පිනි පොද වැස්සේ නාලක දුටු­වෙමි | සිළුමිණ

පිනි පොද වැස්සේ නාලක දුටු­වෙමි

පසුගිය වසර කිහිපය පුරාම ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර නාලක, නාලක ස්වර්ණතිලක දකින්නට ලැබිණ. එක්කෝ ඔහුගේ වයිට්ලීෆ් ප්‍රසංග කලා ඇකඩමියේ (Whyteleafe Performing Arts Academy) දූපුතුන්ට විශිෂ්ටතා සම්මාන පිදෙන උලෙළක දීය, නැත් නම් ඔවුන්ගේ දූපුතුන්ගේ නිර්මාණ කුසලතා වේදිකාවක් මත, ප්‍රේක්ෂාගාරයක් හමුවේ ප්‍රදර්ශනය කෙරෙන මොහොතක දී ය. ළමා ලොවේ සැබෑ රිද්මය නැටුමින්, ගැයුමින්, රැඟුමින් හැඩ වී පෙර නොවිඳි ප්‍රාසංගික අත්දැකීමක් ලෙස ඔවුන් විසින් හඳුන්වා තිබුණු 2018 පිනිපොද වැස්සට ඉන්ද්‍රචාප සුපුරුදු ලෙස තෙමුණු සමීපරූප අතර සටහන්ව හමාරය.

ඒ පසුගිය වසරේ දෙසැම්බර් 16 වැනි දා සැඳෑ භාගයේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ය. කලා රසඥතාව, රස වින්දනය ළමා හා යෞවන පරපුර අතරින් කෙමෙන් ඈත් වී යන අද වැනි දවසක, වසර හතකටත් වඩා වැඩි කාලයක් තුළ ( 2011 - අද තෙක්) වයිට්ලීෆ් ප්‍රාසංගික ඇකඩමිය විසින් මේ දරු පරපුරෙහි නිර්මාණාත්මක කුසලතා හඳුනාගෙන ඒවා විශාල ප්‍රේක්ෂාගාරයක් ඉදිරියේ එළි දැක්වීමට අවස්ථාව සලසාදීමෙන් ඔවුන්ට තම හැකියාවන් පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීමට මග පාදා දීම ඉන්ද්‍රචාපගේ සමීපරූපයෙහි සටහන් වී ඇත්තේ යොවුන් පරපුරට අමිල මෙහෙවරක් ඉටු කරන වීරවරයකුගේ සේවාවක් ලෙසය. ඒ වීරයා අන් කවරකුත් නොව පසුගිය වසර ගණනාවක් තුළ මේ උදාර කටයුත්තට උර දුන් නායකත්වය දුන් නාලක ස්වර්ණතිලක නම් වූ සුධීමතුන්ය.

ළමා වයසේ සිටම දරුවන් සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් කෙරෙහි යොමුකිරීමට මාපියන් ඉදිරිපත්වීම හා ඔවුන් පෙලඹවීම රටක මතු දවසේ යහපත් පුරවැසියන් බිහිකිරීමේ මූලික පදනම ලෙස ඉන්ද්‍රචාප දකී. දරුවන් ඉගෙනුම ලබන පාසලේ දී මේ පිළිබඳ මූලික හැඳින්වීමක් ලැබුණ ද විවිධ සැඟවුණු නිර්මාණාත්මක කුසලතා සතු දරුවන් හඳුනාගැනීමට හා එම කුසලතා එළි දැක්වීමට පාසලේ දී ලැබෙන ඉඩකඩ සීමිතය.

සංගීතය හා නර්තනය විෂය හැර දරුවන් පුරුදු පුහුණු කළ යුතු තවත් බොහෝ විෂය ක්ෂේත්‍ර නාලක විසින් හඳුනාගෙන ඇති බව ඔහුගේ දරුවන්ට සම්මාන පිදෙන උලෙළ දී හා ඔවුන්ගේ කුසලතා එළි දැක්වෙන ප්‍රසංගවල දී ඉන්ද්‍රචාප දැක තිබේ. කථනය හා විවාද, නාට්‍යකරණය, ව්‍යවසායකත්වය, රසවින්දනය හා විචාරය, නිර්මාණාත්මක රචනය, නායකත්ව පුහුණුව හා පෞරුෂත්ව වර්ධනය වයිට්ලීෆ්හි දී දරුවන්ට ඉගෙනගැනීමට ලැබෙන අනෙකුත් විෂය ක්ෂේත්‍ර වේ.

