඩ ගියා. ඒකිගෙ වැඩ සේරම කරලා දීලත් ඒකි ගොඩ නොගිය නම් තමා අපරාදෙ. ඒකි හොඳ කෙල්ල. දැන් ඉතිං වැඩිය රවුම් ගහන් නැතිව ඒකිවත් අල්ලගෙන පාඩම් වැඩ ටික කරපන්”

හිතුවාටත් වඩා හොඳින් නිපුනි විභාගය ගොඩ දාගෙන තිබුණා. මගෙ ප්‍රතිඵල අසාර්ථක වුණත් එයා වෙනුවෙන් වෙන් කරපු කාලය අපරාදෙ කියලා මට හිතුණෙ නෑ. තව මහන්සි වුණා නම් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් බව මට ම තේරුණත් මට ඕන උනේ ඇගේ සාර්ථකත්වය දකින්න. මං ගැන දෙමව්පියන්, මිතුරන්, ගුරුවරුන් ලොකු බලාපොරොත්තුවක් තැබුවත් මම ඒ සියල්ල කැප කළේ එයාගෙ සාර්ථකත්වය වෙනුවෙන්.

“ඔයා දුක් වෙන්න එපා. මං ඉන්නවනේ ඔයාට. ඔයා පාඩම් කරන්න පටන් ගන්න. ඊළඟ පාර ඔයා අනිවාර්යෙන් ගොඩ යන්න ඕන” දවස් දෙකකට පසුව ඇය මා සොයා ආවේ ඇගේ පොත් මිටියත් අරගෙන. මුතු කැට අකුරින් ලියා තිබුණු ඇගේ සටහන් පොත් හරිම පිළිවෙළයි. පිළිවෙළක් නැති මගේ පොත් පැත්තකට දාපු මම ඇගේ සටහන් පොත් අරන් පාඩම් කරන්න පටන් ගත්තා. ඒ පොත් අතරින් දැනුම ගලා ආවේ ආදරයත් එක්ක.

කාලය ඉගිළ ගියේ සුළඟේ වේගයෙන්. “මං හෙට කැම්පස් යනවා. ඔයා හොඳට පාඩම් කරන්න ඕන. අමාරු තැන් තිබුණොත් වෙනම ලියලා තියන්න. සති අන්තෙ මං ආවම අපි ඒවා බලමු. ඔයත් අපේ කැම්පස් එකට ම එන්න ඕන. මට පොරොන්දු වෙන්න හොදට වැඩ කරලා කොහොම හරි ගොඩ යනවා කියලා. මං කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. මොන ලෝකෙ ගියත් මං ඔයාගෙම විතරයි ”

එදා එයා මාව හොයන් ආවේ බොහොම සතුටෙන්. අපි දෙන්න ම එකට යන්න ප්‍රාර්ථනා කරපු ගමන හෙට ඉඳන් එයා තනියම යනවා. අපි ප්‍රාර්ථනා කළේ එකට ම සරසවි වරම් ලබන්න. එදා දවස බොහෝ දිගයි කියලා මට දැනුණා. මට දැනුණෙ පාළු කතරක තනි වූ විට දැනෙන අහිමි වීමක පරාජිත හැඟීමක්. එයා ගැන නොසිතා මගේ වැඩ කළා නම් මේ ගමන අද යන්නෙ මම. ඒත් එහෙම හිතන එක මොන තරම් ආත්මාර්ථකාමී ද? ආදරේ කියන්නෙ පරිත්‍යාගය. මගේ පරිත්‍යාගය නිසා මගේ ආදරවන්තිය අද දිනුම්. ඒක මගේ දිනුමක් නෙමෙයිද. රෑ වෙනකල් පන්ති තියෙද්දි ඈට රැකවරණය දෙන්න හිටියෙ මං විතරයි. ඇයගෙ ගෙදර තිබුණෙ ඉගෙන ගන්න සුදුසු වටපිටාවක් නෙමෙයි. ඇයට තිබුණු අඩුපාඩුකම් එමටයි. මම නොහිටින්න ඇය ඒ ගැටලු වලට මුහුණ දෙන්නෙ කොහොමද? එයාගෙ අම්මලා තාත්තලගෙ පවුල් ප්‍රශ්න විසඳන්න මට බැරි වුණාට ඒ කිසිවකින් ඇයට බාධාවක් නොවෙන්න යෝධ පවුරක් වගේ හිටියෙ මම. ප්‍රශ්න පිරුණු ගෙදරින් නොලැබෙන ආදරය දීලා විභාගයට ශක්තිමත් ව මූණ දෙන්න එයාගෙ හිත හැදුවෙ මම නේද? ඇගේ දියුණුවෙ සැබෑ හිමිකරු මම නේද. එදා රෑ පුරාම මම මගේ හිත එකඟකර ගන්න උත්සාහ කළා.

