පොසොන් වැස්ස ලක්ශාන්ත අතු­කෝ­රල | සිළුමිණ

පොසොන් වැස්ස ලක්ශාන්ත අතු­කෝ­රල

සමහර කමටහන් (2016) ලක්ශාන්ත අතුකෝරල කවියාගේ සම්මාන ත්‍රිත්වයක් හිමිකරගත් කාව්‍ය සංග්‍රහයයි‍. 2017 වර්ෂයේදී පවත්වන ලද සාහිත්‍ය උලෙළ ත්‍රයෙහිදීම 2016 වර්ෂයේ හොඳම කවියාට හිමි, රජත පුස්තක, රාජ්‍ය සාහිත්‍ය හා ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේ ලක්ශාන්තගේ සමහර කමටහන් කෘතියයි. වසර දෙකක් තුළ කාව්‍ය සංග්‍රහද්වයක් පළකරන ලක්ශාන්ත ගේ නවතම කෘතිය නම් කොට ඇත්තේ අනබිසෙස්, අනබිනික්මන් යනුවෙනි. පොසොන් වැස්ස, ඔහුගේ පෙර කෘතියක අමාවකේ සඳත් සිඹිමිනි. අප රසවිඳි, අපගේ මතකයේ රැඳී ඇති මුතුකරාබුව සිහිගන්වන ආදරය විෂයය කොට ගත් අපූරු නිර්මාණයකි.

කඩිමුඩියේ කුඩ ඉහලන

මගීන් අතරින්

අත් පටලාගෙන හෙමින්

තෙමි තෙමී ඇවිදින්න

ඇය නැතුව‍

මේ පොසොන් වැස්ස මොකටද

දියබිඳුවලට

ඉඹගෙන ඉඹගෙන යන්න ඉඩදී

මුහුණු දෙක අහස දෙසට යොමාගෙන

අපි දෙන්නා හිටියේ අතන

ඇය සිටින රටකට වහින විට

ඉහළ බලනවා ඇති ද

මා මෙන් ම

දැනෙනවා ඇති ද දැන් ඇයටත්

ඊතල ගොඩක් ලෙස

වැස්ස

බලපං සිගරැට්ටුව

කොහොම පුරවන්න ද උඹ

ඇය නොමැති අඩුව

හොඳටම රතු වී ඇත

මැයි ගස් පේළිය

සිරි පොදෙහි දුම් රැල් පටලවයි

කඩල තට්ටුව

කැෆේ එකේ රේඩියෝව හම් කරයි

තේරේ මන්කී ගංගා

සින්දුව

අනේ ඇයට ගේ ගාවින් බහින්න හැකි

අට හමාරේ පුරුදු බසය ම

ඇවිදින් නැවතුමට

අගෙයි යවන්නට හැකි නම්

මේ සියල්ලෙහි සේයාරුවක් (මා නැතුව)

ලොවටම රහසින්

ඇය නිදන යහනකට

සිහිනයක් කර!

‘පොසොන් වැස්ස, යටින් කවියා, අතීතාවර්ජනයකට යන්නේ ඔහුගේ පෙම්වතියගෙන් තොරවය‍. ඈ විප්‍රවාසයේය. ඈ නොමැති පොසොන් වැස්ස කුමකට දැයි ප්‍රශ්න කරන කථකයාගේ අතීත මතක ලොවට පාඨක අප කැඳවාගෙන යන්නේ ඔහු විඳුම අපගේ සහානුභූතියක් බවට පත් කරගනිමිනි‍. කවිය පුරාම ලක්ශාන්ත මවන අපූර්ව සංකල්ප රූපාවලිය ආදරය අහිමි වී ගිය පෙම්වතෙකුගේ දුක්බර මනෝභාව අපූරුවට චිත්‍රණය කරන්නකි. පෙරදා කඩිමුඩියේ සෙනඟ ගැවසුණු වීදියක මගීන් අතර ඔවුන් දෙදෙනා අත් පටලාගෙන තෙමි තෙමී ඇවිද ගියේ පොසොන් වැස්සකදී ය‍‍‍. අද ඈ නොමැත. ඔහු පමණි. ඈ නොමැති පොසොන් වැස්සක්? දෙදෙනා දිය බිඳුවලට ඔවුන්ව සිප ගන්නට ඉඩ දී අහස දෙස බලා සිටි අතන ඔහුට සිහි වේ. විප්‍රවාසයේ සිටින ඇය ද එහි වැහි වසින කල ඔහු මෙන් ම අහස බලන කල්හි ඔහු සිත රිදවන ලෙසින් ම වැස්ස ඊතල ගොඩක් ලෙසින් ඈ සිත සිදුරු කරනවා ඇති යයි ඔහුට සිතේ. දල්වාගත් සිගරැට්ටුවකට හැකි ද ඔහුගේ පාළු සිත පාළුව පුරවන්නට? පෙරදා ඔවුන් හමුවූ, මැයි ගස් පේළිය හොඳටම රතු වී ඇත්තේ ඔවුන් දෙදෙනා එහි නොවන නිසා ද? වැහි වැටෙන කල දුම් දැමූ කඩල තට්ටුව, කැ‍ෆේ එකේ රේඩියෝව මුහුණන හින්දි සින්දුව කවියා මවන විශිෂ්ට කාව්‍යොක්ති වේ.