නාලකගේ ඇකඩමියේ විශේෂත්වය ලෙස ඉන්ද්‍රචාපගේ සමීපරූපයෙහි ඇඳී ඇත්තේ මේ දරුවන් ගේ ද්විභාෂික කුසලතාවයි. ඔවුහු චතුර ලෙස සිංහල බසින් මෙන්ම ඉංග්‍රීසි බසින් ද තම නිර්මාණ ඉදිරිපත් කරති, ගායනා කරති. වාද විවාද, විචාර ඉදිරිපත් කරති. වයිට්ලීෆ් ඇකඩමියේ පුහුණුව හා ඉගෙනුම ලබන ළමයින්ගේ ප්‍රාසංගික දැක්මක් පළමුවරට නරඹන ප්‍රේක්ෂකයකු මේ ළමා හා යොවුන් හැකියාවන් දැක මවිතයට පත් වනු නොඅනුමාන යැයි ඉන්ද්‍රචාප දනී.

විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමකින් යුතු ආචාර්ය මණ්ඩලයක් නාලක සමග සිටීම මේ දරුවන් දක්වන විස්මිත කුසලතාවන්හි රහස ලෙස ඉන්ද්‍රචාප දකී. ඔවුන්ගේ කැපවීම, දරුවන් කෙරෙහි වන ආදරය, සැඟවුණු කුසලතා මතු කර ගැනීමට ඔවුන් සතු ක්‍රමෝපායන් ආදී ගුණාංග වයිට්ලීෆ් දරුවන්ගේ ප්‍රසංගයක් නරඹන කල අපට පෙනේ. 2018 දෙසැම්බරයේ දී ඉන්ද්‍රචාප තෙමුණු පිනිපොද වැස්ස වර්ණවත් කළ අපූරු නිර්මාණ අතර සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි බසින් ද ඉදිරිපත් වූ විශේෂාංග කිහිපයක සමීපරූප ඉන්ද්‍රචාපගේ මතකයෙහි වේ.

අන්දරේ ඇවිත් නාට්‍ය නිර්මාණය, මනුස්සකම, Cheer up the Life, Beautiful Creatures ඉන් කිහිපයකි. අනාගත බාල පරපුර විනයගරුක, කලාව හඳුනන, කලාව රස විඳින, යහපත් පුරවැසියන් බවට පත් කිරීමට නාලක ගේ වයිට්ලීෆ් ඇකඩමිය ඉටු කරන මෙහෙවර සමග අත්වැල් බැඳ සිටින දෙමාපියන් පිළිබඳ ඉන්ද්‍රචාප ආඩම්බර වේ. වයිටලීෆ්හි ඉගෙනුම ලබන තම දරුවන්ට එමගින් ලැබෙන මහඟු ප්‍රථිඵල පිළිබඳ තිසන්ති කළුආරච්චි, ඩිල්මි වීරසිංහ, යමුනා ගමගේ, ඉරන්දි විතාන, අමින්දී හා එනුදිගේ දෙමවුපියන්, චන්දිමා වික්‍රමරත්න වැනි දෙමවුපියන් මහත් ආඩම්බරයකින් තම අදහස් දක්වා තිබුණු අතර, එහි ඉගෙනුම ලබන සජනි රත්නතුංග (2018 වසරේ හොඳම සමස්ත කාර්යසාධනය) සුහන්සා නානායක්කාර, මෙලීෂා ජයරත්න, නොමාෂි යසෝධරා බුළුගහවත්ත හා රුහිනි සෙනාරා විජේසුන්දර ආදී දරුවන් ද ඔවුන්ගේ කලා හා ප්‍රසංග කලා නිකේතනය පිළිබඳ අභිමානයකින් අදහස් දක්වා තිබෙණු ඉන්ද්‍රචාපගේ සමීපරූප තුළින් දකින්නට ලබිණ.

 

 

අදහස්