ලේඛ­ක­යන් හදන රටක් | සිළුමිණ

ලේඛ­ක­යන් හදන රටක්

පැරිසියේ මනරම් ලක්ස්ම්බර්ග් උද්‍යානය මැදින් ගිය වසරේ ඔක්තෝබර් මාසයේ දිනක මම ගමන් කරමින් සිටියෙමි. ගිම්හානය නිමා වී නගරය සීත කාලයට සැරසෙමින් සිටි නිසා උද්‍යානයේ අසංඛ්‍යාත වෘක්ෂයෝ කහ පැහැ ගනිමින් සිටියහ .

දහ හත් වන ශත වර්ෂයේදී ප්‍රංසය පාලනය කල හතරවන හෙන්රි රජුගේ බිසව වූ Marie de Médicis ගේ අනුදැනුම ඇතිව බිහි වුණු හෙක්ටයාර් 23 න් යුත් මේ උද්‍යානය ප්‍රංස සෙනට් සභාවේ නිල ගෙවත්තයි. එය නගරවාසීන්ගේ පමණක් නොව සංචාරකයන්ගේ පවා සිත් ගත් තැනකි.

වෙනස් වන සිව් සෘතුවලදී නන් පැහැ ගන්නා මේ ඉඩම නිරන්තරයෙන්ම ජනයාගෙන් පිරී තිබේ. සිරුරේ හැඩය ගැන සිතනා උන්ගේ, මනා සෞඛ්‍ය පැවැත්ම ගැන සිතනා උන් ගේ ව්‍යායාම දිවිල්ල සිදු වන්නේ මෙහිදීය.

මේ කියනා දිනයේ උද්‍යානයේ ඇවිද යන මට ඒ මිනිසා දැක ගත හැකි විය. ඔහුගේ වයස අවුරුදු 70 පසු කරනා බව මම දැන සිටියෙමි. එහෙත් මිටර් දෙකකට ආසන්න උසක් තිබුණු ඒ උත්තුංග දේහයේ ඇදක් කුදක් පෙනෙන්නට තිබුණේ නැත. මිනිසාව හදුනාගත් ඇතැමෙක් ඔහු සමග කතා කරන්නට ඉදිරිපත් වුණු විට කිසිදු පැකිළීමක් නොමැතිව ඉතා සුහද ලෙස ඔහු ඒ අය සමග කතා කළේය. ගෙවී යන කාලය ගැන පවා කිසිදු තැකීමක් ඔහු සතුව නොවිණ. මේ මිනිසා අන් කිසිවෙක් නොවේ. සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් සම්මානය 2014 වසරේදී දිනා ගත් පැට්රික් මොදීආනෝ (Patrick Modiano) ය.

සත්‍ය වශයෙන්ම මේ මහා ලේඛකයාව ලාංකික පොත් සිත් ඇත්තෝ නොදන්නවා විය හැකිය. සමකාලින ප්‍රංස සාහිත්‍යය ගැන අපේ රටේ ඇත්තෝ නොදන්නේ හුදෙක්ම සාහිත්‍යය ලෝකයේ කැපී පෙනෙන ප්‍රංස පොත් සිංහලට පරිවර්තනය නොවන නිසා බව පැහැදිලිය.

තවද මොදිආනෝ ගේ පොත් පරිවර්තනය කරන්නට අපහසු පොත් ලෙසින් සැලකේ. පරිවර්තනය කරන්නට පමණක් නොවේ. ඒවා කියවන්නට පවා අපහසු පොත්ය. ප්‍රංසයේ ඉහළ ම සාහිත්‍ය සම්මානය වන "ගොන්කුර්" දිනාගත් පොත් සියල්ල කියවා නිම කිරීමේ මාන්දමක් එක කලෙක මට ඇතිවිය. මේ මාන්දම හිසේ තිබුණු කාලයේ මොදීආනෝ ගොන්කුර් සම්මානය දිනා ගත් Rue des Boutiques Obscures අතට ගතිමි. අතීත මතකය අමතකව ගොස් ඇති රහස් පරීක්ෂක වරයකු ගැන කියනා ඉතා සංකීරණ මේ කතාව කියවා නිම කරන්නට මාස දෙකක පමණ කාලයක ගතවුණු අතර කියවීම නතර කරන්නට සිතුණු වාර ගණන බොහොමයකි. යළිත් කිසි දිනක මොදීආනෝ ගේ පොතක නොකියවූ නිසා ඔහුගේ සාහිත්‍ය භාවිතය ගැන වැඩි දැනුමක් මට නැත.