ඈ ඔහුගෙන් සමුගන්නී, ගෙදර ළඟින් බසින්නට හැකි අට හමාරේ පුරුදු බසයම ආ කල්හිය. දැන් ඒ බසය ද ඇවිත් ය. එහෙත් ඊට ගොඩවන්නට අද ඈ නැත. මේ සියලු අතීත මතක වස්තූන් සියල්ල ඡායාරූපයකට නගා (හැබැයි කථකයා නොමැතිව) ලොවටම රහසින් ඈ නිදන යහනකට සිහිනයක් ලෙසින් යවන්නට ඇත්නම් යැයි කථකයාට සිතේ.

ප්‍රේමයේ විප්‍රයෝගය කවීන් මතු‍ නොව, අනෙක් බොහෝ නිර්මාණකරුවන්ට ද විෂය වන සුලබ මාතෘකාවක් වුව, එහි අපූර්වත්වය, චමත්කාරය දකින්නට සමත්වන නිර්මාණකරුවෝ විරලයහ. එහිදී ලක්ශාන්ත කවියා කැපී පෙනේ. පොසොන් වැස්ස ආදරයේ විරහ වේදනාව පිළිබඳ නිර්මාණය වූ තවත් එක් කවියක් බවට පත් නොවන්නේ, ඔහු එම විරහවේ ඉසියුම්, හද රිදුම් දෙන අවස්ථා, ස්ථාන ස්පර්ශ කරමින්, අපට පුදන කවියාගේ පරිකල්පනය විශද කෙරෙන නිර්මාණයක් වීම නිසාය. විප්‍රවාසයක වෙසෙන ‍ තම පෙර පෙම්වතිය පිළිබඳ නොතැවෙන එහෙත් ඈ සමඟ ගෙවුණු සුන්දර අතීතයක මතක නටබුන් අතර අතරමං වූ හුදෙකලා පෙම්වතෙකුගේ සිතැඟි අතර පාඨක අප ද අතරමං වූ සෙයක් දැනෙන්නේ, කවියාගේ මතකයට නැගෙන, ඔහු සිත රිදුම් දෙන අතීත ස්මරණ පොදු අත්දැකීමක ස්මරණ බවට පත්වන බැවිනි. රතුමල් පිපුණු මැයි ගස් පේළිය, කැෆේ එකේ රේඩියෝව හම් කරන තේරේ මන්කී ගංගා ගීතය, රීඩ් මාවත, තර්ස්ටන් පාර සරසවි මතකයට අප කැඳවාගෙන යනු නොවේද? අවසානයේ මේ සියලු මතක එතෙර සිටින ඇය වෙත සිහිනයක් කොට යවන්නට ඕනෑ මුත්, ඒ සේයා‍රුවෙහි ඔහු නොසිටිය යුතු ය. ඔහු නොමැති සේයාරුව සිහිනයෙන් දකින පෙම්වතිය දුකට පත්වනු දැකීම ද ඔහුගේ වුවමනාව? පොසොන් වැස්ස යට සැඟවුණු ප්‍රේම වියොවෙහි චමත්කාරය පොසොන් වැස්ස සංකේතාර්ථයෙන් ඔබ්බට ගොස් විඳ ගන්නට අපි ද කැමැත්තෙමු. එය එතරම් සුන්දර ජීවනානුභූතියකි.

අදහස්