සරසරවි වරමත් එක්ක ඇය ගතින් දුරස් වුණත් පොත් පිටු අතර තිබුණු ඇගේ සුවඳ ඇගෙන් මාව දුරස් කළේ නෑ. සතිය ගෙවිලා යන්නෙ සති අන්තයෙ ඇය හමුවීමේ ආසාවෙන්. අලුත් ලෝකයට ගිය ඇගේ අලුත් විස්තර දැන ගැනීමේ කුතූහලය මගේ සිතට හැමදාම එක් කළේ අලුත් බලාපොරොත්තුවක්.

“ඉස්කෝලෙ වගේ නෙමෙයි අනේ හරියට වැඩ. විභාග, ඇගයීම්, පරීක්ෂණ හැමදාම. ඒ විතරක් නම් මදැයි තව එක එක උත්සව, රැස්වීම්, කැම්පස් ගියාම කොච්චර වැඩ තියෙනවද? එන්න හිටියත් වැඩ වැඩියි.”

සති අන්තවල පැමිණීමත් ටිකෙන් ටික අඩුවෙද්දි ඇගෙන් ලැබුණෙ එවැනි පිළිතුරක්. “එයාට වැඩ වැඩි ඇති” තද පාළුවක්, තනිකමක් දැනෙන වෙලාවක ඇයව ඇමතුවත් බොහෝ විට මම උත්සාහ කළේ ඇයට කරදරයක් නොවී සිටීමට.

“ගමේ තනිවුණ මගේ දුක එයාට දැනෙන්නැති හැටි.” මම එහෙම හිතන එක කොච්චර වැරදිද? තියෙන වැඩ දාලා මාව බලන්න ඇවිත් හරියනවද? “මේ සේරම උපාධිය ගන්න කල් විතරයි. ඊට පස්සෙ එයා හැමදාම මගේ ළඟ.”

ආපන ශාලාව දෙසින් එන මියුරු රාවය දිගේ මගේ හිත බොහෝ දුර ගිහින්.

“දැන් මොනවද කියන්න ආපු වැදගත් දේ. හැමදාම කියන බයිල නම් අහලම ඇති වෙලා”

“එහෙමට දේකුත් නෙමෙයි. උඹ ඔය කෙල්ලව අත ඇරලා දාපන්.

“ඒකි ගියේ කැම්පස්. උඹ හිතුවද ඉස්කෝලෙ වගේ කියලා. කොච්චර වැඩ තියෙනවද කරන්න. බලපන් උඹලගෙ අයියට සීයගෙ මළ ගෙදරටත් එන්න ලැබුණද? දැන් ඒකි තියෙන වැඩ සේරම දාලා මාව බලන්න එන්න ඕන“

“ඔව් ඒකිට වැඩ වැඩියි තමා දැන්.., නෑ මං මේ කිව්වෙ දැන් ඒකි කැම්පස්. උඹ තාම විභාගෙ පාස් නෑ. ඒකි ගැන හිතන්න ගියොත් ආයෙත් විභාගෙ ඇන ගන්නවා ඒකයි. ”

“මචං උඹ දන්නවා අපි දෙන්නා ගැන. උඹ හිතනවද මං ඒකි ගැන හිතන්න ගිහින් විභාගෙ නාගනී කියලා”

“මේකයි මචං මං උඹ් ආදරය ගැන දන්න නිසා තමයි මං මෙහෙම වටින් ගොඩින් කිව්වෙ. උඹ තේරුම් ගනී කියලා. එක පාරට කිව්වා නම් උඹ නවතින්නෙ අංගොඩ. මේක උඹ දැන ගන්නම ඕන. දැන් ඒකි කැම්පස් අයියා කෙනෙක් හොයාගෙන ඉවරයි. උඹ තවත් ඒ ගැන බලාපොරොත්තු තියන් ඉඳලා වැඩක් නෑ.”