එහෙත් මහා සාහිත්‍ය අගයන්නෝ, එහි පහස ලබනා වාසනාවන්තයෝ ඔහුව හොඳින් හඳුනති. නවකතා පොත් 20 කට අධික සංඛාවක් ද, වේදිකා නාට්‍ය ද, කවි හා කෙටි කතා පොත් රාශියක් ලියූ මොදීආනෝ ගේ නම වසර හයක් පුරාම නොබෙල් සාහිත්‍ය සම්මානය සදහා නම් යෝජනා වෙමින් තිබුණි.

කෙසේ හෝ වේවා මේ ලිපිය ඔහු ගැන නොවේ. වරක කතා බහකදී ඔහු මතු කළ ප්‍රකාශයක් පසුපස හබා යමින් වෙනත් කරුණක් ගැන ලියැවුණු ලිපියකි.

අද දවසේ පැට්රික් මොදිආනෝ ධනවත් පුද්ගලෙකි. නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් ඔහුට ලැබුණු මුදලට වඩා සිය ගුණයක් තමන්ගේ පොත් වලින් ඔහු උපයා ගනියි. ඔහුගේ පොත් සියල්ලම පාහේ ලොව භාෂා 35 කට පරිවර්තනය වී තිබේ.

සාහිත්‍ය සඳහාම බිහිවෙන LIRE සගරාව කියා සිටින්නේ 2016 වසරේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල හයක මාසයක කාලයක් පුරා පැවැත්වූ දේශන සදහා ඔහු ඩොලර් මිලියන 1.1 ක උපයා ගත් බවයි.

ප්‍රංසය තමන් උපයන ආදායම අනුව නියත වශයෙන්ම සියල්ලන් ම රජයට ආදායම් බදු ගෙවනා තැනකි. කිසිවකුටත් ආදායම් බද්දෙන් ගැලවිය නොහැකිය. ලේඛකයා යනු සාමාන්‍ය ජනතාවගෙන් වෙනස් වූ පුද්ගලෙක් ය යන මතය සමාජයේ මුල් බැස ගෙන නැති නිසා ලේඛකයන් පවා නියත වශයෙන්ම ආදායම් බදු ගෙවිය යුතුය.

මෙසේ ගෙවන්නට සිදුව තිබෙන ආදායම් බද්ධ අති විශාල නිසාම ඇතැම් ලේඛකයෝ ප්‍රංසය අතහැර දමා ගොස් විදේශයන්හි ජීවත් වෙති.

"ඔබ ධනවත් ලේඛකයෙක්..ඇයි අති විශාල ආදායම් බද්දක් ගෙවමින් මේ රටේ ජිවත් වෙන්නේ.. ? ඇයි ඔබ වෙන රටකට නොයන්නේ..?" වරක් රුපවාහිනී සාකච්ඡාවකදී මොදීආනෝ වෙත එල්ල වුණු ප්‍රශ්නයකට බොහෝ පැහැදිලි පිළිතුරක් ඔහුගෙන් ලැබුණි .

"මම ලේඛකයෙක් වුණේ මේ රට නිසා..මේ රටේ සාහිත්‍යය නිසා. විශේෂයෙන් මම මේ තත්වයට අද පැමිණිලා සිටින්නේ මේ රටේ බදු ගෙවන ජනතාව මට ආර්ථික වශයෙන් උදව් කළ නිසා..."

රටේ බදු ගෙවන ජනතාව මට ආර්ථික වශයෙන් උදව් කළා...යන ප්‍රකාශයේ ඇතුළු පැත්ත තරමක් විමසා බැලීම වටී.

