බ්‍රාහ්මණ කොණ්ඩය | සිළුමිණ

බ්‍රාහ්මණ කොණ්ඩය

‘ඒක ඉතින් ඔයාගෙ ප්‍රශ්නයක්. ඔයා බොරු කියන්නෙ එයා ඔයාගෙ හොඳම පාරිභෝගිකයෙක් හින්ද නං මං එයාට මේක කියන්න ඕනි’

‘එපා!’ ‘

‘බල බල ඉන්ඩ බෑ. මොකද ඔයා දුක්විදින්නෙ එයාගෙ ඉවරයක් නැති කතාව අහගෙන ඉන්ඩ බැරි හින්දනෙ. ඒ හින්ද ඒක වහාම එයාට කියන්ඩ ඕනෑ’

‘ඔයා හදන්නෙ මගෙ හොඳම පාරිභෝගිකය ව මට නැති කරල දාන්ඩ. ඒක කරන්ඩ එපා. මං ඔයාට තෑග්ගක් දෙන්නන්’

ඒත් මං ඒක කෙරුවා; කරල තෑගි දෙකකුත් ගත්තා. දෙවෙනි තෑග්ග ගත්තෙ අර මනුස්සයගෙන්. “ඇත්ත කතා කරන එකට තෑගි දෙන්ඩ වටිනවා. කෝ මට තෑග්ගක් දෙන්ඩ. මොකද මං දැන් හදන්නෙ අපේ තාත්තගෙ හොඳ ම පාරිභෝගිකයෙක් එයාගෙන් කඩල දාන්ඩ” මං ඔහුට එහෙම කිව්වා.

එකපාරටම මාව බදා ගත්තු ඔහු මට රුපියල් දෙකක තෑග්ගක් දුන්නා.

‘හොඳට මතක තියාගන්ඩ. අපේ තාත්තගෙ සාප්පුවෙං රෙදි ගන්න එක නං නවත්තන්ඩ එපා. ඒ තියා ඉවරයක් නැතුව කතා කරල එයාට දුක දෙන්ඩත් එපා. ඔයාට කතා කරන්ඩ ඕන්නං ඔය ඕන තරං තැන් තියෙන්නෙ. තාප්ප බිත්ති තියෙන්නෙ. ගස් කොළන් තියෙන්නෙ. මේ මුළු ලෝකෙම තියෙන්නෙ. තමන්ගෙ කාමරේ දොර වහගෙන ඇතිවෙනකං කතාකරන එකනෙ තියෙන්නෙ. එතකොට ඔයාටම එපා වෙයි’ මං කිව්වා.

ඊට පස්සෙ මං ආපහු ගිහිං තාත්තට අර රුපියල් දෙකේ තෑග්ග පෙන්නල මෙහෙම කිව්ව. ‘ දුක්වෙන්ඩ එපා. මේ බලන්ඩ. මට ඔයාගෙං හම්බවුණේ එක රුපියලයිනෙ. මේ රුපියල් දෙකේ තෑග්ග මට හම්බවුණේ ඔයාගෙ අර පාරිභෝගිකයගෙන්. දැන් මට ඔයා තව රුපියලක් ණයයි. ඔයාට සිද්ධවෙනව ඒකත් මට දීල දාන්ඩ. මොකද මං ඇත්ත කිව්වනෙ. බයවෙන්ඩ එපා. මං එයාව හොඳ පාරිභෝගිකයෙක් කෙරුවා. මීට පස්සෙ එයා ඔයාව හොයාගෙන ඇවිත් ඉවරයක් නැතුව කියෝන එකක් නෑ. එයා මට පොරොන්දු වුණා’

‘ඔයා මහ පුදුම වැඩක්නෙ කරල තියෙන්නෙ’ තාත්ත පුදුම වෙලා කිව්වා. එදා පටන් අර මනුස්සය ඔහෙ කියෝ කියෝ ඉන්ඩ ආවෙ නෑ. ආවනං වැඩි කතාබහක් නැතුව කෙළින්ම රෙදි අරන් යන්නම් කියල ගියා. හැබැයි එයා තාත්තගෙ සාප්පුවෙන් රෙදි ගන්න එකන්ම් නැවැත්තුවෙ නෑ.

‘ඔයාගෙ පුතා හින්දයි මං දැන් මේ සාප්පුවට එන්නෙ. ඒ කතාව අහල මගෙ හිත හොඳටම රිදුණා. ඒත් මේ පුංචි දරුව අපි දෙන්නව ම බේර ගත්තා. දන්නවද එයා මට කිව්වා “අපේ තාත්තගෙ සාප්පුවෙන් රෙදි ගන්න එක නවත්තන්ඩ එපා. එයා යැපෙන්නෙ ඔයාගෙන්” කියලා. ඒකෙන් මගෙ හිත කොච්චර ගැස්සිලා ගියාද කිව්වොත් මං එයාට රුපියල් දෙකකුත් දුන්නා. මීට ඉස්සර කිසි කෙනෙක් බය නැතුව මගෙ මූණට කියල නෑ; මගෙ කතාව අහගෙන ඉන්ඩ අමාරුයි, ඒක මහ වදයක් කියලා’

එයා තමයි ගමේ ම හිටිය පෝසතා. ඉඩකඩං වැඩිහරියක අයිතිකාරයා. හැමෝටම එයත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබුණා. මිනිස්සු සල්ලි ණයට ඉල්ල ගත්තෙ එයාගෙන්. ගොවිතැන් කරන්ඩ ඉඩම් ඉල්ල ගත්තෙත් එයාගෙන්. ඒ හින්ද කිසිකෙනෙක් එයාගෙ මූණට මුකුත් කියන්ඩ බය වුණා.