“උඹට පිස්සු. ඒකි එහෙම කෙල්ලක් නෙමෙයි. කැම්පස් ඉස්කෝලේ වගේ නෙමෙයි. කොල්ලො කෙල්ලො එකට වැඩ කරනවා. එහෙම නැතිව බෑ. එහෙමයි කියලා මං ඇයි කිසි වෙනසක් නැතිව ඒකිව අමතක කරන්නෙ.”

“මම උඹට බොරු කියන්නෙ උඹෙන් තෑගි ගන්නද? මං හොඳට හොයලා බැලුවා. දැන් ඉන්නෙ උඹත් එක්ක හිටිය නිපුනි නෙමෙයි. ඒකි කරන කියන ඒවා උඹත් එක්ක කියන්න මට ලැජ්ජයි. උඹට ඕනෙම නම් දෑහින්ම බලන්නත් පුළුවන්. යමං දවසක මාත් එන්නම් ”

මා ඈව අවිශ්වාස නොකළත් එයාගෙ වෙනසක් මටත් දැනිලා තිබුණා. මුලදි මං කතා කළාම ආදරෙන් උත්තර දුන්නත් පසුව එයා කතා කළේ නුරුස්නා ස්වරයෙන්. අධික වැඩ, පාළුව, කාන්සිය නිසා වෙන්න ඇති කියල මම හිත හදා ගන්න උත්සාහ කළා.“මාත් කැම්පස් ගියාම සේරම හරි යයි” එයා ගැන තිබුණු ආදරය නිසා එයා ගැන නරකක් හිතන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ

“මචං ඒක ඇත්ත නෙ‍ෙමයි කියලා හිත රවට්ටගන්න පුළුවන්. ඒත් ඒක තාවකාලිකයි. කොයිම වෙලාවක හරි ඇත්තට මූණ දෙන්න ඕන. තව විභාගෙට මාස තුනක් විතර තියෙනවා. විභාගෙ කරමුලටම ඇවිත් මේවා දැනගෙන ජීවිතෙයි විභාගෙයි දෙකම විනාශ කර ගන්නවට වඩා දුකක් දැනුණත් හිත හදාගන්න කාලයක් තියෙන නිසා මම මේ ටික කිව්වෙ. දැන් ඕනෙ නම් ඇති වෙන්න අඩපන්. ඇති තරම් දුක් වෙයන්. හැබැයි අද දවස විතරයි. අපිට කවුරු මොනවා කරත් අපි පහතට වැටෙන්න හොඳ නෑ. උඹ වෙච්ච පොරොන්දුවක් තියෙනවා ඉටු කරන්න.”

සැබැවින්ම කෑගසා හැඬීමට අවශ්‍ය වුවද එයට ද ධෛර්යයක් නොවීය. අනුරුද්ධ කී දෑ මිස මේ කිසිවක් මා සැබැවින් දැක නැත. “මගේ පොරොන්දුව මම ඉටු කරනවා” මම තීරණය කළෙමි.

“මාවත් මේකට ම තෙරුණොත්. වෙන ඕන කැම්පස් එකක් මේක නැතිව” විභාගය සමත් වුවද ඒ පිළිබඳ සතුටක් මා තුළ නොවිණි. ඇය අලුත් පෙම්වතා සමග සිටිනු දැකීමට මට ශක්තියක් නැත. එවැනි හමුවක් නොවේවා යැයි නිරතුරුව ප්‍රර්ථනා කළ ද මම එතරම් වාසනාවන්තයෙක් නොවීමි. විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගත් බව දන්වමින් ලැබූ වාසනාවන්ත ලිපිය ඒ අවසානාවන්ත සරසවියට ම මා තෝරාගත් බව දන්වමින් ලැබී තිබිණි.

