අවුකන ප්‍රගති කැකුළු පෙර පාස‍ෙල් විවිධ ප්‍රසංගය 2018 | Page 2 | සිළුමිණ

අවුකන ප්‍රගති කැකුළු පෙර පාස‍ෙල් විවිධ ප්‍රසංගය 2018

අවුකන ප්‍රගති කැකුළු පෙර පාසලේ මෙවර වාර්ෂික විවිධ ප්‍රසංගය දෙසැම්බර් මස 13 වැනි පෙර පාසල් භූමියේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ගල්නෑව ප්‍රාදේශීය ලේකම්තුමා සහ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක අජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ විවිධ අවස්ථාවන් මෙහි දැක්වේ. මේ සදහා මීට පෙර වසරවලදී අධ්‍යාපනය ලැබූ දරුදැරියන් සහ ඔවුන්ගේ මවුපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. ඡායාරූප - දුලාජ් රෝජිත


බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ජේසුතුමාගේ උපත සමරති

 තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීම්ශාලා පරිශ්‍රයේදි ජේසුතුමන්ගේ උපත සිහිකිරීම සඳහා කිතුනු භක්තිගීත වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබුණි. මෙම කිතුනු භක්තිගීත වී. ඒ මානෙල් දමයන්ති බොතේජු මහත්මිය විසින් පුහුණු කර සන්දර්ශනගත කර තිබිණි. තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක, එහි උප සහකාර ලේකම්වරුන් වන සුගත් කස්තුරිසිංහ, විජිතා පලංසූරිය, හා සමාජසේවා අංශයභාර නිලධාරිනී චම්පිකා ජයවර්ධන යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට සහභාගි වූ අතර, මෙම කැරොල් ගීත සන්දර්ශනයේ විශේෂත්වය වන්නේ එහි කිතුනු ගීත ගායනා කළ සියලුදෙනාම බෞද්ධයන් වීමයි.


ගී පද රචකයකු ලෙස ඉදිරියට එන වරුණ නාපාගොඩ

“ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ

මල් වළට කිරි ඕලු මලක් වගේ

පෙර සසර පුරුද්දට වගේ දැනේ

නුඹ හිනා වුණා අද උදෑසනේ”

 

කීර්ති පැස්කුවල් ගයන මේ ගීතයේ පද රචකයා වන්නේ නව පරපුරේ නිර්මාණකරුවකු වන වරුණ නාපාගොඩය. වෘත්තියෙන් ගුරුවරයකු වන වරුණ නිර්මාණකරුවකු ලෙසින් ඉදිරියට එන්නේ ගී පද රචකයකු ලෙසිනි.

අත්තනගල්ල කඹුරාගල්ල ගමේ උපන් වරුණ මුලික අධ්‍යාපනය ලබන්නේ කඹූරාගල්ල මහා විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලබන්නේය. කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබූ වරුණ පාසල් වියේ සිටම නිර්මාණකරණයේ නියැලෙන්නේය.

“ පාසල් වියේ සිටම පොත පත කියවන්න තිබූ උනන්දුව නිසාම මට ලියන්නත් ආශාව ඇති වුණා. මම පොඩි කාලේ ඉඳලම කවි ලිව්වා. පාසලේදි කවි ආදිය ලියලා මම තරග වලින් ජය ලබා තියෙනවා. එසේ ජය ලැබූ එක් තරගයකින් තෑග්ගක් ලෙස මට ලැබුණේ මහින්ද චන්ද්‍රෙස්කර මහතාගේ සරෝජා කියන කවි පොත. පාසල් කාලෙදි වගේම මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් නිර්මාණකරණයේ යෙදුණා. කලක් මම අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙත්, බාඳුරාගොඩ පිරිවෙනෙත් ඉගැන්නුවා. දැනට මම එඬේරමුල්ල රාහුල විද්‍යාලයේ උගන්වනවා. ඉගැන්වීමෙනුත් නිර්මාණකරණයේ යෙදීමෙනුත් මම ලබන්නේ අපමණ සතුටක්.”

වරුණ පවසන්නේය.

ඔහු මේ වන විට ගී නිර්මාණ කිහිපයක්ම කර ඇත්තේය.

“අද අලුත් අපට උදව් කරන්න ඉන්න පිරිස අඩුයි. එහෙම වුණත් මා ලියූ ගීත ගැයුවේ ප්‍රවීණ ගායන ශිල්පියකු වන කීර්ති පැස්කුවල් මහතා. එතුමාගේ තරුපොකුර CD තැටියෙන් මගේ ' ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ 'ගීතය ඇතුළත් කර තිබෙනවා. ඒ හැරුණම මා ලියූ අනෙක් ගීත ගැයුවේ නිලක්ෂී හැලපිටිය සොයුරිය හා තරිඳු පටබැඳිගේ සොහොයුරා. මේ ගීතවලින් ගී නිර්මාණ තුනක්ම සංගීතවත් කළේ විශාරද දර්ශන වික්‍රමතුංග සොහොයුරා. අනෙක් ගීතය සංගීතවත් කළේ හෂාන් සොයිසා සොහොයුරා. මම මේ වසරේදි තවත් ගී නිර්මාණ කිහිපයක්ම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ දිනවල සුදානම් වෙමින් ඉන්නේ. මගේ ඊළඟ අපේක්ෂාව තමයි නවකතාවක් ප්‍රකාශයට පත්කිරිම. නිර්මාණකරුවකු ලෙස ඉදිරියට එන්න මට බොහෝ දෙනකු අතදී තිබෙනවා. ඒ හැම‍ෙදනාටම මම ස්තුතිවන්ත වෙනවා.”

වරුණගේ ලිපිනය

348A/1 කඹුරුගල්ල, රුක්ගහවිල.

ඉසවි


රාවණ සීතාභිලාෂය සංගීතමය නාට්‍යය18 වැනිදා

නාමෙල් වීරමුනි අධ්‍යක්ෂණය කළ සංගීතමය වේදිකා නාට්‍යය ‘රාවණ සීතාභිලාෂය’ ලබන18 වැනිදා සිකුරාදා සවස 3.45 ට සහ 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට්හිදී වේදීකාගත වේ. එය මහාචාර්ය ජේ. බී. දිසානායකගේ හා නාමෙල් වීරමුනිගේ සංකලිතික රචනයක් වන අතර ජයන්ත අරවින්ද හා ලයනල් ගුණතිලක සංගීතය නිර්මාණය කර ඇත. නැටුම් පුහුණුව අකිල පලිපානගෙනි. රජිත හේවතන්ත්‍රිගේ, සුරංගි කෝසලා, චමින්ද මිරිහාගල්ල, නිහාරි සෝමසිරි, නිලක්ෂි හැලපිටිය ඇතුළු නළු නිළි පිරිසක් එහි රඟපාති.

අදහස්