‘ඒ කතාව මගෙ හිතට තදටම වැදුණා. මං දන්නවා මිනිස්සු මගෙ කතාව අහගෙන ඉන්නෙ අකැමැත්තෙන් කියලා. මගෙ හිතට එන දේවල් තමයි මං කියවන්නෙ. ඒක මටම එපා වෙලයි තියෙන්නෙ. මං කවුරු හරි හොයාගෙන ගිහින් ඔහේ කියවන්නෙ මගෙ හිත නිදහස් කරගන්ඩයි. ඒ කතාව අහගෙන ඉන්න මිනිස්සුන්ටත් ඒක එපාවෙන බව මං දන්නවා. ඒත් හැමෝම වගේ මට මොන විදිහකින් හරි ණයගැති හින්ද මොකුත් නොකියා අමාරුවෙං හරි මගෙ ඉවරයක් නැති කතාව අහගෙන ඉන්නවා. ඒත් මේ ළමයට මං එක්ක ඒ වගේ ණයගැතිකමක් නෑනෙ. ඒ හින්ද එයාගෙ හිත නිදහස්. බය නෑ. එයා තෑග්ගකුත් ඉල්ලුවා. “ ඔයා ඇත්ත කියනවට තෑගි නොදුන්නොත් ඔයාට තෑගි දෙන්ඩ වෙන්නෙ බොරු කියන එකටයි” කියලත් කිව්ව.

මෙන්න මේ හින්ද තමයි මේ සමාජෙට මේ තරම් පිස්සු හැදිල තියෙන්නෙ. හැමෝම ඔබට උගන්වන්නෙ සත්‍යවාදී වෙන්ඩ කියලා. හැබැයි කිසිකෙනෙක් ඇත්ත කියනවට තෑගි දෙන්නෙ නෑ. ඒ හින්ද ඒ අයම පරස්පරතාවක්, භින්නෝන්මාදයක් නිර්මාණය කරනවා.

අපේ පවුල ජීවත්වෙච්ච තැනට කඩපේළි දෙක තුනක් එහායින් බ්‍රාහ්මණ පවුලක් ජීවත් වුණා. මහ හණමිටිකාර බ්‍රාහ්මණ පවුලක්. බ්‍රාහ්මණ පිරිමි ඔළුවෙ හත්වෙනි චක්‍රය කියන හරියෙ කොණ්ඩෙ ටිකක් ඉතුරුවෙන්ඩ ඉතුරු සේරම බූගාල දානවා. ඉතින් අර කොටස දිගටම වැවෙනවා. ඒක තොප්පියක් ඇතුළෙ හරි තලප්පාවක් ඇතුළෙ හරි රඳව ගන්නවා. අපේ තාත්තටත් ඒ වගේ දිග කොණ්ඩ වලිගයක් තිබුණා. දන්නවද මං කරපු දේ; දවසක් මං ඒක කපල දැම්මා.

උෂ්ණ කාලෙදි ඉන්දියාවෙ මිනිස්සු නිඳාගන්නෙ ගෙයින් පිට. මොකද ගෙවල් ඇතුළෙ නිඳාගන්ඩ බැරි තරමට උෂ්ණයි. ඒ හින්ද මිනිස්සු ඇඳන් තොටිලි උස්සගෙන පාරට එනවා. මුළු නගරෙම රෑට බුදියගන්නෙ මහ පාරෙ.

ඉතින් අපේ තාත්තත් රෑ ඒ විදිහට නිඳාගෙන හිටියා. තාත්තගෙ බ්‍රාහ්මණ කෙස්ස හරි දිගයි. කොච්චර දිගද කිව්වොත් අකුළ ගත්තම කොණ්ඩ ගුළියක් හැදෙනවා. ඒක හැමතිස්සෙම රඳවගෙන තිබුණෙත් තලප්පාව ඇතුළෙ හින්ද අපිට පෙණුනෙ නෑ. ඉතින් එදා රෑ තාත්තා තොටිල්ලෙ නිඳාගෙන ඉන්දැද්දි ඒක පාතට එල්ලිලා පාරටත් වැටුණා. ඒක ඒ තරං දිග හින්ද කපල දාන්ඩ ඕනෑ කියන හැඟීම පාලනය කරගන්ඩත් මට බැරිවුණා. මම ගෙට දුවල ගිහින් කතුර අරන් ඇවිත් ඒක සම්පූර්ණයෙන් ම කපල ගෙනිහින් මගෙ කාමරේ තියල තිබ්බා.

 

ලබන සතියට

අදහස්