නව වසරේ බොලි­වු­ඩය සැබෑ­ වෙ­න­ස­කට සූදා­නම් | සිළුමිණ

නව වසරේ බොලි­වු­ඩය සැබෑ­ වෙ­න­ස­කට සූදා­නම්

ප්‍රේමය, විරහව, පළි ගැනීම, සතුරා සමඟ සටන් වැදීම, මිය ගිය කතා නායකයා / කතා නායිකාව යළි පණ ලැබීම බොලිවුඩ් සිනමා පටයකට පොදුවූ මසාල ලකුණුය. වසර ගණනාවක් පුරා රසිකයන් වශීවී සිටියේ ඒ වට්ටෝරු සිනමාවටය. එහෙත් දැන් ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය උඩුගං බලා යමින් පවතී.

නිමාවූ 2018 බොලිවුඩ් සිනමාව තරම් නිදර්ශනයක් ඊට තවත් නම් නැත. ශාරුක්, සල්මන්, අමීර් යන ඛාන් ත්‍රිත්වය රජ කළ බොලිවුඩ් සිනමාවේ දක්නට ලැබුණේ ඛාන් ත්‍රිත්වයේ බොක්ස් ඔෆිස් පරාජයන්ය. සල්මන්ගේ රේස් 3, ශාරුක්ගේ සීරෝ, අමීර්ගේ තග්ස් ඔෆ් හින්දුස්ථාන් වියදම පියවා ගැනීමට තරම්වත් ආදායමක් නොලැබීය.

සාම්ප්‍රදායික වට්ටෝරු සිනමා පට වෙනුවට ජනතාව සෙනෙහසින් වැලඳ ගත්තේ පොළොවේ පය ගසා සිටි සැබෑ මිනිසුන්ගේ කතා, ජාතික ප්‍රබෝධයක් ඇති කරන තේමාවන් රැගත් කතා ඇතුළත් සිනමා පටය. අක්ෂේ කුමාර් රැඟූ පෑඩ් මෑන්, ගෝල්ඩ් ගෙතුණේ දේශයේ විරුවන් දෙදෙනකු වටාය.

සුයි ධාග්ගා ජාතික සංවර්ධනයට අත්වැලකි. කාන්තාව කේන්ද්‍ර කර ගත් සිනමා පටවලට මෙතෙක් බොලිවුඩයේ එතරම් ඉල්ලුමක් නොතිබුණ ද තව දුරටත් එය එසේ නොවන බවට ආලියා බාත්ගේ රාසි සාක්ෂියකි. අන්ධාධූන්, ස්ත්‍රී, මැන්ටෝ, මන්මාර්සියාන්, මෝහල්ලා අසි, බධායි හෝ, මුක්කාබාස්, රෙයිඩ්, මුල්ක් වැනි විශිෂ්ට නිමැවුම් 2018 දී ප්‍රේක්ෂකයන්ට රස විඳීමට හැකි විය. බධායි හෝ වයස්ගත කාන්තාවක ගැබ් ගැනීමේ කතාවකි. ඉන්දියානු සිනමා ඉතිහාසයේ මින් පෙර එවැනි කතා ජනප්‍රිය වී නොමැත. තරු පවුලක සබඳතාවක් නොමැතිව තිරයට එක්වූ නවකයන් රැඟූ සිනමා පට සුපිරි තරු රැඟූ සිනමා පටවලට වඩා ජනප්‍රිය වූ අවස්ථා තිබිණි.

2019 ඇරැඹෙන්නේ ජනවාරි මාසයේදීම පෙරළිකාර සිනමා පට කිහිපයක් නැරඹීමේ වරම ප්‍රේක්ෂකයන්ට උදා කරමිනි. යූරි - ද සර්ජිකල් ස්ට්‍රයික්, බොම්බයිරියා, ද ඇක්සිඩෙන්ටල් ප්‍රයිම් මිනිස්ටර් ජනවාරි 11 වැනි දින තිරගත වූයේ බොලිවුඩයේ පළමු වෙනසට මුල පුරමිනි. කාශ්මීරයේ යූරි හමුදා කඳවුරට එල්ලවූ මැර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉතා රහසිගතව සිදු කෙරුණු හමුදා මෙහෙයුමේ වීර කතන්දරය යූරි - ද සර්ජිකල් ස්ට්‍රයික් බොහෝ විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්වී ඇත. මෙවැනි සිනමාත්මක අත්දැකීමක් ඉන්දියානුවන් බොම්බයිරියා ජංගම දුරකථනය නැතිවීමෙන් පසු මෙග්නා නම් තරුණිය මුහුණ පාන ප්‍රහසනාත්මක අත්දැකීම් සමූහයකි. (බ්ලැක් කොමඩියකි) ඉන්දියාවේ 14 වැනි අගමැති ආචාර්ය මන්මෝහන් සිං ගේ ජීවිත කතාව ද ඇක්සිඩෙන්ටල් ප්‍රයිම් මිනිස්ටර් මඟින් විවරණය කෙරෙයි.