අද දවසේ මොදීආනෝ ධනවත් පුද්ගලයකු බව සැබෑ ය. හැටේ දශකයේදී පොත් ලිවීම ආරම්භ කර යහමින් මුදල් උපයා ගත්තද අසුව දශකය මුල් කාලයේදී ඔහුගේ ආර්ථික පසුබිම බොහෝ පහළට ඇද වැටී තිබුණි. සත්‍ය වශයන් කියන්නේ නම් ඔහු මානසික ආතතියකින් පෙළෙමින් සිටියේලු. මේ කාලයේදී, එනම් 1981 වසරේ අග භාගයේදී මොදිආනෝ ට අලුතින් බලයට පැමිණි සමාජවාදී පක්ෂයේ සංස්කෘතික කටයුතු ඇමැති ජැක් ලෝන්ග් ව මුණ ගැසී තිබේ;

"මේ දවස් වල මොනවද ලියන්නේ..අලුත් පොත පිට වෙන්නේ කවදාද..." යනුවෙන් ඇමතිතුමා ඇසූ විට තමා පසු කරමින් සිටින්නේ අයහපත් කාලයක් බවත්, ආර්ථික ඇද වැටීම නිසා මානසික ආතතියකින් පෙළෙන බවත් මොදීආනෝ කියා තිබේ.

අලුතින් පොතක් ලියන්නේ නම් ඒ සදහා ආර්ථික සහ නවාතැන් පහසුකම් සලසා දෙන්නට තම රජයට හැකි බව ඇමතිවරයා කියා තිබේ. මේ අනුව රජයෙන් ලැබුණු සියයට සියයක ආධාර මත මොදීආනෝ De si Braves Garçons නම් පොත ලීවේය. ඔහුගේ සාහිත්‍ය දිවිය යළි ඉහළ ගියේය. තමාගේ වත්මන් තත්ත්වය ලැබුණේ රටේ බදු ගෙවනා ජනතාව නිසා බව ඔහු කිවේ ඒ නිසා ය.

ආර්ථික අපහසුතාවයන් හෝ වෙනත් බාධක නිසා පොත් නොලියා සිටින ලේඛක ලේඛිකාවන් හට අත දීමට ප්‍රංස රජය ඉදිරිපත් වුයේ අද ඊයේ සිට නොවේ. එය දිගු ඉතිහාසයකින් යුත් කතාවකි. එහෙත් 1981 වසරේ ප්‍රන්සුවා මිතරෝන් ගේ රජය බලයට පත් වීමත් සමඟ සාහිත කලාවන්ට අතහිත දීමේ ව්‍යපෘති වැඩියෙන් බිහි වන්නට පටන් ගත්තේය. ජනාධිපති මිතරෝන් තරම් සාහිත්‍ය ලැදි ජනාධිපතිවරයෙක් ප්‍රංස ඉතිහාසයේ බිහිවී නැත. ඔහුගේ අදහස වුයේ ලේඛකයා ගේ සාමාජීය තත්වය නඟා සිටුවීමට රජය වැඩි වැඩියෙන් ආධාර කළ යුතු බවයි.

දැන් මේ කාර්යය සිදු වන්නේ කෙසේදැයි සොයා බලමු. ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන ලේඛක ලේඛිකාවන්ට උපකාර කරන ඍජු ව ම රජයට සම්න්ධ ආයතන, සංවිධාන ප්‍රමාණය දහස් ගණනක් ප්‍රංසය පුරාම තිබේ. මේ සියල්ලක් ම පාලනය වන්නේ, මෙහෙයවනු ලබන්නේ අදාළ ප්‍රදේශයේ නගර සභාව විසිනි. එහෙත් සංස්කෘතික අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාලනය වන මුල් පෙළේ සංවිධාන තුනකි.