“මට බෑ මේකට යන්න.” එහෙත් මා හට විකල්පයක් ද නොවීය. එය මාගේ පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, ඇතුළු සියල්ලන්ගේම බලාපොරොත්තුවකි. තනි තීරණයට සරසවිය මඟ හැරිය නොහැකිය. එහෙත් ඇය සිටින සරසවියට යෑමට ද නොහැකිය. කළ හැක්කක් නොමැති වූයෙන් සරසවි වරම් ලැබ සතුටින් පැමිණෙන නවකයන් අතරේ මරණය වෙත දක්කා යන ගවයකු මෙන් මම සරසවි බිම ස්පර්ශ කළෙමි. එය වේදනාත්මක ගමනක් වන බව මම ඉඳුරාම දැන සිටියෙමි.

සරසවිය ඇරඹී දින දෙකක් පමණ වන්නට ඇත. ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ උපදෙස් පරිදිම කටයුතු කළ බැවින් කිසිඳු ගැටලුවක් ඇති නොවිණි. ඇය ද ජ්‍යෙෂ්ඨ සිසුවියකි. ඇය කිසියම් මොහොතක හමුවේ යැයි චකිතයක් මා තුළ විය. ඇය හමු නොවේ නම් කෙතරම් අගනේ ද යන්න මම නිතරම කල්පනා කළෙමි.

ඒයි ඔහොමද යන්නෙ?

මා නොහඳුනන්නකු මෙන් ඇය හා තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මා ඉදිරියේ සිටී.

“මූ තමයි මං කිව්වෙ. මං දිහා බැලුවෙ හරිම කැත විදියට. කිසිම ගරු සරුවක් නෑ.”

වෙනදා ඇසූ ඇගේ ආදරණීය වදන් ගිනි පුපුරු මෙන් රළු ය. මේ ඇයම ද? මම වික්ෂිප්ත ව කිසිත් නොකියා අසරණ ව ගල් ගැසී සිටියෙමි. මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවේ යැයි මම සිහිනයෙන් හෝ නොසිතුවෙමි. මා හමු වුවහොත් ඇය මා මඟ හැර යනු ඇතැයි මම විශ්වාස කළෙමි. මහා වරදක් කළ එකකුට මෙන් ජ්‍යෙෂ්ඨයෝ තදින් බැන වදිමින් මට තර්ජනය කරයි. අවට ලෝකය කැරකෙන්නාක් මෙන් මට දැනිණි. ඇය සැලසුම් සහගතව මා තනිවූ අවස්ථාවක් සොයා ගන්නට ඇත. මා හට කළ හැකි කිසිවක් නැත. මේ කාලය ජ්‍යෙෂ්ඨයන්ට අනුව ගෙවා දැමිය යුතුය.

ඇය උත්සාහ කරන්නේ මා විශේෂ කොට හිංසනට ලක් කිරීමට ය. එදින සිට ඇගේ නව පෙම්වතා ගෙන් මා හට ගැලවීමක් නොවීය. ඇය ඒ කාර්යය පෙම්වතාවට පවරන්නට ඇත. මට නවක වදය ඉවසිය හැකිය. එහෙත් මා ජීවිතය දෙවෙනි කොට ආදරය කළ ඇය අද මෙලෙස සැලකීම කෙසේ දරාගන්නද? මා හට හිංසා කිරීමෙන් ඇයට ලැබෙන තෘප්තිය කුමක්ද? ආදරයෙන් මා හා තුරුලු වී සිටි ඇය මා හිංසාවනට පත්වන අයුරු බලා සතුටු වන්නේ කෙසේද?

ඇගේ බලපෑමද දිනෙන් දින වැඩි වන්නට විය. සරසවිය හැරයාමට තීරණය කළ ද නිවස, පාසල, ගම මතක් වෙද්දි එය කල නොහැකිය. ඒ වනවිට මා ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ විශේෂ අවධානයකට ලක්වූවකු වූ බැවින් අන් අයට වඩා දරුණු හිංසනයන්ට ලක්වීමට සිදු විය. මගේ වරදක් නොවූවද මා හට අමානුශික ලෙස සැලකීමට එරෙහිව මගේ සගයන්ට කළ හැකි කිසිවක් නොවීය.