සත්‍ය කතා, සිදුවීම් පදනම්වූ සිනමා නිර්මාණ කිහිපයක්ම මේ වසරේ ප්‍රේක්ෂක, විචාරක මනාප ලැයිස්තුවේ තිබේ. ජනවාරි 25 තිරගතන වන තැකරි (ශිව් සේනා නිර්මාතෘගේ ජීවිත කතාව), චීට් ඉන්ඩියා (වර්තමාන ඉන්දීය අධ්‍යාපන සහ රැකියා පද්ධතියේ විෂමතා), මනිකර්නිකා (1857 ජීවත්වූ විප්ලවකාරිය රාණි ලක්ෂ්මීබායිගේ චරිත කතාව), ආනන්ද් කුමාර් නම් ලෝ සුපතළ ගණිතඥ ආනන්ද් කුමාර්ගේ ජීවන වෘතාන්තය සුපර් 30, පෙබරවාරි 14 වැලන්ටයින් දිනයේ තිරගත වන මූම්බායි වීදි රැපර් ගායකයන්ගේ ජීවිත ඇසුරින් නිමවූ ගලි බෝයි, මාර්තු 21 තිරගත වන කේසාරි (1897 ඇෆ්ගනිස්තානුවන් දස දහසකට එරෙහිව සටන් වැදුණු සික් ජාතිකයන් විසි පස් දෙනාගේ කතාව), අගෝස්තු 15 වැනි දින තිරගත වන මිෂන් මංගල් (ඉන්දියානු අභ්‍යවකාෂ පර්යේෂණ ආයතනයෙන් අඩු වියදමකින් සාර්ථකව සිදු කළ චන්ද්‍ර කක්ෂ මෙහෙයුමේ පුවත), දෙසැම්බර් 6 දින තිරගතවන පානිපාත් (1761 මරාතාස් සහ ඇෆ්ගනිස්තාන් රජ අහමඩ් ෂා අබ්ඩාලි අතර පැවැති යුද්ධය පසුබිම් කරගත්තකි.), ඔපරේෂන් කුර්ක්‍රි (වසර 2000 දී සියරා ලියෝන්හි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ඉන්දියානු හමුදා සැලැස්ම ඇතුළත්), නොවැම්බර් 22 තිරගත වන තානාජි - ද අන්සන්ග් වොරියර් (17 වැනි සියවසේ ජීවත්වූ තනාජි මලුසාරේ හමුදා නායකයාගේ කතාව), ශකීලා (දකුණු ඉන්දියාවේ සරාගී තාරකාවකවූ ශකීලාගේ ජීවිත කතාව) ඒ අතරින් ප්‍රධානය.

ඒක් ලඩ්කි කෝ දේකා තෝ එයිසා ලගා , 1942 ලව් ස්ටෝරි සිනමා පටයේ ජනප්‍රිය ගීතයේ වදන් පෙළ නම කර ගත් අනිල් කපූර් රඟන වෙනස්ම තේමාවක් මුල් කරගත් සිනමා පටයක් පෙබරවාරි 1 වැනි දින රසිකයන්ට නැරඹීමට ලැබෙයි. අසතුටුදායක යුග දිවියක් ගත කරන දියණියක පියා ඔහු සමඟ සේවය කරන සේවිකාවන් සමඟ අනිසි සබඳතා පවත්වන බව දැනගත් විට දක්වන ප්‍රතිචාර ප්‍රේක්ෂක කුතුහලය ඉහළ නංවා ඇත. ‘ඒක් ලඩ්කි කෝ දේකා තෝ එයිසා ලගා‘ හි අනිල් කපූර් පියා ලෙසත් ඔහුගේ සැබෑ දියණිය සෝනම් දියණිය ලෙසත් රඟති. ඔවුහු පියා සහ දියණිය ලෙස තිරයේ රඟනු ලබන්නේ ප්‍රථම වරටය.

තරුණයකුගේ මරණය ගැන රහස් පරීක්ෂණයක යෙදෙන නීතිඥයාගේ කතාව බාදිලා ද වසරේ බලාපොරොත්තුවකි. 2014 තිරගතවූ ඔඩේ ටු මයි ෆාදර් ජනප්‍රිය කොරියානු සිනමා පටය ඉන්දියානුකරණයවී භාරත් නමින් ජූනි 5 වැනිදා තිරයට පැමිණෙයි.

පෙබරවාරි 8 වැනි දින තිරගත වන අපරාධ සිනමා පටයක් වන සොන්චිරියා, අද්භූත රසය කුළු ගන්වන අමාවාස් ද වසරේ බලාපොරොත්තුය. මාර්තු 29 තිරගත වන මෙන්ටල් හයි කියා අධ්‍යක්ෂවරයා ප්‍රකාෂ් කොවෙලමුදි පවසන අන්දමට ප්‍රහසනයක් හෝ ත්‍රාසජනක මනෝ සිනමා වෘතාන්තයක් නොවෙයි. එය කෙබඳු වර්ගයකට අයත් සිනමා පටයක්දැයි කිව නොහැකි තරමට වෙනස් මඟක් ගත් ඉන්දීය සිනමා සිත්තමකි. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ කන්ගනා රනවුත් සහ රාජ් කුමාර් රාඕ වීමෙන්ම සිනමා පටයේ පෙරළිකාර බව කෙනකුට සිතා ගත හැකිය.

ජනප්‍රිය සිනමාවලීන් වන ටෝටල් ධමාල්, ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2, හවුස්ෆුල් 4, කික් 2 නව රසයකින් රසිකයන් ඉදිරියේ 2019 වසරේදී පෙළ ගස්වා ඇත. අති සාර්ථක 2018 වසර සමඟින් අක්ෂේ කුමාර් 2019 වසරට පිවිසෙන්නේ කේසාරී, මිෂන් මංගල්, ගුඩ් නිව්ස්, හවුස් ෆුල් 4, සූර්යවන්ෂි යන සිනමා පට පහකට රංගන දායකත්වය ලබා දෙමිනි. මේ නිසා ඉන්ඩියා ටුඩේ නම් කර ඇත්තේ 2019 අක්ෂ් කුමාර්ගේ වසර ලෙසය. 2019 තිරගත වන සිනමා පට 11 ටම ඇත්තේ ඉංග්‍රීසි නම් වීම ද වසරේ සුවිශේෂීතාවකි.

අන්තර්ජාලය ඇසුරෙනි

 

Comments