1. CENTER NATIONAL DE LIVERS - CNL (NATIONAL CENTER OF BOOKS )

2. SOCIETY DES GENS LETTRE -CGDL (WRITER 'S SOCIETY )

3.LA MAISON DES ECRIVAINS ET DE LA LITERATURE -MEL (THE HOUSE OF WRITERS AND LITERATURE )

මේ ආයතන තුනෙන්ම සිදු වන්නේ එක හා සමාන කාර්යයකි. එහෙත් MEL හි කාර්යයන් තරමක් විහිදී පැතිර ඇති නිසා ඔවුන් ක්‍රියාකරන්නේ කෙසේදැයි සොයා බලමු.

මේ ආයතනයෙන් ආධාරයක් හෝ වෙනත් උදව්වක් ඉල්ලා සිටීමට එක් සුදුසු කමක් තිබිය යුතුය. එනම් අඩුම තරමින් ඔබ එක පොතක් හෝ ලියා ප්‍රකාශයට පත් කර තිබීමයි. ඔබ එක පොතක් ලිය තිබේ. ඒ පොත නවකතාවක්, කවි පොතක්, හෝ වෙනත අන්දමක පොතක් වේවා අලෙවිය අතින් අති අසාර්ථක වී තිබේ. ඔබ වෙනත් රැකියාවක් නොකරන නිසා, ඔබේ කැමැත්ත හා අභිමතය වන්නේ සාහිත්‍ය කෘතියක් බිහි කිරීම නිසා දැන් ඔබට ජීවත් වීමට කිසිදු ආර්ථික පහසු කමක් නැත. ජිවත වන්නට අතේ සතේ නැති නිසා ලියන්නට මානසිකත්වයක් ද නැත. මේ තත්වය ඔබ MEL ආයතනයේ බලධාරීන්ට කියා සිටි විට ඔවුන් ඔබට උපකාර කරන්නට ඉදිරිපත් වෙති. මේ උපකාර් කිරීම සිදු වන්නේ ආකාර කිපයකිනි.

ඒවා මෙසේය.

1. යුරෝ 25000 දක්වා මුදල් ආධාර ලබා දීම. මේ මුදල එදිනෙදා වියදම් සදහා යොදා ගත හැකිය.

2. ලියන්නට වුවමනා දේ (පරිගණකයක් හෝ වෙනත් දේ) ලබා දීම

3. වුවමනා නම් නවාතැන් පහසුකම් ලබා දීම (ඒ සදහා වෙන් වුණු විශේෂ නිවාස රජය සතුය)

4. පොත ලියන්නට උවමනා වන අනෙකුත් ලියකියවිලි, වාර්තා , පුස්තකාල පහසුකම් නොමිලේ ලබා දීම.

5.පොතේ ප්‍රකාශනය සඳහා ප්‍රකාශකයෙක් සොයා දීම.

6. පොතේ ප්‍රචාරක කටයුතු සදහා වුවමනා වන ජනමාධ්‍ය හමු සුදානම් කිරීම.

රජය මෙසේ ඔබට වියදම් කරනා මුදල යළි ඔවුන් ලබා ගන්නේ කෙසේද..?

මෙහිදී සිදු වන්නේ MEL ආයතනය කෙලින්ම පොතේ ප්‍රකාශකයා සමඟ සබන්ධ වීමයි. පොතේ අලෙවිය හොඳින් සිදුවන්නේ නම් ප්‍රකාශකයා මුලින්ම කළ යුත්තේ ආයතනය ලේඛකයාට වියදම් කළ මුදල යළි ගෙවීමයි. යම් හෙයකින් පොත අසාර්ථක වී කිසිදු අලෙවියක් පෙන්නුම් නොකරන්නේ නම් එකදු සතයක් වත් යළි ගෙවිය යුතු නොවේ. (නිල වාර්තා වලට හොරෙන් පොත් අච්චු ගසා අලෙවි කිරීමේ හැකියාවක් ප්‍රංස ප්‍රකාශකයාට නැත. සියල්ල හොඳින් පාලනය වන නිසා රජයට බොරු කළ නොහැකිය.)

නියත වශයෙන්ම යම් අයකුට ඉහත ආයතන වලින් ආධාර උපකාර ඉල්ලා සිටිය හැක්කේ එක් වතාවක් පමණි. ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව වැඩි නිසා එක් අයකුට දෙවරක් උදව් කරන්නට ඔවුහු ඉදිරිපත් නොවෙති.