“සින්නො උඹව වැඩියෙන් රැග් කරනවා නේද. සමහර විට කවුරු හරි බොරු කියලා ඇති. උඹ අවුලක් දාගත්තෙත් නෑ නේ. තව ටික කාලයයි. ඉවසලා හිටපන්. පස්සෙ උන්ම තේරුම් ගනී උඹේ අවුලක් නෑ කියලා”

“එන ඕනෑම දේකට මුහුණ දෙනවා” ඇය වෙනුවෙන් ජීවිතය කැප කළ මා හට ඇය ලබා දෙන මේ කුරිරු තිළිණය බාර ගැනීමට මා තීරණය කළෙමි. ඈ කෙරෙහි වරදක් පැවරීමට මගේ හිත ඉඩ නොදේ. ඇගේ නව පෙම්වතා පිළිබඳ ව ඇසෙන කතා යහපත් නොවූවද මට කළ හැකි දෙයක් ඉතිරීවී නැත. ඔහු වැන්නකු හා සම්බන්ධ වීම ඇය මේ තත්වයට පත්වීමට හේතු වන්නට ඇත. ඇය ඇගේ නව පෙම්වතා සමග සතුටින් සිටීවා යන්න මම ප්‍රාර්ථනා කළෙමි. සැබැවින්ම ඔවුන්ට එසේ සිටිය හැකිද යන්න මම නොදන්නෙමි.

නවක වධයට මුවාවී ඇය මට කළ පීඩා සරසවි සම්ප්‍රදායට පටහැනි බැවින් සැබෑ කථාව ශිෂ්‍ය නායකයකු හා පැවසුවේ නම් මෙතරම් පීඩාවක් නොලැබීමටද තිබිණි. නමුත් ඇය හා ඇගේ පෙම්වතා සිය සගයන්ගෙන් ම ප්‍රතික්ෂේප වීමටද ඉඩ තිබිණි. “උඹ තාමත් ඒකිට ආදරෙයි නේද” සිහි බුද්ධියක් ඇති කිසිවකු එවැනි පැනයක් නොනැඟුව ද මට එයට දීමට තිබුණේ “ඔව්” යන පිළිතුර පමණි.

මාස හයක් තිස්සේ මා බොහෝ වේදනා විඳ අවසාන ය. සියල්ල අවසානයට පැමිණෙමින් තිබුණි. ජ්‍යෙෂ්ඨ සිසුන් වැරදි අවබෝධයකින් එලෙස කරන්නට ඇති බව බොහෝ අය විශ්වාස කළෝය. සැබෑ සිදුවීම කිසිවකුට හෝ දැන ගන්නට මම ඉඩ නොතැබුවෙමි. එහෙත් ඔවුන් සමග සාදයකට යෑමට තරම් සතුටක් මට නොවීය. අද ඇයද බොහෝ ලස්සනට පිළිගැනීමේ සාදයට පැමිණ ඇති බවට සැක නැත. එදා මට තුරුලු වී ආදරය දුන් ඇයම නව පෙම්වතා සමඟ මා පීඩාවට පත්කොට ලැබූ කුරිරු සතුට සමරනවා ඇත.

මිහිරි ගීත රාවය යටපත් වී ගොරහැඩි වේගවත් සංගීයක් ආපන ශාලාව දෙසින් මතු වෙමින් තිබුණි. මම හුදකලාව අඳුරේ සිට ම අතීතයත් වර්තමානයත් ගළපන්නට උත්සාහ කළෙමි. දැන් සියල්ල අතීතයට බාර දිය යුතුය. හෙට සිට ජ්‍යෙෂ්ඨයන් සහ අප සමානය. එහෙත් මාත් ඇයත් අතර ඇතිවූ වෙනස යළි කිසිදා සම කළ නොහැකි බව නම් මට විශ්වාස ය.

 

අදහස්