ගෙවුණු වසරේ පමණක් ඉහත ආයතන වලින් ආධාර ලැබුවන්ගේ සංඛ්‍යාව 480ක් බව සංස්කෘතික අමාත්‍යංශයේ වාර්තා දක්වා සිටියි. ඔවුන් සඳහා වැය කළ මුදල යළි ලබා ගන්නට හැකි වී ඇත්තේ 28 දෙනකුගෙන් පමණක් වීම ද මෙහිදී සඳහන් කිරීම වටී. එසේ නම් අපතේ යන මුදල රජය දරන්නේ කෙසේද..? මේ මුදල රජය සොයා ගන්නේ පොත් ප්‍රකාශකයන්ගෙන් සහ බෙදාහරින්නන් වෙතින් ලබා ගන්න තවත් එක් විශේෂ බද්දක් මගිනි.

ප්‍රංස දේශපාලන බලධාරින් තනතුරුවලට ළඟා වන්නේ අහසින් වැටෙනා උන් මෙන් නොවේ. සුදුසු ආයතන වලදී සුදුසු අධ්‍යාපනය ලබනා ඔවුහු නිසි තනතුරු වලට පත් වෙති. එසේ පත් වුණු විට අනාගතය වෙනුවෙන් මනා සැලසුම් සදන්නට ඔවුන්ට හැකියාව ලැබෙයි. ඒවා මැනවින් ක්‍රියාත්මක කරන්නට ද හැකියාව ලබයි.

නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබූ පැට්රික් මෝදීආනෝ එක අතකින් බලනා කල ප්‍රංස රජයේ ප්‍රති නිර්මාණයකි. වසර 37කට පෙර රජයෙන් ආධාරය නොලැබුණා නම් තමා දැඩි අපහසු තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබුණු බව පැවසු ලේඛකයා ඒ අපහසුතාවය මරණය කරා තමාව රැගෙන යන්නට පවා ඉඩ තිබුණු බව ද කියා සිටියේය. මේ ලිපිය නිම කරන්නට පෙර නොබෙල් සම්මානය දිනු පසුව මොදිආනෝ ප්‍රංසයේ 05 වන් චැනලය සදහා ලබා දුන් සාකච්ඡාවෙන් කොටසක් උපුටා දක්වමි.

වැඩසටහන් ඉදිරිපත් කරනා FRANCOIS BUSNEL මුලින්ම මැදිරියේ තත්පර ගණනකින් පසු මොදිආනෝ ගේ නිවසට යයි. එහිදී අප ඔහුව දකින්නේ නි‍ෙවසේ ඔහුගේ කන්තෝරු කාමරයේදී ය.

ඔහු තමාගේ නි‍ෙවසේ පොත් 50000 ක් තිබෙනා බව මොදිආනෝ වරෙක කියා තිබුණි. තමාට මේ නිවසෙත්, අනෙක් ඕනෑම තැනකත් ලියන්නට හැකි බව පවසන මොදිආනෝ ඇමරිකානු ලේඛක Scott Fritzgerald සම්බන්ධ සිද්ධියක් ගෙන හැර පායි.

විශාල පොත් ගොන්නක් මැද සිට ලියනා විට තවත් පොතක් මේ අතරට එක් කරන්නේ ඇයි දැයි තමාගෙන් ම අසා ගත් ෆ්රිට්ස් ජේරල්ඩ් එක මොහොතක මානසික අසහනයට පත්ව මධුවිතට ඇබ්බැහි වුණු බව මොදිආනෝ කියයි.

ලේඛනකරණය යනු කිසිවකුගේ බලපෑමක් යටතේ සිදු නොවන්නක් නිසා තමන් විසින්ම වැඩ කරනා කාල වෙලාව ගැන දැඩි තීරණයකට පැමිණිය යුතු බව ඔහු කියයි. දින දෙකක් නොලියා සිටියෝතින් තමන් අධෛර්යයට පත් වන බවත් ඔහු කියා තිබේ.

 

අදහස්